ශාරුක්ගෙන් අහන්න

අප්‍රේල් 8, 2021

බොහෝ බොලිවුඩ් නළු නිළියන් අන්තර්ජාලය ඔස්සේ සජීව ලෙසින් රසික රසිකාවන් සමඟ තොරතුරු බෙදා ගැනීමට පැමිණේ. පසුගිය සතියේ ශාරුක් ඛාන්ද මේ අයුරින් විනෝදකාමී හමුවක් පැවැත්වීය. 'ශාරුක් ගෙන් අහන්න' නම් වූ එහිදී ලොව පුරා සිටින රසික රසිකාවන් ඔහුගේ පෞද්ගලික හා වෘත්තීය ජීවිතය පිළිබඳ ප්‍රශ්න කළහ. එහිදී එක් ට්විටර් පරිශීලකයෙක් විමසා සිටියේ, 'ජබ් හැරී මෙට් සේජල්' චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටය ගැනයි. "ඇයි හැමෝම බොක්ස් ඔෆිස් අසාර්ථකත්වයේ දෙවැන්නක් ඉල්ලන්නේ?" ශාරුක් විසින් ද යොමු කළේ පැනයකි.

මේ අතර, තවත් ට්විටර් පරිශීලකයෙක් ඔහුගේ ඉදිරි චිත්‍රපට පිළිබඳ විමසීය. "ඉදිරියේදී චිත්‍රපට විශාල ප්‍රමාණයක් මුදා හැරීරෙනු ඇත. බලා සිටින්න. ඔබගේ වාරය එනු ඇත. කරදර නොවන්න" ශාරුක්ගේ පිළිතුර විය. මේ අතර, ශාරුක් මේ වන විට සිද්ධාර්ත් ආනන්ද්ගේ 'පතන්' චිත්‍රපටයේ රූගත කිරීම් කරමින් සිටී. මෙම චිත්‍රපටයේ දීපිකා පදුකෝන් සහ ජෝන් ඒබ්‍රහම් ද ප්‍රධාන චරිත නිරූපණය කරති.

 

ප්‍රියතම ගීතය

 

බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් වීඩියෝවක් පළ කර ඇති අතර, එහිදී ඇය කැමතිම ගීතය සහ ඇගේ ගීත ලැයිස්තුව ගැන කතා කරන්නීය. දීපිකා පදුකෝන් පවසන්නේ ජස්ටින් බීබර්ගේ නවතම ජනප්‍රිය ගීතය වන 'පීච්ස්' ඇගේ ප්‍රියතම ගීතය බවයි. ඇය මේ බව පවසන්නේ රූගත කිරීමක් වෙනුවෙන් හැඩගන්වන අතරතුර ගීතය ඇයගේ රසික රසිකාවන්ටද අසන්නට සලස්වමිනි.

බීබර්ගේ 2021 වසරේ ගීත එකතුවෙන් නිකුත් වූ 'පීච්ස්', ලොව ප්‍රධාන පෙළේ ගීත ප්‍රස්තාර කිහිපයකම අංක එක හිමිකර ගෙන සිටී. බොලිවුඩ් නිළි ආලියා භාත්ද සිය ඉන්ස්ටග්‍රම් ගිණුමේ 'පීච්ස්' ගීතය බෙදාහදා ගත්තාය. දීපිකාගේ ඉදිරි චිත්‍රපට ලැයිස්තුවේ '83', 'බයිජු බව්රා', 'ෆයිටර්', 'සංකි', 'පතන්' සහ ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටයක් වන ද ඉන්ටර්න්' හි ඉන්දීය ප්‍රතිනිර්මාණයද තිබේ.

 

කැමති චිත්‍රපට නෑ

 

 

ඉලේනා ඩි'කෘස් බොලිවුඩයේ තමාටම තෝරාගත් චිත්‍රපට සහ රංගනයන් සමඟ සාර්ථක ස්ථානයක් නිර්මාණය කර ගෙන අවසන්. කෙසේ වෙතත්, ඇය පවසන්නේ තමාට තවත් බොහෝ දේ කළ හැකි බවයි. තමාගේ අභිමතය පරිදි බොහෝ චිත්‍රපට කර නොමැති බවත් ඉදිරියට ගොස් වඩා හොඳ දේ කිරීම අභිප්‍රාය බවයි. මෑතකදී

ප්‍රවෘත්ති වෙබ් අඩවියකට අදහස් දක්වමින් ඉලේනා කියා සිටියේ, මේ දක්වා තම වෘත්තිය වෙනස් වී ඇති ආකාරය ගැන සෑහීමකට පත් නොවන බවයි.

ඉලේනා සමඟින් සමාජ මාධ්‍යවල විශාල රසික පිරිසක් සම්බන්ධ වී සිටින අතර ඇය බොහෝ විට අන්තර්ජාලයේ ඔවුන් වෙනුවෙන් විශේෂ කාලයක් වෙන් කරන්නීය. ඉන්ස්ටග්‍රම් ඔස්සේ සිත් ඇදගන්නා පින්තූර සහ වීඩියෝ පට ඉදිරිපත් කරමින් තොරතුරු බෙදා ගන්නීය. ඉලේනා මේ වන විට 'බාර්ෆි!', 'මේන් තෙරා හීරෝ', 'බාද්ෂාහෝ', 'රයිඩ්', 'පගල්පන්ති' වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වී තිබේ. ඉදිරියේදී අභිෂේක් බච්චන් ප්‍රධාන චරිතයට පණ පොවන 'බිග් බුල්' චිත්‍රපටයේද ඇය දැකගත හැකිය.

 

අලුත් අම්මා නැවත සේවයට

 

අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි මව්පියන් බවට පත් වූයේ මේ වසරේ ජනවාරි මාසයේදීයි. ඔවුන්ගේ දියණිය වාමිකා ජනවාරි 11 වැනිදා උපත ලැබීම සමඟ මවක් වූ අනුෂ්කා සිය වෘත්තීය කැපවීම් සමඟ නිවසේ කටයුතු සහ රාජකාරි කටයුතු සමතුලිත කිරීමට සූදානම්ව සිටී. පසුගියදා ඇය නැවත රූගත කිරීම් ආරම්භ කළාය. මීට පෙර අවස්ථාවකදී අනුෂ්කා පවසා තිබුණේ මේ වසරේ මැයි මාසයේදී නැවත රූගත කිරීම් ආරම්භ කිරීමට සූදානම් වන බවයි.

අනුෂ්කා සිනමා කර්මාන්තයේ වෙලාවට වැඩ කරන නිළියක ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. නැවත වැඩ ආරම්භ කිරීම සමඟ ඇය ඉදිරි දින කිහිපය තුළ වෙළඳ දැන්වීම් කිහිපයක රූගත කිරීම් වෙනුවෙන් දායකවීමට නියමිතය. අනුෂ්කා අවසන් වරට දකින්නට ලැබුණේ 2018 දී තිරගත වූ 'සීරෝ' චිත්‍රපටයේ ෂාරුක් ඛාන් සහ කත්‍රිනා කයිෆ් සමඟිනි. ඇය සිය මීළඟ චිත්‍රපටය ප්‍රකාශයට පත් කර නොමැති නමුත් බොලිවුඩ් ආරංචි ගෙන එන්නේ, ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ජුලාන් ගෝස්වාමිගේ චරිතාපදානයක් සඳහා අත්සන් තබා ඇති බවයි.

 

ප්ලාස්ටික් ප්‍රතිපත්තිය

 

මේ දිනවල ලොවපුරා බොහෝ දෙනා කතා කරන්නේ පරිසර විනාශය ගැනයි. මේ අතර බොලිවුඩ් නිළියකුත් පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශේෂ පියවර අනුගමනය කරන බව බොලිවුඩ් ආරංචි ගෙන එනවා. මේ විදියට පරිසර සංරක්ෂණ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ භූමි පද්නෙකර්. ඇය සැමවිටම පරිසරය වෙනුවෙන් යමක් කිරීමට වගබලා ගන්නීය. මේ දිනවල 'බඩායි ඩෝ' දර්ශන තලයේ රූගත කිරීම්වලට දායක වෙමින් ඇය මේ කටයුත්ත ඉදිරියට ගෙන යන්නීය.

'බඩායි ඩෝ 'චිත්‍රපට දර්ශනතලයේදී ද ඇයගේ ශුන්‍ය ප්ලාස්ටික් ප්‍රතිපත්තිය ආරම්භ කර තිබේ. ඇයගේ මඟ පෙන්වීම යටතේ ඩෙරාඩූන් හි රූගත කිරීම්වලදී ද නිෂ්පාදකයන් විසින් ප්ලාස්ටික් ශුන්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට වග බලා ගෙන තිබුණි. ඔවුන් විසින් පරිසරය පදනම් කරගත් ව්‍යාපාරය සඳහා ලබා දුන් සහයෝගයට භූමි නිරන්තරයෙන් ස්තූතිය පුද කරන්නීය.

"සාමාන්‍යයෙන් චිත්‍රපට දර්ශන තලයක් මත නිපදවන කුණු කසළ ප්‍රමාණය සැලකිය යුතු යි. එනිසා නාස්තිය අවම කරගනිමින් කටයුතු කිරීමෙන් පරිසර හානිය අවම කළ හැකියි" ඇය පවසන්නීය. මීට පෙර අවසන් කළ චිත්‍රපට ත්‍රිත්වයේම රූගත කිරීම් අතරතුර ඇය ප්ලාස්ටික් භාවිතා නොකළ අතර ජලය පානය කිරීමට භාවිත කර තිබුණේ ඇලුමිනියම් වතුර බෝතලයකි.