සුනිලුන්ගෙන් එල්. පී. තැටි යුගලක්

අප්‍රේල් 1, 2021

ප්‍රවීණ ගායනවේදී සුනිල් එදිරිසිංහයන්ගේ පළමු එල්. පී. ගී තැටි යුගලය "සුනිල යාමය" එළඹෙන අප්‍රේල් මසදී නිකුත්වීමට නියමිතය. පුරා වසර පනහක් තිස්සේ ශ්‍රී ලාංකේය රසික ප්‍රජාව සුපෝෂණය කළ සුනිලුන් ගැයූ රසාලිප්ත ගීත රැසක් මෙයට ඇතුළත් වේ. මේ යුගල තැටි සඳහා ඔහුගේ පුතු සංඛ එදිරිසිංහ සහ දියණි සංඛනී එදිරිසිංහ ගායනයෙන් සහාය වේ. සුනිල යාමේ තැටි යුගලය නිදුකාණෙනි, දෙවැනි බුදුන්, ඇසුවේද කවුරුන්, අලුත් වැස්සක්, කඳුළු දෙන්න මට හඬන්න, ඇතුළු ජනප්‍රිය ගීත දහ අටක් සමඟ කෙටි සංවාද කිහිපයක් සහිත ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් මෙයට අන්තර්ගතය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය රෝහණ වීරසිංහ, එච්. එම්. ජයවර්ධන, කළිඳු වීරසිංහ සහ මනෝරි උග්ගලගේ සංගීතවත් කළ මෙම ගීතාවලිය සඳහා කිරඹ සුමංගල හිමි කුමාරදාස සපුතන්ත්‍රී, ප්‍රේමකීර්ති ද අල්විස්, ධර්මසිරි ගමගේ, මහාචාර්ය සුනිල් ආරියරත්න, බණ්ඩාර ඇහැලියගොඩ, සුනිල් ආර්. ගමග, රවී සිරිවර්ධන, යමුනා මාලනී පෙරේරා ගී පද රචනයෙන් දායක වී ඇත. මෙයට වෑත්තෑවේ හිමි විසින් රචිත ගුත්තිල කාව්‍යයේ පද්‍ය ගායනයක් ද ඇතුළත්ය. එංගලන්තයේ සම්පාදනය කරන ලද සීමිත තැටි සංඛ්‍යාවක් පමණක් සූරිය ලේබලය යටතේ නිකුත් කෙරෙන මෙම සුගායන සංග්‍රහය සීමාසහිත වික්‍රමසූරිය සමාගම ඉදිරිපත් කිරීමකි. සූරිය සමාගම 60 දශකයේ සිට අප සංගීත ශිල්පීන්ගේ ගුණාත්මක නිර්මාණ සහිත තැටි රැසක් වෙළඳපොළට නිකුත් කොට තිබේ.