මැයි මාසයේ සාර්ක් උලෙළට එන්න

අප්‍රේල් 1, 2021

සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය දසවැනි වරටත් සංවිධානය කරනු ලබන සාර්ක් සිනමා උලෙළ 2021 මැයි මස 04 වැනිදා සිට 09 වැනිදා දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. covid-19 වසංගතය හේතුවෙන් 2020 වසරේ මෙම උලෙළ නොපැවැත්වූ අතර මෙවර රජයේ සෞඛ්‍ය අංශ ලබාදී ඇති නීති රීතිවලට අනුව සිනමා උලෙළ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සංස්කෘතික මධ්‍යස්ථානය සඳහන් කරයි. ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෘතාන්ත කෙටි හා වාර්තා චිත්‍රපට රැසක් මෙවර සිනමා උලෙළේ දී තිරගත කිරීමට නියමිතය. එසේම සෑම සාමාජික රටකින්ම එක් සුවිශේෂී චිත්‍රපටයක් (master film)  තිරගත කිරීමද මෙවර කටයුතු යොදා තිබේ. එසේම මෙවර සාර්ක් සිනමා උලෙළට තවත් සුවිශේෂි අංගයක් එකතු කර තිබේ. මෙය එය හඳුන්වන්නේ (tell a tale) "කතාවක් කියන්න"යනුවෙනි. මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ චිත්‍රපටයත් තිරගත කිරීම දක්වා වූ ක්‍රියාවලියට තිරය පිටුපස සිට ශ්‍රමය සහ නිර්මාණාත්මක කාර්යයට දක්වන ශිල්පීන්ගේ කැපවීම ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමය. මෙවර ප්‍රදර්ශනය කරන නිර්මාණ තේරීම සඳහා විශේෂ ජූරි සභාවක් පත්කර ඇති අතර ඔවුන් සියලු දෙනා සාර්ක් රටවල් අටට අයත් නොවන අය වීමද විශේෂත්වයකි. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම තිර රචනය, හොඳම සිනමාකරු, හොඳම සංස්කරණය, හොඳම ශබ්ද පරිපාලනය, හොඳම තේමා ගීතය, හොඳම අංග රචනය, සහ ඇඳුම් නිර්මාණ, හොඳම නර්තන නිර්මාණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය සහ හොඳම වෙබ්පාදක චිත්‍රපටය

සඳහා සම්මාන පිරිනැමීමට නියමිතය. ඊට අමතරව පහත දැක්වෙන අංශ යටතේ විශේෂ ජූරි සම්මාන තුනක් ප්‍රදානය කිරීමට සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය කටයුතු සම්පාදනය කොට තිබේ.

විශේෂ ජූරි සම්මානය 01, ( විශේෂාංග/කෙටි/ වෙබ් පාදක චිත්‍රපට)

විශේෂ ජූරි සම්මානය 02, (විශේෂාංග/කෙටි/වෙබ් පාදක චිත්‍රපට)

හොඳම වෙබ් පාදක කෙටි චිත්‍රපටය (චිත්‍රපටයට පාදක කෙටි චිත්‍රපට ඛාණ්ඩය) මෙවර සාර්ක් සිනමා උලෙළේ සංස්කෘතික රට වන්නේ ශ්‍රී ලංකාව බැවින් covid-19 අභියෝගය හමුවේ වුවද සිනමා උලෙළ සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකාවාසි සිනමලෝලීන්ගේ පැමිණීම අපේක්ෂා කරන බවද සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රිශාන්ති නාරංගොඩ වැඩිදුරටත් සඳහන් කළාය. සියලුම චිත්‍රපටි නොමිලේ ප්‍රදර්ශනය කරන අතර මැයි 04 වැනිදා සමාරම්භක උලෙළ පවත්වා එතැන් සිට 08 වැනිදා දක්වා සිනමා දැක්ම දිනපතා දර්ශන වාර දෙකක් පවත්වන බවත් 09 වැනිදා සවස සම්මාන ප්‍රදාන උත්සව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.