කොවිඩ් නිසා අහිමි වූ පඬිවන

පෙබරවාරි 18, 2021

ලොව ප්‍රකට චරිත රැසක් කොවිඩ් රෝගයට ගොදුරු වී ජීවිතයෙන් සමු ගත්තේ ඔවුන්ගේ මතක පමණක් ඉතිරි කරමිනි. අප රටේ ද එවන් වූ අගනා වටිනා මිනිසෙකු අප අතරින් ඉකුත් දා සමු ගත්තේය. අකුරු තුනකින් රටක් හඳුනගත් ඔහු වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතායි. මෙරට බිහිවූ කෘතහස්ත දේශපාලඥයකු, සාහිත්‍යධරයකු මෙන්ම දේශකයකුද වූ ඔහු ඉතා සුන්දර චරිතයකි. වි.ජ.මූ. පාර්ලිමේන්තුවේ කතානායකව කටයුතු කළ සමය පාර්ලිමේන්තු ඉතිහාසයේ සාහිත්‍යයට නැඹුරු අයෙකු එම අසුන හෙබවූ ප්‍රථම අවස්ථාව වන්නට ඇත. ඔහු ඇතැම් වාද විවාද නවත්වා ගැනීමට සාහිත්‍ය උපහැරණ ගෙනහැර පාමින් සභාව ඇමතූ අයුරු සිත් ඇදගන්නා දර්ශනයක් විය. වි.ජ.මූ මෙරට 18 වැනි කතානායකවරයාය. ඔහු සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී සිංහල සාහිත්‍ය කෘති නැවත මුද්‍රණය කරන්නට ක්‍රියා කළේය. සුභාෂිතය, ලෝකෝපකාරය, අමාවතුර වදන් කවි කවි පොත සකස් කඩය ඒ අතර විය. ආචාර්ය සෙනරත් පරණවිතානයන් සීගිරි ගී ගැන ඉංග්‍රීසියෙන් ලියා තිබූ ඔක්ස්ෆර්ඩ් මුද්‍රණාලයේ මුද්‍රිත කෘතිය සිංහලෙන් සීගිරි ගී නමින් මුද්‍රණය කරන්නට වි.ජ.මූ. පෙලඹුණේය.

ලංකාවේ බිහිවූ විශිෂ්ට නායකයන් පිළිබඳ පොත් පෙළක් එළි දැක්වීමට ඔහු කටයුතු කළේය. ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, හික්කඩුවේ සුමංගල හිමි, ඩී.එස්. සේනානායක වැනි ඉතිහාසගත චරිත අලළා පොත් පෙළ නිකුත් විය. සිංහල භාෂාවට මහත් ලැදිව කටයුතු කළ වි.ජ.මූ. ලොකුබණ්ඩාර කතාබහ කිරීමේදී මේ වන විට නිතර භාවිතයට ගැනෙන ඔසුපැන්, කොළ කැද වැනි වචන සමාජගත කළේය. ඒ ඔහුගේ සුන්දර වූ දේශන හරහාය. පාලි හා සංස්කෘතික පද භාෂා ඥානයක් තිබූ වි.ජ.මූ. කලක් ගුවන් විදුලියේ රස දීපනී නැමැති වැඩ සටහන ඉදිරිපත් කළේ ඉතා රසවත් අන්දමිනි. එයට ගීතයක ගායකයා, රචකයා, මෙන්ම සංගීත නිර්මාණකරු සහභාගි වූ අතර එය ඉතා සොඳුරු වැඩ සටහනක් විය. මුනිදාස කුමාරතුංගයන් පිළිබඳ සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කිරීමද වි.ජ.මු දියත් කළ වැඩසටහන් අතරවේ. මේ අපූරු මිනිසා පසුගිය දා අප අතරින් වෙන්වුයේ වයස අවුරුදු අසූවක් ආයු විඳීමිනි. බණ්ඩාරවෙල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකුවූ වි.ජ.මු ලොකුබන්ඩාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.