ජැක්ලීන්ගේ අලුත් ලිපිනය ප්‍රියංකාගේ පරණ ලිපිනය

පෙබරවාරි 18, 2021

සුඛෝපභෝගී නිවාස ජනප්‍රිය මෙන්ම ධනවත් පුද්ගලයන්ගේ ජීවිතවල එක් කොටසකි. බොලිවුඩ් තරු ද ඒ අතර විශේෂ වෙති. රසිකයන් අතර ඔවුන් ජීවත්වන තත්ත්වය, ඔවුන්ගේ චමත්කාරය පවත්වා ගැනීමට නිවාස ද විශේෂ වී ඇත. බොලිවුඩය දිනූ ශ්‍රී ලාංකික රූ රැජනක වන ජැකලින් ෆර්නැන්ඩ්ස් ද පසුගිය වසර කිහිපය තුළ මුම්බායි හි ජුහු අසල මහල් නිවාසයක් සොයමින් සිටි අතර අවසානයේ ඇය නව නිවසක් සොයා ගත්තාය. ඇයට හිමි වූයේ ප්‍රියංකා චොප්රාට අයත් නිවෙසයි.

මෙම ගොඩනැගිල්ල කර්මා යෝග ලෙස නම් කර ඇති අතර එම මහල් නිවසේ වටිනාකම කෝටි 7 ක් පමණ වේ. 2016 දී ප්‍රියංකා චොප්රා වෙරළ තීරය දිස්වන ඕවලාකාර බැල්කනියක් සහිත මෙම මහල් නිවාසය නවීකරණය කළ අතර නික් ජොනාස් සමඟ විවාහ වන විට එය අවධානයට ලක් වූයේ එහි විවාහය වෙනුවෙන් උත්සව කිහිපයක් පැවැත්වීම සමඟිනි. ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් දැනට කැලිෆෝනියාවේ කඳුකර ප්‍රදේශයක පිහිටි සුඛෝපභෝගී නිවෙසක වාසය කරති. එම නිවෙස සඳහා ඔවුන් අමෙරිකානු ඩොලර් මිලියන 20ක් වැය කර තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියත් සමඟ ප්‍රියංකා මෙම නිවස වෙනත් පුද්ගලයෙකුට විකුණා ඇති අතර මේ වන විට එය මිලයට ගෙන ඇත්තේ ජැක්ලින් ෆර්නැන්ඩ්ස් විසිනි. ජැක්ලීන් මීට පෙර වාසය කළේ බන්ද්‍රා හි පිහිටි නිවෙසකය.

බොලිවුඩයේ කාර්බහුල ජැක්ලීන් මේ දිනවල රන්වීර් සිං සමඟ රෝහිත් ෂෙට්ටි විසින් අධ්‍යක්ෂණය කෙරෙන සර්කස් වෙනුවෙන් රූගත කිරීම්වලට දායක වෙමින් සිටී. ප්‍රියංකා චොප්රා අවසන් වරට දකින්නට ලැබුණේ ද වයිට් ටයිගර් චිත්‍රපටයේ ය. එම චිත්‍රපටය ජනවාරි 22 වන දින නෙට්ෆ්ලික්ස් හි නිකුත් විය.