රජීව් කපූර් සමුගනී

පෙබරවාරි 18, 2021

පසුගිය වසර ලොව පුරා සිටින සෑම කෙනෙකුටම දුෂ්කර වූයේ කොරෝනා වෛරස් වසංගතය හේතුවෙනි. එය කෙසේ වෙතත්, ගත වූ මාස 13ක කාලයක් තුළ වියෝවීම් ත්‍රිත්වයක් දරා ගැනීමට සිදු වූ කපූර්වරුන්ට එය තව තවත් වේදනාකාරී වූ කාලයක් වන්නට ඇත. පසුගිය සතියේ රජීව් කපූර්ගේ හදිසි අභාවයත් සමඟ රාජ් කපූර්ගේ දරුවන් පස් දෙනාගෙන් තිදෙනෙක් මේ වන විට මෙලොව හැරගොස් ඇත. රාජ් කපූර්ගේ දියණියක වූ රිතූ නන්දා පසුගිය වසරේ ජනවාරි 14 වන දින පිළිකාවට එරෙහි සටනින් පරාජයට පත් වී මෙලොවින් සමු ගත්තාය. ඇය කිසි විටෙකත් චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ නොවූ අතර කාර්මික ශිල්පී රාජන් නන්දා සමඟ විවාහ වී සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් බවට පත් වූවාය. පසුගිය වසරේ අප්‍රේල් 30 වැනිදා පිළිකාවකින් පීඩා විඳී රිෂී කපූර්ගේ මරණයත් සමඟ කපූර් පවුල යළිත් කම්පනයට පත් විය. 

58 හැවිරිදි රජීව් කපූර් පසුගිය 09 වැනිදා හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය.

 

'චිම්පු' ලෙස ආදරයෙන් හැඳීන් වූ රජීව් කපූර්, රාජ් කපූර් සහ ක්‍රිෂ්ණා රාජ් කපූර්ගේ දරුවන් පස් දෙනාගෙන් බාලයා විය. වැඩිමහල් සොහොයුරන් වන රන්ධීර් සහ රිෂිගේ අඩිපාරේ යමින් රජීව් බොලිවුඩයට නළුවෙකු ලෙස පිවිසි අතර පසුව චිත්‍රපට නිෂ්පාදනයටද පිවිසියේය. 1983 දී තිරගත වූ 'ඒක් ජාන් හේන් හම්' චිත්‍රපටයෙන් ඔහු රංගනයට පිවිසි අතර, ඔහු 'ආස්මාන්' (1984), 'ලවර් බෝයි' (1985) සහ 'සබාර්දාස්ත්' (1985) වැනි චිත්‍රපටවල ද රඟපෑවේය. රාජ් කපූර්ගේ අවසාන අධ්‍යක්ෂණය වූ 'රාම් තෙරී ගංගා මයිලි' (1985) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙව්වේද රජිව් විසිනි. 1996 රජිව් අධ්‍යක්ෂණයට පිවිසියේ රිෂි කපූර් සහ මධුරි ඩික්සිත් රඟපෑ 'ප්‍රේම් ග්‍රාන්ත්' චිත්‍රපටයෙනි.