සුනිල් ටී.ගේ 72, සිනමාශාලා 72ක අපට සැදුණු අපේ ලෝකය

පෙබරවාරි 11, 2021

මෙරට වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ සුනිල් ටී. ප්‍රනාන්දුගේ හැත්තෑ දෙවැනි සිනමා නිෂ්පාදනය “අපට සැදුණු අපේ ලෝකය” සිනමාපටය මෙම මස 14 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවන්හි තිරගත වීමට නියමිතය. මෙය සුනිල් ටී.ගේ හැත්තෑ දෙවැනි සිනමා නිෂ්පාදනය බැවින් සිනමා ශාලා හැත්තෑ දෙකක ප්‍රදර්ශනය ඇරඹීමට ඔවුන් කටයුතු සූදානම් කොට තිබේ. අපට සැදුණු අපේ ලෝකය ලාල් ප්‍රියදේවගේ අධ්‍යක්ෂණයකි. මෙය අධ්‍යක්ෂවරයාගේ තිරගතවන දාහතර වැනි සිනමා නිර්මාණයයි. මේ වන විට ලාල් ප්‍රියදේව චිත්‍රපට දහසයක් අධ්‍යක්ෂණය කොට ඇති අතර ඔහුගේ චිත්‍රපට ද්විත්වයක් තිරගතවීමට සූදානමිනි. ළමයින් වෙනුවෙන් නිර්මාණය කළ චිත්‍රපටයක් වන අපිට සැදුණු අපේ ලෝකයහි මේනක රාජපක්ෂ, නෙහාරා පීරිස්, රජීව් නානයක්කාර, රජිත රොද්‍රිගෝ, ලක්ෂ්මී බෝගොඩ, තිළිණ ලක්මාල්, ප්‍රියා සෙල්වම්, අමන්දි ආදිත්‍යා, කවීතා අංජලී, රාජි මෙන්ඩිස් ආදීහු රංගනයෙන් දායක වෙති.

ජනිත් ගුණසේකර කැමරා අධ්‍යක්ෂවරයාය, සහාය අධ්‍යක්ෂණයෙන් ෂෙහාන් තරිඳු, රූපිකා මංගලිකා සහ චමත් ඉපළවත්ත දායකවී තිබේ.

සංස්කරණය දනාල් තිරංජනගෙනි.

නිපුණ පිටිගල සංගීත අධ්‍යක්ෂවරයාය. ශබ්ද පරිපාලනයෙන් ඩිලාන් ගුණවර්ධන, ගී පද රචනයෙන් සුනිල් ධර්මසිරි සහ කසුන් කොන්දසිංහ,

ගායනයෙන් නිපුන පිටිගල ෂහීකා ෂහීත් පිටිගල සහ හිමාශ් ලක්ෂාන්, අංග රචනයෙන් මෙෂාන් හේවාපන්න අපට සැදුණු අපේ සැදුණු අපේ ලෝකයේ සිනමාපටය සඳහා එකතු වී තිබේ. බිඟුනි නිසංකාගේ නර්තන අධ්‍යක්ෂණයකි. දුලානි බාලසූරිය රේඛීය නිෂ්පාදකවරියයි, එම්. කේ. සුදාකර් නිෂ්පාදන කළමනාකරුය,විශේෂ දෘශ්‍ය ප්‍රයෝග ප්‍රභාත් පෙරේරාගෙනි.