කේසවරාජන් සමුගනියි

ජනවාරි 21, 2021

ලාංකේය දමිළ භාෂිත සිනමාකරු කේසවරාජන් අභාවප්‍රාප්ත වේ. යුද සමයේ උතුරේ සිට චිත්‍රපටය නිර්මාණය කරමින් එකී ප්‍රදේශ තුළ සිටින තරුණ සිනමාකරුවන්ට පරමාදර්ශී චරිතයක් වූ ඔහු සිංහල සිනමාව කෙරෙහිද උනන්දුවක් දැක්වූ නිර්මාණකරුවකි. කොළඹ සංවිධානය වන බහුතරයක් සිනමා උලෙළ සඳහා නිරන්තරයෙන් සහභාගී වෙමින් ඒ පිළිබඳව නවකයන් දැනුම්වත් කරන්නට උනන්දුවක් දැක්වූ කේසවරාජන් උතුර සහ දකුණ යා කළ සිනමාකරුවකු ලෙස ද ප්‍රකටය. පනමරයිකඩ්ඩු, අම්මා නාලමා, සහ කඩලෝරා කට්ටු, වැනි චිත්‍රපට නිර්මාණය කළ කේසවරාජන් වඩාත් ප්‍රචලිත චරිතයක් වූයේ ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ තුන් ඈඳුතු සිනමාපටයක් වන තුන්දෙනෙක්හී චරිතයක් රංගනය වෙනුවෙනි. ඔහු ඒ සිනමාපට ත්‍රිත්වයේ ඇය යන සිනමාපටයේ ඔහුගේම චරිතය රඟපෑවේය. නමින් පමණක් හැඳීනගත් කේසවරාජන් රූපයෙන්ද බොහෝ දෙනා දැනගත්තේ එකී සිනමාපටය හරහාය. කේසවරාජන්ගේ අවසන් කටයුතු ඉකුත්දා උතුරුකරයේදී සිදුවූ අතර මියයනවිට ඔහුගේ වයස අවුරුදු 59කි.