ජැක්සන් - හේමාල් එක්කොට මහාචාර්ය සුනිල් ආරියරත්න ක්ෂීර සාගරය කලඹයි

ජනවාරි 21, 2021

බිම්බා දේවි හෙවත් යශෝධරා, පත්තිනි, විජයබා කොල්ලය ආදී දැවැන්ත සිනමාකෘති තිරයට ගෙනා සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සිය නවතම සිනමාපටයේ වැඩකටයුතු මෙම මස 21වැනිදා (අද) ආරම්භ කිරීමට නියමිතය. අදට යෙදෙන සිංහල කථානාද සිනමාවේ හැත්තෑ හතරවැනි උපන්දිනය සමරමින් මෙම මුහුරත සංවිධානය කොට තිබීම විශේෂත්වයකි.

විශිෂ්ට ලේඛක නැසීගිය සයිමන් නවගත්තේගම සූරීන්ගේ "ක්ෂීර සාගරය කැලඹිණ" නවකතාව පාදක කරගනිමින් එනමින්ම, මහාචාර්යතුමන් මෙවර සිනමාපටය නිර්මාණය කරනු ඇත. එච්.ඩී. ප්‍රේමසිරි එහි නිෂ්පාදකවරයාය. ක්ෂීර සාගරය කැලඹිණ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විසිපස්වැනි සිනමා කෘතියයි. මෙහි ප්‍රධාන චරිත රඟනු ලබන්නේ ජැක්සන් ඇන්තනී සහ හේමාල් රණසිංහයි.

ජැක්සන් මෙහි අධිරාජ්‍යවරයකු ලෙස රංගනයේ යෙදෙයි. ඔහුට මීට පෙර අවස්ථා තුනකදී රිදී තිරයේ දී රජ වීමට හැකියාව ලැබිණ. නවගත්තේගම සූරීන්ගේ ක්ෂීර සාගරය කැලඹිණ නවකතාව ඇසුරෙන් සිනමාපටයක් නිර්මාණය කිරීමට මින් ප්‍රථම ආනන්ද අබේනායකද උත්සාහ දැරීය. එහිදී ප්‍රධාන චරිත ලෙස තෝරා ගෙන තිබුණේ සක්විති ගාමිණි ෆොන්සේකා සහ ජැක්සන් ඇන්තනීයි.

ජැක්සන් එදා එලෙස චරිත මැවීමට සූදානමින් සිටියත් නිර්මාණය රූපයට නොනැඟුණු නිසා ඔහුට එම සිනමාපටය මෙන්ම සිය රංගන ජීවිතයේ සිනමා සක්විති ගාමිණි සමඟ රංගනයේ යෙදීමට තිබූ අවස්ථාව අහිමි විය. මහාචාර්ය සුනිල් ආරියරත්න නැවත එම සිනමාපටය නිර්මාණය කිරීමේදී එදා ගාමිණී ෆොන්සේකා රඟපෑමට නියමිතව සිටි චරිතය සඳහා ජැක්සන් ඇන්තනීම තෝරාගැනීම දෛවෝපගත සිද්ධියකි.