තිලාගේ ඩයරිය

ජුනි 18, 2020

අද ජූනි 10 බදාදාය ....

ගිය සතියේ පාතාලයන්ගේ වයස කිව්වාට පස්සේ යාළුවෙක් අහපි උඹ පාතාලේ ගැන විස්තර දැම්මේ පාතාලයෙක් වෙලා හිටියද කියල...

එහෙම යාළුවොත් හිටිය තමයි ඒත්

තිලාලට අ⁣පේ කීර්ති මෙන්ඩිස්, කිරම පියසෝම, ජනතාවට ලියපු පාතාලේ කතා කියෙව්ව ..

අනුර හොරේෂස් ලියපු පාතාලයෙන් බිඳක් කියෙව්වම

චණ්ඩියා, මරදන්කඩවල යකඩයා, සිරිපාල හා රන්මැණිකා මරුවා සමඟ වාසේ, පොඩි විජේ වැනි චන්ඩීන්ගෙ බයිස්කෝප් බැලුවා...

ගිනි අවි සහ ගිනි කෙලි බිඳක් ගොඩ් ෆාදර් වැනි පාතාලයට සම්බන්ධ බයිස්කෝප් බැලුවා ..

පාතාලයේ සොල්දාවෝ ⁣වේදිකා නාට්‍ය බැලුවා .....

නැත්නම් තිලා සිඟිති පාතාලයටවත් ගන්නෙ නෑ...

අද ජූනි 11 බ්‍රහස්පතින්දාය...

අනුරාධපුරයෙ ගියා අපේ සුන්දරයෙකුගේ මළගෙදරක ඒ තමයි චන්ද්‍රසෝම ආරච්චිගේ අයියා ...

මහා ලොකුවට සාහිත්‍ය ඉගෙනගෙන නැතත් පුංචි ව්‍යාපාර කළ චන්ද්‍රසෝම අයියගේ සාහිත්‍ය දැනුම හා කලාවට සම්බන්ධ දැනුමත් මහමෙරක් වගේ...

තිලා කොලුහිටිය කාලේ රූකාන්තන් ගායනා කල "සඳේ ඔබ ඇ⁣යිද මේ යාමේ" ගීතයේ තේරුම අහගත්තෙත් ඔහුගෙන්....

ඔහුගෙ ගෙවල් ළඟම තියෙන සුන්දර අන්දර වැව..ඔහුට නිවන්සුව ලැබෙන්න කියල හිතාගෙන වැවට බැහැල දාහය නිවාගත්තෙත් කොරෝනා සමයෙන් පසුව......

අද ජූනි 12 සිකුරාදාය ......

අපේ ඡායාරූප ශිල්පියෙක් හිටියා රෝලන්ඩ් පෙරේරා. දැන් නම් ජීවතුන් අතර නෑ.. අපූරු සුන්දර චරිතයක්... තිලා ලේක්හවුස් යන්නත් කලින් රෝලන්ඩ් අයියව දැකල තිබුණා. ඡායාරූප ගන්න ගියාම මුළු ඇ⁣⁣ඟෙන්ම වැඩ. ඒ වගේම ඇඟෙන් වැඩ කරන ඩේලිනිවුස් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ කෙනෙක් හිටිය ඒරන් කියල. දැන්නම් ඔහුත් අප අතර නෑ...

(තිලාලගේ කාලයේ ප්‍රවෘත්ති ඡායාරූපවලට තල්ලුවක් දුන්න කෙනෙක් )

ඉතින් නුවර පෙරහරේ ඡායාරූප අරන් ඇවිත් ඒරන් මහතාට දුන්නලු..

රෝලන්ඩ් මේ අලිය කවුද ?

ආ ..ඔය පෙරහැරේ කරඬුව ගෙනියන ඇතා ...

හරි හරි අලියා කවුද...

ඔය දළදා මාලිගාවේ ඇතා ...

අයිසේ රෝලන්ඩ් මම ඒරන්....

තමුසෙ රෝලන්ඩ්.... එතකොට අලියා ...කවුද...

ආ ...ආ...රාජා ...රාජා...

රොලන්ඩ් සහ ඒරන් මහත්වරුන්ගේ සංවාදය අසා සිටි අයගෙන් ⁣පැවතෙන කතාව ගැළපුවේ හුදෙක්ම ඔවුන්ගේ කැපවීම හා පත්තර සුන්දර කතා පළකිරීමටම මිස අගෞරවයක් කිරීමට නොවේ.

අද ජුනි 13 සෙනසුරාදාය ...

පසුගිය කාලයේ සිටි සුන්දර, අන් අයට උපකාර කල දුක සැප බෙදාගත්, හාල් ටික පොල් ගෙඩිය බෙදාගෙන.

කොටින්ම ලුණු පොල්කට්ට පවා බෙදාගෙන කාපු අපේ මිනිසුන් දැන් ටික ටික අසුන්දර වෙමින් වෙමින් පවතියි...

දැන් දැන් නැවත බෙදීම් ඇති කරගෙන...

කේලම් කියන්නො සහ අහන්නො වැඩ පටන් අරන්

⁣රට පටලන්නම් ගිනිගෙඩි දෙන්නම් කට්ටිය වැඩ පටන් අරන්....

තව ලකුණු දාගන්න අය

තනතුරුවලට කුලල් කාගන්න අය..

සතුන් මරාගෙන කන අය.....

වාහන අනතුරු ...

වාහන තදබදය....

හොරු, මංකොල්ල..

කොටින්ම පසුගිය කාලේ පරිසරයේ පිරිසුදුව තිබූ වාතාශ්‍රයක් වෙනස් වෙලා.....

 

අහෝ කොරෝනා ඔබ පිරිසුදු කළ මිනිසුන්ගෙ හිත් ආයෙත් අපිරිසුදු වේගෙන එනවද කොහෙද......

අද ජූනි 14 ඉරිදාය .....

ඉස්සර ආසාවෙන් බලපු බයිස්කෝප්වල ගීතවලට කොච්චර ඇලුම් කලාද කියනව නම් අදත් මුල් වචන ටික හරි මතකයි....

ඉස්සර බලපු අමල්බිසෝ බයිස්කෝප් මේ ගීතය තුන්දෙ⁣නෙක් ගායනා කළා මතකේ හැටියට එච්.ආර් ජෝතිපාලයන්, වික්ටර් රත්නායකයන්, අබේවර්ධන බාලසූරින් යන රචනාව අපේ කාලයේ අප ආයතනයේ සිටි සුන්දර පුවත් කලාවේදියානෝ ධර්මසිරි ගමගේ මහතාගේ

 

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ

සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලීවෝ

අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ

සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ

 

උපාධි පට්ටම ගහන්න ඉස්සර ඒ කාලේ

පීඩිත පංතිය අපේ පංතියයි ඒ කාලේ

සමාජවාදය අපේ පාඩමයි ඒ කාලේ

විප්ලවවාදේ ගුරුවරු අපිමයි ඒ කාලේ

 

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ...

 

උපාධි පට්ටම ගහගත්තට පසු මේ කාලේ

සීතල වීදුරු කාමරයක් ඕනෑ රාලේ

ලොකු රස්සාවයි ජපන් කාරෙකයි මේ කාලේ

බඩ රස්සාවයි හිතන්න ඕනෑ දැන් කාලේ

 

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ....

තනුවේ අයිතිකරු සරත් දසනායකයන්

අද ජූනි 15 සඳුදාය .....

මේ දවස්වල මාර වැඩක්නෙ කොරෝනාවලටත් වැඩිය වෙන දේවල්වලින් මිනිස්සු මැරෙනවා ..

අපේ ගෙවල් ළඟ ඔපාදුප ඇන්ටි එළවළු ගන්න ගමන් තව අසන්නියකගේ කනට වක්කලා ...

අනික දැන් බලන්නකො ඉස්සෙල්ලා යාළුවුණ කොල්ලගෙන් උදවු අරගෙන පස්සෙ යාළුවුණු කොල්ල ලව්ව පරණ ⁣කොල්ලව මරවනවා...

ඔපාදුප ඇන්ටි දැන් මුහුණු පොතේ නිවුස් වගේ ඇත්ත නැත්ත හොයන් නැතුව ඇරල දානව.....

එත් ඒ කතාවෙන් පස්සේ මතක්වුණේ තිලාව දාලාගිය පෙම්වතියො කොච්චර අවංකද ඒක කොල්ලෙක්වත් රවලවත් බලල නැ...

බැරිවෙලාවත් මරන්න හැදුවානම් කීදෙනෙක්ගෙන් මාරන්තික තුවාල සිදු වෙයිද...

අද ජූනි 16 අඟහරුවාදාය ........

අද මාස කිහිපයකින් බස් එකකින් ආයතනය කරා ආවා... කොන්දොස්තරගෙ සුපුරුදු සද්දෙ හා රියදුරාගේ වෙට්ටු - හෝන් සද්දෙ නැතිව හරි අවුලෙන් හිටියෙ...

ඒවගෙම

සුපුරුදු ඉතිරි රුපියල් ඔහුන්ගේ දියුණුවට බැර කිරීමට සිදුවුණා..

මුඛ අවරණය හා මීටරයක් දුරින් නිසා කවුළුවක් අයිනෙ වාඩි වුණා ටික දුරක් එද්දි ලස්සන ගැහැනු ළමයෙක් තිලා ලඟ වාඩිවුණා.

සඳ මුවා වෙලා වැහිවලාවකින් වගෙ මුඛ ආවරණය අස්සෙන් මූණ දැක්කෙ..

මීටරය අඟල⁣ට ළඟ වුවත් වෙන තැනකට යන්න කියන්නත් බෑ...

හිත රිදුණොත් - බිඳුණොත් කොරෝන හැදුනට වැඩිය එහා.....තිලා අසරණ වෙන තැන්...