අර්නස්ට් පෝරුතොට  ගරු පියතුමන්ගේ   අවසන් කටයුතු අද

ජුනි 18, 2020

ශ්‍රී ලාංකේය සිනමාව වෙනුවෙන් අනුපමේය සේවාවක් ඉටුකළ අර්නස්ට් පෝරුතොට ගරු පියතුමාණෝ පසුගිය අඟහරුවාදා ස්වර්ගස්ථ වූහ. ඒ වන විට උන්වහන්සේ 89 හැවිරිදි වියේ පසුවූහ. 1931 වසරේ අගෝස්තු මස 31 වැනි දින මාරවිල දී උපන් එතුමාණෝ පළමුව මාරවිල රෝමානු කතෝලික පාසැලෙන් ද පසුව බොරැල්ල සාන්ත ඇලෝසියස් කනිටු දෙව්සත්හලෙන් ද සාන්ත බර්නාඩ් පූජක දෙව්සත්හලටද ඇතුළුව අධ්‍යාපනය හැදෑරූහ. මහනුවර අම්පිටියේ ලංකා අප ස්වාමි දුවගේ ජාතික දෙව්සත්හලෙන් උන්වහන්සේ පූජක වරය ලැබූහ. පෝරුතොටගේ රේමන්ඩ් අර්නස්ට් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු යන දීර්ඝ නාමය වෙනුවට අර්නස්ට් පෝරුතොට යන නාමය භාවිත කරන්නට එතුමන් ආරම්භ කරන ලද්දේ එසමයේය.

මුල පටන්ම දේශීය කලාවන් පිළිබඳ අවබෝධයෙන් හා ගරුත්වයෙන් කටයුතු කළ පෝරුතොට පියතුමාණෝ සම්ප්‍රදායික කතෝලික පූජකවරයකුට වඩා වෙනස් විප්ලවවාදියකු වූහ. සිනමාව පිළිබඳ එතුමන්ගේ ඇල්ම ළමාවියේ සිටම පැවතියකි. පසුකලෙක ජාතික කතෝලික සිනමා පර්ෂදය පිහිටුවාලීමේ දී එහි අධ්‍යක්ෂධුරයට පත් එතුමාණෝ සිනමා විචාරකයකු ලෙස අභීතව කටයුතු කළෝය. සරසවිය සම්මාන විනිශ්චය මණ්ඩලයේ ද කිහිපවරක්ම එතුමාණෝ සාමාජිකත්වය දැරූ අතර සිනමා සාහිත්‍ය උදෙසා කළ මෙහෙවර වෙනුවෙන් සරසවිය රණපාල බෝධිනාගොඩ සාහිත්‍යය සම්මානයෙන් ද පිදුම් ලදහ.

එතුමන් පිළිබඳ විශේෂ ලිපියක් පසුගිය අප්‍රේල් මස 30 වැනි දින සරසවිය පුවත්පතේ පළවිය. http://epaper.sarasaviya.lk  ඔස්සේ එතුමන්ට බුහුමන් පිණිස පළ කරන ලද ලිපිය කියැවිය හැකිය. පියතුමන්ගේ අවසන් කටයුතු අද සවස 2.00ට කටුකුරුන්ද ශාන්ත පිලිප් මේරි දේවස්ථානයේ සිදුකෙරේ.