ගීතයේ අයිතියට

සංගීත අධ්‍යක්ෂවරු එක්වෙති
අගෝස්තු 22, 2019

 

ලාංකේය ගීත ක්ෂේත්‍රය මුහුණ දී ඇති අර්බුදකාරී වාතාවරණය පිළිබඳ සැලකිල්ලට ගනිමින් එහි ඉදිරි සුරක්ෂිතාවය වෙනුවෙන් කටයුතු කිරීමට ලාංකේය සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සංගමය පසුගියදා තීරණය කළේය. ගීතයක බුද්ධිමය දේපළ අයිතිය පිළිබඳ දැඩි කථිකාවක් ආරම්භ වී තිබුණ ද ඒ වෙනුවෙන් නීත්‍යනුකූල අයිතිය ගී පද රචකයා සහ තනු නිර්මාණ ශිල්පියා වෙත වැඩි බලයක් පැවරී තිබුණ ද අත්තනෝමතික ලෙස සිදුවන ගීත විකෘති කිරීම් වෙනත් අයවලුන් ලවා ගායනා කිරීම් හා කර්තෘ භාග නොගෙවීම් මඟින් අද මේ මොහොත වනතුරුත් ඒ සඳහා අසාධාරණ ක්‍රියා පටිපාටියක් අනුගමනය වෙමින් පවතී. එබැවින් මෙම තත්ත්වයන් නිවැරදි මාවතකට යොමු කරවමින් ගීතයේ බුද්ධිමය දේපළ අයිතිය නියමිත පරිදි ප්‍රදානය කරවනු වස් මින් ඉදිරියට ඒ සඳහා මැදිහත්ව කටයුතු කරන්නට ලාංකේය සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සංගමය තීරණය කර ඇත.

පසුගියදා කොළඹ සුදර්ශී ආයතනයේ පැවතී මාධ්‍ය සාකච්ඡාවකදී ඔවුහු මේ බව ප්‍රකාශ කළහ. මෙම අවස්ථාවට ලාංකේය සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ ප්‍රධාන උපදේශක ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රවීණ සංගීතඥ සරත් ද අල්විස්, සමන්ත පෙරේරා, සුසිල් අමරසිංහ, මහින්ද බණඩාර, අර්නස්ට් සොයිසා ඇතුළු පිරිසක් එක්වී සිටියහ. ගීතයක අයිතිය පිළිබඳ හා කර්තෘ භාග පිරිනැමීම පිළිබඳ දීර්ඝ අදහස් දැක්වීමකට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෝලිත භානු දිසානායක, ආචාර්ය රෝහණ වීරසිංහ, ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ ඇතුළු පිරිසක් එක් වූ අතර සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ඇතුළු සංගීත අධ්‍යක්ෂවරුන් රැසක් මෙම අවස්ථාවට එක්විණි.

දේශීය සිනමාවට හැටේ දශකයේදී පෑයූ රන් තාරකාව සන්ධ්‍යා කුමාරිගේ ජීවිත කතාව අළලා ලියැවුණු සිනමාවේ නොමියෙන දෑස ග්‍රන්ථය දොරට වැඩීම මෙම මස 23 වැනි සිකුරාදා සවස ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සිදු වේ. ප්‍රකට සිනමා ලේඛකයකු වූ සුනිල් ලීනස් මෙහි කර්තෘවරයාය. ග්‍රන්ථය සිලෝන් සිනමා එන්ටර්ටේන්මන්ට් ආයතනයේ ප්‍රකාශනයකි. සිරිසේන විමලවීරයන්ගේ රොඩී කෙල්ල නාට්‍යයේ රඟපාමින් කලා ලොවට පිවිසි සන්ධ්‍යා සිනමා නිළියක බවට පත් වූයේ සැපත සොයා චිත්‍රපටයෙනි. අනතුරුව සිතක මහිම, ධීවරයෝ, සුජාගේ රහස, අල්ලපු ගෙදර, සත පනහ, සැනසුම කොතැනද ආදී චිත්‍රපට රැසක චරිත මැව්වාය. සන්ධ්‍යා රඟපෑ චිත්‍රපට බොහොමයක් බොක්ස් ඔෆීස් වාර්තා තැබීම ද විශේෂත්වයකි. ජයසූරිය ආරච්චිගේ මේරි “ඉවෝන් පෙරේරා” සන්ධ්‍යා කුමාරි බවට නම් කළේ සිරිසේන විමලවීරයන් විසිනි. ඒ සන්ධ්‍යාවක ඇය හමු වූ නිසාය. සන්ධ්‍යා 1994 වසරේදී අකාලයේ ජීවිත රඟමඬලින් සමුගත් අතර සිනමාවේ නොමියෙන දෑස ග්‍රන්ථය සම්පාදනය වූයේ ඇගේ විසිපස් වැනි ගුණඅනුස්මරණය කේන්ද්‍ර කර ගනිමිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.