අපේ තුන් දෙනෙක් ගැන කතා තුනක්

ජුනි 6, 2019

හැමදාම මේ ඉඩකඩෙහි ලියන්නේ ජනප්‍රිය පුද්ගලයන් ගැනනෙ. මේ පාර එහෙම නොවී අපේම ක්ෂේත්‍රයේ තිදෙනකු ගැන ලියන්න හිතුණා. අපේම ක්ෂේත්‍රයේ කිව්වේ පුවත්පත් කලාවේ. මේ අය රූපෙන් නොවුණත් නමින් ඔබ දන්න හඳුනන අය. බලන්නකෝ මේ අයට වෙච්ච දේවල්.

ප්‍රියන්ත කොඩිප්පිලි හොඳ කවියෙක්. ඒ වගේම විචාරකයෙක්. මිනිහගේ විචාර බොහොම සැරයි. සමහරුන්ට නම් ඒවා දිරවන්නෙම නැහැ. ඔන්න දවසක් කොඩිප්පිලි ලිව්වා විචාරයක් චිත්‍රපටයක් ගැන. ඒක දරාගන්න බැරි වුණා ඒකේ අධ්‍යක්ෂවරයාට. ඔහු කළේ දෙන්නම් බැටේ කියලා ඔහුගේ ඊළඟ ෆිල්ම් එකේ දර්ශනයක් වෙන් කළා කොඩිප්පිලිට ප්‍රතිප්‍රහාර දක්වන්න. ළඟම මිත්‍රයෙක් ඇහැව්වා මචං උඹේ නම අහවල් ෆිල්ම් එකේ තියෙනවා නේද, උඹට ගහලා නේද තියෙන්නේ ඒකෙන් කියලා. කොඩි හිනාවෙලා කිව්වා මෙහෙම.

මචං මගේ කිසිම අවුලක් නෑ ඒකට. බලපං ඌ මං වෙනුවෙන් යුනිට් එකක් බුක් කරගෙන ආර්ටිස්ලට ගෙවාගෙන සැලකිය යුතු කොස්ට් එකක් යන්නත් ඇතිනෙ ඔය සීන් එක ෂූට් කරන්න. මං වෙනුවෙන් එහෙම කරන්න උන්ට මාව කොච්චර වටිනවද මචං. ඒ කොස්ට් එක ෆිල්ම් එකටම යොදවලා ඒක තවත් ලස්සන කරගන්න තිබුණනෙ.

රමේෂ් උවයිස් මාධ්‍යවේදියකු පමණක්ම නෙවෙයි. ඔහු ගායකයකු හැටියට ද ක්ෂේත්‍රයේ කැපී පේනවා. ඔහුට බෙනට් රත්නායකගේ අලුත් චිත්‍රපටයේ චරිතයකට ඇරැයුම් ලැබිලා. මීට ප්‍රථම රංගනයේ යෙදුණත් බෙනට්ගේ මේ ෆිල්ම් එකේ රමේෂ් කැපී පෙනෙන චරිතයක් කරනවලු. බලමුකො ඔහුගේ රංගනය කොහොම වේවි ද කියලා.

අසංක දේවමිත්‍ර පෙරේරා කලක් සරසවිය පවුලේ විශිෂ්ටම සාමාජිකයෙකි. ගායකයෙක් වගේම නළුවකු ලෙස ද ඔබට ඔහු සමීපයි. ඔන්න මේ අසංකට ඇරැයුම් ලැබුණා ජැක්සන් අන්තනිගේ නවතම චිත්‍රපටයේ මාධ්‍ය හමුවට. එහි කටයුතු හමාර වෙලා එයට සහභාගී වෙලා අසංක ගෙදර යන්න හිතාගෙන නැංගා කොටුවේ ස්්ටේෂන් එකෙන් දුම්රියකට.

ඔහු බහින්නේ වේයන්ගොඩ ස්්ටේෂන් එකෙන්. මගදි ටිකක් අසංකගෙ ඇහැ පිය වුණා. ඒ වෙලාවේ හැටියට නිදිමත එන එක සාධාරණයි. ඉතින් මෙහෙම සුවසේ නිදා ගත් අසංකට ඇහැරිලා තියෙන්නේ වේයන්ගොඩින් ස්ටේෂන් හයකට එහා තියෙන ස්ටේෂන් එකේදි. හත් ඉලව්වයි කියලා කෝච්චියෙන් බැහැපු අසංක ආපහු එන්න ක්‍රමයක් බැලුවලු. තව බොහෝ වෙලාවකට එන්න කෝච්චියකුත් නැහැ.

පාරට බැහැපු අසංකට වැලි ලෙරියක් හම්බ වුණාලු. ඒකේ රියදුරු මහතාට වෙච්ච අකරතැබ්බය කිව්වාම මිනිහා අසංකව වේයන්ගොඩ කිට්ටුවෙන් දාන්න පොරොන්දු වෙලා. ඉස්සරහ ඉඩ නැති නිසා පිටි පස්සෙන් නගින්න කිව්වලු. ඇඟපත පුරා වැලිත් නාගෙන අසංක ගෙදර එද්දි පාන්දර වෙලා. අසංකගේ නෝනට හරිම ප්‍රශ්නයක්ලු මාධ්‍ය හමුවකට ගිය මිනිහා වැලිපිටින් ගෙදර ආවෙ කොහොමද කියලා. 

Add new comment