නවදිල්ලි අන්තර්ජාතික නර්තන උලෙළේ නෘත්‍යාංගනා සම්මානය

වෛද්‍ය උදුම්බරා සෙව්වන්දිට
ජුනි 6, 2019

 නවදිල්ලි අන්තර්ජාතික නර්තන උලෙළේ හොඳම නර්තන ශිල්පිනියට හිමි නෘත්‍යාංගනා සම්මානය දිනා ගැනීමට නර්තන විශාරද, වෛද්‍ය උදුම්බරා සෙව්වන්දි සමත් විය.

නර්තන විශාරද උපාධිය ලද මෙරට පළමු වෛද්‍යවරිය වන උදුම්බරා සෙව්වන්දි 2012 වසරේදී රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධියත්, ඉන්දියාවේ භාත්ඛණ්ඩ සංගීත විද්‍යා පීඨයෙන් භරත නාට්‍යම් නර්තනය පිළිබඳව විශාරද උපාධියත් හිමි කර ගත්තාය. 2013 වසරේදී ශ්‍රී ලංකා ජාතික රෝහලෙන් වෛද්‍යවරියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය අනතුරුව රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ ළමා හදවත් රෝග ඒකකයේ සේවය කළාය.

ප්‍රවීණ නර්තනවේදිනි ආචාර්ය මිරැන්ඩා හේමලතා මහත්මිය යටතේ භරත නාට්‍යම් හදාරා ඇති වෛද්‍ය උදුම්බරා සෙව්වන්දි මීට පෙර කරාපිටිය රෝහලට යාබදව ‘අතරමැදි නිවහන’ නම් පිළිකා රෝහල ගොඩනැංවීමට ආධාර පිණිස “ඉඳුවර නූපුර” නර්තන දැහැන ගෙන ආ අතර සධානා රණතුංග සමඟ එක්ව ළමා හදවත් රෝගී දරුවන් වෙනුවෙන් වූ අරමුදල සඳහා “නර්තන සෙව්වන්දි” නමින් නර්තන ප්‍රසංගයක් ද ඉදිරිපත් කළාය. වෛද්‍ය උදුම්බරා සෙව්වන්දි මේ වන විට ඇල්පිටිය මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ සේවය කරන්නීය

Add new comment