ශිරානිගේ ධ්‍යාන 2 - සිතුවම් දැක්ම

අද සිට ලයනල් වෙන්ඩ්ට්හිදී
මැයි 23, 2019

ශිරානි නානායක්කාරගේ සිතුවම් ප්‍රදර්ශනය ධ්‍යාන - 2 මැයි 23 වැනිදා පස්වරු 4.00ට ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ආරම්භ කිරීමට නියමිතය. අද සිට 26 වැනිදා තෙක් පැවැත්වෙන චිත්‍ර ප්‍රදර්ශනයට සමගාමීව ඇය විසින් රචිත දිය සායම් - වර්ණයේ රිද්මය කෘතියද එළි දැක්වීමට කටයුතු යොදා ඇත.

'දැනෙන දසුනට නවාතැන්පොළ' තේමාව යටතේ පැවැත්වෙන ධ්‍යාන 2 - සිතුවම් දැක්මට ශිරානි විසින් සිතුවම් කළ දිය සායම් චිත්‍ර, තෙල් සායම් චිත්‍ර, ඇක්‍රලික් චිත්‍ර හා අලේඛ්‍ය චිත්‍ර ඇතුළත් කර ඇත. ඇය විසින් දුටු සුන්දර දසුන් සිතුවමට නඟා මෙම සිතුවම් දැක්මේදී ඉදිරිපත් කෙරේ.

හක් බෙල්ලාවක කණිෂ්ට විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයෙන් විද්‍යා - ගණිත අංශයෙන් අධ්‍යාපනය ලද ශිරානි ජාතික රූපවාහිනියේ වසර 35ක සේවයෙන් පසු විශ්‍රාම දිවියට පිවිසියේ, ජාතික රූපවාහිනි මාධ්‍ය රූප හා සජීවිකරණ ඒකකයේ ප්‍රධානි ලෙසිනි. රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේදී ද්විමාන සජීවිකරණය වෙනුවෙන් පිරිනැමුණු මුල්ම සම්මානයෙන් ද ශිරානි පිදුම් ලැබුවාය.

ධ්‍යාන පළමු සිතුවම් දැක්වීමේදී ප්‍රේක්ෂක ඉල්ලීම මත ශිරානි විසින් ධ්‍යාන නමින් චිත්‍ර කලා පන්තියක් ආරම්භ කර ඇති අතර චිත්‍ර කලාවට ලැදි වූවන් වෙනුවෙන් වයස් භේදයකින් තොරව එහිදී ඇය චිත්‍ර කලාව උගන්වන්නීය.

ඇය විසින් සම්පාදිත දිය සායම් - වර්ණයේ රිද්මය කෘතිය චිත්‍ර කලාව කෙරෙහි උනන්දුවක් දක්වන සහ ඉගෙනීමට බලාපොරොත්තුවෙන් සිටින අයහට වැදගත් වන සේ දිය සායම් චිත්‍ර කලාව පිළිබඳ තමන් ලද අත්දැකීම් ඇසුරින් උදාහරණ සහිතව රචනාකොට තිබේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.