යමුනා මාලිනීගේ ධනිය නොගැයූ ගීය

මාර්තු 18, 2021

ප්‍රවීණ ගීත රචිකාවක් මෙන්ම ලේඛිකාවක් වන යමුනා මාලනී පෙරේරාගේ නවතම කාව්‍ය නිර්මාණය ධනිය නොගැයූ ගීය පසුගිය දා එළි දැක්විණි. කාව්‍ය නිර්මාණ හැත්තෑ තුනකින් සමන්විත මේ කෘතිය ඇගේ පහළොස්වැනි කාව්‍ය ග්‍රන්ථයයි. නවකතා දහ අටක්, කෙටි කතා හයක් සහ ළමා සාහිත්‍ය කෘති හතරක් ඇතුළු ගීත විශාල සංඛ්‍යාවක් රචනා කර ඇති යමුනා මාලිනීගේ මේ කෘතිය සරසවි ප්‍රකාශනයකි. සඳැස් නිසඳැස් ආකෘතිවලින් මෙන්ම ගීපදවැල් ආකාර ගත් නිර්මාණ අතර රිසානාගේ අවසාන කවිය, මුකවාඩම් වකවානුව, වසංගතය වැනි තත් කාලීන සමාජ කරුණු පිළිබඳ කිවිඳීයගේ දෘෂ්ටිය විදහා දැක්වෙන නිර්මාණ ද වේ.

තදින් මා හිස සිඳීන මොහොතේදී ඉඳුරාම 
වැටෙන ‘ලේ සලකුණත්‘ 
සනකුණක් කර ගන්න 
නමින් අල්ලා දෙවිඳු නොඑන් 
වහළියො වෙන්ට 
උතුම් ලක් අම්මාට නිගරු කර 
පව් ගන්ට...!

මේ ඇය රිසානාගේ අවසාන කවිය අවසන් කරන ආකාරයයි. 

වැටුපක් නොලබා කාන්තාවක් නිවෙසට සමාජයට කරන සේවය පිළිබඳ ඇය වරෙක කතරගම දෙවිඳුන්ට යදින්නේ මෙසේය

දෑත් මදිය ඔවුනට වැඩ කරගන්ට- ඔබ අත් දුන්නොතින් බෝමයි ඒ පිහිට - සැක නැත ජාති ජාතිත් පිං අත්වෙන්ට- ඒ පින ඇතිය දෙවිඳුට මතු බුදු වන්ට...!

කාන්තාවක් ලෙස කාන්තාවන් පිළිබඳ පිරිමින්ගේ, වෙසෙසින්ම බමුණු මත දරන්නන්ගේ දෘෂ්ටිය විමසන කිවිඳීය කිම නමින් ඒ කව නම් කොට ඇත.

කතකගෙ පතිවන ගැන කැත කතා ලියූ පෙර පඬි දන..අටවාලූ දහසක් මත හැබෑ පඬින් අද විමසන.. ගැහැනුන්ගෙන් මේ තරමට බැට කෑ දැයි පෙර පඬි දන... කැත පිරිමියෙකුගෙ හිත තුළ පතිනිවතක තතු නැත දැන!

අද මුළු ලොවම පෙළා ලන කොරෝනා වසංගතය පිළිබඳ ඇය කාව්‍යමය ඇසින් පවසන්නේ විද්‍යාත්මක කරුණකි.

හොඳට සහ නරකටම දෙකට කට වෙන හින්ද

වැරදියට යොදාගත් හින්දාද අනෙ මන්ද

ලෝකෙ කටවල් වලට මුකවාඩමුත් බැන්ද

නොපෙනෙනා හතුරෙකුගෙ බල බොලව් බලපන්න...!

සොබාදහම, කාන්තාව සහ පිරිමියා, හුදෙකලාව, දේව භක්තිය මෙන්ම සමාජයේ අපට අසන්නට දකින්නට ලැබෙන විවිධ මාතෘකා ඔස්සේ ඇගේ කව් නිර්මාණ දැඩි විවේචනයක්ද සහිත අයුරින් ඉදිරිපත් කරන මේ කාව්‍ය සංග්‍රහය ඇය පුද කර ඇත්තේ මීට දහහත් වසරකට පෙර වියෝ වූ ප්‍රිය ස්වාමි පුරුෂයා වන සේනක පෙරේරා නමටය.