මුදු තෙපුලිනී මාවෙත ගෙනා දියණී ඔබයි මා සනසනා

විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමීර ජානක රණසිංහ
මාර්තු 11, 2021

 

"දියණී ඔබයි මා සනසනා"

පි - නිරතුරු මගේ ගත දැවටෙනා

මුව හසරැලී නිති නංවනා

ගැ- මුදු තෙපුලිනී මාවෙත ගෙනා

දියණී ඔබයි මා සනසනා

පි/ ගැ - මා සනසනා

 

ගැ - ඉපදුනු දිනේ ඔබ මා ලෙයින්

මව් පදවියෙන් යළි ඉපදුනි මා

පි - (සියුමැලි දෙනෙත් ලා රත් දෙතොල්

මගෙ හද පිරේ පිය සෙනෙහසින්//)

 

පි-නිරතුරු මගේ ගත දැවටෙනා

ගැ- මුව හසරැලී නිති නංවනා

ගැ- මුදු තෙපුලිනී මාවෙත ගෙනා

පි/ගැ-දියණී ඔබයි මා සනසනා

මා සනසනා

 

ගැ - මතු යම් දිනේ ඔබ ලොව දිනයි

හිනැහෙමි හදින් ඈතින් හිද මා

 

පි - වියපත් වුණත් දුබලව ගියත්

පිය පදවියෙන් නිති සැනසෙමී//)

 

පි - නිරතුරු මගේ ගත දැවටෙනා

මුව හසරැලී නිති නංවනා

ගැ- මුදු තෙපුලිනී මාවෙත ගෙනා

දියණී ඔබයි මා සනසනා

පි/ගැ - දියණී ඔබයි මා සනසනා

 

1994 වර්ෂයේදී උසස්පෙළ විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම පස්වැනි ස්ථානය හිමිකරගත් ඔහු, සිය මාමණ්ඩිය වන එවකට සුබසෙත කර්තෘ පියසේන රතුවිතානයන්ගේ ඇසුරෙන් තම ලේඛණ හැකියාව ඔප්නංවා ගනී. විදුසර, දිවයින, වත්මන පුවත්පත්වලට නිදහස් මාධ්‍යවේදීයෙකු ලෙසින් සම්බන්ධ වන ඔහු, 2003 වසරේදී කුලුඳුල් නිර්මාණය වන, ලෝ ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ කතා රචක අයිසෙක් ඇසිමෝගේ ප්‍රබන්ධ එකතුවක් සිංහලයට පරිවර්තනය කරමින් 'මතුයම් දවසක ' ලෙසින් ප්‍රකාශයට පත් කරයි. ඒ වන විටත් කණිෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන ඔහු 2006 වසරේදී සිය දෙවැනි කෘතිය 'යොවුන් කතාවක්' නම් පරිවර්තනය කරයි. විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයෙකු ලෙසින් සිය වෘත්තිය ඉටු කරන ඔහු තමා තුළ සිටින රචකයා අවදි කරමින් විවිධ පැතිකඩයන් ඔස්සේ නිර්මාණකරණයේ යෙදේ. නමින් සමීර ජානක ජයසිංහ වන ඔහුගේ නවතම නිර්මාණ පිළිබඳ සරසවිය අප කළ පිළිසඳරකි මේ

 

කොරෝනා කාලේ ඔබ නිර්මාණකරණය වෙනුවෙන් යොදවලා?

නැවතිලා හිතන්න වෙලාවක් නැතුව හැල්මේ දුවපු අපිට කොරෝනා නිසා මඳ විරාමයක් ලැබුණා. නැවතිලා හිතන්න වාතාවරණයක් උදාවුණා.එය මට නම් වෙස් වළාගෙන ආ ආශීර්වාදයක් වගේ. එයින් ප්‍රයෝජන ගන්නට මා සිතුවා. ඒ කාලය තුළ මට මාගේ අලුත්ම කෘතිය හා ගීතය එළිදක්වන්න හැකි වුණා. මාගේ වෛද්‍ය දිවියේ අත්දැකීම් කොරෝනා එක්ක මුසු වෙලා ' ආදරණීය කොරෝනා' නම් කෙටිකතා එකතුව ලියවුණා.

 

'දියණිය ඔබයි මා සනසනා...' ගීතය නිර්මාණය වෙන්නේ කොහොමද?

මෙය මගේ කුලුඳුල් ගීත නිර්මාණය. මේ පදවැල ලියවෙන්නෙ අහම්බෙන්. දිනක් මම රාත්‍රි ප්‍රවෘත්ති නරඹමින් සිටි වෙලාවක මගේ සිතට වචන සමූහයක් මේ. මේ ගීතය මම ලියන්නෙත් පත්තර කොලේක (සිනාසෙමින්) මට ඉන්නේ දියණියන් දෙදෙනෙක්. ඔවුන් වෙනුවෙන් තමයි මේ ගීතය මා ලියන්නේ.

ඉන්පසු මා ඉගෙනගත් රාජකීය විද්‍යාලයේ මාගේ පාසල් සගයෙකු වන විකලාංග ශෛල්‍ය වෛද්‍ය දේවක රත්නපාල එක්ක මම මේ පිළිබඳ කතා කරනවා. මොකද ඔහු වෛද්‍යවරයෙක් වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඔහු මට යෝජනා කළා තාත්තා පමණක් ගයන මේ ගීයට අම්මත් හවුල් කරගමු කියලා. ඒ විදිහට ගීතය වෙනස් කළා. බොහොම අතළොස්සයි තියෙන්නේ අම්මායි තාත්තයි දෙන්නම දරුවන්ට කියන ගීත. ඕනෑම කෙනෙකුට එය හදවතේ තැන්පත් වෙනවා.

ගීතයට තනු නිර්මාණය හා සංගීතය ඔහු එකතු කරද්දී මේ ගීය ගයන්නට අපේ රටේ ප්‍රවීණ ගායක දෙපළක් වන ටී. එම්. ජයරත්න හා නෙළු අධිකාරී සම්බන්ධ වුණා. අපි ආධුනිකයි. ඒ අය ප්‍රවීණයි කියලා නෑ. ඉතාම නිරහංකාරව ගීතයටත්, රූප රචනාවටත් සම්බන්ධ වුණා.

ජීවීත කාලයක් පුරා පපු කුහරයේ සඟවාගෙන සිට, මාස කීපයක් තිස්සේ වෙහෙස මහන්සි වී, පසුගිය දවසක දෝරේ ගලා ගිය මව් පිය සෙනෙහසේ සොඳුරුම නැළවිල්ල එලෙසයි මා මෙය හඳුන්වන්නට කැමති.

 

ගීතය රසිකයාට සමීප කරන්නේ රූපරචනාවක් එක්කයි. එහි ඔබත් ඔබේ දියණියන් දෙදෙනත් රංගනයෙන් දායක වෙනවා. මේ අත්දැකීම ගැනත් ඔබට කියන්න යමක් ඇති?

මෙහි රූප රචනාව මගේ. ප්‍රථම වතාවටයි මා නිර්මාණයකට රංගනයෙන් දායක වන්නේ. ඒ තරමටම ඒ ගීතය මට දැණුනා. අද්දැකීම් සපිරි නිළි මංජුලා කුමාරි සහා මගේ දියණියන් දෙදෙනා වන අමන්දා හා විහංගා මෙන්ම මගේ දියණියන්ට සේම මා ආදරය කරන විනුජි සහා අයාරාද මෙහි රංගනයෙන් දායක වෙනවා. අසංග කරුණාරත්න හා උදිත මංගල රූප රචනාව වෙනුවෙන් කාර්මික සහය ලබාදුන්නා.

මේ ගීතය නිසා මම පදරචකයෙක් පමණක් නොවේ. නළුවෙක්, රූප රචකයෙකුත් වෙන්න සිදු වුණා.

 

ඔබ වෛද්‍යවරයෙක්. කලාව හා සම්බන්ධවීම ඔබට දැනෙන්නේ කොහොමද?

මම වෛද්‍යවරයෙක් වෙන්න කලින් කලාව සමඟ වැඩ කළ නිසා මිනිසුන්ගේ හදගැස්ම තේරුම් ගැනීමට වෛද්‍යවරයෙක් වෙන්න කලින්ම මට පුළුවන් වුණා. සමාජයේ මිනිසුන් එක්ක ගැවසිලා, නිදහස් මාධ්‍යවේදීයෙක් විදිහට ලංකාව වටේම මම ගියා. ඒ අත්දැකීම් මට මාගේ වෘත්තීය ගොඩනඟා ගන්නට මෙන්ම මිනිසෙකු ලෙස නැඟී සිටින්නට ඉවහල් වුණා. වෛද්‍යවරයෙකු ලෙසින් බෙහෙත් දීම, සර්ජරි කරන එකට වඩා එහාට ගිහින් මිනිසුන්ගේ හදගැස්ම තේරුම්ගන්න හැකි වුණේ කලාව නිසයි.

 

ඔබ තුළ සිටි මාධ්‍යවේදීයාට නැවත් ජීවය ලැබිලා?

ඔව් ඔව් ( සිනා සෙමින්) ලංකාවේ ප්‍රාධාන පෙළේ සති අන්ත පුවත්පතකට මම තීරූ ලිපියක් ලියනවා. එය සමාජ විශ්ලේෂණාත්මක විග්‍රහයක්. ඊට අමතරව මගේ ඔන්ලයින් චරිතාපදානය my online autobiography’ නමින් සෑම ඉරිදාවකම විනාඩි පහක clip එකක් මගේ youtube  නාළිකාව වන dr sameera janaka jayasinghe  වෙත මුදා හරිනවා. මගෙ බලාපොරොත්තුව නුදුරේදීම ඒ සියල්ලේ එකතුවෙන් කෘතියක් නිර්මාණය කරන්න.

 

ඉදිරියේදී ඔබගේ ගීතමය නිර්මාණ තවත් දකින්න හැකි වෙයිද?

ගීත හතරක් ලියලා තියෙනවා. ඒ පද රචනා වලට සංගීතය කරන්නෙත් මගේ මිතුරා දේවක මයි. ඉතින් ඔහුගේ සංගීත මුසුවෙන් ඒ ගීතත් ඉදිරියේදී අහන්න පුළුවන් වෙයි. ඒ ගීත ආදරබර ගීත.

 

ඔබ කාර්යබහුල වෘත්තිකයෙක්. ඔබගේ වෘත්තිය එක්ක මෙවැනි නිර්මාණ කරන්න කාල කළමනාකරණය වගේම පවුලේ සහ අන් අයගේ සහායෝගයත් ලැබිය යුතුමයි?

මගේ බිරිඳගෙන් ඒ සඳහා මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මං මොනවාහරි ලිව්වම මුලින්ම කියවන්නේ ඇය. ඇය තමයි මගේ හොඳම විචාරකයා. ඒ වගේම මගේ සමීපතම යහළුවන්. මාධ්‍ය තුළ වගේම වෛද්‍ය වෘත්තීය තුළත්. මේ සියලු දෙනාගෙන් ලැබෙන සහයෝගය ඉමහත්.

 

අවසාන වශයෙන් ඔබට සමාජයට මොනවද කියන්න තියෙන්නේ?

මම හැමවෙලේම මගේ කණිෂ්ඨ වෛද්‍යවරුන්ට පවා කියන්නේ ජීවීතේට එක දෙයක් තියාගන්න එපා. තමන් කරන දේට සියයට සීයක් කැප වෙන්න. වෛද්‍යවරයෙක් ලෙසින් එයම පමණක් තිබුණොත් දිනෙක එය නැති වුණොත් ඔබට ඔබගේ ජීවිතයත් නැති කර ගන්න හිතේවී. නමුත් තවත් දේකට යොමුවීම තුළ ඔබට දෙයක් නැති වුණත් වැටෙන්නට අවශ්‍ය නෑ. ඔබ තුළ ගොඩනඟා ගත් තවත් යමක් තිබෙන නිසා. සමාන්තරව යන තව දේවල් තියෙනකොට කවදාවත් ජීවීතය කඩා වැටෙන්නේ නෑ