හිතේ තියෙන දේ ලියන්න මගේ මල්ලේ නිතරම කොළයක් පෑනක් තියෙනවා

නලිනි කාංචනා මුණසිංහ
ජනවාරි 21, 2021

මලක් වී මනරම් 
සුවඳ දුන් මට සැබැවින් 
ගඟක් සේ වියැළුණු 
හදට ගෙනදුන් සැනසුම්

මඳ සුළඟක්ව හමනා 
විඩාබර සිත සනසන් 
එපා යන්නට හැර දා 
නුඹයි මගෙ ලොව දෙවිඳුන්

මෙසේ ගැයෙන්නේ ප්‍රවීණ ගායිකා නිර්මලා රණතුංගගේ මියුරු නදින් වුවද එසේ පදවැල් ගෙතෙන්නේ නලිනි කාංචනා මුණසිංහ නම් බැංකු කළමනාකාරිණියගේ අතිනි. ඇය කොටුව, මල්වත්ත පාරේ වැසියන්ගේ පමණක් නොව සතා සීපාවුන්ගේ පවා මිතුරියකි. ඒ කාසි හා නෝට්ටු සමඟ සතේටම කෙරෙන ඉලක්කම් ගනුදෙනුවලදී බොහෝ දෙනකුට අහිමිව යන මානව දයාව, සත්ත්ව කරුණාව, පරිසර ලෝලීත්වය ඇය මුළු හදවතින්ම උසුලා සිටින නිසාය. ඇය ඒ බර දරාගන්නේ නිර්මාණකරණයේ යෙදීමෙනි. එය ඇය කුඩා කල සිටම උරුම කරගන්නේ පවුල් පසුබිමේද දායකත්වයෙනි.

"මම මුලින්ම ගියේ කොළඹ සංඝමිත්තා විද්‍යාලයට. අපේ පහේ පන්තියේ රචනාවලට දක්ෂම ළමයා තෝරන්න තරගයක් තිබ්බත් දෙන්නෙක්ට ආවේ සම ලකුණු. ඉන්පස්සේ කාසියක් උඩ දැම්මා ජයග්‍රාහකයා තෝරන්න. ඒකෙන් දිනුවේ මම."

ඇගේ නිර්මාණාත්මක හැකියාවන් ඉස්මතු වූ අයුරු ඇගේම වචනවලට පෙරළුණේ එසේය. එයට පසුබිම් වූ පවුලේ තොරතුරු ඇය අපට හෙළි කළාය. "මගේ අම්මා (ප්‍රේමා ලියනවඩුගේ), ලොකු අම්මා (ලීලා ලියනවඩුගේ), පුංචි අම්මා (ප්‍රිසිල්ඩා නන්දා ලියනවඩුගේ) වගේම ආච්චිත් කිවිඳීයන්. දේවි බාලිකා විද්‍යාලයේදී අපි ළමයි හැමෝම ශිෂ්‍යත්වයෙන් ගිය අය නිසා මගේ විශේෂ කැපී පෙනීමක් තිබුණේ නැහැ. ඊට පස්සේ වාණිජ විෂයයන් හදාරන්න යොමු වුණාම තවත් ලේඛනයෙන් ඈත් වුණා. බැංකුව‌ට සම්බන්ධ වුණාට පස්සේ කලා කවයට මොනවා හෝ ලීවා විතරයි."

එහෙත් ඇගේ හද තුළ නිරන්තරයෙන් පැවැති නිර්මාණකරණයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේද ජන හද හඳුනන බැංකුවමය. ශ්‍රී ලංකා රේගුව තුළ 2012 වසරේ අභිනවයෙන් පිහිටු වූ එම බැංකු ශාඛා සේවා මධ්‍යස්ථානයේ පළමු කළමනාකාරිණිය වූයේ නලිනි කාංචනාය. ගණන් ඉලක්කම් සහ කාසි නෝට්ටු අතර සිරවුණු ජීවිතයෙන් ඇය ඉසිඹුවක් ලබන්නේ ගීත රචක උපාලි මල්දෙණියගෙන් ලැබුණු සංගත තැටිවලට සවන් දෙමිනි. ඒ එක් මොහොතක ඇය තුළ සැඟව සිටි නිර්මාණකාරිණිය යළි හිස ඔසවන්නට විය. ඒ අතර අප ආයතනයේ තරුණි පුවත්පතේ කර්තෘ ඉඳුනිල් වීරරත්න මඟින් ඇය ආනන්ද වෛද්‍යසේකර හඳුනා ගත්තාය.

"බැංකුවේ කලා කවයට 'දිවාකර තුන් ලෝ සතුන් දුක නිවූ මගේ සම්බුදු රජුන්' වෙසක් භක්ති ගීය ලීවා. එය කෝලිතභානු දිසානායක මහත්මයා තෝරාගත් ගී හයට ඇතුළත් වුණා. රූපවාහිනියෙත් විකාශය වුණා. එය මගේ ජීවිතයේ ලොකු ජයග්‍රහණයක්. ඉන් පස්සේ තමයි මලක් වී මනරම් ගීතය අද වනතුරු ඇහැටවත් නොදුටු ආනන්ද වෛද්‍යසේකර මහත්මයාට ෆැක්ස් කරලා තනුවක් නිර්මාණය කරලා නිර්මලා රණතුංග මහත්මිය ලවා ගායනා කෙරුණේ. එහි සීඩී තැටිය ඇහුවාම මට නිකං ගීත ලිවීමේ පිස්සුවක් වගේ හැදුණා. ඒ නිසා තවත් ගීත කීපයක් ඔහුට යැවුවා. 'නෙත් සහසක්' ගීතය ඔහුම තනු නිර්මාණය කර සංගීතවත් කර ගායනා කළා. පාවෙලා ඇවිත් සිතේ ගීතය අජිත් ආරියරත්න ගායනා කළේ ඔහුගේ තනුවකට."

ඉන්පසු රේගුවේම නිලධාරියකු වූ ලලිත් රණසිංහගේ ඉල්ලීමට අනුව ලියූ ගීත කීපයක් ගම්පහ රුක්ෂන් කරුණානායක තරුණ සංගීතවේදියාගේ තනු නිර්මාණයට ගැයිණ. 'සිතට දැනෙන නුහුරු සුවය'ඉන් එකකි. 'මුදු හදවත' ඇය ලීවේ මුහුණු පොත අරමුණු කරගෙනය.

නිමල් ගුණසේකර ගායනා කරන 'සොඳුර නුඹ ඇවිදින් මුමුනනා විට ආදරෙන්' ගීතයද ඇගේ පබැඳුමකි. නුවනි සොයිසා ගායන, ආචාර්ය රෝහණ වීරසිංහ තනු නිර්මාණය කරන ලද 'සළු පිළි නිමවා ගෙත්තම් කරලා ඔබ හැඩවැඩ කරවයි දනන් සැමා' ගීතය ඇය ලීවේ අපේ රටේ ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැළි කාන්තාවන් පිළිබඳ ධනාත්මක චින්තනය සිත්හි පෙරදැරි කරගෙනය. ඒ දයානන්ද සෙනරත් මහතාගේ උනන්දු කිරීම මතය.

ඒ අතර එච්. එම්. ජයවර්ධන සංගීතවත් කළ ඉන්ද්‍රානි බෝගොඩ ගායනා කරන 'පරෙවි තුඩක ගීතය' ඇය අතින් බිහි විය.

කොරෝනාවට පෙර මල්වත්ත පාරේ ශාඛාවට මාරුවක් ලබන ඇය පුවත් පතක සෙනෙවිරත්න වන්නිනායක පිළිබඳ පළ වූ ලිපියක් කියවීමෙන් පසු ඔහුට ලියූ ගීතය මේ වන විට නිපුනි නයනතාරා සමඟ ගයා යූ ටියුබයේ අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත් වී ඇත.

අප නොමැත අප අසල 
හිත බැඳී ඇති නමුදු 
ඔබ ඇයට අයිති බව 
මා ඔහුට අයිති බව දන්නවා 
ආදරය මේකදැයි සිතෙනවා

අප අපේ නොවුණ මුදු 
සිත බැඳී ඇති අයුරු 
අප දෙදෙන හොඳ හැටිම දන්නවා 
අයිති කර ගැනීමම ආදරය නොවන බව 
මෙතෙක් දුර ආ නිසා දන්නවා

වේදනා දරාගෙන විඳීනවා 
ඔය හිතට ආදරය කරනවා 
අයිතියක් නැති වුණත් 
ආදරය පිරුණු හිත ජීවිතය 
විඳීන හැටි කියනවා

ඇත්ත මම ආදරෙයි 
අයිතිකර ගැනීමක් 
නොවන බව අපි හොඳීන් දන්නවා 
ළං ළංව නොසිටියත් 
හිතපුරා ආදරය 
විඳීන හැටි අපි හොඳට දන්නවා 
ආදරය සොඳුරු බව දන්නවා

"මේ ගීතය හුඟාක් ජනප්‍රිය වුණා. එයට අතදුන් ඉන්ද්‍රසිරි සුරවීර, ගිටාර් වාදක ලක්ෂ්මන් කන්නන්ගර, දිනූෂා සුගතපාල සහ ඉනූෂා වීබැද්දට ස්තූතියි. මගේ ගීත ගැන චයිනා රේඩියෝවෙන් සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා ලලිත් රෝහණ මහත්මයා. ඒත් ඒ සාකච්ඡාවට ප්‍රචාරය වෙද්දි මගේ අම්මා ජීවතුන් අතර සිටියේ නැහැ. ඒ ගැන මට දැඩි වේදනාවක් තිබෙනවා. ඒ අතර පරෙවි තුඩක ගීතය ප්‍රචාරයට උර දුන් වෛද්‍ය ශ්‍රියානි මිහිඳුකුලසූරිය මහත්මියව සහ මලක් වී මනරම් ගීතය ප්‍රචාරයට උරදුන් අප අතරින් වියෝ වූ විපුල ජයසේකර මහත්මයාත් මම ආදරෙන් සිහිපත් කරනවා."

එයින් නොනැවතුණු ඇගේ ගී පබැඳීිම ගැන ඇය මෙසේ කියයි.

"තවත් ගීත රැසක් තිබෙනවා කොලකෑලිවල ලියූ. ඉන් එකක් රොහාන් ද සිල්වා සහ නදීශා විජේසුන්දර දෙපළ ගායනය කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකත් ආදර ගීයක්. අකැමැති විවාහයක සිර වී සිටින ගැහැනියකට පිරිමියකු ආරාධනා කරනවා මිදී එන්න කියලා. මොකද අපි සිටිය යුත්තේ හිත හැදෙන තැනක මිස රිදෙන තැනක නොවන නිසා. ඒත් ගැහැනිය කියනවා. ඒත් මට එන්න බෑ මම හිත රිදෙන තැනක හිරවෙලා කියලා. එය සහ අමිලා නදීෂානිට ලියූ ගීතය ඉදිරියේදී රසිකයන් අතට පත්වේවි. දැනට නවකතාවකුත් ලියමින් ඉන්නවා. කාර්යබහුලත්වය නිසා තරමක් ප්‍රමාදයි."

ඇගේ ජීවිතය ජය ගන්නට උරදුන් අය ඇය සිහිකරන්නේ හදබැතියෙනි.

"මගේ හැමදේටම ශක්තිය වුණේ මගේ අම්මා. ඇය අද මගේ ළඟ නැතත් මට දැනෙන්නේ මා දිහා බලා ඉන්නවා කියලායි. මට තාම අම්මා ගැන ගීතයක් ලියාගන්න බැරි වුණා. ඒ ආදරේට මට වචන මදි. ඒ හැරුණු විට මගේ ස්වාමිපුරුෂයා - නිමල් කරුණාතිලක මගේ නිර්මාණවලට බොහෝ සෙයින් නිදහස ලබා දී උපකාර කරමින් සතුටු වන කෙනෙක්. නවය පන්තියේදී තාත්තා අහිමි වුණාට පස්සේ බැංකුවේ රැකියාව දක්වා වසර විසිගාණක් මම ජීවිතේ බොහෝ දුක්විඳී කෙනෙක්. ඒ දුක්වලින් මාවත් අම්මාවත් මුදවාගෙන තාත්තාගෙන් පස්සේ අපට සතුටක් ගෙනත් දුන් එකම පිරිමි කෙනා මගේ මහත්තයා. ඔහු මට හිමි වීමම මගේ ජීවිතේ ලොකු ජයග්‍රහණයක්. මට උදවු කළ අජිත් ආරියරත්න, සෙනෙවිරත්න වන්නිනායක වැනි අය ඇත්තෙන්ම මුදලට වඩා කලාවට ආදරය කරන කලාකරුවන්. "

කාර්යබහුල ජීවිතයේ ඇය ගීත රචනයට ඉඩක් වෙන්කරගන්නා හැටිද කීවාය.

"මට හිතෙන දේ සටහන් කරගන්න මගේ මල්ලේ නිතරම කොළ කෑල්ලක් පෑනක් තිබෙනවා. තරුණ කාලේ ආදරේ තමයි මගේ ජීවිතේ වෙලා තිබුණේ. ඒ නිසා තාම ලියැවෙන්නේ ආදර ගීත. මම සොබාදහමට බොහොම ලැදි නිසා මේ වචනත් සොබාදහමෙන් මට ලැබුණා කියලායි මම හිතන්නේ.

පසුකාලයක තමයි මට කීවේ මාව බැංකු නිලධාරිණියක් කරන්න අම්මා සිහින මැව්වා කියලා. තරුණ ළමයින්ට තිබිය යුතු පහසුකම් ලොකුවට මටයි නංගිටයි මල්ලිටයි තිබු‌ණේ නැහැ. මම හඳහන විශ්වාස කරන්නේ එහි සඳහන් කරන විදිහටම මම උපාධි ද්විත්වයක් සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාපති උපාධිය හැදෑරුව නිසා. අද මම ආසියාවේම සහතිකලත් අලෙවිකාරිණියක්. ඉස්සර මම අල්ලපු ගෙදර අය පත්තර කියවලා ඉවර වනතුරු ඉන්නවා ඉල්ලාගන්න. සරසවිය පත්තරයේ අකුරක් නෑර කියවනවා. දැන් නම් මට විශාල පෞද්ගලික පුස්තකාලයක් තිබෙනවා. කොච්චර රාජකාරි තිබුණත් සමාජ සේවය මම අතහරින්නේ නැහැ. කාටහරි උදවුවක් නොකළොත් එදා රෑට නින්ද යන්නේ නැහැ. එනිසා සිංහ සමාජයේ වැලිවේරිය මේ දෙවසර සඳහා සභාපතිධුරය දරනවා. ලේකම් මගේ මහත්තයා. මම දිස්ත්‍රික් 306 බී 2 සිංහ සමාජයේ කැබිනට් සාමාජිකාවක් වගේම කාන්තා කමිටු සාමාජිකාවක්. පිටකොටුව ප්‍රජා පොලිස් ඒකකයේ කලාප අංක 1 සභාපතිනිය."

ඇය බොහෝ දේ දකින්නේ ධනාත්මකවය. ඇගේ ගීතවලද ඇත්තේ ඒ ලක්ෂණ යැයි වරෙක සිතෙයි. ගීත රචනයෙන් ඔබ්බට ඇගේ ගී හඬද අසන්නට ලැබෙන බවට ඉඟියක් නලිනි කාංචනා මුණසිංහගෙන් ලැබුණේ මෙසේ කියද්දීය.

"සමහරු කීවාට කාන්තාවක් වීම නිසා මේ වගේ තනතුරක් කොටුවේ මල්වත්ත පාර වගේ ප්‍රදේශයක කරන්න අපහසුයි කියලා මම නම් ඒක විඳීනවා. මට භාෂා තුනක් කතා කරන්න පුළුවන්. අභියෝගවලට අභියෝග කරන්න මම කැමතියි. අපි හිතන විදිහ අනුවයි ඕනෑම දෙයක් පහසු හෝ අපහසු වන්නෙ. කාන්තාවක් වීම ඇතැම් විට ලොකු බාධාවක් වුවත් මට මගේ දෙවැනි අම්මා වන් බැංකුවෙන් සහ කළමනාකාරීත්වයෙන් ලැබෙන සහයෝගය නිසා පසුබැස්මක් වුණේ නැහැ. වගකීම පැහැර හරින අය එක්ක පමණයි මට තරහක් එන්නේ. සොබා දහමෙන් මම කිසිදෙයක් ඉල්ලන්නේ නැහැ. හැබැයි හැම උදෑසනකම ස්තූති කරනවා. කීර්ති පැස්කුවල් ගායකයාණන්ට මම හරි ආදරේ කළා. දැන් එතුමාගෙන් ගායනය ඉගෙන ගන්නවා. කවදාහරි ගී තැටියකුත් කරන්න අදහසක් සරසවිය සමඟ කළ මේ කතාබහ නිසා මට ඇති වුණා. මොන ප්‍රශ්න ආවත් ජීවිතේ හරිම සුන්දරයි. මම ජීවිතේට හරිම ආදරෙයි."