ඉන්දීය මැතිවරණයේ තරු සටන

රාහුල් ගාන්ධි පරදා තුල්සිට විශිෂ්ට ජයක්
මැයි 30, 2019

ඉන්දියානු ජනතාව සිනමාව කෙරෙහි දක්වන ඇල්ම ලොව අනෙකුත් ජාතින් අතරේ විශේෂයෙන් කැපී පෙනෙන්නක්. එසේම එදා මෙදාතුර බොහොමයක් ඉන්දීය නළු නිළියන් දේශපාලනයට ද පිවිසීම දැකිය හැකි විය. ඉන්දීය සිනමාවෙන් දේශපාලනයට පිවිසි නළු නිළියන් රැසක් වන අතර නාගීස් මන්ත්‍රීවරියක බවට පත් වූ ප්‍රථම නිළියයි. ධර්මේන්ද්‍ර, ජයා බච්චන්, ශතෘගන් සිංහ, විනෝද් ඛන්නා, රාජේශ් ඛන්නා, ශබානා අස්මි, හේමා මාලිනී, රේඛා වැනි නළු නිළියන් ද පසුකාලීනව දේශපාලනයට පිවිසි බොලිවුඩ් තරු වේ.

මේ වසරේදී පැවති ඉන්දිය මහ මැතිවරණයට ද බොලිවුඩ් නළු නිළියන් කිහිප දෙනෙකුම තරග කළ අතර පසුගියදා ප්‍රතිඵල නිකුත්වීම සමඟ ඔවුන් ලද ජය පරාජයන් පිළිබඳ කාගේත් අවධානය යොමු විය. ඒ අතර පළමුවරට මැතිවරණයට ඉදිරිපත් වූ අය ද කිහිප දෙනෙක් වෙති. ඒ අතර සිටින සනී ඩියෝල් භාරතීය ජනතා පක්ෂයෙන් පන්ජාබයේ ගුර්දස්පූර් ආසනය නියෝජනය කරමින් විශිෂ්ට ජයක් අත්පත් කර ගත්තේය. කොංග්‍රස් පක්ෂයෙන් දේශපාලනයට පිවිස පළමු වරට මහ මැතිවරණයට ඉදිරිපත් වූ බොලිවුඩ් නිළි උර්මිලා මතෝන්ද්කර් පරාජයට පත් වූවාය.

භාරතීය ජනතා පක්ෂයෙන් මෙවර මැතිවරණයට එක් වූ බොලිවුඩයේ ප්‍රවීණ රංගන ශිල්පිනියන් වන හේමා මාලනී මථුරා ආසනය නියෝජනය කරමින් ද කිරන් ඛේර් චන්දිගාර් නියෝජනය කරමින් ද මැතිවරණයෙන් ජය ගැනීමට සමත් වූහ. ප්‍රවීණ රංගන ශිල්පිනීයක වන ජය ප්‍රදා හා සෝනාක්ශි සිංහාගේ මව්පියන් වන ශතෘගන් සිංහා සහ පූනම් සිංහා ද මැතිවරණයෙන් පරාජයට පත්විය. ශතෘගන් කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් පට්නා ආසනයෙන් ද පූනම් සිංහා සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් ලක්නව් ආසනයෙන්ද මෙවර ඉන්දීය මහ මැතිවරණයට ඉදිරිපත් වූහ. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළ නළු රවී ක්‍රිෂන් ද ට්‍රිනාමූල් කොංග්‍රස් පක්ෂය නියෝජනය කළ බෙංගාලි සිනමා නිළි මිමී චක්‍රබෝර්ති ද මෙවර මැතිවරණ ජය අත්කර ගත්හ. මෙවර ඉන්දීයට මහ මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙසින් ඉදිරිපත් වූ දකුණු ඉන්දීය නළු ප්‍රකාශ් රාජ් පරාජයට පත් විය.

මහ ගෙදර නමින් මෙරට විකාශය කෙරුණු ටෙලි නාට්‍ය මාලාවේ තුල්සි ලෙසින් ශ්‍රී ලාංකික ටෙලි රසික ආදරය දිනූ ස්ම්‍රිති ඉරානි භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණය ජයග්‍රහණය කළේ කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පරාජයට පත් කරමිනි. රූපවාහිනි ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිළියක වූ ස්මිත්‍රිගේ පළමු ටෙලි රංගනය වූයේ මහ ගෙදර ලෙසින් මෙරට හඬකවා විකාශය කෙරුණු විකාශය කෙරුණු Kyunki Saas Bhi Kabhi Bahu Thi  ටෙලි නාට්‍ය මාලාවයි. තුල්සි මිහිර් විරානි ලෙසින් එහි කළ රංගනය ඇයට ජනප්‍රියත්වය ගෙන ආ අතර පසුකාලීනව ඇය දේශපාලන ක්ෂේත්‍රයේ ද කැපී පෙනෙන චරිතයක් බවට පත් විය. 2003 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයට පිවිස 2011 වසරේදී ගුජාරාත් ප්‍රාන්තය නියෝජනය කරමින් භාරතීය ජනතා පක්ෂයෙන් මුල්වරට රාජ්‍ය සභාවට තේරි පත් වූවාය. මේ වසරේ පැවති මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඇයගේ පාක්ෂිකයකු ඝාතනයට ලක් වූ අතර සුරේන්ද්‍ර සිං නම් වූ ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීම වෙනුවෙන් දේහය කරමත තබා ගෙන යාමට ස්මිත්‍රි ඉරානි ද එක්ව සිටියා ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.