වර්ෂ 2018 ක්වූ ඔක්තෝබර් 23 වැනිදා අඟහරුවාදා




සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ

රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ

යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේදී ප්‍රදර්ශනයට නියමිතව තිබූ ජූඩ් රත්නම්ගේ 'ඩීමන්ස් ඉන් පැරඩයිස්' චිත්‍රපටය කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා තහනම් කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබිණි. මේ තීරණයත් සමඟ චින්තන ධර්මදාස තම 'ඇවිළෙන සුලුයි' චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කරන ලෙස දන්වා තිබුණද එහි නිෂ්පාදකවරයා එයට ඉඩ නොදුන් නිසා තමන්ගේ චිත්‍රපටය නොබලන ලෙස අධ්‍යක්ෂවරයා සමස්ත රසිකයන්ගෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලීමක් කළේය. එයටම එක් වෙමින් මාලක දේවප්‍රිය තම සිනමා කෘතිය වන 'බහුචිතවාදියා' ද යාපනය සිනමා උලෙළේ ප්‍රදර්ශනයෙන් ඉවත් කර ගත්තේය. මේ සිදුවීම පිළිබඳ 'සරසවිය' අපි ඔවුන් තිදෙනාගෙන් කරුණු විමසුවෙමු.

ජූඩ් රත්නම්

ඩීමන්ස් ඉන් පැරඩයිස් මොනවගේ චිත්‍රපටයක්ද?

මෙය මූලිකවම විනාඩි 94ක වාර්තා චිත්‍රපටයක්. නළු නිළියන් නෑ. මෙයට කියන්නේ ක්‍රියෙටිව් ඩොකියුමන්ට්‍රි කියලා. වසර දහයක් මහන්සිවෙලා නිම කළ මගේ පළමු චිත්‍රපටය. අන්තර්ජාතිකව ප්‍රදර්ශනය සඳහා නිදහස් කරලා වසරකට වැඩියි. කෑන්ස් උලෙළේ හොඳම කැමරාවට සහ ගෝලඩන් අයි සම්මානය සඳහා නිර්දේශ වුණා. මෙහි අන්තර්ගතය ජනවාර්ගික අර්බුදය. 1983 දී මම අවුරුදු 5ක පොඩි ළමයෙක් ලෙස අපේ පවුල සමඟ කොළඹ සිට කෝච්චියෙන් පලා ගිය ආකාරය සහ නුවර ඉගෙන ගත් කෙනකු වූ මගේ මාමා සන්නද්ධ සටන්කාමියකු ලෙස සටන් වැදුණු ආකාරය, එයට හේතු වගේම මේ සටන එක් මොහොතකදී දෙමළ මිනිසුන්, දෙමළ මිනිසුන්ටම එරෙහිවන තත්ත්වයට පත් වූණේ කොහොමද කියන එකයි එහි කියවෙන්නේ.

ඔබ විශ්වාස කරනවාද යම් මොහොතකදී දෙමළ මිනිසුන් තමන්ටම එරෙහි වුණා කියලා?

විශ්වාස කරනවා නෙවෙයි. එය තමයි සිදු වුණේ. 85, 87 වෙද්දි සන්නද්ධ කණ්ඩායම් එකිනෙකා මරාගෙන අන්තිමට ඉතුරු වුණේ කොටි සංවිධානය පමණයි.

ඔබ නිශ්චිතවම එහෙම කියන්නෙ?

මම යුද්ධය අත්වින්ඳ නිසා. ඒ අවුරුදු තිහ ඇතුළත මේ රටේ කොහේ හිටියත් මිනිසුන්ට එය විඳවන්න සිදු වුණා. 2009 යුද්දේ ඉවර වෙද්දි අපි කායිකව උතුරේ නොහිටියාට අපට මානසිකව, හැඟීම්බරව දැනෙන දෙයක් ඒක. අපි 83දි පලා ගිහින් මඩකලපුවේ ඉඳලා ඊට පස්සේ නුවරට ඇවිත්, නුවරදි 'දෙමළා' කියන සීල් එක වදිනකොට මට හිතුණා අපි කොහෙටද අයිති කියලා. ඊට පස්සේ 2009 මහා ඛේදවාචකය වෙද්දි ඒ අත්දැකීම් සහ ඇතිවුණු සංවේදීභාවයන් සමඟයි මේ චිත්‍රපටය හැදෙන්නේ.

නුවරදි ඒ සීල් එක වදින්න කලින් ඒ ප්‍රශ්නය තිබුණේ නැද්ද?

ඒ ප්‍රශ්නය 1956 අපේ සීයට වුණ දේවල්, 58 අපේ තාත්තට අවුරුදු 6ක් වෙද්දි එයාගේ අක්කාට දෙමළෙන් කතා කරන්න එපා කියලා ඇදගෙන ගිය සිද්ධි, 87දී අපේ මාමා නිසා ආච්චිගේ මානසිකත්වය අවුල් වුණ එක වගේ දිගටම ආවා.

ඔබ දුටු ආකාරයට සෑම සිංහලයකුම සෑම දෙමළ අයකුටම ඔය ආකාරයෙන්ද සැලකුවේ?

නෑ එහෙම වුණේ නෑනේ. උදාහරණයක් විදිහට 83දී වගේම 56දීත් දෙමළ මිනිසුන් රැකගත්ත සිංහල මිනිස්සු ඉන්නවා. ඒත් ඒ සුළුතරයක්ද බහුතරයක්ද කියලා හරියට වෙන් කරලා කියන්න බෑ. මොකද ජාතිවාදය කියන දේ කොයි මොහොතෙ කොහෙන් මතුවෙනවද කියලා දන්නේ නෑ. මට දකුණේ ඉද්දි දැනෙන දේ තමයි අපි එක්කෝ මහ ජාතිය සතුටු වන විදිහට ඉන්න ඕන කියන දේ. ඒ වගේම උතුරෙදි දෙමළ ජාතීන් අතර ගැටුමක් ඇවිත් එයින් මතු වුණ ප්‍රචණ්ඩත්වය පිළිබඳ කතා කරද්දි දැන් මට කියනවා ඒ ගැන කතා කරන්න එපා කියලා. එතකොට මම ඉන්න ඕන කොහෙද?

ඔබේ කෘතිය යාපනය අන්තර්ජාතික උලෙළෙදි පෙන්විය යුතුයි කියා තීරණය කළේ කවුද?

මුලින්ම මගෙන් ජීඅයිඉසෙඩ් ආයතනය උලෙළට උදව් කරන ආයතනයක් ලෙස ඇහුවා චිත්‍රපටය දෙන්න කැමතිද කියලා. ඊට පස්සේ තමයි උලෙළ සංවිධායකයන් මට කතාකරලා මගේ කැමැත්තෙන් චිත්‍රපටය ගෙනිච්චේ. උලෙළේ වැඩසටහන් විස්තරයටත් ඇතුළත් කළාට පස්සේ තමයි ප්‍රදර්ශනයෙන් ඉවත් කළේ.

හේතුව කීවාද?

චිත්‍රපටය ගලවනකොට මට සෘජුවම සම්බන්ධ වුණේ නෑ උලෙළේ අය. අර ආයතනයට කියලා තිබුණා කවුදෝ තර්ජනය කරන්න ආව නිසා ගැලෙව්වා කියලා. මම කීවා තර්ජනය කරන්න ආව කට්ටිය කවුද කියලා කියන්න, නැත්නම් අපි පොලිස් ආරක්ෂාව යටතේ මෙය පෙන්වමු කියලා. එයටත් බෑ කීවා. මම සංවිධායකයන්ට කතා කළාම කීවා තර්ජනයක් ආව නිසා අපි උලෙළෙන් පස්සේ වෙන වෙලාවක චිත්‍රපටය පෙන්වමු කියලා. මම ඔවුන්ගෙන් සිදුවීම ගැන ලිඛිතව දැනුම් දෙන්න කියලාත් ඉල්ලීමක් කළා. මොකද මට ඒ උත්තරේ එච්චර ඇල්ලුවෙ නැති නිසා.

පිළිතුරක් ලැබුණද?

ලියමනක් ආවා, ඒත් ඒකෙ තිබුණේ මගේ ප්‍රශ්නයට පිළිතුර නෙවෙයි. මගේන ප්‍රශ්න කරනවා ඔවුන් ඇයි මම මෙතෙක් කලක් මේ චිත්‍රපටය යාපනයේ නොපෙන්නුවේ කියලා. ඒ වගේම ගිය සිකුරාදා සවස 6.30ට චිත්‍රපටය නොපෙන්වා සංවාදයක් කරන්න සැලසුම් කළා කියලත් තිබුණා. ඒත් ඒකත් බොරුවක්. මොකද ජීඅයිසෙඩ් ආයතනයට දැනුම් දීලා තිබුණා සංවාදයක් කරන්නත් බෑ කියලා. ඒ වගේම මගේ චිත්‍රපටය ගැන මොන විදිහෙන් හෝ කතා කළොත් එයට දැඩි විරෝධයක් එනවා කියලා.

ඔබට දැනෙන විදිහට මේ තත්ත්වය මොකක්ද?

මෙය තමයි දෙමළ දේශපාලන සංස්කෘතියේ ස්වභාවය. මේ පිළිබඳව විවෘතව කතා නොකර අපට ඉදිරියට යන්න බෑ. දෙමළ චිත්‍රපටකරුවකු ලෙස මම කෘතියක් හදලා ඒ බව ප්‍රශ්න කරන්න හදනකොට දකුණේ ඉන්න ප්‍රගතිශීලීව මානව හිමිකම් ගැන කතා කරන, ප්‍රකාශනයේ අයිතිය ගැන කතාකරන, ඒ වෙනුවෙන් පෙනී සිටින අය කියනවා 'නෑ ඒ ගැන කතා කරන්න එපා' කියලා. උතුරේ ජනතාව මේ කෘතිය ප්‍රතික්ෂේප කරාවිය කියන හිතිවිල්ලෙන් ඉඳගෙන ඔවුන් තීරණයක් ගන්නවා මෙය නොපෙන්වා ඉන්න.

මේ සිද්ධියේදී ඔවුන් එක වතාවක කියනවා කට්ටියක් තර්ජනය කළා කියලා. දෙවනුව කියනවා නෑ නෑ එහෙම කවුරුත් ආවේ නෑ අපිමයි මේ තීරණය ගත්තේ. මොකද මේ කතාව හරිම සංවේදියි. බැටකාපු දෙමළ මිනිසුන්ට මෙය දරාගන්න බෑ. මේ කතාව ඒක පාර්ශ්විකයි කියලා. එහෙම කියා ඔවුන් තීරණය කරනවා මෙය ප්‍රදර්ශනය නොකරන්න. මම අහන්නේ පළමුවෙන්ම මේ වගේ තීරණයක් ගන්න ඒ අය කවුද? ඒ වගේම තර්ජනයක් ආවේ නැත්නම් උලෙළේ කමිටුවේ සියලුදෙනාම හිතුවේ එහෙමද? ඒ ගැන විවාදයක් කමිටුව අතුළේ සිදු වුණාද? එහෙම නැත්නම් තර්ජනය කළ අය හෙළි කරන්න.

අපට දැන ගන්න ලැබුණේ මෙය සිංහල අයට පක්ෂපාතී නිසා ප්‍රදර්ශනය වැළැක්වූවා කියලයි?

එය මම පිළිගන්නේ නෑ. මේ චිත්‍රපටයේ මුල් විනාඩි 45ක් 50ක් පමණ තිබෙන්නේ 1983 ආයුධ සන්නද්ධ සටනට හේතු සාධක සහ එයට පසුබිම. ඉන් පස්සේයි මම එය ප්‍රශ්න කරන්නේ. ඉතිං සිංහල මිනිස්සුන්ටත් මේ කෘතියේ මුල දැක්කම රිදෙන්න ඕනා.

සිංහල ප්‍රදේශවලින් ඒ ගැන ප්‍රතිචාරයක් ලැබුණද?

මෙය සම්පූර්ණයෙන් මහජනයාට ප්‍රදර්ශනය කෙරුණේ නැහැ. දෙරණ සිනමා සම්මාන උලෙළෙදි තමයි මහජන ප්‍රදර්ශනයක් කළේ. ඒත් වාරණයක් වුණෙත් නෑ. තර්ජනයක් ආවෙත් නෑ. රැඟුම් පාලක මණ්ඩලයෙන් සියලුම ප්‍රේක්ෂකයන් සඳහා සහතිකය ලැබී තිබෙනවා. චිත්‍රපටය පිළිබඳ එකඟ නොවීම් ආදිය ගැන විවිධ අදහස් මතු වුණා පමණයි.

යාපනය උලෙළේ සංවිධායක මණ්ඩලය මෙය නරඹා තිබුණාද?

දන්නේ නෑ. සංවිධායක මණ්ඩලය කතා කරන්නේවත් නෑනේ ඒ ගැන අහන්න.

මේ විදිහට චිත්‍රපට උලෙළක අරමුණට මොකද වෙන්නේ?

ඒක තමයි මටත් තිබෙන ප්‍රශ්නය. මගේ ලිපියෙන් මම ඇහුවෙත් අපි චිත්‍රපට හදන්නේ කාටද? චිත්‍රපට උලෙළ තියන්නේ කා වෙනුවෙන්ද කියලයි. ඔය ප්‍රගතිශීලී අයම ජෆර් ෆනායි කෑන්ස් සිනමා උලෙළට සහභාගී නොවුණාම ඒ වෙනුවෙන් හිස් පුටුවක් තිබ්බා කියලා සතුටු වුණා. ඇත්තෙන්ම ජෆර් ෆනායි රජයෙන් වාරණය කරලා නිවාස අඩස්සියේ හිටියේ. මෙතන වුණේ උලෙළෙන්ම වාරණය කරලා උලෙළින්ම කියනවා මට පුටුවක් තියන්නම් කියලා. ඒක මහ විහිළුවක්.

දෙගොල්ලොම මැරුණා. ඒත් යුද්ධය නතර වීම හොඳ නැද්ද?

මමත් ඒක තමයි චිත්‍රපටයෙන් කියන්නේ. මගේ චිත්‍රපටයේ මම ප්‍රකාශයක් කරනවා දීර්ඝ හේතු සාධක ඉදිරිපත් කිරීමකින් පස්සේ, දෙමළ මිනිස්සුත් මැරුණට කමක් නෑ මේ යුද්ධය ඉවර වෙන්න ඕනා, කොටි ඉවර වෙන්න ඕනා කියලා. උලෙළේ අයගේ තර්කය ඒ වගේ ඝාතනයකට එකඟ වන මනුස්සයකුගේ චිත්‍රපටයක් කොහොමද පෙන්වන්නේ කියලයි. මම තවත් ලිපියකින් ඒ පිළිබඳ පිළිතුරු දුන්නේ ඒ ප්‍රකාශයට අදාළ සන්දර්භයට මම සාමාන්‍ය මනුෂ්‍යයකු හැටියට එන්නේ චිත්‍රපටය තුළින් තර්කානුකූල කරුණු ගොඩනඟමින් කියලයි.

එහෙනම් මොකක්ද ඔවුන්ගේ බලාපොරොත්තුව?

ඕක තමයි ප්‍රශ්නේ. දිගටම යුද්දෙ පවත්වා ගන්නකම් ඒ අයට ලේසියි. මම අහන්නේ කලින් යුද්දේ එපා කියූ අයම දැන් යුද්දේ ඉවර වීම වැරැදියි කියනවා. ඔබට තේරෙනවාද මේ තුළ තිබෙන නොගැළපීම. උභතෝකෝටිකය?

ඔබ මේ තරම් හොඳට සිංහල කතාකරන්නේ කොහොමද?

මම චිත්‍රපටය පටන් ගන්නෙම මගේ අම්මා මට තර්ජනය කරනවා 'කටවහපන්, දෙමළෙන් කතා කරන්න එපා, උඹව මරන්න එනවා' කියන එකෙන්. ඉතින් මම හිතුවා සිංහල හොඳට ඉගෙන ගන්න පුළුවන් නම් මට මගේ දෙමළකම වහගන්න පුළුවන් කියලා. මම ඉගෙන ගත්තේ නුවර. එහෙදි තමයි ඒ හැඟීමත් ඛණ්ඩනය වෙලා යන්නේ දවසක් කොටි කියලා අල්ලලා හිරේ දැම්මාම. ඉතින් අනන්‍යතාව කියන්නේ මොකක්ද කියන දේ තමයි මම චිත්‍රපටයෙන් ප්‍රශ්න කරන්නේ.

ඔබ හිතන හැටියට මේ වාරණයට වෙනත් හේතු තිබුණාද?

මගේ චිත්‍රපටයේ යුද්දේ ගැන කතා කළාට එක උණ්ඩයක්වත් නෑ. ලේ පෙන්නලා, මස් පෙන්නලා, සෙක්ස් පෙන්නලා නෑ. අනෙක මේ වාරණය රජයෙන් කළ එකක් නෙවේනේ. අන්තර්ජාතික උලෙළක් කීවාම අප බලාපොරොත්තු වන පුළුල් බවක් තිබෙනවා.

ඔබ මේ පිළිබඳ නෛතික පියවරකට යනවාද?

මම මේ මොහොතේ සටන් කරන්නේ චිත්‍රපටය වාරණය කළ හේතුව සොයාගන්න. මෙය මගේ මූලික මානව අයිතියක් උල්ලංඝනය වීමක්. තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ මට උලෙළේ සංවිධායකයන් පිළිතුරු දිය යුතුයි. මට මුලින් ආරාධනා කර තිබුණා පවුල පිටින් උත්සවයට සහභාගී වන්න. මට තිබෙන ප්‍රශ්නය කාවද මේ හංගන්න යන්නේ කියලා. මෙය තුළ දේශපාලන කතිකාවක් තිබෙනවා. නිකම්ම නිකං පුද්ගලයකුගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් පමණක් නොවේ මෙය.

මේ උලෙළ පවත්වන්නේ සංහිඳීයාව වෙනුවෙන්?

ඔවුන් කියන්නේ මේ චිත්‍රපටය සංහිඳීයාවට හානියක් කියලයි. හේතුව උත්තර දෙන්න අමාරු ප්‍රශ්න අහන නිසා. ඉතින් මම අහන්නේ මේ රට තුළ සාම ව්‍යාපාරය කළ වැඩෙත් ඕකම නේද? ඇත්ත ප්‍රශ්නය කතා නොකර. ඇත්ත ප්‍රශ්නය දේශපාලනිකයි. ඒ අය කියන්නේ චිත්‍රපට හැදුවට කමක් නෑ, දේශපාලනය කතා කරන්න එපා කියලා. එහෙම සීමා පනවන්න බෑ. මම මගේ චිත්‍රපටයෙන් අහන්නේ දකුණෙන් දෙමළ මිනිසුන්ට එරෙහිව ආවා ප්‍රචණ්ඩත්වයක්. එයට එරෙහිව අපි නැඟිට්ටා. ඊට පස්සේ අනෙක් පැත්තෙන් ආවා ප්‍රචණ්ඩත්වයක්. ඒ ප්‍රචණ්ඩත්වයේ කුරිරු බව තමයි මම පෙන්වන්නේ. ඒ ප්‍රචණ්ඩත්වය ආවේ කොහෙන්ද කියලා මම අහනවා. මොකද මමත් ඒ සමාජයේ කොටස්කරුවෙක්. මම විතරක් නෙවේ මගේ මාමා, පුතා පවා එහි කොටස් කරුවන්. එනිසා මම ඉන් බැහැරව ඉඳන් අහන එකක් නෙවෙයි ඒ ප්‍රශ්නය. කලාකරුවාගේ එකම යුතුකම තමන් දකින සත්‍ය සත්‍ය ලෙසම නිහතමානීව කියන එකයි. එය හරිද වැරදිද, අරයට දුක හිතෙයිද, මෙයාට සතුටු හිතෙයිද කියලා බලන එකේ කිසිම තේරුමක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒකයි. සමාජයක් ඉදිරියට යන්නේ එහෙමයි.

ඔබ අවසන් වශයෙන් කියන්නේ?

මම ඉල්ලා සිටිනවා මේ වාරණය පිටුපස කවුරුන් හෝ ඉන්නවා නම් ඒ පිළිබඳ අපට හෙළි කරන්න. එහෙම නැත්නම් කමිටුව තුළින් ඒ සඳහා වුණු සංවාදය පිළිබඳ අපට කියන්න. එහෙම නොවුණොත් කමිටුවේ ප්‍රජාතන්ත්‍රවාදීබව පිළිබඳ අපට ප්‍රශ්න කරන්න වෙනවා.

*****************

මාලක දේවප්‍රිය

 

මට මේ මොහොතේ මගේ රේඩියෝ නාට්‍ය දෙකක නම් පමණක් පාදක කරගනිමින් විවිධ කල්ලි විසින් ඒ සඳහා වාරණ බලවේගයක් ගොඩනඟා තිබෙනවා. මේ වනවිට පාර්ශ්ව හතරක් ගොනු කළ පැමිණිලි 4ක් ඔස්සේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විමර්ශනය කරමින් පවතිනවා. මෙයින් දැඩි පීඩාවකයි මම ඉන්නේ. වාරණය සම්බන්ධව දෙබිඩි ප්‍රතිපත්තියක් මට අනුගමනය කරන්න බෑ. මම සෘජු වක්‍ර හෝ අනියම් යන කුමන ආකාරයක හෝ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන තත්ත්වයක් යටතේ සිදුවන වාරණයන්ට කොන්දේසි විරහිතව විරුද්ධයි. එවිට ජූඩ්ගේ චිත්‍රපටය යාපනය උලෙළ සඳහා නිල වශයෙන් තෝරාගෙන සියලු මාධ්‍යවල ප්‍රචාරයෙන් පසු, ප්‍රදර්ශනය අත්හිටුවීම මම වාරණයක් ලෙස දකිනවා. මෙයට සෘජුවම චිත්‍රපට උලෙළේ සංවිධායකයන් වගකිව යුතුයි. ඒ අත්හිටුවීම සම්බන්ධව සංවිධායකයන් දුන් පිළිතුරුවල කිසිම තාර්කික බවක් නෑ, හරිම ප්‍රාථමිකයි. මේ නිසා මට වාරණයක් ක්‍රියාත්මක කරන චිත්‍රපට උලෙළක තරගකාරී අංශයේ තිරගත වුවත් මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේ දෙබිඩි පිළිවෙතක රැඳී සිටිය නොහැකියි. ඒ උලෙළ කර තිබෙන්නේ ප්‍රකාශන අයිතිය අහුරා දැමීමක්. කිසිදු ප්‍රකාශනයක් වාරණය කර හෝ මර්දනය කර නවත්වන්න බෑ. යම් කෘතියකට විවේචනයක් විචාරයක් හෝ විරෝධයක් ගෙන ආ යුත්තේ එය ප්‍රදර්ශනය කළ පසුවයි. මේ තත්ත්වය තුළ මට ප්‍රකාශන අයිතිය වෙනුවෙන් කරන මදිහත්වීමක් ලෙස හා වාරණයට විරුද්ධ නිර්මාණකරුවකු ලෙස මගේ චිත්‍රපටය ඉවත් කරගන්න සිදු වුණා. ඒ මගේ චිත්‍රපටයේ නම බහුචිතවාදියා නැත්නම් බොහෝ අදහස් තිබෙන මිනිසා වුවත් නිර්මාණකරුවකු ලෙස මම කලාව සම්බන්ධයෙන් සිටින්නේ ඒකීය දෘෂ්ටිවාදයක නිසයි.

*****************

චින්තන ධර්මදාස

මොකක්ද මේ වුණේ?

බලාපොරොත්තු නොවුණු කනගාටුදායක දෙයක්. ජූඩ් රත්නම්ගේ චිත්‍රපටයත් මගෙ චිත්‍රපටය සමඟම ප්‍රදර්ශනයට සූදානම් කරලා තිබුණෙ. ඒත් එකවරම කිසිදු දැනුම් දීමකින් තොරව එය ඉවත් කරලා. ඒ ගැන විමසුවාම උලෙළ පැත්තෙන් කරලා තිබෙන්නේ පැහැදිලි කිරීමක් නොකරම ලේසියෙන් පස්සට දැමීම. මෙය ඇත්තෙන්ම එක අතකින් වාරණයක්. සාධාරණ පැහැදිලි කිරීමක්, ක්‍රියාවලියක් නැතිව කෘතියක් ඉවත් කිරීමෙන් අහෝසි වන්නේ උලෙළේ සුජාත බව. යාපනය චිත්‍රපට උලෙළ කියන්නේ දකුණේ චිත්‍රපට සහ අන්තර්ජාතික චිත්‍රපට උතුරට ගෙන යන සංස්කෘතික පාලමක් බඳු දෙයක්. එහිදී නිර්මාණකරුවකුගේ ප්‍රකාශන අයිතිය නොතකා හරිනවා නම් එය බලා ඉන්න හොඳ දෙයක් නොවේ. අනෙක අපි දකුණේදී සෑම වාරණයකටම එරෙහිව කොන්දේසි විරහිතව පෙනී සිටිනවා නම්, උතුරේ හෝ රටේ හෝ ලෝකයේ කොහේ හෝ වේවා ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඕනා. ඒ වගේම ජූඩ්ගේ චිත්‍රපටය ඉවත් කළ පසු ඒ උලෙළ තුළ මට නියෝජනය වන්න පුළුවන් කමක් නෑ. මොකද චිත්‍රපටයක් උලෙළකදී බෙදා ගැනීමෙන් ඇති වන ආස්වාදය මට එයින් ලැබෙන්නේ නෑ.

ඔබේ නිෂ්පාදකවරයා ඔබ සමඟ එකඟ වුණේ නෑ?

චිත්‍රපටයේ නිර්මාණකරු මම වුණත් අයිතිකරු වන ඔහුට ඒ සඳහා ප්‍රතිපත්තිමය හේතු තිබුණා. ඒ නිසා මම කළේ මට හැකි පමණින් ප්‍රචාරය දෙමින් මේ පවතින අවකාශයේ මගේ චිත්‍රපටය නැරඹීම රසිකයන් හෝ සිනමාකරුවන් ලෙස අපට තරම් නොවන නිසා විරෝධය පෑමක් ලෙස මේ චිත්‍රපටය නැරඹීමෙන් වලකින්න කියන පණිවිඩය ජනතාවට දීමයි. අධ්‍යක්ෂවරයා ලෙස මම චිත්‍රපටය වෙනුවෙන් පෙනී සිටීමට එහිදී සූදානම් නැති බවත් කීවා.

ඔබේ චිත්‍රපටයේ අන්තර්ගතය ජූඩ් රත්නම්ගේ කෘතියට විරුද්ධ වූවක්?

ජූඩ්ගේ චිත්‍රපටයේ අන්තර්ගතයට එකඟ වීමක් නෙවෙයි නිර්මාණකරුවකු ලෙස ඔහුගේ පැත්තෙන් තමන්ගේ කතාව කීමට තිබෙන අයිතිය වෙනුවෙනුයි අප පෙනී සිටින්නේ. අපට අයිතියක් නෑ අනෙක් නිර්මාණකරුවන්ට කියන්න අපේ මතයේම ඉන්න කියලා. ජූඩ්ගේ චිත්‍රපටයේ ප්‍රශ්න තිබෙනවා නම් එය ප්‍රදර්ශනයෙන් පසු අපට පුළුවන් සහෘදයන් ලෙස සාකච්ඡා කරන්න. ඒ ප්‍රජාතන්ත්‍රය නැති විමෙන් ජූඩ්ගේ කෘතිය අනවශ්‍ය වේදිකාවක් මතට යොමු කරලා, ඒ වෙනුවෙන් තිබූ ප්‍රතිවිරෝධයන් වෙනුවට චිත්‍රපටකරුවකුගේ ප්‍රකාශන නිදහස වෙනුවෙන් වන කතිකාවක් බවට පත් වෙනවා. අනෙක් අතට උතුර ගැන අපට තිබෙන චිත්‍රය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. උතුරේ දී තමන්ගේම දෙමළ සහෝදරයකුගේ නිර්මාණයකට ඉඩක් නැද්ද යන්න පිළිබඳව. හැබැයි මම එහි වගකීම යාපනයේ ප්‍රජාව මත නොවේ පටවන්නේ. යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය ආධිපත්‍යය සතු විශාල බලය සහ උලෙළේ සංවිධායකයන්ගේ බරපතළ නොතකා හැරිම් නිසා, සමස්ත දෙමළ ජනතාව අනෙකාගේ කෘතියක් ඉවසන්න බැරි තරම් බොළඳ කොටසක් ලෙස අර්ථ ගැන්වෙනවා. එය විශාල අසාධාරණයක්. මොකද මිනිසුන් ඇවිත් ශාලාව වටලන්න ගියේ නෑනේ. නිර්මාණකරුවා හා ප්‍රේක්ෂකයා අතර බාධකය බවට පත් වීමේ අධිපති බලය කාටද තිබෙන්නේ.

ඔබ ජූඩ්ගේ චිත්‍රපටය නැරඹුවාද?

ඔව්. එය බලද්දි අපට දැනෙනවා ඇත්තක් කියන අවංක කෘතියක් බව. අපි දන්නවා එල්ටීටීඊය හිටියේ දෙමළ ජනතාවගේ විමුක්ති සංවිධානය ලෙස. ඒත් ඔවුන්ගේ ක්‍රියාකලාපය තුළ දෙමළ ජනතාව සුළුතරයකට හෝ පීඩාවක් තිබෙනවා. ඒ අයට හඬක් තිබිලා නෑ. ඒ හඬ තමයි ජූඩ් ගේන්නේ. එය කොතරම් සමතුලිත අයුරින් වුණාද, මෙය වාර්තා චිත්‍රපටයක් නිසා ප්‍රධාන වැරදිකරු වන එල්ටීටීඊය පැත්තෙන් ප්‍රකාශයක් නොතිබෙන්නේ ඇයි යන ප්‍රශ්න මට තිබෙනවා. ඒත් ජූඩ්ට අයිතියක් තිබෙනවා නිර්මාණකරුවකු ලෙස තමන් කැමති ලෙස එය ඉදිරිපත් කරන්න. මගේ චිත්‍රපටය වෘත්තාන්ත චිත්‍රපටයක්. එය තුළ සිංහල බෞද්ධ සමාජය විවේචනය කරන, උපහාසයෙන් බලන, ඇදහිලි විශ්වාසයන් ප්‍රශ්න කරන තැන් බහුලව තිබෙනවා. ඉතින් මට ඕන කමක් තිබුණේ නෑ තමන්ගේ වර්ගයේ සහෝදරයකුගේ නිර්මාණයකින් තම ප්‍රජාවගේ අත් වැරදීම් ගැන කතාකරන්න ඉඩ නැති බිමක මගේ ස්වයං විවේචනාත්මක නිර්මාණයක් ඉදිරිපත් කරන්න. මොකද එය එහෙම නිදහසක් තිබෙන භූමියක් නෙවෙයි.

ඔබේ චිත්‍රපටයට දකුණෙන් විවේචනයක් ආවාද?

කොහෙත්ම නෑ. එය මහා ලොකු ආන්දෝලනාත්මක කරුණු ගේන චිත්‍රපටයකුත් නෙවෙයි. වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකයට මමත් එකඟයි එහි තිබෙන ප්‍රචණ්ඩ දර්ශන නිසා. දකුණෙදි අප කෙසේ හෝ ප්‍රකාශනයේ නිදහස ලබා ගන්නවා. සංවාදය හොඳීන් සිදු කරනවා. ඒත් යාපනයේ එක් ආචාර්යවරයෙක් කියා තිබුණා තමන්ගේ සමාජ වගකීම අනුව එවන් චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න බෑ කියලා. අපේ සමහර අය වගේ ඔහුත් හිතනවා සමාජයට අවශ්‍ය දේ කුමක්ද කියා තීරණය කිරීමේ බලය ඔහුට තිබෙනවා කියලා.

අන්තර්ජාතික උලෙළක වෙනසක් තිබෙනවාද?

ඒ පිළිබඳ බොහෝ අන්ධ විය යුතු නෑ මොකද ඒවාටත් සැඟවුණු න්‍යාය පත්‍රයක් තිබෙනවා. කලාත්මක සිනමාව වෙනුවෙන් පෙනී සිටිනවා වගේම මතවාදයක් තිබෙනවා. යුරෝපිය සිනමා උලෙළවල නම් වට්ටෝරුවට තමයි සම්මාන දෙන්නේ. කාන්ස් උත්සවයේ පවා අප්‍රිය සහගත ලෙස ලාස් ෆොන්ට්‍රිය වැනි සිනමා දැවැන්තයකු වාරණය කළා හිට්ලර්ගේ මනස මනුෂ්‍යයකු ලෙස ඔහු තේරුම් ගන්නවා කියන ප්‍රකාශය නිසා. ඒත් සංවිධායක මඩුල්ල එය සුමට ලෙස හසුරුවා ගන්නවා. මෙහි වුණේ අඩුම ගාණේ කනගාටුවත් ප්‍රකාශ නොකර අනෝමා රාජකරුණා ප්‍රධාන සංවිධායිකාවක ලෙස ජූඩ් රත්නම් වෙතම චෝදනාව එල්ල කිරීමයි. ඒ වගේම කේසවරාජන් කියන සිනමාකරුවා කියලා තිබුණා මෙය අන්තිම උලෙළ වෙන්න තිබුණා කියලා චිත්‍රපටය පෙන්නුවා නම්. එය කොටි සංවිධානය තිබුණ කාලේ වගේම, ජවිපෙ කළා වගේම තර්ජනයක්. මේ බලය ප්‍රශ්න කරන්න ඕනා. මේ වගේ යටින් පාලනය වන සංවිධානයක් සමඟ අපේ නිදහස් නිර්මාණ ගෙන යන්නේ කොහොමද කියලා නිර්මාණකරුවන් ලෙස ආපසු හිතා බලන්න වනවා.

මෙය සංහිඳීයාවට බාධාවක්ද?

යුද්ධය තිබෙන තැනක සාමය කියන වචනය ගේනවා වගේ සංහිඳීයාව කියූ ගමන් මිනිසුන්ගේ බෙදීම වැඩි වෙනවා. කෙසේ හෝ මේ ප්‍රශ්නයෙන් වුණු නරකම දේ දකුණෙ ඉන්න ජාතිවාදීන් උතුරේ ඔය කියන නිදහස තිබෙනවාද කියන ප්‍රශ්නය පටු විදිහට උඩ දාන්න ගත්ත එක. සිනමාකරුවන් විදිහට අපට ඉදිරියට එන්න වුණේ ඒ මතයට නැඟිටින්න ඉඩ නොදීමටයි. මම සතුටු වනවා දකුණෙන් ගිය සෑම නිර්මාණකරුවකුම තමන්ට පුළුවන් අයුරින් මේ වාරණයට විරුද්ධව එක මතයකට පැමිණීම ගැන.

මෙයට ප්‍රවීණයන්ගේ මැදිහත්වීම ප්‍රමාණවත්ද?

ඔවුන් සමහර විට මෙය ලොකුවට නොගත්තේ ජාතික ප්‍රශ්නයක් නොවන මට්ටමට පවත්වා ගන්න ගත්ත පරිණත තීරණයක් මත විය හැකියි. ඒත් මම විශ්වාස කරන්නේ නෑ දේවල් පාපිසි අස්සට දමා හැංගිය යුතුයි කියලා. සත්‍යයට මුහුණ දීමයි කළ යුත්තේ. නැත්නම් එය ඇතුළෙන් වර්ධනය වනවා. යුද්ධය අවසන් වෙලා අවරුදු දහයකට පස්සෙත් නිදහසේ දිශාවට ආවේ නැත්නම්, අප මෙතෙක් කල් බාරගත් සමාජය නෙවෙයිද උතුරේ තිබෙන්නේ කියන බය හිතෙන තත්ත්වයක් එනවා. යළිත් පටු මතවාදවලට වැජඹෙන්න හැකි පරිසරයක් නිර්මාණය වෙලා තිබෙනවා.

මෙය දෙමළ ප්‍රජාවට පෙන්නුවානම්?

විරෝධයක් එයි. හැබැයි දෙමළ ප්‍රජාව කියන්නේ බබ්බු නෙවේ. ඔවුන් අකමැති මතයක් දරන්නත් අවබෝධයක් තිබෙන්න ඕනා. නැත්නම් හුරු කරන්න ඕනා. යුද්ධයෙන් පටු වූ මානසිකත්වය නිසා ඔවුන් දෙස දයානුකම්පාවෙන් බලන්න වෙනවා, ඒ සමාජය මුහුකුරා ගිය සමාජයක් නොවන නිසා. හරිනම් උතුරේ මේ නිදහස ප්‍රශ්න කළ යුත්තේ උතුරෙන්මයි.

අවසන් වශයෙන් කියන්නේ කුමක්ද?

මේ චිත්‍රපට උලෙළටත් වඩා වටිනවා මේ සිදු වුණු දේ. මොකද එයින් උතුරේ වාරණය හා ප්‍රකාශනය සම්බන්ධවත්, විශ්වවිද්‍යාලයේ නඩේ ගෙනයන බලය පිළිබඳවත් එහි බලපෑම පිළිබඳත් අවබෝධයක් ආවා. ඒ නිසා නිදහසට ගරු කරන උතුරේ පිරිස මෙයට එකතු වෙනවා. දකුණෙත් ජාතිවාදීන් හා ලිබරල්වාදීන් අතර මතවාදය කුමක්ද යන වැදගත් තැනට මේ සංවාදය ආවා.

සංවාදයට විවෘතයි...