වර්ෂ 2017 ක්වූ ජනවාරි 20 වැනිදා සිකුරාදා




ඇම්ඩාගේ වැඩ ගැන කියන එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි
ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා
ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම
මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා
ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්
පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්
හීරෝ නීරෝ
එකම දවසේ සම්මාන දෙකක් දිනුවා
පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව
සිංහල සිනමාවේ අලුත්ම වසංගතය
රජ වෙන්න අවසර !
සිනමාකරුවකුගේ සිනමා සටහන
අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්
සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය . .
‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි
සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්
කලා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ ජනප්‍රවාදය සිනමාවට නැඟේ
‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි
“මං පොර” ජාතකේට මං කැමැති නෑ
ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ . . . .
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයි
කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය
ඩිරෙක්ටර්’ රූගත වෙයි
එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය
Independance Day : Resurgence
රොබෝවරුන් සිනමාවට එයි
ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන
ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්
මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන . . .
ආදරණීය කතාවක් අන්තර්ජාලයට එක්වූදා
‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා
සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය හොරා පොලිස්
පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’
ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්
‘සිංහයා’ සහ සැඟවුණ මිටියාවත සූදානම්
නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්
අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව
උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ
ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය අරඹන්න මේ ඉතා හොඳ අවස්ථාවක්

සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය අරඹන්න මේ ඉතා හොඳ අවස්ථාවක්

‘මායා’ හරහා සිනමා ලොව කැලඹූ පුබුදු චතුරංග

‘මායා’ චිත්‍රපටය අරභයා ජනප්‍රිය යොවුන් නළු පුබුදු චතුරංග ගේ දායකත්වය සුවිශාලය. සුවිශේෂය. එහි තිරපිටපත් රචකයා ලෙසින් ඔහු පුළුල් කාර්යභාරයක් ඉටුකර තිබේ. එමෙන්ම ඔහු එහි නිරූපණය කරන්නේ එකිනෙකට වෙනස් අභියෝගාත්මක භූමිකා හතරකි.

මින් පෙර සිංහල චිත්‍රපටයක නළුවකු විසින් භූමිකා හතරක් රඟපෑ අවස්ථාවක් මගේ මතකයට නොනැඟේ. එසේ නම් එය ද ඔහුගේ රංගන දිවියේ සුවිශේෂී පෙරළියකි.

නළුවකු හා තිර කතා රචකයෙකු ලෙස පුබුදුගේ වෙනස්ම පැතිකඩක් ‘මායා’ චිත්‍රපටය ඔස්සේ විවරණය වූ බව ප්‍රේක්ෂක - විචාරක මතයයි.

අප පුබුදු හා මෙසේ සංවාදයට එළැඹෙන්නේ එකී අපූර්ව දායකත්වය පිළිබඳ ඔහුගේ විග්‍රහය පාඨක ඔබ වෙත ගෙන ඒමේ අරමුණ පෙරදැරිවය.

‘මායා’ ඔබේ රංගන දිවියේ පමණක් නෙවෙයි, මුළු සිනමා ජීවිතයේම සුවිශේෂී කඩයිමක්. මම මෙහෙම අහන්නේ ඔබ එහි රඟපානවාට අමතරව තිරකතා රචකයා ලෙසත් කටයුතු කරන නිසා?

ඔව්, ඇත්තටම මගේ රංගන ජීවිතයේ මම දායක වූ සුවිශේෂීම රංගනයක් කියන්න පුළුවන්. මොකද මම එහි මාලන් කියන ප්‍රධාන චරිතයට අමතරව තවත් චරිත තුනක් රඟපානවා. ඇත්තෙන්ම ඒවා මාලන්ගේ ආත්මයට වැහෙන අද්භූත චරිත. ඒ චරිත එකිනෙකට වෙනස්.

මුලින්ම අපි කතා කරමු ‘මායා’ තිර නාටකය පිළිබඳ?

මම ලියපු මුල්ම චිත්‍රපට තිර නාටකය තමයි සරා. ටෙලි නාට්‍යයක් ඇසුරන් පිටපත ලියා සිනමාවට නැගුණ මුල්ම නිර්මාණය විදිහට එය ඉතිහාසයට එක් වුණා. ඊට අමතරව ‘ප්‍රවේගය’ තිර නාටකයට මම දායක වුණා. ‘මායා’ චිත්‍රපටයේ අනුවර්තනයේ සිට තිර රචනය දක්වා සියල්ල මගේ අතින් සිද්ධ වුණේ. ආර්. සදේශ් කුමාර ‘මායා’ නිෂ්පාදකයා තමයි මට ඒ සඳහා ආරාධනා කළේ. මේක අනුවර්තනයක් වුණත් මේ මහ පොළවට අපේ දේශීයත්වයට ගැළපෙන විදිහට එය සකස් කිරීමේ දැඩි වුවමනාව මට තිබුණා.

‘කාංචනා’ නමැති ජනප්‍රිය දමිළ චිත්‍රපටය අනුසාරයෙන් තමයි ‘මායා’ චිත්‍රපටය තැනෙන්නේ?

ඔව්. ඒ මුල් නිර්මාණයට හානියක් නොවන විදිහට මේ ශ්‍රී ලාංකික මහා පොළොවේ ‘මායා’ ස්ථානගත කිරීම තමයි මට තිබුණු ලොකුම අභියෝගය. ඒක ඉතාමත් හොඳින් ඉෂ්ට වෙලා තියෙනවා කියලා මට හැඟෙනවා. මොකද මේ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා. ‘කාංචනා’ චිත්‍රපටයත් ‘මායා’ත් දෙකම නරඹපු අය තමයි ගොඩක් ඉන්නේ. මේ වෙනකොට මට දහස් ගණන් ප්‍රතිචාර ලැබී තියෙනවා. ඒ හැම එකකින්ම කියැවුණේ ඒ මුල් කෘතියටත් වඩා ‘මායා’ හොඳයි කියලා. ඔවුන් පැවසූ ප්‍රධාන කාරණය තමයි මේ චිත්‍රපටයේ අපේකම තිබුණා. ඒක අපට දැනුණා කියන එක.

‘මායා’ සරල විනෝදාස්වාදය සපයන පවුලේ චිත්‍රපටයක්. මම හිතන්නේ ඒ පදනම මත තමයි චිත්‍රපටයට මේ තරම් පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලැබුණේ?

ඇත්තටම ‘මායා’ ‘කාංචනා’ චිත්‍රපටයේ කොපියක් නෙවේ. මෙහි දෙබස් මට අලුතින්ම නිර්මාණය කරන්න සිදු වුණා. මේ චිත්‍රපටයේ හාස්‍යයත් ගොඩක් තියෙනවා. ‘කාංචනා’ චිත්‍රපටයේ තිබුණ හාස්‍යය අපට ගැළපෙන්නේ නෑ. ඒ නිසා ඒ හාස්‍යය පවා අපියි නිර්්මාණය කළේ. විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ අප හුවා දක්වන බෞද්ධ පසුබිම තමයි ඉතා වැදගත්. ධර්මය පරම සත්‍යයක් කියන සංකල්පය මේ චිත්‍රපටයෙන් ගේන්න අපට පුළුවන් වුණා.

අපේ සිනමාව කර්මාන්තයක් හැටියට දියුණු වෙන්න නම් මෙවැනි චිත්‍රපට වැඩි වැඩියෙන් නිර්මාණය විය යුතු බවයි බොහෝ දෙනෙකු පවසන්නේ?

නිෂ්පාදක සදේශ් කුමාර්, අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත ඇතුළු අපි සියලු දෙනාට අවශ්‍ය වුණේ ප්‍රේක්ෂකයෝ ශාලාවලට ගෙන්වා ගැනීම මිසක් සම්භාව්‍ය, මහා සිනමා කෘතියක් නිර්මාණට කරන එක නෙවෙයි. සිනමාව, කර්මාන්තයක් විදිහට ආරක්ෂා කර ගැනීමට මූලික පදනම සකස් කර ගැනීම තමයි අපේ අරමුණ වුණේ. මේ වෙන කොට ‘මායා’ සියලුම ආදායම් වාර්තා බිඳ හෙළා තිබෙනවා. ඒ ගැන මට සංතෝෂයි. ලාංකේය සිනමාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් විදිහට මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.

හැබැයි මේ චිත්‍රපටය එහෙම්පිටින්ම ‘කාංචනා’ කොපියක් කියන අයත් නැතුවා නෙවෙයි. මේ අවස්ථාවේ ඔබට ඊට වගකීමකින් යුතුව උත්තරයක් දෙන්න පුළුවන්?

‘මායා’ තිරපිටපත ලියද්දී මම මුලින්ම බැලුවේ ‘කාංචනා’ වරැදි ටික මොනවද කියලයි. ඒ කියන්නේ චිත්‍රපටයේ අපට නොගැළපෙන තැන් ටික. ඒවා තමයි ඉස්සර වෙලාම අයින් කළේ. ඒ ප්ලොට් එක නැතිනම් තේමාව හරිම හොඳ එකක්. ඒක තමයි එය දැන් ඉන්දියාවේත් භාෂා ගණනාවකට පරිවර්තනය කරලා තියෙන්නේ. හින්දියෙනුත් ඒ ප්ලොට් එක කරන්න යනවා. ඉතිං ඒ තරම් ඉල්ලුමක් තියෙන ප්ලොට් එකක් මේ. ඉතිං ඒ වටා තමයි අපේ බෞද්ධ දර්ශනය ලාංකික අනන්‍යතාවය කියන කාරණා මම එකතු කර ගත්තේ. දැන් ‘කාංචනා’ චිත්‍රපටයේ ආදර කතාව ඉතා පොඩියි. ආදර කතාවක් කියලා එකක් නෑ. මට ඒ ආදර කතාව අලුතින් ලියන්න සිද්ධ වුණා. මොකද අපේ ප්‍රේක්ෂකයන්ට ඒ ආදර කතාවත් අවශ්‍යයි. ඊට පස්සේ පවුලේ කතාව, විනෝදාත්මක දේවල් සහ අපේ රටේ තියෙන දේශීය පාරම්පරික ඇදහිලි, විශ්වාස මම මේ තිර රචනයට ඇතුල් කළා. ඒවා හොඳින් අධ්‍යයනය කරලා තමයි මේ පිටපත මම ලිව්වේ.

මේ චිත්‍රපටයේ ඔබ චරිත හතරක් රඟපානවා. මාලන්ගේ චරිතය ඇතුලේ තමයි සෙසු චරිත තුන ප්‍රති නිර්මාණය වන්නේ. තිර නාටක රචකයා හැටියට මේ චරිත ඔබේ රංගනයට වැඩි වාසිවන විදියට රචනා කළාදෝ කියලත් මට හිතෙනවා?

ඇත්තටම දැන් මේකේ මුල් කෘතියත් රාඝව ලෝරන්ස් කියන නිර්මාණකරුවා විසින් ඔහුගේ රංග ප්‍රතිභාව පෙන්වන්න කරපු නිර්මාණයක්. ඉතින් සදේශ් කුමාර් මට මේ තිර නාටකය ලියන්න කිව්වෙත් මගේ ඇක්ටින් කැපෑසිටි එක පෙන්වන්න පුළුවන් වන විදියට. ‘ඔයාට අත දිගඇරලා ඇක්ට් කරන්න පුළුවන් චරිතයක් තියෙන්න ඕනෑ’ කියලා ඔහු මට කිව්වා. මෙවැනි බහුවිධ චරිත නිරූපණය කළ හැකි සුවිශේෂී නළුවන් දෙදෙනෙක් ඉන්දීය සිනමාවේ ඉන්නවා. ඒ තිර රචනා බොහෝ විට ලියැවෙන්නේ ඔවුන්ගේ රංගන කුසලතාව වඩාත් ඉහළ තලයකට ඔසවා තබන්න.

මම හිතන්නේ රාඝව ලෝරන්ස් සහ කමල් හසන් ගැනයි ඔබ සඳහන් කළේ?

ඔව්. ඇත්තටම දැන් කමල් හසන් ‘දස අවතාර්’ චිත්‍රපටයේ චරිත දහයක් නිරූපණය කරනවා. ඒ තත්ත්වයට ඔහු ගියා. අපේ සිනමාවේ ඒ වගේ අතදිගෑරලා රඟපාන්න චරිත ලැබෙන්නේ නෑ. ලැබුණත් ඒ පුංචි පරාසයක්. මාළුවෙක් මුහුදට දැම්මොත් ඌට හිතේ හැටියට පීනන්න පුළුවන්. පොඩි ඇලකට දැම්මොත් ඉතිං ඒ ඇලේ ප්‍රමාණයට විතරයි පීනන්න වෙන්නේ. ඒ වගේ ඇත්තටම අර අතපය දිග හැරලා රඟපාන්න පුළුවන් විදිහට මමත් මේ තිර නාටකය සකස් කර ගත්තා.

අපේ නළුවෙක් චරිත හතරකට පණ පොවන ප්‍රථම අවස්ථාව මේ?

ඔව්. මමත් හිතන්නේ ලාංකේය සිනමාවේ චරිත හතරක් එකම නළුවෙක් රඟපාන ප්‍රථම අවස්ථාව මේක තමයි.

මේ ඔබ, ඔබටම පවරාගත්ත අභියෝගයක්?

දැන් අපට කාන්තාවකගේ චරිතයක් රඟපාන්න පුළුවන්. ඒත් මේ ලිංග වරිවර්තනයකට ලක්වුණ කෙනෙකුගේ චරිතය නිරෑපණය කරන එකයි අමාරුයි. ඒ වගේම වයසක චරිතයක් නිරූපණය කරන්න පුළුවන්. ඒත් ද්‍රවිඩ වයසක මනුස්සයකුගේ චරිතය නිරූපණය කරන එක අමාරුයි. අපට ළමයකුගේ චරිතය නිරූපණය කරන්න පුළුවන්. නමුත් මන්ද මානසික දරුවකුගේ චරිතය නිරූපණය කරද්දී ඒක තව සංකීර්ණ වෙනවා. ඉතින් ඒ චරිත තුනම පියවරක් සංකීර්ණ කරලයි මම තිරනාටක ලිව්වේ. ඒ චරිත තුන ආවේශ වෙන්නෙත් පුබුදු චතුරංගට නෙවෙයිනේ. මාලන්ට. එතකොට මාලන් කියන චරිතය රඳවා තියාගෙන තමයි අර චරිත තුන ආවේශ වෙන්නේ.

ඔබේ රංගනයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

ඉතා විශාලයි. සාමාන්‍ය ප්‍රෙක්ෂකයෝ වගේම මේ රටේ විද්වත් පිරිසත් මට සුබ පැතුවා. ප්‍රභූවරුන් පවා. ඒක මට ලොකු සතුටක්.

ඔබේ මේ රංගනයන් මනා ඉවසීමකින් හා සංයමයකින් කළ යුතුව තිබුණා. ඔබ එය කළා. ඒකමිතිය බිඳ නොගෙන මේ චරිත අතර සැරිසරන්න පෙරහුරුවක්, ආභාෂයක් කොහෙන්ද ඔබට ලැබුණේ?

මම හිතන්නේ මට ඒ අවශ්‍යය දැනුම සහ සාධක ටික ලැබුණේ මහ පාරෙන් කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ කියන්නේ ලෝකේ තියෙන හොඳම විශ්ව විද්‍යාලයෙන්. ඇත්තටම මම කොළඹ ඇවිල්ලා අවුරුදු දෙකක්ම ජීවත් වන්නේ ඔරුගාඩවත්තේ බෝගහ යට. එතැන කාලි මෑණියන්ගේ දේවාලයක් තියෙනවා. ඔය දේවාලෙට එනවා එක එක ජාතියේ මිනිස්සු. ඒ මිනිස්සු ඇවිල්ලා එතැන ආවේශ වෙනවා. ඒ දිහා මම බලාගෙන හිටියා. මාව මවිතයට පත් වුණා ඒ දේවල් දැකලා. ඒ කාලේ මම කෙටි කතා රාශියක් ලිව්වා ඒ අත්දැකීම් සම්බන්ධයෙන්. ඊට පස්සේ මේ මෑත අතීතයේදීත් ගොඩාක් ඒ වගේ තැන්වලට ගිහිල්ලා මම ඒ දේවල් අධ්‍යනය කළා.

ඒ ගවේෂණයන් ‘මායා’ තිර පිටපත ලියද්දී ඔබට ලොකු පිටිවහලක් වෙන්න ඇති?

ඇත්තෙන්ම. මොකද මම දැකලා තියෙනවා මිනිස්සු එක එක ආත්මවලට ඇතුළු වෙන හැටි සහ පිට වෙන හැටි. ඒවා විශ්මයජනකයි. ඇතැම් විට බියකරුයි. ඒ සිදුවීම අමු, අමුවේ නෙවෙයි සිනමාත්මකව ඉදිරිපත් කරන්නයි මට අවශ්‍යය වුණේ. ඒ කාරණය තමයි මම තිර නාටකයෙන් වගේම රංගනයෙනුත් ඉෂ්ට කළේ.

සිනමාව අධ්‍යක්ෂවරයාගේ මාධ්‍ය වුවත් ඔබ මම හිතන්නේ විධානයන්ට යට නොවී බොහොම නිදහස්ව රංගන කාර්යයේ නියැළෙනවා. ඒ නිසා මේ චිත්‍රපටයට ඔබෙන් බොහෝ දේවල් එකතු වුණා කියලයි මට හිතෙන්නේ?

අධ්‍යක්ෂවරයා මට උපරිම නිදහස ලබා දුන්නා රඟපෑමේදී. අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත මහත්තයා මාව හොඳට දන්නවා මගේ පළමුවැනි චිත්‍රපටයේ ඉඳන්. ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටයෙත් සහාය අධ්‍යක්ෂවරයා වුණේ ඔහු. මාත් එක්ක චිත්‍රපට හය හතක ඔහු සහාය අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කර තිබෙනවා. ඉතින් ඔහු හොඳටම දන්නවා මගේ රංගන පරාසයන් ගැන. විශේෂයෙන්ම ඉන්දියාවෙන් කණ්ඩායමක් ආවා සියල්ල අධීක්ෂණය කරන්න. ඒ කණ්ඩායමත් එක්ක කතාබහ කරලා මේ චරිතවල ස්වභාවයන් මම හදා ගත්තා.

ඔබේ තිර රචනයට ඔවුන් එකඟ වුණාද?

දමිළ ඌරුව සහිත චිත්‍රපටයක් ඔවුන් අපෙන් ඉල්ලා සිටියා. නමුත් අපි කිව්වා ‘නෑ මේක අපේ රටට ගැළපෙන විදිහට නිර්මාණය කරන්න ඕනෑයි’ කියලා. පසුව ඔවුන් ඊට එකඟ වුණා. විශේෂයෙන් ඔවුන් මාව විශ්වාස කළා. මොකද මේ චිත්‍රපටයේ ප්‍රධාන වැඩ කොටස කෙරෙන්නේ මගේ අතින් නිසා. මේ චරිතවලට මම ‘රසකාරක’ යොදලා තිබ්බා.

මේ චිත්‍රපටයේ ඔබේ චරිත අතරින් වඩාත්ම ඔබ ප්‍රිය කරන්නේ?

ඇත්තම මේ චරිත හතරටම මම එක වගේ කැමැතියි. හැබැයි ඒ චරිත හතර සම්පූර්ණයෙන්ම එකිනෙකට පරස්පරයි. ඒකයි ලස්සන වැඩේ. ඒ එකකට එකක් කොහෙත්ම සමාන වෙන්නේ නැහැ. මාලන්ගේ චරිතයත් මට නිරූපණය කරන්න වුණේ වෙනම තලයකට බැහැලා. ඔහු ඉතාම හුරතලේට හැදිච්ච, තමන්ගේ මිතුරන් එක්ක පිස්සු නට නට ඉන්න හොල්මන්වලට බය, අම්මට දැඩි ලෙස ආදරය කරන චරිතයක්. අර පවුලේ දරුවා කියන එකනේ. මාලන්ගේ චරිතය නිරූපණය කරද්දී කොයි තැනකවත් අනෙක් චරිතවල ස්වභාවයන් ගෑවෙන්නවත් බෑ. ඉතිං මාලන්ගේ චරිතය එක තැනක තියාගෙන ඉන්න එකත් අභියෝගාත්මක කටයුත්තක් වුණා.

පුබුදු චතුරංග ‘සිනමා සක්විති’ ගාමිණී ෆොන්සේකා අනුකරණය කරනවා කියලා සමහරු කියනවා?

එහෙම වෙන්න විදිහක් නෑ. එහෙම වෙනවා නම් වෙන්න ඕනෑ ඉතින් මෙහෙමයි. බටහිර සිනමාවේ මම අධ්‍යනය කරපු රගංන ශිල්පීන් හා රංගන ක්‍රමවේදයන් සමහර විට ගාමිණී මහත්තයත් එහෙමම අධ්‍යනය කරලා ඇති. මොකද ඔහු ආභාෂය ලබා ගත්තේ බටහිරින්. මාත් ආභාෂය ලබා ගත්තේ බටහිරින්. ඒ නිසා එහෙම කියනවද දන්නෙත් නෑ.

එතකොට බටහිර සිනමාවේ ඔබේ පරමාදර්ශී චරිතය කවුද?

මෙහෙමයි, කීප දෙනෙක් ඉන්නවා. එක් කෙනෙක් කියලා වෙන් කරන්න අමාරුයි. මාලන් බ්‍රැන්ඩෝ ගේ ඉඳලා අපි ගත්තොත් රොබට් ඩි නීරෝ, ඇල්පචිමෝගේ රංගයන්ගෙන් යම් ආභාෂයක් ලබන්නට ඇති. ඒක අනුකරණයක් කියන්න බෑ. ඒ සියලුම දෙනාගේ සියලුම චිත්‍රපට එකතුවක් මං ළඟ තිබෙනවා. චිත්‍රපට හාර දහසක් පමණ. වර්තමානයේ ගත්තොත් ජොනී ඩෙප් දක්වා. ඉතින් එක් එක් කාලවලදී එක් එක් නළුවන් මගේ ප්‍රියතමයන් බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ විවිධ ඉරියව් මගේ ශරීරයට ඇතුළුවෙලා ඇති.

සිංහල සිනමාවේ අනාගතය පිළිබඳ බොහෝ දෙනකු තුළ පවතින්නේ අවිනිශ්චිත බවක්. නමුත් ‘මායා’ වාගේ චිත්‍රපටයක් නිසා ආයෙත් සුබවාදී බලාපොරොත්තු ඇති වෙනවා?

මේ වෙනකොට ‘මායා’ සියලු ආදායම් වාර්තා බිඳ හෙළා තියෙන්නේ. සතියේ දවස්වල පවා මේ චිත්‍රපටය බලන්න පෝලිම් තියෙනවා. එය ඉතාමත්ම ධනාත්මක දෙයක් වාණිජ සිනමාව පැත්තෙන් ගත්තම. මොකද කර්මාන්තය පවතින්නේ වාණිජ සිනමාව නිසා. එතකොට සෝමරත්න දිසානායක වගේ හොඳ වාණිජ චිත්‍රපට හදන කීප දෙනයි අපට ඉන්නේ. මම මේ කියන්නේ හොඳ වාණිජ චිත්‍රපට. නරක වාණිජ චිත්‍රපටත් තියෙනවා. එතකොට හොඳ වාණිජ චිත්‍රපට නිෂ්පාදනය කළාම හොඳ ප්‍රේක්ෂකයෝ විශාල ප්‍රමාණයක් සිනමා ශාලාවලට එනවා. ඒක දැන් ඔප්පු වෙලා තියෙනවානේ. ‘ආදරණීය කතාවක්’ වගේ චිත්‍රපටයක් නිර්මාණය වුණා. එතකොට ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටයත් තාම දුවනවා. මේ හරි අපූරු කාලයක්නේ. ‘28’ කියලා චිත්‍රපටයක් එන්න නියමිතයි. අනෙක් පැත්තෙන් ගත්තොත් ‘සෙවනැලි‘ කියලා චිත්‍රපටයක් එන්න නියමිතයි. ඒ චිත්‍රපට ඉතාම හොඳ නිර්මාණ. මං කියන්නේ මේක තමයි මොහොත ලාංකේය සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය බිහි කරන්න.

එහෙමද?

ඔව් අනිවාර්යයෙන්ම. දෙවැනි ස්වරණමය යුගය බිහි කරන්න ඉතාමත් හොඳ අවස්ථාවක් මේ උදාවෙලා තියනේනේ කියන එක මම ඉතාමත්ම විශ්වාසයෙන් කියනවා. හේමාල්ලා, රොෂාන්ලා, උද්දිකලා වගේ නළු පිරිසකුත් අපට ඉන්නවා. මධුරි ඩික්සිත්ලා එක්ක හැප්පෙන්න පුළුවන් සුරූපි නිළියෝ අපට ඉන්නවා. අපට මේ මොහොතේ වඩාත් අවශ්‍ය වන්නේ රාජ්‍ය මැදිහත්වීමයි.