වර්ෂ 2017 ක්වූ අගෝස්තු 22 වැනිදා අඟහරුවාදා




කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
මකුළු මිනිසාට විචාරකයන්ගේ ඉහළ පැසසුම්
යමරජු හමුවන සොහොන් පල්ලන්ගේ කතාව යම රජ සිරි
නිවුන් සොහොයුරන්ගේ ඇබැද්දිය Despicable Me 3
‘සුද්දිට අගෞරව කරන්න එපා’ අබසිරිගේ කතාව . . .
පිය සෙනෙහස තරම් සවියක් දියණියකට තව කොයින්ද
ගමත් නගරයත් අතර තුන් කොන් පෙමක පැටලෙන කුසල්ගේ කතාව “දෙවැනි වරම”
සිනමාවට අඳුරු විශ්වයක්
එකම මුහුණක්-චරිත දෙකක් Face 2 Face
නිසා වොන්ඩර් වුමන්
පස්සෙන් එන පාර්සලයක් ගැන කියන අලුත් චිත්‍රපටයක්
අතිඋතකර්ෂයෙන් පැවැති 70 වැනි කාන් සිනමා උලෙළ
සැබෑව, මායාව සහ ජීවිතය විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ නවතම සිනමාපටය
ඈත මන්දාකිනියේදී ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් Alien සමඟ රණබිමට
“තෘෂ්ණාව හා බැඳුණු බන්ධන” බන්ධනය : සිනමා විමසුම
කාන්තාවන් තිදෙනකුගෙන් වීර කාන්තාවක් ගැන පුවතක්
අකුරු උගනී කුමරු සොඳවා
‘බන්ධනය’ට සිරවන සිඟිති සුරතලිය . .
සිරිමල් මගෙ සකි යහපත් ළමයෙකි ළඟදීම රිදී තිරයට
හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ගෙනා La La Land දැන් ලංකාවේ . . .
ටෙලිවිෂනයෙන් සිනමාවට පැන්න Power Rangers
භීෂණයේ අලුත් කතාවක් සිනමාවට
වෙන් වන්න නොසිතන්න සුකුමාලියේ... සේයා
‘රන් සයුර’චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් මම වුණේ ඉන් ගැටලු රැසක් විසඳෙන නිසා
අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්

අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්

මහාචාර්ය සුනිල් ආරියරත්න තායිලන්තයේ අලි පෙරළියක

ගිරිරාජ් වගේ රඟපාන්න බැරි ඇයි දැයි තිරිමාදුරගේ වයිෆ් අහලා

සත් වැදෑරුම් ගිවිසුමක්, මහාචාර්යවරයෙක් සහ තායි අලි පැටියෙක් එක් වූ තැනදි ‘අලි කතාවක්’ බිහි විය. ඒ සත් වැදෑරුම් ගිවිසුම අතරින් දෙකක් වාචිකය. අනෙක් ඒවා ලිඛිතව රාජ්‍යතාන්ත්‍රික මට්ටම දක්වා ඔඩු දිවූ ඒවාය. ඒ මෙසේය.

අද අප අතර නැති ‘ගඟ අද්දර’ නවකතාව රචනා කළ ලෙටීෂියා බොතේජුගේ ‘අනූෂ සහ රජ කුමරු’ යොවුන් නවකතාව සිනමා තිර නාටකයකට නැඟීමට මහාචාර්ය සුනිල් ආරියරත්නට සිත් විය. ඒ සඳහා ලෙටීෂියාගේ බුද්ධිමය දේපළවල හිමිකම් දරන ඇයගේ පුත්‍රරත්නය විපුල් බොතේජු හමු වූ මහාචාර්ය ආරියරත්න නැවතුණේ ද වසර ගණනාවකට පමණ පෙර සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස් ද නැවතුණු තැනකින්ය. සැබැවින්ම එය දෛවෝපගත වූයේ ලෙටීෂියාගේම ‘ගඟ අද්දර’ කෘතිය සිනමාවට නැඟූ සුමිත්‍රා පීරිස් විසින් එදා කළ සද්කාර්යයකින්ම මෙදා ‘අනූෂ සහ රජ කුමරු’ ඇසුරින් මහාචාර්ය ආරියරත්න නිර්මාණය කිරීමට අදහස් කළ ‘අලි කතාවත්’ ඇරඹෙන්නට කරුණු යෙදීමය. එසේත් නැතිනම් දිවංගත කෘතහස්ථ ලේඛිකා ලැටීෂියා බොතේජු සිහිකොට මරණයට කැප වූ වසු පැටවකුට අභයදානය දීමෙන් අනතුරුව ඇගේ කෘතිය අලි කතාවට පෙරළන්නට සුනිල් ආරියරත්නට අවසර ලබා ගැනීම එක් ගිවිසුමකි.

ගුණපාල රත්නසේකර

එහෙත් අනෙක් ගිවිසුම් ඒ තරම්ම නම්‍යශීලී නොවේ. එතැන් පටන් මහාචාර්ය ආරියරත්න දනිපනියේ අලි කතාව නිමවන්නට සිතද්දී අලි කතාවට බරපැන දරන්නට නිෂ්පාදකවරයකු ද ඔහුට හමු විය. ඉදින් තවත් අඩුවක් පාඩුවක් වූයේ නම් ඒ කෙළිලොල් අලි පැටියෙකි.

මහාචාර්ය ආරියරත්නගේ මනස් සිනමාවේ ඇඳුණේ අපේ රටේ නමගිය බේකරියක සුරතලයට වැඩෙන අලි පැටවකු යොදාගෙන අනුරාධපුරය අවටදී අලි කතාව රූගත කරන්නටය. කොරේ පිටට මරේ කියන්නාක් මෙන් පෙරහැරවලටත් අලි නැතැයි කියමින් මැසිවිලි නඟන කලෙක මහාචාර්ය සුනිල් ආරියරත්නටත් සිදු වූයේ දැන් චිත්‍රපටයකට යොදා ගන්නවත් අලි පැටියකු සොයා ගත නොහැකිය කියමින් එතෙක් සිත නැමැති පුළුල් තිරයේ රඟදැක්වුණු අලි කතාව බොල්ගොඩ ගංතෙර හිඳ තනිපංගලමේම සිතින් අකා මකා දමන්නටය.

එහෙත් මහාචාර්ය ආරියරත්නට තායිලන්තය සිහියට නැඟෙන්නේ ඒ අටමගල අස්සේය. ඒ තායි රටත් සමඟ නිරතුරුවම සබඳකම් පැවැත් වූ කිහිප දෙනකු හරහා අලි කතාවට තක්කෙටම ගැළපෙන අලි පැටවකු සොයා ගත හැකි අලි ඉසව්වක් පිළිබඳ කන වැකීමත් සමඟය. මහාචාර්යවරයාත් ‘යමුද අපි පොඩි ටි‍්‍රප්පෙකක්’ කියමින් චන්න සහ විමල් දේශප්‍රියලාත් එක් කරන් ගියේ තායි රටටය. ඈලි මෑලි වී ගිය මහාචාර්ය ආරියරත්නගේ අලි කතාව අළු ගසා නැවත තායි රටේදී නැඟී සිටින්නේ එවිටය. අලි කතාවට ලංකාවෙන් ගන්නට සිටිය අලි පැටියාටත් වඩා සෙල්ලක්කාර සුරතලයට හොඳින්ම හුරු පුරුදු කළ ‘රාජු’ව ඒ පිරිස තායිලන්තයේ චියැන්ග්මායිහිදී දකින්නේ ශ්‍රී ලංකාවේ ‘පින්නවල’ තිබෙනවාටත් වඩා සද්දන්ත ඇත්ගාලකදීය.

‘හරි දැන් වඩේ හරිය, සිතුවත් එදා සුනිල් ආරියරත්නටත් වැරදිණි. ඒ රාජුව යොදාගෙන ‘අලි කතාව‘ තායිලන්තයේදී කරන්නට නම් මුලින් සිතුවාට වඩා වැඩි සල්ලි මල්ලක් වුවමනා වීම නිසාය. ඒ සල්ලි මල්ලට ඔලඟු තියන්නට අකැමැති වූ අලි කතාවේ නිෂ්පාදකවරයා ද එතැන් පටන් අහක බැලීය. තායිලන්තයේදී රූගත කෙරෙන මේ ශ්‍රී ලංකේය චිත්‍රපටයේ කටයුතුවලට ඒ රටෙන් ද ගිවිසුම් පිට ගිවිසුම් වශයෙන් ගිවිසුම් පහක් පමණ එකිනෙක ගොඩගැසිණ. ඉදින් දැන් මහාචාර්ය ආරියරත්න කරවටක් එසවුණු ඒ ගිවිසුම් සමඟ තනි වූ ගමන්ය. තායි රටෙන් පෙරළා ලංකාවට පැමිණි මහාචාර්යවරයාට සොයා ගත් තායි අලි පැටියා සමඟ අලි කතාවට බර පැන දරන්නට ඉදිරිපත් වන උත්තමයකු නැවත සොයන්නට සිදු විය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර ඊට ටික කලෙකට ඉහතදී තමාගෙන් ලබාගත් උපදෙසක් එක්වරම මහාචාර්ය ආරියරත්නගේ සිතට නැඟුණේ එවිටය. ඒ ලක්ෂ එකසිය පනහක ලන්සුවක් තබා තිබෙන එක්තරා චිත්‍රපට අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයක් මිලට ගැනීම පිළිබඳ සෙවිල්ලක ඔහු පසු වූ බවකි.

හිතමිත්‍ර රත්නසේකර ඒ චිත්‍රපටය මිලදී ගැනීමට එකඟ වූයේදැයි විපරම් කළ මහාචාර්ය ආරියරත්නට එවැන්නක් සිදු වී නැති බව පසක් විය, ඒ ඇසිල්ලෙන්ම බළලා මල්ලෙන් පැන්නේය. දුරකතනයෙන්ම මහාචාර්යවරයා ගුණපාල රත්නසේකරට තමන් වැටුණු අමාරුව කීය. එසැණින්ම ඇරඹූ කටයුත්ත අතරමඟ නවතා නොදමන්නට යයි කියූ රත්නසේකරත් ආරියරත්නයන්ට දිරි දෙමින් සුභවාදී ප්‍රතිචාර දැක්වීය. ඒ ඇල්ම නිමා වූයේ අලි කතාවේ බර පැන ගුණපාල රත්නසේකර තමාගේ කර පිටට ගැනීමෙන්ය. මුලින්ම සඳහන් කළ සත් වැදෑරුම් ගිවිසුම් අතරින් අවසාන අංගය එකතු වන්නේ මෙතැනටය. ඒ මහාචාර්ය ආරියරත්න ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකරට දුන්නු වාචික ගිිවිසුමකි. ඒ ‘උඹ බයවෙන්න එපා රත්නේ, මං උඹව ගොඩ දානවා’ වශයෙනි. දැන් ඒ ගිවිසුම් පළහිලව්වෙන් මිදී අපටත් තායිලන්ත දර්ශන තල සිසාරා සැරිසැරිය හැකිය. දින විසි ගණනක් තිස්සේ වන දුර්ග අතරින් ‘සිප්වින් ෆිල්ම්ස්’ පිරිවර ගත කළ ඒ දුෂ්කරතා දන්නෝ දනිතිය.

තායිලන්තයේ බැංකොක් නගරයෙන් ඇතුළතට වන්නට කිලෝ මිටර් හත්සියයක් තරම් දුර දර්ශන තල සොයා අලි කතාව පියමං කළේය. ඔවුන්ට ‘රාජු’ හමු වූයේ එහිදීය. අලි කතාවේ ප්‍රධාන චරිතය ද රාජුය. රාජුව මෙල්ල කිරීමත් ඕනෑම ජගතෙකුට කළ හැක්කක් නොවීය. ඒ සඳහා පුහුණුකරුවකු ඒ කඳවුරේම විය. පුහුණුකරු පමණක් ඇස ගැටීම රාජුට මදිය. රාජුගේ මව් ඇතින්නද නිතරම රාජු නමැති මේ අලි පැංචාට පෙනෙන මානයේම සිටිය යුතුයි. එය එසේ නොවූ අවස්ථාවක රාජු අලි කතාව කනපිට පෙරළන්නට තරම් කෝපගත් බවක් තායි රටට ගොසින් අලි කතාව නිර්මාණය කළ ඒ පිරිවරේ කාටත් අමතක නොවන මතකයක්ය.

අලි කතාව ඒ විදියට හැදෙද්දී තවත් අලි කතා එමට තායිලන්තයේ දර්ශන තලවලදී සිදු විය. තායිලන්තය දක්වාත් දුරදිග ගිය කුමාර තිරිමාදුරගේ සහ ගිරාගේ (ගිරිරාජ් කෞශල්‍ය) බිරින්දෑවරුන්ගේ ඊර්ෂ්‍යාවක් නිවාඩු පාඩුවේ මේ නළු නිළි පිරිස සිටිනා විවිධ අවස්ථාවලද මතුවුවකි. එසේ මතු වී ඒ අවට සිටි සියල්ලන්ම සිනහා ගැන්වූවකි. ඒ වෙනින් මොකක්වත් නොව ගිරාගේ සහ තිරිමාදුරගේ බිරින්දෑවරුත් එකිනෙකාට මේ ප්‍රවීණ නළුවන්ගේ රසිකාවන් වීමය.

‘අර බලන්නකෝ ගිරාගේ ඇක්ටිං ෂෝක් අනේ. ඇයි අනේ ඔයාටත් එහෙම බැරි...’

මේ තිරිමාදුරට ඇසෙන ඔහුගේ බිරිය කරන චෝදනාවකි. තිරිමාදුරගේ බිරියගේ ඒ කතාව ඇසූ ගිරාටත් තිබෙන ඒ අන්දමේම කන්කරච්චලයකි. ගිරිරාජ් කෞශල්‍ය කියන්නේ තමන්ගේ බිරියත් තිරිමාදුරගේ ඇක්ටිං දුටු විට ඒ චෝදනාවම තමන්ටත් එල්ල කරන බවකි. මස් මඩුවකින් මරණයට කැප වූ වසු පැටවකු නිදහස් කරගන්නට ගිය වේලාවේදී ගිරාට බයේ වසු පැටියාත් පැන දිවූ බවයි තිරිමාදුර නම් කියන්නේ. දීපානි සිල්වාත් සුළු සහාය චරිතයකින් අලි කතාවට සම්මාදන් වූවත් එයත් ප්‍රේක්ෂක මතකයේ කලක් රැඳෙන්නක්ම වනු ඇති බවයි අලි කතාවේ චරිතය පිළිබඳ දීපානි සරසවියට කීවේ. සුපිරි තරු මාවතේදී ටෙලිවිෂනයෙන් රටම හඳුනා ගත් දක්ෂ ළමයින්ව රටේ ප්‍රවීණයන් අමතක කොට නැති බවට පණිවුඩයක් මහාචාර්ය ආරියරත්න ‘අලි කතාව‘ හරහා ලබාදී තිබෙනවා. විශේෂයෙන් දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවේදී මුල් තැන් දිනූ විදූෂා නේත්‍රාංජලීටත්, ඉරෝෂන් මධුසංඛටත් විශාරද නන්දා මාලිනියත් ගී ගයන ‘අලි කතාව‘ චිත්‍රපටයේ මියුරු පසුබිම් ගීතයක් ගායනා කරන්නට ඉඩ ලබාදීම එවැන්නක්. යොහානි හංසිකාත් එසේමයි. ‘නිල් තණකොළ බුදින්ටයි - සිතුනු තැනක ලගින්ටයි’ ආදී ගීත අලි කතාව චිත්‍රපටයෙන් වෙන් කොට වුවද රස විඳිය හැකියි. එවන් මියුරුතම ගීත සතරකින්ම මේ චිත්‍රපටය සමන්විතයි. චිත්‍රපටයේ තේමා පාඨය වශයෙන් යොදා තිබෙන්නේත් ගීයක එන ‘කැලේ අයිති අලින්ටයි’ කොටසමයි.

තායි කෑම සහ තායි භාෂාව ඇසුරේ ‘අලි කතාව‘ රූගත කරද්දී මේ පිරිසට මුහුණදීමට සිදුවෙච්ච අකරතැබ්බත් ලියන්නට වටිනා තරම්ය.

‘අලි කතාවේ’ පිරිවරට ආහාර සැපයූ තායි අවන්හලේ පිරිස දැන සිටියේ තායි බසම පමණයි. අලි කතාවේ ප්‍රධාන චරිතය මවන ‘රාජු’ අලි පැටියාත් ඒ පැටියාගේ පුහුණුකරුටත් එය එසේමයි.

චිකන්, ෆිෂ් කියා කීවත් නොතේරුණු ඒ තායි පිරිසට ඇඟිල්ලෙන් ඇන ඇන ඒවා පෙන්වූවොත් පමණමයි ඒවා තේරුණේ.

තායි අලි පැටියා වෙච්ච රාජුට වැටහුණේත් තායි භාෂාව විතරමයි. මේ නිසා අලි පැටියා දර්ශන තලවලදී මෙහෙයවද්දී අධ්‍යක්ෂවරයා සිංහලෙන් ඉල්ලා සිටින රූප රාමුව තායි බසට පෙරළා එම පුහුණුකරු හරහායි අලි පැටවාටත් සන්නිවේදනය කෙරුණේ.

 

මහාචාර්ය සුනිල් ආරියරත්න

රූගත කිරීම් පටන් ගනිද්දී උක් සහ විවිධ කොළ වර්ග යස අගේට ගිල දැමූ රාජු අලි පැටියාට ශ්‍රී ලංකාවෙන් එහි ගිය පිරිස ආදරේට කෙසෙල් ගිල්ලවන්න ගන්නවා. අන්තිමේදී අනෙක් සියලු ආහාර ගැනීම වර්ජනය කළ රාජු කොච්චරක් නම් කෙසෙල්වලට ගිජු වුණාද කියනවා නම් කෙසෙල් මලක් පෙන්වලා රාජුව ලංකාවට ගෙන එන්න පවා පුළුවන්කම තිබුණු බවයි තායි ගිහින් අලි කතාව හදාගෙන ඇවිත් සිටින කොයි කවුරුත් කියන්නේ. ඒ විදියට කොච්චරක් ආදරේ කළත් රාජු අලි පැටියා මුරණ්ඩුකමේම සිටිය එක් සිද්ධියකුත් තියෙනවා. ඒ අලි කතාවේ ප්‍රධාන ළමා චරිත දෙකින් එකක් වන සුමංගලීට (යොහානි හංසමාලි) එකම වතාවකදීවත් රාජුගේ පිටට ගොඩ වදින්නට ඉඩ නොදීම. කෙතරම් තොදොල් කලත් සුමංගලීව කරමත තැබූ සෑම වතාවකදීම රාජු ඇයව බිමටයි ඇද දැමුවේ. මේ නිසා මහාචාර්ය සුනිල් ආරියරත්නට සුමංගලීව රාජුගේ කරේ නංවා රූගන්වා ගන්නට බලා සිටිය සමහර දර්ශනත් මේ චිත්‍රපටයෙන් ඉවත් කරන්නටයි සිද්ධ වුණේ. සුමංගලීට එහෙම කළත් රාජු භානුට එහෙම කළේ නැහැ. ඉතින් සුමංගලීට පිට උඩ ඉන්න තිබිච්ච කාලයත් අරන් අලි කතාවේ භානුගේ චරිතයට පණ දෙන කෞශල්‍ය ප්‍රනාන්දුට ඒ සුරතල් අලි පැටවාගේ පිටේ නැඟගෙන ඔබ මොබ සැරසරන්න ඉඩ ලැබුණා.

රූගත කිරීම් නිමවීමෙන් පසුව දැන් සංස්කරණයේ පසුවන මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අලුත් චිත්‍රපටය වන ‘අලි කතාව‘බොහෝ විට ලබන වසරේ මුල් කාර්තුවේදී කාට කාටත් දැකගත හැකි වේවි.

ප්‍රධාන චරිතය වශයෙන් රාජු නමැති අලි පැටියා පිරිවරාගෙන සිංහල සිනමාවට සපැමිණෙන ‘අලි කතාව‘ චිත්‍රපටයේ ප්‍රධාන ළමා චරිතවලින් කෞශල්‍ය ප්‍රනාන්දු (භානු) යොහානි හංසිකා (සුමංගලී) ද සෙසු චරිතවලින් රවීන්ද්‍ර රන්දෙණිය, දීපානි සිල්වා, දුලීකා මාරපන, විල්සන් ගුණරත්න, ධනංජය සිරිවර්ධන, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, ගිරිරාජ් කෞශල්‍ය, රොඩ්නි වර්ණකුල, තාරුකා වන්නිආරච්චි ආදීහු අප හමුවෙති.

අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න ද, නිෂ්පාදනයෙන් ගුණපාල රත්නසේකර ද, සහාය අධ්‍යක්ෂණයෙන් විමල් දේශප්‍රිය ද, කැමරාකරණයෙන් චන්න දේශප්‍රිය ද, කලා අධ්‍යක්ෂණයෙන් බිමල් දුෂ්මන්ත ද, වේශ නිරූපණයෙන් හර්ෂ මංජුල ද, සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ ද, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර ද, වස්ත්‍රාභරණ නිර්මාණයෙන් තිළිණ හෙට්ටිගමගේ ද, නිෂ්පාදන කළමනාකරණයෙන් මනෝහාරි හේවාවසම් ද, දෘශ්‍ය ප්‍රයෝගකරණයෙන් චත්‍ර වීරමන් ද, නර්තන අධ්‍යක්ෂණයෙන් චන්දන වික්‍රමසිංහ ද, සංගීත සංයෝජනයෙන් සංගීත් වික්‍රමසිංහ සහ සුගත් හෙට්ටිආරච්චි ද, නාද සැලසුම්වලින් ශෂික රුවන් මාරසිංහ ද, නිශ්චල ඡායාරූපකරණයෙන් මහේන්ද්‍ර ජයසුන්දර ද අලි කතාවේ පංගුකරුවෝ වී සිටිති.