වර්ෂ 2017 ක්වූ ජුනි 27 වැනිදා අඟහරුවාදා




ගමත් නගරයත් අතර තුන් කොන් පෙමක පැටලෙන කුසල්ගේ කතාව “දෙවැනි වරම”
සිනමාවට අඳුරු විශ්වයක්
එකම මුහුණක්-චරිත දෙකක් Face 2 Face
නිසා වොන්ඩර් වුමන්
පස්සෙන් එන පාර්සලයක් ගැන කියන අලුත් චිත්‍රපටයක්
අතිඋතකර්ෂයෙන් පැවැති 70 වැනි කාන් සිනමා උලෙළ
සැබෑව, මායාව සහ ජීවිතය විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ නවතම සිනමාපටය
ඈත මන්දාකිනියේදී ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් Alien සමඟ රණබිමට
“තෘෂ්ණාව හා බැඳුණු බන්ධන” බන්ධනය : සිනමා විමසුම
කාන්තාවන් තිදෙනකුගෙන් වීර කාන්තාවක් ගැන පුවතක්
අකුරු උගනී කුමරු සොඳවා
‘බන්ධනය’ට සිරවන සිඟිති සුරතලිය . .
සිරිමල් මගෙ සකි යහපත් ළමයෙකි ළඟදීම රිදී තිරයට
හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ගෙනා La La Land දැන් ලංකාවේ . . .
ටෙලිවිෂනයෙන් සිනමාවට පැන්න Power Rangers
භීෂණයේ අලුත් කතාවක් සිනමාවට
වෙන් වන්න නොසිතන්න සුකුමාලියේ... සේයා
‘රන් සයුර’චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් මම වුණේ ඉන් ගැටලු රැසක් විසඳෙන නිසා
පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’

පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’

දවල් කාලයේ රත් වූ වැල්ල කෙමෙන් කෙමෙන් සිසිල් වන්නට පටන්ගෙනය. බටහිර අහස් කුස රත් පැහැයෙන් බබළයි. වලාකුළු නෙක නෙක රටා මවමින් අහස් ගැබ සිසාරා විහිදී ගොස්ය. නාවික යාත්‍රා නිසා ක්ෂිතිජ ඉමේ සියුම් බව අතරින් පතර බිඳී තිබුණි. මුහුදු රළ පුරුදු පරිදි වෙරළ සිඹ යළිත් දියඹට යයි. ඕ සිය දරු ගැබ පරිස්සමින් අල්ලා වැල්ලේ දණ ඔබා ඉඳ ඇඟිලි තුඩින් සුන්දර කැදැල්ලක් සිතුවම් කළාය. සයුරු රළ නැවතත් ඕ ඉදිරිපටම ඒ සිතුවම මකා දැම්මේය. බලාපොරොත්තු සුන් වූ ඈ වැලි අහුරක් දෝතට ගෙන මිරිකමින් වැල්ලේ පහුරු ගාමින් කෑ ගැසුවේ තම සිතේ මෝදු වූ අහිමි වේදනාව උදම් රළට පවසන්නට මෙනි.

දරු ගැබක් කුසේ දරාගෙන පිටේ තම ගමන් මල්ලත් බැඳගෙන ඕ කිනිස්සකින් වැල්ලට අනිනුයේ තම හිසකේ දසත විහිදුවමිනි. කෙතරම් අසීරු වුවත් ඇය ඉතාම මහන්සියෙන් වැල්ලේ ලොකු වලක් කැපුවාය. ඒ මිනී වලක්ය. ඇයට අවශ්‍ය වූයේ එහි තම මව සඟවන්නටය. අම්මා නමින් ඇගේ සිතේ ජනිත අසීමිත ප්‍රේමය ඇය මුසු කළේ නිසල මවගේ දේහය බදා ඉකි බිඳීමෙනි. ඕ විපිළිසරය. අසරණය. මවගේ දේහයට මනමාලියක මෙන් වේලයක් බැඳ දෑතට මල් කලඹක් දී ඇය මනාලියක වීමේ සිහිනය සිතින් රස වින්ඳාය. ඇගේ දුක්බර තරුණ අවධිය ඈ අසලට පැමිණි විට ඕ දරු ගැබ ගැනත් නොසිතා වේගයෙන් වැල්ලේ දිව්වාය. ඇය හැසිරුණේ සංකීර්ණ සිතුවිලි සමූහයක අතරමංවය. විටෙක ඇය අඬමින් මවගේ මිනී වලෙන් ගොඩට පැමිණෙයි. අම්මා කියමින් කෑගසා හිස බදාගෙන අඬා වැළපෙයි. නැතිනම් තමාගේ කුසෙහි සිටින දරුවා ගැන බෝනික්කෙකු දෙස බලා සිහින දකියි. තවත් වරෙක මවගේ නිසල ශරීරය දෙස බලාගත් අත බලා සිටී.

සැබැවින්ම මේ කාන්තාවගේ චරිතය කුමක්ද? ඇගේ කුස ඉදිරියට නෙරා තිබීම ඈ ගැබ්ගෙන සිටී යන්නට සාක්ෂිය. නමුත් ඕ සැබැවින්ම ගැබ්බරද? ගැබ්බර මවක් වැල්ලේ එලෙස හැසිරේද? නැත. ගැබ්බර වී ඇත්තේ ඇගේ කුස නොව සිතය. ඒ තමාට අහිමි වී ගිය දාරක ස්නේහයත්, මව පියා ඇතුළු සුන්දර පවුල ගැනය. ඇය ගණිකාවකට දාව උපන් අවජාතක සුන්දර ළඳකි. නමුත් ඇගේ ළමා විය, තරුණ විය සමාජය විසින් අසුන්දර කර ඇත. ඇය සොයනුයේ ඒ අසුන්දර මතකය අමතක කරන්නට මඟය. එබැවින් ඇය තමා මෙලොවට බිහි කළ අම්මාව ඝාතනය කිරීමේ අරමුණින් මව පසුපස ලුහුබඳී. ඇගේ මව සමාජයේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන දේශපාලනඥවරියකි. දියණිය නොයෙක් වේශයෙන් තම මව මැරීමට උත්සාහ දරයි. එහෙත් ඒ සෑම අවස්ථාවක්ම නිශ්ඵල වේ. එක් අවස්ථාවක දියණිය මවට මෙසේ පවසයි.

'දන්නවද මම පස්සෙන් පන්නන්නේ ඇයි කියලා?'
'දායාද ඉල්ලන්න නෙමේ කියලා දන්නවා'
'අම්මා මම අම්මා කෙනෙක් වෙන්න යනවා'
'එහෙම කොහොමද වෙන්නේ? මමත් තාම කසාඳ බැඳලා නෑ'

මවක් හා දියණියක් කේන්ද්‍ර කොටගෙන මාතෘදාරක සෙනෙහස පිළිබඳ වෙනස්ම ඉසව්වක් කරා පිය නඟන නවතම සිනමාලංකාරයකි 'මං විතරයි' සිනමා කෘතිය. කීර්ති කේ. රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමා කෘතිය පවුල, නම්බුව, මිල මුදල් සහිතව සමාජයේ පිළිගත් පවුලක් අහිමි ස්ත්‍රියකගේ භූමිකාව නිරූපණය කරයි. සිනමා කෘතියේ මූලික චරිත වන දියණියගේ පෙම්වතා, දියණිය හා මව යන චරිත ත්‍රිත්වයම ජීවිතය ජීවත් කිරීමේ අපේක්ෂාවෙන් වෙලී සිටී. දේශපාලන බලවේග, මව සහ දියණිය අතර ඇති සෙනෙනහස, ආදරය ආදී විෂය පථයන් එකට එකතු කර නිමවෙන 'මං විතරයි' සිනමා කෘතිය ළඟදීම ඔබ හමුවට පැමිණේ.

මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය වන දියණියට පණ පොවනුයේ මාධනී මල්වත්තගේය. මව ලෙස ෆර්නි රෝෂනී රංගනයෙන් දායක වේ. දියණියගේ ප්‍රේමවන්තයාට රඟපානුයේ විශ්ව ලංකාය. කැමරා අධ්‍යක්ෂණය බුද්ධික ඉන්ද්‍රජිත්ගෙනි.

සමාජයේම වරදකින් බිහිවන ගණිකාවක් ගණිකාවක් වීම නිසා දරුවන්ට අහිමි වන මව් සෙනෙහසත්, සුන්දර පවුලකට උරුමකම් කීමේ අයිතියක් ගැන පුළුල් අත්දැකීමක් ප්‍රේක්ෂකයාට තිළිණ කරන 'මං විතරයි' සිනමාපටය කීර්ති කේ. රත්නායකගේ කුලුඳුල් සිනමා කෘතියයි. එබැවින් සිනමාවට ආදරය කරන සෑම ප්‍රේක්ෂකයෙකුටම 'මං විතරයි' සිනමා කෘතිය අපූරු සිත්තමක් මවනු නොඅනුමානය.