වර්ෂ 2017 ක්වූ ජනවාරි 18 වැනිදා බදාදා




ඇම්ඩාගේ වැඩ ගැන කියන එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි
ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා
ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම
මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා
ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්
පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්
හීරෝ නීරෝ
එකම දවසේ සම්මාන දෙකක් දිනුවා
පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව
සිංහල සිනමාවේ අලුත්ම වසංගතය
රජ වෙන්න අවසර !
සිනමාකරුවකුගේ සිනමා සටහන
අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්
සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය . .
‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි
සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්
කලා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ ජනප්‍රවාදය සිනමාවට නැඟේ
‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි
“මං පොර” ජාතකේට මං කැමැති නෑ
ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ . . . .
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයි
කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය
ඩිරෙක්ටර්’ රූගත වෙයි
එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය
Independance Day : Resurgence
රොබෝවරුන් සිනමාවට එයි
ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන
ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්
මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන . . .
ආදරණීය කතාවක් අන්තර්ජාලයට එක්වූදා
‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා
සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය හොරා පොලිස්
පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’
ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්
‘සිංහයා’ සහ සැඟවුණ මිටියාවත සූදානම්
නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්
අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව
උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ
ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට

ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට

1957 වර්ෂයේ කෑන්ස් සිනමා උළෙල නියෝජනය කල ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ සිනමාපටයේ සිට 2015 වර්ෂයේ දෙසැම්බර් මස දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කල දේවින්ද කෝන්ගහගේගේ ‘භවතරණ’ සිනමාපටය දක්වා වූ සිනමා ගමන්මගේ ශ්‍රී ලාංකේය වෘත්තාන්ත සිනමාපට 201ක්, අන්තර්ජාතික සිනමා උළෙලවල් 320 කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරමින්, ශ්‍රී ලංකාව උදෙසා ජාත්‍යන්තර සිනමා වෙළදපොලක් හිමිකර ගැනීමේ දැඩි අදිටනකින් යුතු වූ අරගලයක නියැලුණද, වාණිජ්‍යමය ස්ථාවරත්වයක් සහිත සිනමා කර්මාන්තයක් ලෙසින් ශ්‍රී ලාංකේය සිනමාව තවමත් ඉස්මතු නොවීම කැපීපෙනේ. එනමුදු අන්තර්ජාතික සිනමා උළෙලයන් තුළ ශ්‍රී ලාංකේය කලාත්මක සිනමාපට උදෙසා හිමි පිළිගැනීම ප්‍රශංසනීයය.

පෙර වර්ෂයන්හීදී මෙන්ම 2015 වර්ෂයද මෙරට සිනමාපට උදෙසා ජාත්‍යන්තර සිනමා වෙළදපොලක් හිමිකර නොදෙමින් අවසානය සනිටුහන් කලද, එම වර්ෂයේදී ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 26ක් ශ්‍රී ලංකාවේදී මෙන්ම විදේශයන්හීදී පැවති අන්තර්ජාතික සිනමා උළෙලයන් 35 කට ආසන්න සංඛ්‍යාවකදී තිරගතකරලමින් අන්තර්ජාතික සිනමා සම්මාන 09කින් පිදුම් ලැබීමට සමත්වීම , දේශියව කුඩා සිනමා කර්මාන්තයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව වැනි රටක් ලද ජයග්‍රහණයකි. මෙලෙස ලද ඇතැම් සම්මානයන් මෙරට නිසි ප්‍රශංසාවට බඳුන් වූ නමුදු, යම් සම්මානයන්හී පිළිගැනීම හා විශ්වාසනීයත්වය පිළිබඳ යම් ආන්දෝලනාත්මක කතිකාවතක් රටතුල ඇති කරලීමට හේතු සාධක විය. මෙම ලිපිය එකී ප්‍රශංසා, පිළිගැනීම් හා විවේචන මැදින් ගලාගිය 2015 වර්ෂයේ අන්තර්ජාතික සිනමා උළෙලයන්හී ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයන් පිළිබඳ වූ විශ්ලේෂණයකි.

දීර්ඝ වෘත්තාන්ත සිනමාපට

(01). රෝයල් රීල් සම්මානය (Royal Reel Award)  - මංගල ගමන- 09 වෙනි කැනඩා අන්තර්ජාතික සිනමා උළෙල (වැන්කුවර්- කැනඩාව) - අප්‍රියෙල්, 2015

2015 වර්ෂයේදී ශ්‍රී ලංකාව සිය පළමු අන්තර්ජාතික සිනමා ජයග්‍රහණය වාර්තා කරන ලද්දේ, එම වර්ෂයේ අප්‍රියෙල් මස කැනඩාවේ වැන්කුවර් නුවර පැවති 09 වෙනි කැනඩා අන්තර්ජාතික සිනමා උළෙලේදීය. මෙහිදී නන්දන හේවාපන්නගේ කුලුදුල් සිනමා සිත්තම වූ ‘මංගල ගමන’ (Wedding Journey) , එම උළෙලේ විදෙස් සිනමාපට තරඟ අංශය (Foreign Film Competition) යටතේ පිරිනමන ‘රෝයල් රීල් සම්මානයෙන්’ පිදුම් ලැබීමට සමත් විය.

‘මංගල ගමන’ නියෝජනය කල විදෙස් සිනමාපට තරඟ අංශය උදෙසා පමණක් , හොඳම සිනමාපටය උදෙසා ජූරි සම්මානයක් , රයිසින් ස්ටාර් සම්මාන 10ක්, රෝයල් රීල් සම්මාන 10ක් සහ විශිෂ්ටතා සම්මාන 11ක් ඇතුළුව සම්මාන 32 ක් 2015 වර්ෂයේදී පිරිනමන ලදී. 2007 වර්ෂයේදී ආරම්භය සනිටුහන් කල කැනඩා අන්තර්ජාතික සිනමා උළෙලේ, තරඟ අංශ 09 ක් යටතේ සම්මාන පිරිනමන අතර, එකී සියලුම තරඟ අංශ උදෙසා 2015 වර්ෂයේදී පමණක් පිරිනමන ලද මුළු සම්මාන සංඛ්‍යාව 314කි.

(02). හොඳම අධ්‍යක්ෂක - පටිභාන- 05 වෙනි සාර්ක් සිනමා උළෙල- (කොළඹ -ශ්‍රි ලංකාව) - මැයි, 2015

(03). හොඳම වෘත්තාන්ත සිනමාපටය - මෝටර් බයිසිකල් - 05 වෙනි සාර්ක් සිනමා උළෙල- (කොළඹ -ශ්‍රි ලංකාව) මැයි, 2015

දකුණු ආසියානු කලාපීය රාජ්‍යයන් 08හී සිනමාපට උදෙසා පමණක් සීමාවූ සාර්ක් සිනමා උළෙලේ ආරම්භය 2011 වර්ෂයේදී සනිටුහන් විය. වර්තමානයේදී කෙටි හා දීර්ඝ වෘත්තාන්ත සිනමාපට වෙනුවෙන් පමණක් සම්මාන පිරිනමන මෙම උළෙලේ 2015 වර්ෂයේදී අංශ ද්විත්වය යටතේම තිරගත වූ මුළු සිනමාපට සංඛ්‍යාව 18කි. මෙහිදී ‘පටිභාන’ (Perception) සහ ‘මෝටර් බයිසිකල්’ (Motor Bicycle)  ඇතුලත් වූ දීර්ඝ වෘත්තාන්ත සිනමාපට අංශය යටතේ රටවල් 05ක් නියෝජනය කල සිනමාපට 09ක් තිරගත විය. එකී සිනමාපට අතුරින් ‘පටිභාන’ සිනමාපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් රබින් චන්ද්‍රසිරි උළෙලේ හොඳම අධ්‍යක්ෂක ලෙසත්, සමීර රංගනගේ සිනමා අධ්‍යක්ෂණයක් වූ ‘මෝටර් බයිසිකල්’ සිනමාපටය උළෙලේ හොඳම වෘත්තාන්ත සිනමාපටය ලෙසත් සම්මානයට පාත්‍ර වූහ. ඉහත සිනමාපට ද්විත්වයම අදාළ සිනමා අධ්‍යක්ෂකවරුන් දෙපළගේ කුලුදුල් සිනමා නිර්මාණන් වීම විශේෂත්වයකි.

දීර්ඝ වෘත්තාන්ත සිනමාපට අංශය උදෙසා වෙන්වූ සම්මාන 06ත් ඇතුළුව 2015 වර්ෂයේදී උළෙලේ පිරිනමන ලද මුළු සම්මාන සංඛ්‍යාව 08කි.

(04). හොඳම ළමා රංගනය උදෙසා වූ ‘සිටි ඔෆ් ස්ලලීන්’ සම්මානය (City of Zlin Award for Best Children Performance)-හෝ ගානා පොකුණ - 55 වෙනි ස්ලලීන් සිනමා උළෙල - (ස්ලලීන් - චෙක් ජනරජය) - ජූනි, 2015

1961 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කල ස්ලලීන් සිනමා උළෙල, වර්තමානයේදී ළමා හා යොවුන් සිනමාපට උදෙසා ලොව ක්‍රියාත්මක පැරණිතම සහ විශාලතම සිනමා උළෙල ලෙසට ලෝක සම්භාවනාවට පාත්‍ර වේ. වසර 55ක ඉතිහාසයකට හිමිකම් කියන ස්ලලීන් සිනමා උළෙලේ තරඟකාරීත්වය ඉතාම ඉහළ අගයක් ගන්නා අතර , සියලුම නිළ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලොව වඩාත් තරඟකාරීම ළමා හා යොවුන් සිනමා උළෙලවල් 05 අතුරින් එකක් ලෙසට ස්ලලීන් සිනමා උළෙල සැලකේ. මෙම නිසා මෙම උළෙලේ ප්‍රධානතම තරඟකාරී අංශ ද්විත්වයෙන් කුමන හෝ අංශයක් නියෝජනය කිරීමට යම් සිනමාපටයක් සුදුසුකම් ලබයිද ,එයද ශ්‍රී ලංකාව වැනි රටක් ලබන ජයග්‍රහණයක් හා සමානය.

2015 වර්ෂයේදී ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ කුලුදුල් සිනමා නිමැවුම වූ ‘හෝ ගානා පොකුණ’ (The Singing Pond) සිනමාපටය ඇතුළුව සිනමාපට 09ක් ස්ලලීන් සිනමා උළෙලේ අන්තර්ජාතික ළමා වෘත්තාන්ත සිනමාපට තරඟය (International Competition of Feature Films for Children)  නියෝජනය කිරීමට සුදුසුකම් ලැබ තිබූ අතර, එහිදී හොඳම ළමා රංගනය උදෙසා පිරිනමන' City of Zlin’ ’ සම්මානය 'හෝ ගානා පොකුණ' සිනමා සිත්තමේ අද්විතීය රංගනයක නියැළෙන ළමා නළු නිළියන් දහඅට දෙනා වෙනුවෙන්ම පිරිනමන ලදී. වසර 55ක් වයසැති ස්ලලීන් සිනමා උළෙල වංශකතාවේ , හොඳම ළමා රංගනය උදෙසා වූ සම්මානය ළමා නළු නිළියන් දහඅට දෙනෙකු වෙත පුදදුන් ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය විය. එසේම ලොව ප්‍රමුඛතම ළමා සිනමා උළලෙක එක් සම්මානයක් මෙතරම් පිරිසක් අතර බෙදීගිය ප්‍රථම අවස්ථාව ලෙසටද මෙය ලෝක සිනමා ඉතිහාසයට එක් විය.

68 වසරක ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ළමා සිනමාපට උදෙසා ශ්‍රී ලංකාව ලද අන්තර්ජාතික සම්මාන අතර, ‘හෝ ගානා පොකුණ’ සිනමාපටය ලද මෙම සම්මානය දෙවෙනි වනුයේ, 1980 වර්ෂයේ ඉතාලියේ ජිෆෝනි සිනමා උළෙලේදී හොඳම සිනමාපටය උදෙසා ටයිටස් තොටවත්තගේ ‘හඳයා’ සිනමාපටය ලද ග්‍රෝන් ෆ්‍රී සම්මානයට පමණි. එසේම 2015 වර්ෂයේදී දීර්ඝ වෘත්තාන්ත සිනමාපට උදෙසා ශ්‍රී ලංකාව ලද අන්තර්ජාතික සම්මාන 09 අතුරින් විශිෂ්ටතම සම්මානය වුයේද මෙයමය.

ළමා සහ යොවුන් තරඟකාරී අංශ ද්විත්වය නියෝජනය කළ සිනමාපට 18 ඇතුළුව 2015 වර්ෂයේ ස්ලලීන් සිනමා උළෙලේ තිරගත වූ සමස්ථ ළමා සහ යොවුන් සිනමාපට සංඛ්‍යාව 363 කි. 2015 වර්ෂය උදෙසා උළෙලේදී පිරිනමන ලද මුළු සම්මාන සංඛ්‍යාව 17කි.

(05). හොඳම අන්තර්ජාතික වෘත්තාන්ත සිනමාපටය උදෙසා වූ සම්මානය  (Best International Feature Film) - සය පෙති කුසුම - 05 වෙනි රියෝ සමලිංගික සිනමා උළෙල - (රියෝ ද ජැනෙයිරෝ - බ්‍රසීලය) - ජූලි, 2015

2011 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කල රියෝ සමලිංගික සිනමා උළෙල, මේවන විට දකුණු ඇමෙරිකානු මහාද්වීප කලාපය ආශ්‍රීතව පැවැත්වෙන ප්‍රමුඛ පෙළ සමලිංගික සිනමා උළෙලක් ලෙස පිළිගැනීමට ලක්වේ. සමලිංගිකත්වය තේමාවූ සිනමාපට 124 ක් (දීර්ඝ සිනමාපට- 27ක්/ කෙටි සිනමාපට- 97ක්) 2015 වර්ෂයේදී මෙම සිනමා උළෙල නියෝජනය කල අතර, ඒ අතුරින් විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ 'සය පෙති කුසුම' (Frangipani) සිනමාපටය ඇතුළුව දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 18 ක් උළෙලේ විශිෂ්ටතම සම්මානය වූ Best International Feature Film'  සම්මානය සඳහා තරඟ වැදීමට සුදුසුකම් සපුරා තිබුණි. 'සය පෙති කුසුම' ජයග්‍රහණය කළ පෙරකී සම්මානයද ඇතුළුව ගෙවීගිය වසරේදී රියෝ සමලිංගික සිනමා උළෙලේදී පිරිනමන ලද මුළු සම්මාන සංඛ්‍යාව 09කි.

විසාකේස චන්ද්‍රසේකරම්ගේ කුලුදුල් අධ්‍යක්ෂණ වූ මෙකී සිනමාපටය, රියෝ සමලිංගික සිනමා උළෙලේදී ජයග්‍රහණය කල සම්මානයත් සමග ලද මුළු අන්තර්ජාතික සිනමා සම්මාන සංඛ්‍යාව 06 කි. එකී සම්මානයත් සමග ,හැට අට වසරක ශ්‍රි ලාංකේය සිනමා ඉතිහාසයේ වැඩිම අන්තර්ජාතික සිනමා සම්මාන සංඛ්‍යාවකින් පිදුම් ලැබූ ශ්‍රී ලාංකේය කුලුදුල් සිනමාපට අතර තෙවැනි ස්ථානයේ වැජඹීමට 'සය පෙති කුසුම' සිනමාපටයට ඉඩ හසර විවර විය. එසේම සිංහල භාෂිත දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් වෙනුවෙන් අන්තර්ජාතික සිනමා සම්මාන ලද, ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම දමිළ අධ්‍යක්ෂකවරයා ලෙසින්ද විසාකේස චන්ද්‍රසේකරම් ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයට එක්විය.

(06). හොඳම කුලුදුල් වෘත්තාන්ත සිනමාපටය සඳහා වූ විචාරක සම්මානය-(Critics Award for Best Debut Feature) - දැකලා පුරුදු කෙනෙක් - 01 වෙනි යාපනය අන්තර්ජාතික සිනමා උළෙල - (යාපනය - ශ්‍රී ලංකාව) - සැප්තැම්බර්, 2015

දෙස් විදෙස් සිනමාපට 70 කට ආසන්න සංඛ්‍යාවක සහභාගිත්වයෙන් පැවති පළමු යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානතම සිනමා අංශයේ තරඟකාරීත්වය ආරාධිත කුලුදුල් සිනමා නිර්මාණ 12ක් උදෙසා සීමා විය. මලිත් හෑගොඩගේ 'දැකලා පුරුදු කෙනෙක්' (The Stranger Familiar)  , සමීර රංගනගේ මෝටර් බයිසිකල් (Motor Bicycle), , ඉන්දික උඩුගම්පොළගේ 'රැය තවම තරුණයි' The Night is still young),  විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'සය පෙති කුසුම' (Frangipani), , කල්පන ආරියවංශ හා වින්දන ආරියවංශ දෙසොහොයුරන්ගේ 'ප්‍රේමය නම්'(Dirty, Yellow, Darkness)  යන සිනමා සිත්තම් 05 ශ්‍රීලංකාව නියෝජනය කරමින් උළෙලේ තරඟකාරී අංශයේ තිරගත කිරීමට ඇරයුම් ලැබ තිබුණි. මීට අමතරව කැනඩාව, බ්‍රිතාන්‍යය, ඉන්දියාව සහ මැලේසියාව නියෝජනය කල සිනමාපට 07ක්ද 'හොඳම කුලුදුල් වෘත්තාන්ත සිනමාපටය සඳහා වූ විචාරක සම්මානය' සඳහා තරඟ වැදුණි.

'දැකලා පුරුදු කෙනෙක්' ලද පෙර කී සම්මානය ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයට එක් වුයේ , ශ්‍රී ලංකාවේ පැවති අන්තර්ජාතික සිනමා උළෙලක, දේශීය ජූරියක් විසින් පිරිනැමූ ජාත්‍යන්තර සම්මානයකින් පුද ලද පළමු ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසටය. 'දැකලා පුරුදු කෙනෙක්' වෙත පිදූ සම්මානයට අමතරව හොඳම කෙටි සිනමාපටය උදෙසා ජනතා සම්මානය සහ යාවජීව සම්මානය ලෙසින් සම්මාන ත්‍රිත්වයක් 2015 වසරේ යාපනය අන්තර්ජාතික සිනමා උළලේදී පිරිනමන ලදී.

(07). හොඳම වෘත්තාන්ත සිනමාපටය සඳහා වූ ලූකස් සම්මානය- (Lucas Best Feature Award) -  - හෝ ගානා පොකුණ - 38 වෙනි ලූකස් අන්තර්ජාතික ළමා සිනමා උළෙල- (ෆ්රැන්ක්ෆර්ට් - ජර්මනිය) - ඔක්තෝබර්, 2015

ගෙවී ගිය වසරේ අන්තර්ජාතික සිනමා සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබූ එකම ශ්‍රී ලාංකේය සිනමා සිත්තම බවට පත්වෙමින්, ‘හෝ ගානා පොකුණ’ (The Singing Pond)  සිනමාපටය ලූකස් අන්තර්ජාතික ළමා සිනමා උළෙලේදී ‘හොඳම වෘත්තාන්ත සිනමාපටය සඳහා වූ ලූකස් සම්මානයෙන්’ පිදුම් ලැබූයේ උළෙලේ ප්‍රධානතම තරඟකාරී අංශය නියෝජනය කල අතිශය සොඳුරු ළමා සිනමා සිත්තම් 10ක් අබිබවා යමිනි.

ලූකස් අන්තර්ජාතික ළමා සිනමා උළෙලේදී ලද ජයග්‍රහණයත් සමග , 'හෝ ගානා පොකුණ සිනමාපටය ලද අන්තර්ජාතික සිනමා සම්මාන සංඛ්‍යාව 03 ක් බවට පත්වූ අතර , ඊට සමගාමීව ,හැට අට වසරක ශ්‍රි ලාංකේය සිනමා ඉතිහාසයේ වැඩිම අන්තර්ජාතික සිනමා සම්මාන සංඛ්‍යාවකින් පිදුම් ලැබූ ශ්‍රී ලාංකේය ළමා සිනමාපට අතර සිවුවන ස්ථානය 'හෝ ගානා පොකුණ' සිනමාපටයට හිමිවිය.

සියළුම අංශ නියෝජනය කරමින් 2015 වර්ෂයේ ලූකස් අන්තර්ජාතික ළමා සිනමා උළෙලේ තිරගත වූ සමස්ථ ළමා සිනමාපට සංඛ්‍යාව 55 ක් වූ අතර ගෙවීගිය වර්ෂය උදෙසා උළෙලේදී පිරිනමන ලද මුළු සම්මාන සංඛ්‍යාව 07කි. තිස් අට වසරක ඉතිහාසයකට හිමිකම් කියන ලූකස් අන්තර්ජාතික ළමා සිනමා උළෙලේ ආරම්භය 1974 වර්ෂයේදී සනිටුහන්ව ඇත.

(08). ජූරියේ විශේෂ සඳහන-  (Jury Special Mention)  - සුළඟ ගිනි අරන්- 16 වෙනි ටෝකියෝ ෆිල්මෙක්ස් අන්තර්ජාතික සිනමා උළෙල- (ටෝකියෝ - ජපානය) - නොවැම්බර්, 2015

2015 වර්ෂයේ ශ්‍රී ලංකාව ලද අන්තර්ජාතික සිනමා සම්මාන 09 අතුරින් සම්මාන 08ක්ම කුලුදුල් සිනමා නිර්මාණ උදෙසා හිමිව තිබූ අතර ඉන් බැහැරවූ එකම සම්මානයට හිමිකම් කිවේ ටෝකියෝ ෆිල්මෙක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේදී ජූරියේ විශේෂ සඳහනකින් පිදුම් ලැබූ විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ ගිනි අරන්' (Dark in the White Light)  නම් සිනමාපටය පමණි. මෙය විමුක්ති ජයසුන්දරගේ සිව්වන සිනමා නිර්මාණය වේ.

ආසියානු කලාපීය සිනමාපට උදෙසා පමණක් ටෝකියෝ ෆිල්මෙක්ස් සිනමා උළෙල සීමාවන අතර ගෙවීගිය 2015 වර්ෂය වෙනුවෙන් උළෙලේ තරඟකාරී අංශය නියෝජනය කිරීම සඳහා 'සුළඟ ගිනි අරන්' ඇතුළුව සිනමාපට 10ක් සුදුසුකම් සපුරා තිබුණි. මෙහිදී උළෙලේ ප්‍රධානතම සම්මාන ද්විත්වය වූ හොඳම සිනමාපටය හිමි සම්මානය Grand Prize) සහ ජූරියේ විශේෂ සම්මානය (Special Jury Prize) චීන සිනමාපට ද්විත්වයක් වෙත පිරිනැමූ අතර ජූරියේ විශේෂ සඳහන් (Jury Special Mentions) දෙකක් ජපන් සහ ශ්‍රී ලාංකේය සිනමාපට වෙනුවෙන් පිරිනමන ලදී.

ටෝකියෝ ෆිල්මෙක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේදී ලද මෙම ජයග්‍රහණයත් සමග, සිය සියලුම සිනමා නිර්මාණයන් (සුළඟ එනු පිණිස, අහසින් වැටෙයි, චත්‍රක්, සුළඟ ගිනි අරන්) උදෙසා විමුක්ති ජයසුන්දර ලද සමස්ත අන්තර්ජාතික තරගකාරී සිනමා සම්මාන සංඛ්‍යාව 11ක් බවට පත්විය. මෙකී සම්මාන සංඛ්‍යාව, 68 වසරක ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂකවරයෙකු ලද සිව්වන වැඩිම අන්තර්ජාතික තරගකාරී සිනමා සම්මාන සංඛ්‍යාව ලෙසින් වාර්තා පොත් අතරට එක්විය.

2015 වර්ෂයේදී ටෝකියෝ ෆිල්මෙක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේ පිරිනමන ලද මුළු සම්මාන සංඛයාව 07ක් වූ අතර උළෙලේ සියලු අංශ යටතේ තිරගත වූ සමස්ත සිනමාපට සංඛ්‍යාව 35 කි. 16 වෙනි අදියර සැමරූ මෙම සිනමා උළෙලේ ආරම්භය 2000 වර්ෂයේදී සනිටුහන් විය.

(09). ‘මායිමෙන් එහා සිනමාව’ අංශයේ හොඳම සිනමා පටය- (Best Film-Cinema Across the Border) -- භවතරණ - 04 වෙනි දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙල - (නව දිල්ලිය - ඉන්දියාව) - දෙසැම්බර්, 2015

ශ්‍රී ලංකාව 2015 වර්ෂය උදෙසා සිය අවසන් ජාත්‍යන්තර සිනමා ජයග්‍රහණය වාර්තාකරන ලද්දේ, ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවති 04 වෙනි දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේ ‘මායිමෙන් එහා සිනමාව’ (Cinema Across the Border) නම් තරඟ අංශය නියෝජනය කල දේවින්ද කෝන්ගහගේගේ කුලුදුල් සිනමා සිත්තම වූ ‘භවතරණ’ (Crossing Sansara)  සිනමාපටය තුලිනි.

සිව් වසරක් වැනි ඉතා කෙටි ඉතිහාසකයකට හිමිකම් කියන දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේ සමාරම්භය 2012 වර්ෂයේදී සනිටුහන් වූ අතර සිනමා උළෙලේ තරඟකාරීත්වය මූලික වශයෙන් ජගත් සිනමාව  (World Cinema), මායිමෙන් එහා සිනමාව (Cinema Across the Border),  ඉන්දියානු ප්‍රදර්ශනය (Indian Showcase)  සහ එන්.ආර්.අයි. සිනමා (NRI Cinema)  යන සිව් සිනමා ඛාණ්ඩයන් මත පදනම් වේ.

උළෙලේ ප්‍රධානතම තරඟකාරී අංශය ලෙස, ලොව සියලුම රටවල දීර්ඝ වෘත්තාන්ත ,කෙටි ,වාර්තා සහ සජීවීකරණ සිනමාපට සඳහා විවෘත වූ ‘ජගත් සිනමා’ අංශය සැලකේ. 2015 වර්ෂයේ ‘ජගත් සිනමා’ අංශය යටතේ සිනමාපට 136ක් තිරගත වූ අතර ඒ අතුරින් සිනමාපට 41ක් ජගත් සිනමා තරඟ අංශය(World Cinema- In Competition) නියෝජනය කරන ලදී. ඉන්දියාවට මායිම්ව පිහිටි ශ්‍රී ලංකාව, පකිස්ථානය, නේපාලය, බංගලාදේශය හා චීනය යන රටවල දීර්ඝ වෘත්තාන්ත සිනමාපට සඳහා පමණක් විවෘත වූ අංශය ‘මායිමෙන් එහා සිනමා’ අංශය නමින් හදුන්වනු ලබන අතර 2015 වර්ෂයේ එම අංශය යටතේ තිරගත වූ මුළු සිනමාපට සංඛ්‍යාව 21ක් වූ අතර, ඒ අතුරින් ‘භවතරණ’ ඇතුළුව සිනමාපට 10 ක් මායිමෙන් එහා සිනමා-තරඟය (Cinema Across the Border -In Competition)  නියෝජනය කිරීමට සුදුසුකම් ලැබ තිබුණි.

සියලුම අංශය යටතේ දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේ 2015 වර්ෂයේ තිරගත වූ සමස්ත සිනමාපට සංඛ්‍යාව 216ක් වූ අතර සියලුම තරඟකාරී සිනමා අංශ උදෙසා පිරිනමන ලද මුළු සම්මාන සංඛ්‍යාව 30ක් විය. මෙහිදී උළෙලේ ඉහළම සම්මානය වන ‘ජගත් සිනමා අංශයේ හොඳම සිනමාපටය’ (Best Film in World Cinema)  නම් සම්මානය රුසියානු සිනමාපටයකට හිමි වූ අතර ඊට අමතරව හොඳම නිළිය, හොඳම නළුවා ආදී ලෙසින් ජගත් සිනමා අංශය යටතේ 2015 වර්ෂයේදී සම්මාන 10ක් පිරිනමන ලදී. එසේම ශ්‍රී ලංකාව නියෝජනය කල ‘භවතරණ’ සිනමාපටය ‘මායිමෙන් එහා සිනමා’ අංශයේ හොඳම සිනමාපටයකට හිමි සම්මානයෙන් (Best Film-Cinema Across the Border)  පිදුම් ලැබීය.

කෙටි සිනමාපට

බොහෝ අවස්ථාවන්හිදී ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට ලබන්නාවූ ජාත්‍යන්තර සම්මාන උදෙසා හිමිවන්නාවූ අවධානය, කිර්තිය හා ප්‍රශංසාව, දේශීය කෙටි හා වාර්තා සිනමාපට විසින් ජයග්‍රහණය කරන්නාවූ ජාත්‍යන්තර සම්මාන කෙරෙහි හිමි නොවන බව සැබෑය. එහෙයින් එකී සිනමාපට ලද ජාත්‍යන්තර සම්මාන නිසි ක්‍රම වේදයකට යටත්ව සටහන් පොත් අතරට එක්වීමක් දක්නට නොලැබේ. එනමුදු ගෙවීගිය වසරේදී, මෙරට සිනමා වංශ කථාවට නව පරිච්ඡේදයන් එක්කරලමින් කෙටි සිනමාපට නිර්මාණවේදීන් දෙපළක් ලැබූ අසමසම ජයග්‍රහණයන් ද්විත්වයක් මෙසේ සටහන් තබමි.

ප්‍රේක්ෂක සම්මානය - (Audience Award) - පරාමිතික - 11 වෙනි මොබයිල් සිනමා උළෙල - (පැරීස් - ප්‍රංශය)