මම කාර්යයන් දෙකක් කවදා හෝ ඉෂ්ට කරනවා

සැප්තැම්බර් 23, 2021

 

දේශපාලනඥයකු විදිහට මිනිස්සු මාව හඳුනන්නේ නැහැ

 

කලාවේ ඉඳලා දේශපාලනයට පිවිසිලා තනතුරුවලට ගිය බොහෝ දෙනෙක් පස්සේ කලාකරුවන් පිළිබඳ බැලුවෙවත් නැහැ.

 

ශෂිරංග වික්‍රමසේකර යනු ජනප්‍රිය රංගන ශිල්පියෙකි. ඒ වගේම ඔහු නිවේදකයකු ලෙසද අප හමුවට පැමිණෙයි. වත්මන වනවිට ඔහු දේශපාලනඥයෙකු ලෙසද කාර්යබහුල වී හමාරය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ශෂිරංග දිගින් දිගටම දේශපාලනයේ නියැළීමට අපේක්ෂා කරයි. දිගු කලකට පසු ඔහු හා කළ මේ කතාබහේ මූලික මාතෘකාව වන්නේ ඔහුගේ රංගනය, නිවේදනය හෝ දේශපාලනය නොවේ. පසුගියදා ඔහුගේ ජීවිතයේ නව පිටුවක් පෙරළිණ. තවත් අන්දමින් කිව්වොත් ඔහු යුග දිවියට ඇතුළත් විය. මෙහිදී විශේෂයෙන් කතාබහ කරන්නේ ඒ පිළිබඳවයි.

ඉතින් කොහොමද ශෂිරංග අලුත් ජීවිතේ?

බොහොම හොඳීන් ගෙවීගෙන යනවා. අපි විවාහ වෙලා හරියට මාසයයි.

 

බිරියගේ නම කිව්වොත්?

ඇය පාරමී තිලෙත්මා වික්‍රමසේකර.

 

කොහොමද ශෂිරංග සහ පාරමීගේ ආදර කතාව ඇරඹෙන්නෙ?

ගමේ දහම් පාසලේදී තමයි මට පාරමීව මුලින්ම හමුවන්නේ. දහම් පාසලේ නම සඳහන් කළොත් ශ්‍රී සෝරත දහම් පාසල නවලෝකගම. ඉතින් අපි දහම් පාසලේ පොදු වැඩකටයුතුවලදී නිතර දෙවේලේ හමුවුණා. මුලින්ම යාළුකමක් තිබුණේ. පසුව ඒක ආදරයකට පෙරළුණා.

 

ඇයි පාරමී වගේ කෙනෙක් ඔබේ සහකාරිය වශයෙන් තෝරා ගත්තේ?

ඒකට හේතු ගණනාවක්ම තියෙනවා. මම හිතනවා ඇය මාව හොඳීන් තේරුම් ගත්තා කියලා. ඒ වගේම ඇය මගේ සිතේ ඇඳුණු රූපය හා සමාන කෙනෙක්. වසර පහක් පමණ අපි ආදරය කළා. ඊට පසුව තමයි විවාහ වුණේ.

 

කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ?

මම තමයි.

 

කොහොමද පාරමි ගෙන් ලැබුණු ප්‍රතිචාර?

ඇය මුලින්ම ගත් කටටම බැහැ කිවුවා.

 

ඔබ කලාකරුවෙකු නිසාද?

නැහැ. මම හිතන්නේ ඇය එක එකපාරටම බැහැ කිව්වේ හේතුවක් නැතුව. පස්සේ ඇයගේ කැමැත්ත ලැබුණා.

 

පාරමී කලාවට සම්බන්ධද?

නැහැ, ඇය කලාකාරිනියක් නෙවෙයි.

 

ඔබගේ කලා කටයුතුවලට විවාහයෙන් පසුව සීමාවක් පැනවුණාද?

කොහෙත්ම නැහැ. පාරමී කැමතියි මම කලා කටයුතුවල නියැළෙනවාට. අපි හමුවෙද්දිත් ඇය දන්නවා මම කලාකරුවෙකු කියලා. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ.

 

කොහොමද මේ දිනවල ඔබගේ කලා කටයුතු?

මම රඟපාපු නාට්‍ය තුනක් විතර එන්න තියෙනවා. ඒ වගේම කලින් විකාශය වුණු මම රඟපෑ නාට්‍ය දෙකක් විකාශය වෙනවා, ඒ උතුම් පැතුම් සහ පබා. නිවේදකයකු ලෙස නුගසෙවණ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා.

 

කොහොමද ඔබේ දේශපාලන වැඩකටයුතු?

සුපුරුදු පරිදි කරගෙන යනවා. මම වත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු විදිහට තමයි කටයුතු කරන්නේ. ප්‍රාදේශීය මට්ටමෙන් මම හැකි පරිදි මගේ ජනතාව වෙනුවෙන් සේවය කරනවා. අපේ ප්‍රදේශයේ ජනතාව මා ගැන හොඳීන්ම දන්නවා.

 

දේශපාලනයට පිවිසීමේ දී ඔබගේ ජනප්‍රියත්වයෙන් මොන වගේ ප්‍රයෝජනයක්ද ලැබුණේ?

ඇත්තටම ප්‍රාදේශීය සභාවට ඉල්ලද්දී දේශපාලනඥයෙකු විදිහට මිනිස්සු මාව හඳුනන්නේ නැහැ. නළුවෙකු සහ නිවේදකයකු විදිහට මිනිස්සු මාව හඳුනන නිසා තමයි ඡන්දය දුන්නේ. ඒත් ඊට පස්සේ මම මන්ත්‍රීවරයෙකු වුණාට පස්සේ මම කරපු වැඩත් එක්ක ජනතාව දන්නවා මම කොතරම් දේශපාලනඥයෙක් විදියට වැඩකටයුතු කරගෙන යනවද කියලා.

 

කලාකරුවන් දේශපාලනයට පිවිසුණාට පස්සේ කලාව අමතක කරනවා. විශේෂයෙන් කලාකරුවන්ටවත් ඇතැම් අය උදවු කරන්නේ නැහැ?

මම මේ වෙලාවේ බොහොම වගකීමෙන් කියනවා කලාවේ ඉඳලා දේශපාලනයට පිවිසිලා තනතුරුවලට ගිය බොහෝ දෙනෙක් පස්සේ කලාකරුවන් පිළිබඳ බැලුවෙවත් නැහැ. ඔබත් දන්නවා ඇති මම ප්‍රබල දේශපාලඥයෙකුගේ මාධ්‍ය ලේකම් වෙලා ඉද්දි කොච්චර නම් කලාකරුවන්ට උදවු කළාද කියලා. අපි රුපියල් 50,000 ගානේ දුප්පත් කලාකරුවන් සොයාගෙන ගිහිල්ලා බෙදලා දුන්නා. සමහර අයට බෙහෙත් ගන්නවත්වත් සල්ලි නෑ. අපි එදා වැඩපිළිවෙළ හදලා දුන්නා. ඒත් වර්තමානයේ මගේ තනතුරත් එක්ක එච්චර ලොකු දේවල් මට කරන්න බැහැ. ප්‍රාදේශීය මට්ටමෙන් පුළුවන් විදිහට මම කලාකරුවන්ට සේවය කරනවා. මෙතැනදි තව දෙයක් මතක් කරන්න ඕනේ. අපේ කලාකරුවන් වැඩිදෙනෙක් ඉන්නේ කුලී ගෙවල්වල. ඒ වගේම සමහර කලාකරුවන්ට කන්න බොන්න සල්ලි තියෙනවා. ඒත් බෙහෙත් ගන්න සල්ලි නැහැ. ඉතින් මම හිතනවා කලාකරුවන්ට වෙන්න ඕන විශේෂම උපකාර දෙකයි තියෙන්නේ. එකක් නිවාස යෝජනා ක්‍රමයක් හැදීම. ඒ වගේම බෙහෙත් හේත් ගන්න වැඩපිළිවෙළක් හදලා දෙනවා නම් ඒක හුගක් වටිනවා. අන්න ඒ කාර්යයන් දෙක මම කවදා හරි කරනවා ඒක මගේ අධිෂ්ඨානයක්.