මේ ගීතයෙන් ආදර්ශයක් දෙන්නයි මට ඕනෑ

මාරියෝ ආනන්ද
අප්‍රේල් 1, 2021

 

රිදවනා හඬවනා ලෝකයක ඉපදී

රවටනා දොඩවනා මිනිසුන් අතර මැදිවී

ජයගත්තෝ හැමදිනේ දසිකම් පෑවෝ

දිවිපුදා නාමයෙන් සත්‍යයේ

 

රැඳීි නොසැළී මාරුතේ

සැරි සරා පැතිරූ ජයඝෝෂා සිවුදෙසේ

මැකි නොයනා මතකයේ

අපි ජයලබා පණපිදූ සිංහ වංශයේ

 

සිත පුරා සිනාවෙන් පෑ නොමිනිස්කම් හමුවේ

හුදකලාවේ විඳදරා අසනි ගැරහුම් අතරේ

පියනඟා හදදැරූ සිහිනය බලා

දිවි පිදූවන් වැජඹේ නාමයෙන් සත්‍යයේ

සංගීතයෙන්, ගීයෙන් කළ හැකි දේ බොහෝය.පරම්පරා ගණනාවක සිට ඔහුටද මේ වෙනුවෙන් ඇත්තේ ලේ උරුමයකි. තම පරපුරේ නාමයෙන් එතෙක් මෙතෙක් ඔහු ගත කළ කෙටි සංගීත ගමන් මඟ තුළ ඔහු තළ දේ බොහෝ යැයි මට හැඟේ. එහෙත් ඒ වෙනුවෙන් ඔහුට ලැබුණු දේ අල්ප යැයිද සිතේ. ලැබුණු දේ යනුවෙන් මා අදහස් කළේ මිල මුදල්, යාන වාහන, තක්සේරු කිරීම් නොවේ. සංගීතය තුළ ඔහුට හිමිවූ හෝ ඔහුව තබා තිබෙන ස්ථානයයි. අපේ කතා නායකයා මෙරට සංගීත ක්ෂේත්‍රයේ එක්තරා ආකාරයක පුරාවෘත්තයකි. ජීවන ගමන් මඟ අකාලයේ නවතා දැමීමට සිදුවුවද, ජීවත්වූ කාල වකවානුව පුරා ඔහු කළ නිර්මාණ නම් අප විස්මයට පත්කිරීමට හේතු වන්නේය. මේ අතිදක්ෂ ජාන උරුමයෙන් වත්මන් සංගීත ක්ෂේත්‍රය තුළ නිහඬ ගමනක යෙදෙන ඔහු මරියෝ ආනන්දය.

අතිදක්ෂ සංගීතවේදියකු, ගායකයෙකු හා වාද්‍ය ශිල්පියෙකු වශයෙන් ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ සුවිශේෂ අනන්‍යතාවයක් දිනා ගත් ග්‍රේෂන් ආනන්දගේ එකම පුත්‍රරත්නය වූ ඔහු කිසිදු විටක සිය පියාගේ නම ඉදිරියට යොදා ජනපි‍්‍රය වෙන්නට හෝ පියාගේ ගීතයෙන් යැපෙන්නට හෝ සිය සංගීත ගමන් මඟ ඒ තුළින් නිර්මාණය කර ගන්නට හෝ උත්සාහයක් නොගත් ඔහු, මේ ක්ෂේත්‍රය තුළ යම් කිසි නාමයක් රඳවා ගත්තේ නම්, ඒ තමන් විසින්ම සිය දක්ෂතාවයන්, හැකියාවන් නියම කළ නිර්මාණයන් වෙනුවෙන් උපයා ගත්තෙකි.

මේ සටහන ලියැවෙන්නේද එහු විසින් එසේ හඳුන්වා දෙනු ලබන සිය නවතම ගීතය වෙනුවෙනි. ඔහු මේ ගීතය නම්කොට ඇත්තේ ‘රැඳීි නොසැලී’ නමිනි. මෙය එළඹෙන අප්‍රේල් මාසයේදී මරියෝ ආනන්ද යූ ටියුබ් නාළිකාවෙන් එළිදැක්වීමට නියමිතය. මෙම ගීත භාෂා ති‍්‍රත්වයකින් එළිදැක්වීමද සුවිශේෂි කාරණාවකි. ඉංගී‍්‍රසි බසින් ‘ලිවින් ඔන් ද එජ්’ නමින්ද එහි දෙමළ ගීතය ‘පුදියදායි පිරක්කිරේන්’ නමින්ද එය එළිදැක්වේ.

ගීතයේ ගායකයා රූප රචනයේ දි පෙනී සිටින්නේ කී‍්‍රඩකයෙකු වශයෙනි. ඉතාමත් ආකර්ෂණීය රූප රචනාවක් ද සහිතව ඉදිරිපත් කරන මේ ගීතය පිළිබඳ මාරියෝ අදහස් දැක්වූයේ මෙපරිද්දෙනි.

‘ වර්තමාන ශී‍්‍ර ලංකාවේ ළමා කී‍්‍රඩකයන්ට ඉලක්කයක් නෑ. ඔවුන් වයස අවුරුදු 19 න් පසුව විවිධ ආයතන වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට යෑමෙන් හුදෙක් තම රට වෙනුවෙන් පදක්කම් ලාභියෙක් වීමට, ජාත්‍යන්තරයට යෑමට අපොහොසත් වෙනවා. දක්ෂයින් සිටියත් ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් නොමැති හෙයින් ඔවුන් හුදෙක් පාසල් කාලයේ ජනපි‍්‍රයත්වය වෙනුවෙන් පමණක් කී‍්‍රඩා කරන බැවින්, පාසල් හැරයෑමෙන් පසුව නිසි මඟ පෙන්වීමක් නැති නිසා බොහෝ කී‍්‍රඩකයින් අන්තර්ජාතික තරගවලදී, තරග කිරීම කෙසේ වෙතත් තුවක්කුවෙන් අහසට එල්ලවන හඬට තත්පරයකට පසුව හෝ පෙර පැනීම නිසා ඔවුන් තරගයෙන් ඉවත්වන අවස්ථා අනන්තවත් අහන්නට දකින්නට තිබෙනවා.

අපි මෙච්චරකල් කරපු වරදක් තමයි හැම තැනකදීම කි‍්‍රකට්වලට විතරක් ප්‍රමුඛත්වය දීම. කි‍්‍රකට්වලින් අපේ රට දක්ෂකම් පෙන්වන කොට සියලු පාසල් සහ දෙමාපියන් තම දරුවන්ව කි‍්‍රකට්වලට යොමු කරන්න උනන්දු වුණා. නමුත් වෙලාවකට හිතෙනවා ඇයි අපේ රටේ කි‍්‍රකට් ජාතික කී‍්‍රඩාව විදියට නම් කළේ නැත්තේ කියලා. අපේ රටේ ප්‍රමුඛ පෙළේ කිසිම පාසලක් වොලිබෝල්වලට ළමයින් දිරිමත් කරන්නෙ නෑ. කොළඹ නම් බාස්කට් බෝල් නැත්නම් පිහිනීම . හැබැයි මේ කී‍්‍රඩා දෙකට පාසල් සහ දරුවන් දක්වන උනන්දුව තරමට සාපේක්ෂව අන්තර්ජාතික මට්ටමට ගියේ 0.1% ක් විතරයි.

ලංකාවේ සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා වැනි අය අන්තර්ජාතික මට්ටමට ගිය හේතුවක් තියෙනවා. ඒ ඔවුන් ඔවුන්ගේ දුප්පත් පාසල්වල, දුප්පත් පුහුණුකරුවෝ යටතේ ස්වභාවධර්මයත් එක්ක පාසල් කී‍්‍රඩා පිටිවල දුවලා ලබපු පන්නරය නිසා.

නමුත් අද නව ලෝකයක් එක්ක දුවන්න හදන ලංකාව, දරුවන් පොඩි කාලේ හොඳ කාල වාර්තා එක්ක කී‍්‍රඩා කරනවා නම් ප්‍රසිද්ධ පාසල් ඔවුන් මිලයට අරන් පාසලේ නම වැජඹෙන්න දරුවව පාවිච්චි කරනවා. මේ දරුවට මුලදි ඕන වෙන්නෙ ලෝකෙට ගිහිල්ලා රටට හා දෙමව්පියන්ට ගෞරවය ගෙන එන්න. නමුත් කොළඹ 7 මානසිකත්වයෙන් පෙළෙන දරුවන්ගේ ජීවන රටාව එක්ක තරග කරන්න පටන්ගන්නවා. මේ විතරක් නොවෙයි ලොකු මුදලක් දීලා කොළඹ පාසලක පළමු පංතියේ පටන් ඇතුළත් කරන දරුවන්ට පිට ඉස්කෝලවලින් දරුවන් මිලදී ගැනීම නිසා සුවිශාල අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ කොළඹ දරුවට තමන්ගේ දක්ෂතා කොතෙකුත් තිබුණත් ඔහුගේ අවස්ථාව පිටස්තර කෙනෙකුට ලැබෙන නිසා. මේ නිසා පාසල තුළ ඉන්න ළමයි අන්තර්ජාතික මට්ටමට ගියේ නෑ. ගමෙන් ආපු ළමයි කබලෙන් ළිපට වැටිච්ච එක තමයි සිද්ධ වෙන්නේ. ”

මාරියෝ මේ ගීතයේ පෙනී සිටින්නේ වයස අවුරුදු 18 ක පමණ යොවුන් කී‍්‍රඩකයෙකු විලසිනි. එහෙත් ඔහු පවසනුයේ දැන් ඔහුට වයස අවුරුදු 30 ක් කියාය. මේ සඳහා සම්බන්ධ වූ බොහෝ දරුවන් එය පිළිනොගන්නා බවද ඔහු සඳහන් කළේය.

‘‘මේ විෂුවල් එකේ ඉන්න දරුවෝ දැනුම් තේරුම් ඇති කාලෙට ආවට පස්සේ නැවතත් මේ විෂුවල් එක බලනකොට ඔවුන් දන්නවා පාසල් කාලයෙන් පස්සේ ඔලිම්පික් යන්නේ කොහොමද කියලා. ඒකට අවශ්‍ය වන කරුණු කාරණා මම වසර 10 ක් තිස්සේ මගේ ජීවිතේ කැප කරලා පාර පෙන්වලා තියෙන්නේ. යන්න ඕන කෙනා ඒ මාර්ගයේ යයි. අනිත් අය ප්‍රසිද්ධිය, මුදල් සහ අනෙකුත් දේ වෙනුවෙන් කී‍්‍රඩා කරයි.

‘‘මේ ගීතයේ සැඟවෙච්ච පණිවිඩය වන්නේ මේකයි. මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි හෝ කිසිදු ශක්ති ජනක ඹෟෂධවලින් තොරව තමන්ගේ ජවය තමාට අවශ්‍ය නම් ජීවිතාන්නය දක්වා තබාගෙන යන්න මාර්ගයක් ආදර්ශයක් විදියට මේ නිර්මාණය මම ලංකාවෙන් විදේශීය දරුවන්ට දෙන්න කැමැතියි.

මම කිසිම මත්ද්‍රව්‍යයක් මෙතෙක් භාවිත කරලා නෑ. මේ දේවල් මම කළේ අම්මා පුංචි කාලේ පොවාපු මව්කිරිවල ශක්තියෙන් සහ අදටත් රෑටයි දවල්ටයි කන්න දෙන බත් පිඟන් දෙකෙනුයි. එතැනින් එහාට නොපෙනෙන ශක්තිය ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන්. දරුවෙකුට අම්මා, තාත්තා, යාළුවෝ නැති දවසක් එනවා. එදාට ඉතිරි වෙන්නේ තමන්ගේ දෙමවිපියන් තමන්ට උගන්වපු ආගම, දහම හෝ එහි එන ශාස්තෘවරය. මේ පුංචි දේවල් ටික නැතුව ලංකාව වටේ කී‍්‍රඩාවට අවශ්‍ය හැමදේම හදලා දුන්නත් වැඩක් නෑ. කී‍්‍රඩකයන් හිටියක් ඔවුන්ට කී‍්‍රඩකයකුට තිබිය යුතු හික්මීම නෑ.”

මාරියෝගේ පියා ග්‍රේෂන් ආනන්ද මෙලොව හැර ගොස් වසර 10 කි. එසේම මාරියෝ ආනන්ද ක්ෂේත්‍රයට පිවිසද වසර 10 ක් ගතවී හමාරය. මේ ආපු ගමන් මඟ තුළ ඔහු ඔහුටම අනන්‍ය වූ ආකෘතියක, අනන්‍ය වූ නිර්මාණ කරන පුද්ගලයෙක් ලෙසට වැඩෙනු දක්නට ලැබිණ.

‘‘මේ ලෝකෙ හැම දරුවෙක්ම බලල හැදෙන්න ආදර්ශ ආකෘතියක් හදනවා. ඒ විවිධ ඇබ්බැහිකම්වලින් තොරවෙලා යෞවනත්වය, ජවය, පාසලෙන් බැහැරවූ පසුත් තබාගෙන, ජනපි‍්‍රයත්වය හා ප්‍රසිද්ධිය පසුපස නොයා, දේශපාලනික අනුග්‍රාහකත්වය නොමැතිව තමන්ට මේ ලෝකය තුළ ස්ථාන ගත කිරීම කෙලෙස කළ හැකිද යන වග”

මරියෝගේ මේ ගීතයේ රූප රචනය අධ්‍යක්ෂණය කළේ ඇගේම ආදරණීය සොයුරිය, ජාතික රූපවාහිනියේ ඉංගී‍්‍රසි ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කරන දුලාංජලි ආනන්දය. ඉංගී‍්‍රසි ගීතයේ හා සිංහල ගීතයේ ගීත රචකයා වෙන්නේද මරියෝ ආනන්දමය. ද්‍රවිඩ ගීතය රචනා කර ඇත්තේ නිත්‍යානන්ද භගවන් සින් විසිනි. ගීතයේ සුවිශේෂි දර්ශන අතර වන මුහුදු පිහිනුම් දර්ශන හා ජලය අභ්‍යන්තර දර්ශන කැමරාකරණය කර ඇත්තේ නෙවිද ජයසේන විසිනි. ගීතයේ පටිගත කිරීම් ගයාන් සී. බෙන්තරගේගෙනි. වේශ නිරුපණය යොගිත රත්නායකගෙනි.

‘ මට පුංචි කාලේ ඉඳලම හිස කෙළින් තබාගෙන යන්න ශක්තිය දුන්න, මට උගන්නපු දෙවියන් වහන්සේ දුන්න ලොකුම තෑග්ග වන මගේ අම්මා , මගේ තාත්තා සහ අක්කා මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කරන්න ඕන’