ජනප්‍රියත්වය උදෙසා මනුස්සකම පාවාදෙන්න එපා

සුමති සම්මාන උලෙළේ හොඳම නිළිය
අප්‍රේල් 1, 2021

සමනලී ෆොන්සේකා

ශලනි සම්මානයට නිර්දේශ නොවීම කනගාටුවක්



ජනප්‍රියම නිළිය සම්මානය කවදාවත් මට ලැබෙන එකක් නැහැ
 
ඇස්දෙක ඇරගෙන හැම තිස්සෙම බලාගෙන ඉන්න
 
බහුතරය ගැහැනිය සහ කලාකාරිනියව දකින්න කැමති තැන නෙමෙයි මම ඉන්නේ



සමාජයට වඩා ඉහළින් සමාජය ගැන දකින කෙනාට රංගන ශිල්පියෙක් වෙන්න පුළුවන්



කලාව අඳුර ගන්න බැරුව කලාව කරන කට්ටියක් හැම කාලයකම හිටියා



අපේ ජීවිත අපිව කොයි කොයි තැන්වලට ගෙනයයිද දන්නේ නැහැ
 

ඇය කලා පවුලකට නෑකම් කියන්නීය. උපන්දා සිට ඇගේ පිටුපස කැමරාවකි. ඇගේ පියා නිශ්චල ඡායාරූප ශිල්පියෙකු වීමත් නැන්දනිය සිංහල සිනමාවේ නිළි රැජිණ වීම නිසාත් සිනමා අධ්‍යක්ෂ මාමා කෙනෙක් පවුලට එක්වීම නිසාත් පුංචි සන්දියේ සිට ඇගේ ඇහැ ගැටෙන්නේ සිනමාවේ නමගිය පෞරුෂයන්ය. හය හතර නොදන්නා කාලයේ සිට ඇය දකින්නේ විශිෂ්ට ගණයේ නිර්මාණය. එකල කැමරාව ඉදිරියේ තාත්තා සමඟ කෝලම් කරන පුංචි දැරිවිය ඉන් දශක තුන හතරකට පසු මෙරට ටෙලි, සිනමා සම්මාන රාත්‍රීන් සියල්ලෙහිම පාහේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වන වගක් කවරෙකු හෝ දැන නොසිටියා විය හැකිය. සරසවිය සම්මාන, ජනාධිපති සිනමා සම්මාන, දෙරණ සිනමා සම්මාන, සිග්නීස් සම්මාන යන සෑම උලෙළකම පාහේ හොඳම නිළිය ලෙස සම්මානනීය වුණු ඇය සමනලී ෆොන්සේකා බව තවදුරටත් සඳහන් නොකර සිටින්නේ කෙසේද? පසුගියදා (26) පැවති 2020 සුමති ටෙලි සම්මාන උලෙළේදී හොඳම නිළියගේ සම්මානයට සමනලී නැවතත් හිමිකම් කියන්නීය. ඉතින් ඇය සමඟ අප කතා නොකර සිටින්නේ කෙසේද?

 

හොඳම නිළිය සම්මානය ලැබුණු මේ කීවෙනි වතාව ද?

මට හොඳම නිළියගේ සම්මාන ගොඩක් ලැබුණේ නැහැ. "ප්‍රේමය නම්" චිත්‍රපටයට සරසවි සම්මාන උලෙළේ දී හොඳම නිළිය වුණා. ඒ චිත්‍රපටයටම ඕසීඅයිසී සම්මාන උලෙළේ හොඳම නිළිය සම්මානය ලැබුණා. මෝටර් බයිසිකල් චිත්‍රපටයට දෙරණ සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළියට ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා. ටෙලිනාට්‍යකින් හොඳම නිළිය සම්මානය ලැබුණ පළවෙනි වතාව මේ.

 

කොහොමද සම්මානයේ සතුට?

මම ඇත්තටම ඒ සම්මානය ගැන බලාපොරොත්තු තියාගෙන නෙමෙයි හිටියේ. එදා රාත්‍රියේ මම නොහිතපු දෙයක් සිදුවුණේ. මාත් එක්ක හොඳම නිළිය සම්මානයට නිර්දේශ වුණෙත් දක්ෂ රංගන ශිල්පිනියන් දෙදෙනෙක්. ඇත්තටම මම සම්මානය ජයනි සේනානායකට ලැබෙයි කියලා හිතුවේ. ජයනි අක්කා වීරයා ගෙදර ඇවිත් නාට්‍යයේ ඉතාම සීරුවට රඟපාපු තැන් තිබුණා. ඒ වගේම සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයේ උමයංගනා වික්‍රමසිංහ ඇගේ රඟපෑම දක්ෂ ලෙස කළා. මට කනගාටුවට කාරණාව ශලනි තාරකාව මේ සම්මානයට නිර්දේශ නොවුණු එක. අඩෝ ටෙලිනාට්‍යයේ කමනිගේ චරිතය ශලනි දක්ෂ ලෙස කළා කියලා මම හිතනවා. අඩුම තරමේ ඇයට නිදේශ වීමක්වත් තියෙන්න ඕනේ.

 

අඩෝ ටෙලිනාට්‍යයේ ඩෝරාගේ චරිතය ගැන කිව්වොත්?

බැලූ බැල්මට ඩෝරාගේ චරිතයට බාධක නැහැ. ඒත් ඉතාම සියුම් විදිහට මනෝභාවයන් ගොඩනඟන්න ඕන චරිතයක් එක. ඩෝරාට තිබුණු ප්‍රශ්නය ඇය ස්ථානගත වෙන්නේ කොහෙද කියන එක. පසෙකින් ඇගේ සැමියා තවත් පසෙකින් ඇය ආදරය කරන පෙම්වතා ඉන්නවා. පෙම්වතාගේ ආදරය ඇයට දැනෙනවද කියලා ගැටලුවක් තැනකදී එනවා. ඩෝරා කියන්නේ තමන්ට අවංක චරිතයක්. ඒ අවංකකම නිසාම ඇයට නරක නාම එනවා. අධ්‍යක්ෂවරයෙක් විදිහට සුපුන් රත්නායක මට සෑහෙන්න උදවු කළා ඒ චරිතය ගොඩනඟන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ ශ්‍යාම් ප්‍රනාන්දු සහ දසුන් පතිරණ මට මේ චරිතය ගොඩනඟන්න ලබාදුන් සහයෝගය.

 

සමනලී වැඩිපුර වැඩ කරන්නේ තරුණ අධ්‍යක්ෂවරු සමඟ?

මම වැඩිපුර වැඩ කරලා තියෙන්නේ අලුත් අය එක්ක. ප්‍රවීණ හෝ තරුණ කුමන අධ්‍යක්ෂවරයෙක් එක්ක වුණත් වැඩ කරද්දි මම සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාව තුළත් චරිතය ගොඩනැඟෙනවා. අඩෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායක. මම හරිම කැමතියි සුපුන්ගේ වැඩවලට. අපිට නිතරම පේන ටෙලිනාට්‍යවලින් බහුතරයක් පුරුෂ මූලික දෘෂ්ටිකෝණයකින් ලියවිලා තියෙන්නේ. ඒ නිර්මාණවල කාන්තාව නිරූපණය කරන්නේ පුරුෂයාට උපකාර කරන චරිත විදිහට. ඒ කාන්තා චරිත ස්වාධීන ලෙස ගොඩනඟලා නැහැ. සුපුන් රත්නායකගේ නිර්මාණවල පිටපතත් ඔහුගෙමයි. ඔහු ගැහැණු චරිත හරිම ස්වාධීන ලෙස ගොඩනඟනවා. ඒක හරිම ලස්සනයි. මේ ටෙලිනාට්‍යයේ කමනි, ඩෝරා මේ ඔක්කොම චරිත හරිම ස්වාධීනයි. ඒක හරිම සුවිශේෂයි. අලුතින් හිතන, අලුත් විදිහට ජීවිතය දකින සබඳතා දකින මිනිස්සුත් එක්ක වැඩ කරන්න මම කැමතියි.

 

ආස නැද්ද ලොකු නැන්දා (මාලිනී ෆොන්සේකා) වගේ සම්මාන උලෙළකදී හොඳම නිළිය සහ ජනප්‍රියම නිළිය සම්මාන දෙකම ගන්න?

ඒක වාසනාවක්. මගේ කැමැත්ත තියෙන්නේ වැඩ කරන්න මිසක් සම්මාන ගන්න නෙමෙයි. ජනප්‍රියම නිළිය සම්මානය මම හිතන්නේ නැහැ කවදාවත් මට ලැබෙයි කියලා. මොකද බහුතරයගේ මතය නෙමෙයි මම විශ්වාස කරන්නේ. මට අකමැති මිනිස්සු ගොඩක් ඉන්නවා. මම නිතරම පෙනී සිටින්නේ පීඩාවට පත් වුණු සුළුතරය වෙනුවෙන්. මගේ කලා භාවිතයත් එහෙමයි. ඒ වගේම බහුතරය ගැහැණිය සහ කලාකාරිනියව දකින්න කැමති තැන නෙමෙයි මම ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ නෑ ඒ ජනප්‍රිය සම්මානය ලැබෙයි කියලා.

 

එකම පවුලේ අක්කා හොඳම නිළිය වෙනවා. නංගි ජනප්‍රියම නිළිය වෙනවා.

ඇත්තටම මට හරිම සතුටුයි. සෙනාලි නංගි නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයෙන් ඇයගේ දක්ෂතාවයන් නැවතත් පෙන්වන්න පටන් අරගෙන තියෙනවා. නංගි මේ නාට්‍යයේ චරිතය හොඳට රඟපානවා කියලා මටත් ප්‍රේක්ෂකයන් කියනවා. මම අක්කා විදිහට ගොඩක් සතුටු වෙනවා. මම නංගිට හැම තිස්සෙම කියන්නෙත් නිර්මාණ තෝරා බේරාගෙන හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න කියලා.

 

සමනලී රැඩිකල් නිර්මාණවලට විතරලු සම්බන්ධ වෙන්නේ?

එහෙම එකක් නැහැ. ඒත් මොනයම් විදිහකින් හරි යම්කිසි පාර්ශ්වයක් ඒ නිර්මාණය තුළ පීඩාවට පත් වෙනවා නම් මම ඒ නිර්මාණයට දායක වෙන්නේ නැහැ. ඒ නිසාද දන්නේ නැහැ ඔය රැඩිකල් කතාව හැදිලා තියෙන්නේ. කලාත්මක නිර්මාණ හෝ වාණිජ කියලා මම නිර්මාණ බෙදන්නේ නැහැ.

 

ඔබ චරිත තෝරාගන්න විට බලන විශේෂතා මොනවාද?

මුලින්ම පිටපත තමයි මම බලන්නේ. පිටපත තුළ අලුත් දෙයක් ගොඩනඟනවාද කියලා මම බලනවා. ඒ වගේම මගේ චරිතය කොයිතරම් ගැඹුරට යනවාද කියලා මම අධ්‍යයනය කරනවා. චරිතය රූගත කරන කාලය මට අදාළ නැහැ. තියෙන සුළු කාලයේදී හරි කොයිතරම් ගැඹුරට චරිතය යනවාද කියලා බලනවා ඒ වගේම සමාජයට හානිකර දෘෂ්ටිකෝණවලින් තියෙන නිර්මාණවලට මම සම්බන්ධ වෙන්නෙත් නැහැ. කෘතියේ දේශපාලනික ගතිකයන් මොනවාද කියලා මම අනිවාර්යයෙන්ම බලනවා.

 

සමනලී - දසුන් කියන්නේ රිදී තිරයේත් පුංචි තිරයේත් හොඳ සංකලනයක් කියලා කියනවා.

අනිවාර්යයෙන්ම. දස්සා මගේ යාළුවා. රංගන ශිල්පියෙක් විදිහට දස්සාගේ තියෙන එනර්ජි එක, අලුත් දේවල් හොයාගෙන යන්න තියෙන උනන්දුව ඔක්කොම දේවල් මටත් බලපානවා. අපි වැඩක් කරද්දි ඒ වැඩේ ගැන නිතරම කතාබහ කරනවා. චරිතවල ඇක්ෂන් රිඇක්ෂන් අධ්‍යයනට කරනවා. අපි නිතරම කතාබහ කරන නමුත් අපි දෙන්නගෙත් නොගැළපෙන තැන් තියෙනවා. මරාගන්න තැන් තියෙනවා. අපේ රංගන කාර්යයේදී ඒ බැඳීම හැදෙන්න මේ හැමදේම බලපානවා. ඒ වගේම ශ්‍යාම් ප්‍රනාන්දු අයියා ඇතුළු මගේ පෙම්වතාගේ චරිතය රඟපාපු හැමෝවම මම මතක් කරන්න ඕනේ.

 

රඟපෑම ගැන සමනලීට තියෙන්නේ කොයිවගේ කියැවීමක්ද?

අපි රඟපානවා එහෙම නැත්නම් චරිතයක් ගොඩනඟනවා කියන්නේ පිටපතේ තියෙන දෙබස් කියනවාට වඩා එහා ගිය දෙයක්. නිර්මාණය තුළ යම්කිසි චරිතයක් පවතින්නෙ විනාඩි පහක් හයක් වුණත් ඒ චරිතයේ ඉතිහාසය අපි හදාරන්න ඕනේ. එයා කොයි වගේ කෙනෙක්ද? කොහෙන්ද එන්නේ? පොඩි කාලේ කොයි වගේ දේවල්වලටද මූණදීලා තියෙන්නේ? ඒ මානසික කෑල්ල තමයි රංගනයේදී අල්ලගන්න ඕන. අතින් පයින් ඒ චරිතය වෙනස් කරන්න යනවට වඩා ඒ චරිතය හිතන්නේ කොහොමද කියන එක තමයි මම හිතන්නේ. ඒ චරිතය ආදරය ගැන, සබඳතා ගැන, කලාව ගැන කොහොම හිතන කෙනෙක්ද? කියලා මම බලනවා. රංගනය කියන කාරණාවේදී අවශ්‍ය වෙන්නේ වෙන මුකුත් නෙමෙයි ජීවිත අත්දැකීම්. අපේ ජීවිතයේ අත්දැකීම් සහ අනිත් ජීවිත කියවීම තමයි රංගනයේදී චරිත ගොඩනගන්න මට බලපාන්නේ. රංගන ශිල්පීයෙක් වුණාම නිතරම සමාජය ගැන සවිඥානක වෙන්න ඕනේ. සමාජයට වඩා ඉහළින් ඉඳලා සමාජය ගැන දකින්න පුළුවන් කෙනාට රංගන ශිල්පියෙක් වෙන්න පුළුවන්.

 

සමනලීගෙන් පසු පරම්පරාවේ එහෙම රංගන ශිල්පීන් ඉන්නවාද?

අනිවාර්යයෙන් ඉන්නවා. අපිටත් වඩා දක්ෂව බිහිවෙමින් පවතිනවා මට හරිම සතුටුයි ඒක ගැන. හැබැයි ඒ දක්ෂයන්ට වැඩ කරන්න පුළුවන් අවකාශයක් රට ඇතුළේ හැදිලා නැහැ. අපිටත් හරිම අමාරු වුණා මේක හදාගන්න. හැම තැනම මිනිස්සු ඉල්ලන්නෙත් මිනිසුන්ට දෙන්නෙත් එකම වට්ටෝරුගත කලාකෘතීන්. අපිටත් හරි අමාරු වුණා අපිට අවශ්‍ය දේ කියන්න තැනක් හදාගන්න. නමුත් මේ වෙද්දි තාක්ෂණය දියුණු වෙලා තියෙනවා, එක භාවිත කරන්න මිනිස්සු දන්නවා. ඒ නිසා අලුත් අයට අලුත් වේදිකා තියෙනවා. ඒ අයට අවස්ථා නැහැ කියලා අධෛර්යයට පත් වෙන්නේ නැහැ. ඒ අය මොකක්හරි මට්ටමකින් නිර්මාණයක් කරන්න උත්සාහ කරනවා. ඒ අය ගැන මට හරිම සතුටුයි. හැම කාලයකම හිටියා කලාව කියන්නේ මොකක්ද කියලා අඳුර ගන්න බැරුව කලාව කරන කට්ටියකුත්. අදටත් එහෙම පිරිසක් ඉන්නවා. ජනප්‍රියත්වය සහ තමන්ගේ සුබසිද්ධිය ගැන විතරක් හිතන, වගකීමක් ගන්න අකැමැති, උඩින් පල්ලෙන් රඟපාන පිරිසකුත් මේක ඇතුළේ ඉන්නවා. ඒත් රංගනය හොයාගෙන යන අය කවදාවත් ඒක නතර කරන්නේ නැහැ. ඒ අය අතරේ රංගනය ගැන හොඳ සාකච්ඡාවක් සහ කියැවීමකුත් තියෙනවා.

 

ඔබට රංගනය ගැන උනන්දුවක් දක්වන අලුත් පරම්පරාවට කියන්න දෙයක් ඇති?

ඇස් දෙක ඇරගෙන ඉන්න, හැම තිස්සෙම බලාගෙන ඉන්න. ගන්න පුළුවන් ගොඩක් දේවල් අපේ වටපිටාවේ තියෙනවා. අනිත් අයට නොපෙනෙන දෙයක් තමන්ට පේනවා නම් ඒ ගැන හොයන්න. විවේචනයකින් තොරව දේවල් දිහා මිනිස්සු දිහා බලන්න. අපි අකමැතිම කෙනෙක් වුණත් ඒ කෙනා දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඒ කෙනාට අකැමැති ඇයි කියලා අපෙන්ම අහන්න ඕනේ. අන්න එතන තමයි මැජික් එක තියෙන්නේ. මේ ගමන අපිට තනියම යන්න බැහැ. සමූහයක් විදිහට එකට යන්න ඕනේ. අපෙන් සමාජයට වෙන්න ඕනේ දෙයකුත් තියෙනවා. ඒක කරන්න. හුදෙක් ජනප්‍රියත්වය උදෙසා මනුස්සකම, යථාර්ථය පාවාදෙන්න එපා.

 

සමනලී සිනමා අධ්‍යක්ෂණය ගැන හීන දකිනවාද?

මම කෙටි චිත්‍රපටි දෙක තුනක් කළා. එහෙම අධ්‍යක්ෂණයටත් ආසාවක් තියෙනවා. ඒත් රංගනය තමයි මගේ ප්‍රධානම දේ. ඒකෙන් තමයි මම වැඩියෙන් සතුටු වෙන්නේ. මම හරිම ආසයි මාව මෙහෙයවලා කවුරුහරි මාව අධ්‍යක්ෂණය කරනවාට. හොඳ වැඩක් කරන්න හීනයක් තියෙනවා. ඒත් අපේ ජීවිත අපිව කොයි කොයි තැන්වලට ගෙනයයිද දන්නේ නැහැ.

 

 

ඡායාරූප - රවිමල් විදුරංග