“කොහොමද ‘දාම්’ අදින්නේ”

ධනුෂ්ක රත්නායක අසයි
අප්‍රේල් 1, 2021

 

අධ්‍යක්ෂමීට අවුරුදු ගානකට ඉස්සර මැලේෂියාවේ ගුවන්‍ යානයක් කඩා වැටුණු සිද්ධිය ඔබට මතක ඇති. ඒ ගුවන් යානයේ ලාංකික තරුණියක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කරනවා. ඒ ගුවන්‍ යානය අතුරුදහන් වීමත් සමඟම මේ තරුණියද අතුරුදහන් වෙනවා. මෙයින් මාස තුනකට පමණ පසුව ඇයගේ ස්වාමියාට කෙනෙක් ඇවිත් කියනවා ඔයාගේ බිරිඳ හොයාගන්න. ඒකට මාස දෙකක වගේ පොඩි කාලයක් ඔයාට තියෙන්නේ කියලා. ඉතින් මේ ස්වාමියා බිරිඳ සොයාගෙන යනවා ඒ යන අතරතුර සිදුවන සිදුවීම් දාමය ඇතුළත් කතාව මේ දිනවල සිරස රූපවාහිනිය ඔස්සේ ඔබට දකින්න පුළුවන්. 'දාම්' නම් වූ මේ අපූරූ ටෙලි සිත්තම අධ්‍යක්ෂණය කරන ධනුෂ්ක රත්නායක එක්කයි අද සරසවිය අපේ ටෙලි කතාව.

 

කොහොමද දාම් පටන් ගන්නේ?

මගෙ කලින් නිර්මාණය වුණ වෙස් ටෙලිනාට්‍යයේ පිටපත් රචක කෞශල්‍ය පතිරණ එක්ක තව නිර්මාණයක් කරමු කියලා විවිධ තේමාවන් ගැන කතා කරන විට, මම, කෞශල්‍ය හා නිෂ්පාදක ගයාන් දිනේෂ් පෙරේරා අපි හැමෝටම අවශ්‍ය වුණා ලංකාවේ මෑත කාලයේ නිර්මාණය වෙලා නැති තේමාවක් යටතේ නිර්මාණයක් කරන්න. ඒ ඔස්සේ තමයි මේ නිර්මාණය ආරම්භ කරන්නේ.

සත්‍ය සිදුවීමක් පාදක කරගෙනයි මේ නිර්මාණය බිහිවෙන්නේ. මොනවද තිබුණ බාධක ටෙලිනාට්‍යය නිර්මාණයේදී?

කොරෝනා තමයි තිබුණ ලොකුම බාදකය වුණේ. මොකද අපි පිටපතේ හැටියට මැලේෂියාවේයි රූ ගත කිරීම් සිදු කිරීමට සැලසුම් කළේ. නමුත් එය කරන්න බැරි වුණා. නමුත් දැන් වෙනකොට අපිට පුළුවන් වුණා ඕස්ට්‍රේලියාවේ රූ ගත කිරීම් සිදු කරන්න.

 

පවතින වසංගත තත්ත්වය එක්ක කොහොමද විදේශ රටවල මේ රූගත කිරීම් කළේ?

ඒකට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මා එක්ක ජීවීතේ ලස්සනයි ටෙලිනාට්‍යයේ එකට රංගනයෙන් දායක වුණ මගේ මිත්‍ර සම්පත් ශ්‍රී රෝෂන්ට. ඔහු දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ වුණත් ලංකාවේ ඉන්න කාලේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. ජූලියා චිත්‍රපටයේ අධ්‍යක්ෂකත් ඔහුය. මේ වැඩේට මම සම්පත්ට කතා කළාම ඔහු එහෙ ඉන්න කණ්ඩායමක් සම්බන්ධ කරගෙන එහේ රූගත කිරීම් කරලා මට මෙහෙට එවනවා. රටවල් දෙක අතර වෙලාව වෙනස්නේ. එහේ උදේ කියන්නේ මෙහෙ පාන්දර. ඉතින් මම ඔන්ලයින් හරහා මම බලාගෙන ඉන්නවා කොහොමද රූගත කිරීම් වෙන්නේ කියලා. මෙහෙ ඉඳලා දුරකතනයෙන් එකෙන් අධ්‍යක්ෂණය කරනවා. විශේෂයෙන්ම කියන්න ඕන ගන්න අමාරු දර්ශනතලවල පවා රූ ගත කිරීම් කරලා මට එවනවා.

රූ ගත කිරීම්වලදී හිත ගැස්සුණ අනූ නවයෙන් බේරුණ තැන් එහෙම ඇති?

නුවර එළියේ රූගත කිරීමකදී කානිවල් වල තියෙන කැරකෙන ප්ලේන් එකක චමීරත් තරින්දිත් එක පැත්තක වාඩී වෙලා යනවා. අනිත් ප්ලේන් එකක කැමරාමන් සහ ඕඩියෝ ඔපරේටර් යනවා. ඒක බැලන්ස් නෑ. රංගනය තුළ චමීරට තිබුණා එතනින් උඩට නැගිටලා මුද්දක් දීලා විවාහ යෝජනාවක් ගේන්න. ඒ වෙලාවේ පොඩි පින්නකුත් තිබුණා. මීදුමත් තිබුණා. එහිදී චමීර මුලින්ම වැටෙන්න ගිහිල්ලා අනූ නවයෙන් බේරුණා.

 

ටෙලි නාට්‍යයේ කැමරාකරණය හා මේ සා පිරිවැයක් යොදන නිෂ්පාදක ගැනත් කතා නොකරම බෑ?

ස්ටයිනර් මැක්ලේන් ඇඩම්ස් තමයි මේ වැඩේ කැමරාකරණය කරන්නේ. ක්ෂේත්‍රයේ වෙනස්ම විදිහේ වැඩ කොටසක් කළ අයෙක්. හරිම නිහතමානී කෙනෙක්. අපි දෙන්නා හොඳ අවබෝධයකින් නාට්‍යයේ මුල් දර්ශනයේ ඉඳලම වැඩ කරනවා. ඒ වගේම නිශ්පාදක ගයාන් දිනේෂ් පෙරේරා විශේෂයෙන්ම මතක් කරන්න ඕන. මේ නිර්මාණය ලාබ ලබනවා කියන දෙයටත් වැඩිය එයාගේ ඔලුවේ තියෙන්නේ මේක හොඳ නිර්මාණයක් විදිහට ප්‍රේක්ෂකයාට සමීප කිරීම. ඒ කියන්නේ ජාත්‍යන්තරයේ තියෙන නිර්මාණය ලංකාවේ පෙන්වද්දි අපි ඒවට බැන බැන ඉන්නවට වඩා අපිට කරන්න පුළුවන් දේ ඇතුළේ කළ හැකි උපරිමය ප්‍රේක්ෂකයාට ලබා දීමයි වෑයම.

 

මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරද්දි ධනුෂ්ක සංවේදී වූ තැන් මොනවද?

මේ නාට්‍යයේ ප්‍රධාන චරිත කරන දෙන්නට බට්ටිච්චි කියලා පොඩි ගැහැනු දරුවෙක් ඉන්නවා. බට්ටිච්චි හැමවෙලේම අම්මා නැති නිසා දුකින් ඉන්නේ. එයා සමහර වෙලාවට කන්නේ බොන්නේ නෑ. තාත්තාට තේරෙන්නේ නෑ මෙයාව අම්මා කරන විදිහට ලස්සනට අන්දවන්න. ඉස්කෝලේ යවන්න. අම්මා නැතුව දුවෙක් හදනවා කියන්නේ අමාරු දෙයක්. හැබැයි දුවලා වැඩිපුරම ආදරේ තාත්තාට. ඒ හැම තැනකම මම සංවේදී වුණා මොකද මටත් පොඩි දුවෙක් ඉන්නේ. ඒ දුවගේ තියෙන දඟකාරකම් ඔක්කොම වගේ බට්ටිච්චි හරහා ප්‍රේක්ෂකයාට අරගෙන එන්න උත්සහා කරනවා. බට්ටිච්චිගේ රංගනය මට හරි ළඟයි.

 

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් බොහොමයක් මේ නිර්මාණයේ වෙනස්ම තැන් වල තියලා?

ප්‍රවීණ අය එක්ක වැඩ කරන්න ලැබීමම අපිට ලොකු ආශීර්වාදයක්. ඒ අයගෙන් අපිටත් ගන්න යමක් තියෙනවා. හැබැයි ඒ ප්‍රවීණයන් සියල්ලම මම නවක අධ්‍යක්ෂවරයෙක්, තරුණ අධ්‍යක්ෂවරයෙක් කියලා මට බලපෑම් නොකර, මම කියන දේ මොකද්ද ඒක තුළ ඒ අයට කළ හැකි උපරිමය ඒ අය කරනවා. එය මං හිතන්නේ වෘත්තීය ‍රංගන ශිල්පීන්ගේ තිබෙන හොඳකම. ඒ වගේ ම ඒ අය අපි කියන දේ ඉක්මනටම වටහාගෙන එයට ඒ අයගෙනුත් එක් කළ හැකි දේ අතුළත් කරගෙන, ඒ අය අතුළේ තියෙන දේත් චරිතයට ආරූඪ කරලා මට අවශ්‍ය විදිහටම හරියටම නිරූපනය කරනවා. මං තෝරාගත් සියලුම දෙනා ඒ චරිතවලට හොඳටම ගැළපෙන අය කියලා මං විශ්වාස කරනවා.

මේ පෙරළිකාර වැඩේ අමතක නොවන තැන් නම් බොහොමයක් ඇති?

මේ දවස්වල යනවා කල්පිටියේ රූගත කළ දර්ශන ටිකක්. මමත් එතැනදි රංගනයෙන් දායකත්වය දෙනවා. හරිම අමාරුයි ඒ ප්‍රදේශයේ රූ ගත කිරීම් කරන්න අව්ව සහ රස්නය වැඩියිනේ. එක දර්ශනයක් තියෙනවා ඒ වැල්ලේ ට්‍රැක්ටරයක් යන. යන අතරතුර ට්‍රැක්ටරේ පිටිපස්සේ තියෙන බැරල් වලින් මම ඒ පසුපස ලුහුබදිද්දි මට ගහනවා. ඒ බැරල් එකක් ඇවිල්ලා ඇත්තටම මගේ මූණේ වදිනවා. වදින්නෙත් නහයටමයි. කියාගන්න බැරි වේදනාවක් දැනුණා. රූ ගත කිරීම් නතර කරන්නත් වුණා. එදා නම් සෑහෙන ලොකු අකරතැබ්බයකට මූණ දෙන්න සිදු වුණා.

 

රඟපෑමයි අධ්‍යක්ෂණයයි දෙකම එකට කරන්නේ කොහොමද?

ප්‍රධාන චරිතමත් නෙවේ. නමුත් ඒ පොඩි චරිතයක් වුණත් කරන්න සහයෝගය දෙන්න මට හොඳ සහය අධ්‍යක්ෂවරයෙක් හම්බෙලා ඉන්නවා. එතැනදී වෙනදා වගේම දර්ශනය නිර්මාණය කරලා රිහසල් එකක් කරලා තමයි රූ ගත කරන්නේ. ඊට පස්සේ අඩුපාඩුවක් තියෙනවා නම් සහාය අධ්‍යක්ෂකට හා කැමරා ශිල්පියාට නිවැරදි විය යුතු තැන් පෙන්නලා දීලා නැවත රූ ගත කරනවා. සමහර දර්ශන තල තියෙනවා ඒවායේ රූ ගත කරන්නේ එක දර්ශන වාරයයි. නමුත් ඒ විෂුවල් එකයි නිර්මාණයට ලැබෙන ගුණාත්මකභාවය හා ලස්සන එක්ක ඒවා එහෙම කළා.

 

බට්ටිච්චිගේ රංගනය මේ නිර්මාණයට වෙනමම හැඩයක් එකතු කරනවා. මේ ආකාරයෙන් ඇයව හසුරවන්නේ කොහොමද?

මේ චරිතය කරන්නේ පහන්දි නෙතාරා කියලා චූටී දුවක්. ඇය මගේ හේලී නාට්‍යයෙත් හිටියා. එයාට ලොකුවට පුරුදු කරන්න කියලා දෙන්න අවශ්‍ය නෑ. ඇය හරිම දක්ෂයි.

කියන දේ ඉක්මනටම තේරුම්ගෙන සමහර වෙලාවට මමත් හිතන්නේ නැති දේවල් ඇය කරනවා. හරිම ස්වාභාවික ලෙස ඇය රඟ පානවා. එයා ඔය නිදිමතේ අම්මට කතා කරන ඒවා, නිදිමතේ මට එන්න බෑ කියපු ඒවා ඇත්තටම ඒ නිදිමතේ කියපුවා තමයි. හේතූව එයාට මහන්සි වුණාම එයා නිදාගන්නවා. අපි ඉතින් රූ ගත කිරීම නතර කරලා බලාගෙන ඉන්නවා ඇය ඇහැරෙනකම්. සමහර වෙලාවට ඇගේ අම්මා කියනවා දූ මේ අවසාන එක මේකත් ඉවර කරමු කියලා. ඒ වුණාට එයා බෑ බෑ කියලා නිදා ගන්නවා. ඉතින් බොහෝ දර්ශනවල ඇය නිදිමතේ කරපු ඒවා තමයි තියෙන්නේ.

 

රූ ගත කිරීම් වලට බොහෝ ප්‍රදේශ යොදාගෙන තිබුණා?

ඔව්. නුවර එළිය, කල්පිටිය, කොළඹ ඇතැම් ප්‍රදේශ,

කඩුවෙල, පන්නිපිටිය, අවිස්සාවේල්ල, සීතාවක, ගාල්ල රට වටේම යන්න වුණා. විශේෂම කාරණය සාමාන්‍යයෙන් රූ ගත කිරීම් නොකරනකොළඹ ප්‍රධාන පෙලේ හෝටල් වලත් මෙය රූ ගත කළා.

මේ නාට්‍යය කොටස් කීයකින් ඉවර වෙයිද?

කොටස් 100කින් නිම කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මොකද ටෙලිනාට්‍යය දීර්ඝ කිරීම තුළින් එහි ගුණාත්මකභාවයට හානී විය හැකියි.