තාත්තා තමයි මගේ හීනයට අත්තටු දුන්නේ

සම්මානනීය ප්‍රවෘත්ති නිවේදක සහන් උඩුවවිදාන...
මාර්තු 25, 2021

නිවසේ ආලින්දයේ සිට හරිබරි ගැසී පුටුවක වාඩිවී අපි ප්‍රවෘත්ති නරඹමු. එය අපට ඉතා ලෙහෙසි කටයුත්තකි. ප්‍රවෘත්ති නිවේදකයා හෝ නිවේදිකාව නිදහසේ තමන්ගේ ඉදිරිපත් කිරීම කරන බැවින් ඔහුගේ හෝ ඇයගේ කාර්යයද ලෙහෙසි එකක්යැයි බොහෝදෙනා සිතති. එහෙත් ප්‍රවෘත්ති කියවීම හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ. එයට මනා පුහුණුවක් තිබිය යුතුය. ප්‍රවෘත්ති කියන්නාගේ මුවින් වචනයක් වැරදුනොත් එය ඔහු හෝ ඇය සේවය කරන නාළිකාවේ කීර්තිනාමයට පළුද්දකි. එහෙයින් ඉදිරිපත් කරනා දෑ හරියටම ඉදිරිපත් කළ යුතුය. එලෙස විශ්වසනීයව සන්නිවේදනයේ යෙදෙන තරුණයෙකු අපට හමුවිය. ඔහු සම්මානනීය ප්‍රවෘත්ති නිවේදකයෙකි.

2019 වසරේ හොඳම පුවත් සම්ප්‍රවේශක වශයෙන් රයිගම් සම්මාන දිනා ගත්තේ ඔහුය. මේ වනවිට ස්වාධීන රූපවාහිනී නාළිකාවේ පුවත් නිවේදකයකු ලෙස කටයුතු කරන්න හෙතෙම නමින් සහන් උඩුවවිදානයි.

 

 

සහන් ඔබ නිවේදකයෙකු ලෙස ගමන හා ආරම්භ කළ අන්දම කෙටියෙන් සඳහන් කළොත්?

මුලින්ම මම එන්නෙ ස්වාධීන රූපවාහිනී සේවයට. ඒ 2015 වසරේ. මාස තුනක් විතර කාලගුණ වාර්තාව තමයි කිව්වෙ. ඊට පස්සේ පැයෙන් පැය පුවත් කිව්වා. පසුව ප්‍රධාන ප්‍රවෘත්ති කියන්න අවස්ථාව උදාවුණා. 2016 දී මම සිරසට එනවා. අවුරුදු දෙකක් විතර ප්‍රධාන ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා. මට හිතුණා ආර්ථික පැත්තෙන් ස්ථාවරත්වය හදා ගන්න වෙනත් වෘත්තියක් කරන්න. ඔය අතරේ තමයි මට වරායේ රැකියවකට යන්න අවස්ථාවක් ලැබුණෙ. මම සිරස අයින් වෙලා වරායට යනවා. ඒ 2019 අවුරුද්දේ. ඒ අවුරුද්දෙම තමයි මම හොඳම ප්‍රවෘත්ති නිවේදකයා ලෙස රයිගම් සම්මානයට පාත්‍ර වුණේ. සිරසේ මං පූර්ණකාලීනව වැඩ කළා ඊට පස්සේ මම වරාය සේවයට ගියාට පස්සේ අයි.ටී.එන්. නාළිකාව අයදුම් කරලා යළිත් ප්‍රවෘත්ති නිවේදනයට එකතු වුණා. සම්මානේ ගද්දී මම අයි.ටී. එන් එකේ.

 

ඇයි ඔබ පූර්ණකාලීනව වෘත්තිය ලෙස මාධ්‍ය තොරගත්තේ?

ඇත්තටම මට හිතුනා වෙනත් රැකියාවක් කරන ගමන් මාධ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන්න. ඒ නිසා මම තීරණය කළා සිරසෙන් අයින් වෙනවා කියලා. ඊට පසුව මම වරායේ සේවයට යන්න ප්‍රථම තිබුණු ඉන්ටර්විව් එකේදි කිව්වා මට මාධ්‍ය ක්ෂෙත්‍රයේ දිගටම ඉන්න කැමතියි, ඒනිසා මම අවස්ථාව ලැබෙන පරිදි නිවේදන කටයුතුවල යෙදෙනවා කියලා. ඔවුන් ඒකට කැමැති වුණා. මොකද වරායේ එහෙම විශේෂ අවස්ථා වලදි නිවේදනකටයුතු කරන්න හොඳ නිවේදකයෙක් හිටියෙත් නැහැ. මම ගියේ එකෙන් ඒගොල්ලන්ට ලොකු වාසියකුත් වුණා. වරාය සේවය කරද්දි තමයි මට අර සම්මානය හම්බ වුණෙත්. ලොකු උත්සවයක් එහෙමත් සංවිධානය කරල මාව පිළිගත්තා.

ඔබගෙ මතයට අනුව ප්‍රවෘත්ති නිවේදකයකුට වෙනත් වැඩසටහන් මෙහෙයවන්න පුළුවන්ද?

ප්‍රවෘත්ති නිවේදකයෙකු කියලා කියන්නේ නිතරම යාවත්කාලීන වෙන්න ඕන පුද්ගලයෙක්. ඒ වගේ කෙනෙකුට වෙනත් වැඩසටහන් කරන්නත් පුළුවන්කම තියෙන්න ඕනේ. හැබැයි ඔය චාර්ට් ෂෝ වගේ හායි බායි කියන වැඩසටහන් නෙමෙයි. ටිකක් බරසාර වැඩසටහන්. ඉන් පරිබාහිර වැඩසටහන් ප්‍රවෘත්ති නිවේදකයෙක් ඉදිරිපත් කළාට කමක් නැහැ කියන මතයේ මම ඉන්නවා. කෙටියෙන්ම කිව්වොත් ප්‍රවෘත්ති නිවේදකයෙකුට වෙනත් සෑම වැඩසටහනක්ම කැප නැහැ.

 

ප්‍රවෘත්ති ඉදිරිපත් කරන එකත් ලේසි නැහැ නේද?

ප්‍රවෘත්ති ඉදිරිපත් කරන කොට අපිට ප්‍රොම්ටරය කියන උපකරණය භාවිත කරන්න වෙනවා. ඒකෙන් තමයි ප්‍රවෘත්තිය පෙන්වන්නේ. ප්‍රොම්ටරය ක්‍රියාත්මක කරන්නත් මනා පුහුණුවක් තියෙන්න ඕන. ඒක තියෙන්නෙත් අපිට වැඩිය මීටර් විස්සක් විතර එහා‍. සමහර විට එහි එක්වරකට පෙන්වන්නෙ එක් පේළියක් හෝ දෙකක්. ඒ නිසා වරදින්න තියෙන අවස්ථාව වැඩියි. ප්‍රොම්ටරය හිර වෙන්නත් පුළුවන්. නමුත් අපිට තියෙන පුහුණුවත් එක්ක අපි දන්නවා ඊළඟට කරන්න ඕනේ මොනවද කියන එක.

 

ප්‍රවෘත්ති ඉදිරිපත් කරද්දි අකරතැබ්බවලට මුහුණ දීලා නැද්ද?

ඇත්තටම තියෙනවා. එක දවසක් මට බ්‍රේකින් නිව්ස් එකක් කියන්න ආවා. එහෙම බොහෝ අවස්ථාවලදී අපි දැනුම්වත් වෙන්නේ නැහැ ප්‍රවෘත්තිය මොනවා සම්බන්ධ එකක්ද කියලා. හැබැයි අපි තියෙන අත්දැකීම් එක්ක එක පාරක් කියෙව්වට පසුව අපි ඔළුවට දාගන්න ඕනේ අපි කියන ප්‍රවෘත්තිය. ඉතිං අර වෙලාවේ මට හම්බවුණා කොලේ සටහන් වෙලා තිබුණ ප්‍රවෘත්තිය මම ඉදිරිපත් කළා. මේ වෙලාවේ ප්‍රොම්ටරය ක්‍රියාත්මක කරන කෙනාගේ අතින් පොඩි මිස්ටේක් එකක් වෙලා. මට නැවතත් ප්‍රොම්ටරය ඔන් කරනකම් ප්‍රවෘත්තිය කියන්න බැරි වුණා. සාමාන්‍ය අපි බ්‍රේකින් නිවුස් එකක් දෙපාරක් කියනවනේ. ඉතින් පලවෙනි පාර කියලා ඉවර වෙලා ඊළඟ පාර කියවනතෙක් තත්පර හයක් විතර ඉන්න වුණා. ඒ නිසා මට සති දෙකක විතර ප්‍රවෘත්ති වාරණයක් සමඟ දඬුවමකුත් ලැබුණා.

 

ප්‍රවෘත්ති කියන එක හරියට භාවනාවක් වගේ කියලා මම අසා තිබෙනවා?

ඒක නං ඇත්තම ඇත්ත. මොකද ප්‍රවෘත්ති කියන වෙලාවට හිත එහෙ මෙහෙ ගෙනියන එක අපි විසින්ම තහනම් කරගෙන ඉන්නෙ. අපේ සහායිකාව කියන ප්‍රවෘත්තිය පිළිබඳ අපි හොඳ අවධානයෙන් ඉන්නත් ඕනේ. පොඩ්ඩක් හිත එහෙම ගියොත් එහෙම ලොකු අවුලක් ඇති වෙනවා. සමහරක් විට අපි මිනිස්සු විදිහට යම් යම් ප්‍රශ්න කරදරකාරී අවස්ථාවන් ආවත් ඒ සියලු දේවල් අමතක කරලා දාල ප්‍රවෘත්ති කියන එක හරියට භාවනාවක් වගේ කරන්ඩ ඕනේ.

 

ඔබ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන වේලාවන් සඳහන් කළොත්?

සවස 6:30 රාත්‍රී 9:30 කියන ප්‍රධාන ප්‍රවෘත්ති දවස් දෙකක් හෝ තුනක් මං ඉදිරිපත් කරනවා.

 

සාමාන්‍යයෙන් කොච්චර වෙලාවකට පෙර ප්‍රවෘත්ති මැදිරියේ සිටිය යුතුද?

සාමාන්‍යයෙන් අපි ප්‍රවෘත්ති කියන දවස්වල සවස හතරට පමණ චැනල් එකට යනවා. එතැන සිට අපි ලැබෙන ප්‍රවෘත්ති යාවත්කාලීන වෙන අන්දම බලලා අයිඩියා එකක් ගන්නවා. ප්‍රවෘත්තිය සම්බන්ධව.

 

ඔබ නිවේදකයෙකු ලෙස දකින්න ඔබේ ගෙදර අයගෙන් කවුද වඩාත් ප්‍රිය කළේ? මම ඇහුවෙ අම්මා හෝ තාත්තාගෙන්?

අම්මා තමයි නිවේදකයෙකු ලෙස මාව රූපවාහිනියෙන් දකින්න වඩාත් ප්‍රිය කළේ. තාත්තා ඒ හීනයට අත්තටු දුන්න කිව්වොත් වැරදි නැහැ. මගේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්වත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. උන්වහන්සේ තමයි නිතරම මට මයික්‍රෆෝන එකක් අතට දීලා දහම් පාසලේ නිවේදන කටයුතුවලදී මුල් තැන ලබා දුන්නේ.

 

ඔබ රංගන ශිල්පියකු විදිහට කටයුතු කරනවා නේද?

මේ වන විට රූපරචනා කිහිපයකම මම රංගන දායකත්වය ලබා දුන්නා. විශේෂයෙන් ප්‍රදීපා ධර්මදාස මිස්ගේ වීඩියෝ එකක රඟපෑවා. ඒ වගේම සනත් අබේසේකර මහත්මයාගේ මහවිරු පණ්ඩු නාට්‍යයේ රඟපෑවා. ඒ වගේම නිශාන්ත ජයකොඩි කරපු නාට්‍යයකත් මම රඟපෑවාවා. ඔහු කරන නවතම චිත්‍රපටයටත් මට කතා කරලා තියනවා. ඒ වගේම මෝස්තර නිරූපණ ශිල්පියෙක් විදියටත් කටයුතු කරනවා.