මේ උලෙළෙන් පස්සේ මම අංගුලිමාල වෙන්නත් පුළුවන්...

මාර්තු 25, 2021

කුමාර තිරිමාදුර නම ඇසූ පමණින් ඔහුගේ රංගනය මෙන්ම ගායනය ඔබේ මතකයට නැඟෙනවා නිසැකය. එහෙයින් වේදිකාව, පුංචි තිරය සහ පුළුල් තිරය ජයගත් රංගන ශිල්පියකු, ගායකයකු සහ අධ්‍යක්ෂවරයකු වූ ඔහු පිළිබඳ තවත් විස්තර කියනවාට වඩා වසර තිස්පහක් පුරා කලා ක්ෂේත්‍රයේ තම දායකත්වය සමරමින් පවත්වන සිනමා උලෙළ පිළිබඳ පැවසීම සුදුසු යැයි සිතමි. “ඔටුනු නොපලන් කුමාරයාගේ“ දැනුණු සිනමා පෙලහර නම් වූ එය මාර්තු 31 සිට අප්‍රේල් 04 දක්වා කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත්වීමට සියලු දෑ සූදානම්ය. අපි විමසමු මෙවන් සමයක සිනමා උලෙළක් පවත්වන්නට ඔහු ගත් තීරණය සහ වත්මන් සිනමාව පිළිබඳ කුමාර තිරමාදුර ශිල්පියාගේ අදහස....

- මෙහෙම ගියොත් ළමයින්ට සිනමාශාලා පෙන්වන්න කටුගෙට යන්න වෙයි 
- අපට හොලිවුඩ් බොලිවුඩ් මට්ටමට වියදම් කරන්න බැහැ.

මොකක්ද මේ ‘ඔටුනු නොපලන් කුමාරයාගේ‘ කතාව? 

මම මේ වැඩක් කරනවා යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා. සිංහල සිනමාව කොරෝනා නිසා ඇනහිට තිබෙන වෙලාවෙ හොඳ වැඩක් කරමු කියලා යාළුවෝ ඒ නම උලෙළට දුන්නා. මම ඒ නම ගත්තා. එච්චරයි.

උලෙළට ප්‍රදර්ශනය වන චිත්‍රපට ?

මාර්තු 31 ධර්ම යුද්ධය, අප්‍රේල් 01 ටවුමේ ඉස්කෝලේ, 02 දා ද නිවුස්පේපර්, 03 තණ්හා රති රඟා, 04 ගාමනී කියන චිත්‍රපට තමයි පෙන්වන්නේ. විශේෂයෙන් කියන්න ඕනෙ මේ සමහර චිත්‍රපට ඩීසීපී තාක්ෂණයෙන් නෙවෙයි තිබුණේ. ඒත් අපේ නිෂ්පාදකවරු විශාල මුදලක් වියදම් කරලා ඒ තාක්ෂණික මට්ටමට ඒවා සකස්කර ලබා දෙනවා. මම ඒ ගැන ඔවුන්ට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

අපි ඔක්කොම නිකං ගල්වෙලා වගේ ඉන්න අවස්ථාවක් මේක. ඒ නිසා වටු කුරුලු රැල වගේ ඔක්කොමල්ලා එකතු වෙලා සිනමාව ඔසවාගෙන තමයි ගොඩ යන්න වෙන්නේ. එහිදී මාධ්‍යවලින් දෙන සහයෝගය ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන් සරසවිය පුවත්පත වැනි සිනමාවට සම්බන්ධ මාධ්‍යය මේ ලබා දෙන දායකත්වය ඉතා වැදගත්. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් ආරාධනා කරනවා මේ කෘති නරඹන්න කියලා. දර්ශන වාර තුනක් තිබෙනවා 10.30, 2.30 සහ 6.30 ලෙස. මේ 6.30 දර්ශනය තමයි උත්සවාකාරයෙන් පවත්වන්න උපුල් නිශාන්ත සහ මම තීරණය කළේ. එය මාධ්‍යවේදීන් සහ කලාකරුවන් උදෙසා වන දැක්ම නිසා.

මේ චිත්‍රපට පහ ඔබ තෝරගන්නේ ඔබේ දායකත්වය ලබා දුන් කෘති විශාල ගණනකින්?

ජැක්සන් ඇන්තනි නිර්මාණය කළ ජුලියට්ගේ භූමිකාවෙන් ආරම්භ කළ මගේ සිනමා රංගනය ගැන මම මේ උලෙළ හින්දාම චිත්‍රපට සංස්ථාවෙ පොතෙන් බැලුවාම පැහැදිලි වුණේ, කොරෝනා නිසා 2020 ප්‍රදර්ශනය වෙලා තිබෙන්නේ චිත්‍රපට 12ක් පමණයි. ඒත් මිස් ජෙනිස් චිත්‍රපටය වන විට මම චිත්‍රපට 50කට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. 2021 නිදහස් වුණ චිත්‍රපට සහ ප්‍රදර්ශනයට නියමිත චිත්‍රපට තව කීපයක් තිබෙනවා. ඒ සියල්ල අතරින් මේ කෘති පහම සම්මානයට ලක් වුණ ඒවා.

ධර්ම යුද්ධය චිත්‍රපටය ගත්තොත් සිනමා උලෙළ හතරකම මම හොඳම සහාය නළුවා වුණා. ටවුමේ ඉස්කෝලෙ මට ජනාධිපති සම්මාන ලැබුණා. ද නිවුස්පේපර් අපට තාම ලංකාවේ උලෙළවලට සහභාගී කරන්න ලැබුණේ නැහැ. ඒත් ඇමෙරිකාවේ කැලිෆෝනියා සිනමා උලෙළේ ‌ආසියාවේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුණා. කොරෝනා තත්ත්වය නිසා ඒ සම්මානය කටුනායක ගුවන් තොටුපොළට එවා තිබුණා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතින් පාර්ලිමේන්තුවට ගෙන්වලා මටයි සරත් කොතලාවලටයි ඒ සම්මානය ප්‍රදානය කළා. තණ්හා රති රඟා ගැන කීවොත්, අපි ඕනෙ කෙනෙක් පත්තරේක තමන් කැමැති ලිපි, ප්‍රවෘත්ති පමණයි කියවන්නේ. එත් මම පුවත්පත්වල ශෝදුපත් කියවන්නකු ලෙස වසර ගණනාවක් මට ලැබෙන සියලුම ලිපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කියවිය යුතුයි, එය මට ඒ කාලෙ හරිම නීරසයි. ඒත් ඒ සියල්ල කියවා ලැබූ දැනුම චිත්‍රපට තිර රචනා ලිවීමේදී මට මහා පන්නරයක් වුණා. ඒ ශක්තිය තමයි තණ්හා රති රඟා ජීවිතේ පළමුවෙනි වතාවට මම ලියූ පිටපතට ලෙස හොඳම පිටපත, හොඳම චිත්‍රපටය ආදි වශයෙන් සම්මාන දාහතරක් පමණ ලබා ගන්න හේතු වුණේ කියා මම විශ්වාස කරනවා.

ඒ අතරින් ගාමනී සම්මානය මට විශේෂයි. මම පළමුවැනි සම්මානය ගන්නකොට මගේ අම්මාගේ ඇස්දෙක අන්ධයි.

අද මම සරසවියට විශේෂ කතාවක් කියනවා. 1978 මම අවුරුදු නවයක විතර පොඩි එකා කාලේ දවසක්, මම හිතන්නේ ඔක්තෝබර් 28 වගේ මට මතක, අපේ අම්මා පපුවට අත්දෙක ගහගෙන අඬන්න ගත්තා. බලද්දි මේ රුක්මණී දේවි අපේ සිංහල සිනමාවේ පළමු රංගන වේදිනිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වෙලා. ඒ වගේ ආසාවක් චිත්‍රපට ගැන තිබුණු අපේ අම්මා මාවත් නිරන්තර ඒ ක්ෂේත්‍රයට යොමු කළා. අපේ අම්මා මල්ලිවත් වඩාගෙන මාවත් එක්කගෙන ගාමිණි ෆොන්සේකා මහත්තයා රඟපාන 'චණ්ඩියා' චිත්‍රපටය බලන්න ගිය දවසේ තමයි මට කරන්ට් වැදුණා වගේ පිස්සු හැදුණේ. එදා අපට රෑ මොරටුවට යන්න විදිහක් නැතුව ඉද්දි ඈත ලොරි බාගයක් එනවා. ළමයි දෙන්නෙකුත් එක්ක අම්මා කෙනෙක් ඉන්නවා දැකලා ඒ අය අපව ගෙනිහින් දැම්මා. පිටිපස්සේ පත්තර තොගයක් තියෙනවා දැකලා මම ඇහුවාම අම්මා තමයි කීවේ ඒ ලේක්හවුස් පත්තර බෙදන වාහනයක් කියලා. එදා ඉඳන් තාත්තට හොරෙන් මට සල්ලි දුන්නා චිත්‍රපට බලන්න. තාත්තා හිටියේ කලාකාරයෝ හිඟන්නො කියන මතයේ. ඒ ගැන තාත්තාට දොසක් කියන්නත් බෑ ඉතින් ඒ කාලේ හැටියට. ඒත් අම්මාට මගේ මොකක් හරි දෙයක් තේරුණා. මම චිත්‍රපට ශාලා හයක් මැද්දේ ජීවත් වුණ කෙනෙක්. අපේ දකුණු අත පැත්තේ තියෙන්නේ ටවර් මොරටුව, එමෙස් මොරටුව, මානෙල් මොරටුව. වම් අත පැත්තේ විජිත රත්මලාන, පද්මා රත්මලාන, ඕඩියන් ගල්කිස්ස. (උපහාසයෙන් කියයි) හරී සන්තෝසයි කියන්න ඒ තුනයි මානෙල් මොරටුවයි හතරම වහලා අද.

ප්‍රසිද්ධියේ මම කියන්නේ මේවා සුපිරි වෙළෙඳසැල්වලට ගන්නවා. මම චිත්‍රපට බලන්න ගත්ත කාලේ ශාලා හාරසියයක් පමණ තිබිලා තිබෙනවා. කොරෝනා එන්න කලින් එකසිය විස්සකට විතර බැස්ස ඒ ගාන දැන් හැත්තෑවකට විතර අඩුවෙලා. මේ විදිහට ගියොත් අපට ඇමෙරිකාවේ ඩයිනෝසරයගේ ඔළුව තියාගෙන පෙන්වනවා වගේ කටුගේක තියලා ළමයින්ව අතින් අල්ලන් ගිහින් තමයි 'මේ තියෙන්නේ අර සිනමා ශාලා කියලා තිබුණු ඒවා' කියලා පෙන්වන්න වෙන්නේ. මේ ගැන කොච්චර කීවත් කිසිදු බලධාරියෙක් සැලකිලිමත් වෙන්නේ නෑ. අපි යෝජනාවක් කළා ඒ සුපිරි වෙළෙඳ සංකීර්ණවල අඩු ගණනේ එක මිනිතියෙටර් එකක් හරි හදන්න. මොකද ඒකට යන අය චිත්‍රපටය බලලා වෙන කඩේකින් ගිහින් බඩු ගන්නේ නෑනේ. මේ දේවත් නොවුණොත් මට තේරෙන්නේ නැහැ එහෙම නොවුණොත් මේ පත්තරත් වැහිලා අපිත් වැහිලාම යයි. එහෙම ලංකාවේ සිංහල සිනමාවක් නැතිවෙලා ගිය දවසක ජීවත් වෙලා මොකටද?

කොරෝනාවලට කලිනුත් සිනමාවේ අර්බුදය තිබුණානේ?

ඇත්ත සිනමාවේ අර්බුදය නිර්මාණය වුණේ කොරෝනා නිසා නෙවෙයි. ඊට අවුරුදු තිස්තුනකට කලින් අපි ඔක්කොම එකතුවෙලා ලංකාවේ ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම මැදින් හිටිය විශිෂ්ට මිනිසාගේ ඔළුවට වෙඩිතියලා මරලා දැම්මා. ඒ විජය කුමාරතුංග. එතනින් පස්සේ මොන දේ කරන්න ගියත් හරි යන්නේ නැත්තේ අපේ ජනප්‍රිය සිනමාවේ, සිංහල සිනමාවේ අවසන් ඇණය තමයි පෙට්ටියට අපි ඒ ගැහුවේ. විජය කුමාරතුංගට සමහරු කීවේ ගස්වටේ කැරකෙන නළුවා කියලා. ඒත් ඔහුගෙන් පස්සේ හරියට ගස්වටේ කැරකෙන්නවත් නළුවෙක් ආවේ නෑ. ඊට කලින් ජෝතිපාල නැති වුණා. ඒ වගේ දැවැන්තයෝ එකපිට නැතිවෙද්දි එයට උර දෙන්න හරියමන් මිනිස්සු ටිකක් ආවේ නෑ. අපට පටිසන් දුන්නේ ඒ පාපය. හැඳල චිත්‍රාගාරය ගිනි තියන්න ගිය වෙලාවේ විජට එතැනට ගියාලු. මිනිස්සු කීවාලු විජය අය්යා අයින් වෙන්න කියලා. විජය කීවාලු ඉස්සෙල්ලා මට ගිනි තියලා පස්සේ සිංහල සිනමාවට ගිනි තියන්න කියලා. ඒ වගේ කෙළින් වැඩකරන මිනිස්සු නැති වුණ වේදනාවත් එක්ක තමයි රසිකයනුත් මේ සිනමාවෙන් ඈත් වෙන්න පටන් ගත්තේ. ලෝකෙ තාක්ෂණයත් දියුණු වුණා ඒ අතර. ඒත් අද වුණත් හොඳ චිත්‍රපටයක් කළොත් රසිකයන් එනවා. මම කළ නිසා නෙවෙයි, ද නිවුස්පේපර් මමයි සරත් කොතලාවලයි කතාවෙලා එළි දැක්වුවේ හරියට සෝපාකව කනත්තට ගෙනාවා වගේ. ඒත් අද බුදුවරයෙක් නැහැනේ බේරගන්න අපේ දරුවාව. රසික ජනතාවයි, මාධ්‍යයි තමයි ඉන්නේ ඒ වෙනුවට. ඒකයි මම කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩේට ශක්තිය දෙන්න ඕනෙ කියලා. ඒත් අපේ කකුලෙන් අදින අය වැඩියි මේ වෙලාවේ. හරිම අප්‍රසන්න හිතෙනවා වෙලාවකට මේ අපේ රටද කියලා. ඒත් හිතෙන් වැටෙන්නේ නැතිව අපි කරගෙන යනවා.

මොනවාද ඒ ප්‍රශ්න?

මම ඒවා දරාගෙන, යහපත් දෙයක් වෙයි කියලා හිතාගෙන උලෙළ අවසන් වෙනකල් අහිංසක වගේ ඉන්නවා කියලා හිතුවා. සමහර විට ඊට පස්සේ අංගුලිමාල වෙන්නත් පුළුවන්. මෙය තිස්පස් වසරක මගේ කලා ජීවිතය වෙනුවෙන් කියලා තිබෙනවා. ඒත් මම කියන්නේ මෙතැනදි මාව නෙවෙයි, සිංහල සිනමාව උලුප්පලා දක්වන්න. රුක්මණි දේවි මැරුණු වෙලාවේ මගේ අම්මා පපුවට ගහගෙන ඇඬුව වේදනාව දැක්ක මම, ප්‍රේක්ෂකයන් සිංහල සිනමාවට දැක්වූ ආදරය කොතරම්ද කියලා දන්නවානේ. ඒ නිසා මම මෙයට මැදිහත් වුණා වගේ තව තව අය මේ දේට මැදිහත් වෙලා සිනමාව ඔසවා තබන්න වැඩ කරන්න කියලයි මම ඉල්ලා සිටින්නේ.

කොරෝනා ව්‍යසනය අතර උලෙළක් පැවැත්වීම අවදානමක්?

මම මේ ප්‍රශ්නයක් ඇති කරනවා නෙවෙයි, දෙමළ සිනමාව පෙන්වන්න ආසන සියයට 50ක් දෙද්දි අපට දෙන්නේ සියයට 25යි. අනවශ්‍ය ප්‍රශ්නයක්නෙ මේක. ඔවුන්ට දෙන ප්‍රතිශතයම අපටත් දුන්නා නම් ඉවරයිනේ. ඔය වගේ දේවල් තියෙනවා ඉතින්. කොරෝනා කියලා කවුරුත් නිකං ඉන්නේ නෑනේ. රට වැඩ කරගෙන යනවානේ... එතකොට සිංහල සිනමාවයි, මියුසිකල් ෂෝසුයි, වේදිකාවයි විතරද වහලා තියන්න ඕනෙ. අනෙක් පැති ඔක්කොම වැඩ කරගෙන යද්දි ඒවා ගැන විතරක් එහෙම කියන එක මොන තරම් වරදක්ද? ඒ මිනිස්සු ජීවත් වන්නේ නැද්ද? මේක විශේෂයෙන්ම කියන්න ඕනෙ. කොරෝනා පටන්ගත්ත වෙලාවේ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ අපට කීවේ ගෙදරට වී සිටින්න, මීටරයක පරතරයෙන් ඉන්න, සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියලා. අපි ඒ අනුව ගෙදරට වෙලා හිටියා. හැබැයි අපි එල්ටීටීඊ කාලෙත් නාට්‍ය චිත්‍රපට කළා, ජේවීපී භීෂණ කාලෙත් කළා, ඒත් මේක ඊටත් වඩා භයානක එකක් නිසයි අපි ගෙදරට වෙලා හිටියෙ. ඒත් ඒ කාලේ අපට මානසික ආතතිය නැති කරන්න තිබුණු එකම ක්‍රමය මොකක්ද? ටීවී එක. ඒකේ පෙන්නුවා ගාමිණි ෆොන්සේකාගේ, ජෝ මහත්තයාගේ චිත්‍රපට, ජෝතිපාලගේ සින්දු. අපි එයින් සහනයක් ලබාගත්තා. ඉතින් මේ කාලය තුළ කලාවෙන් තමයි මුළු ලෝකයම සැනසිල්ලක් ලැබුවේ. මේ කාලයේ අපි කඩේකට ගියත් හිත රිදෙනවා, සැලුන් එකකට ගියත් හිත රිදෙනවා, දේශපාලනඥයන්ගේ ප්‍රකාශවලිනුත් හිත රිදෙනවා, වෛද්‍යවරයකු හමුවුණත් හිත රිදෙනවා, ඒත් ගීතයකින් හරි නාට්‍යයකින් චිත්‍රපටයකින් හරි හිත සනසන්නේ කලාකරුවෝ විතරයි. ඒ නිසයි මම කියන්නේ මේ කාලයේ රට වනසපු අය සතුටෙන් රට සනසපු අය දුකෙන් කියලා. එහෙම කරන එක හරි නෑ නේද? හිඟන්නාට ඉල්ලන්න පුළුවන්. පුලන්නාට ඉල්ලන්න බෑ. අපි පුලන්නො ගාණට වැටිලා තියෙන්නේ. එහෙම කරන එක රටක් හැටියට හොඳද? අපිට ඉතින් හිත හදාගෙන ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නෑ.

ඇයි නැත්තේ? කලාකරුවන් හැටියට එකමුතු වෙලා ඔය වටු කුරුලු ක්‍රමේටම ගොඩ එන්න පුළුවන්නේ? අනෙක සංවිධාන කීපයක් එකතුවෙලා කළ ඉල්ලීම්වලට රජය කන්දුන්නා කියලාත් ආරංචියක් තිබෙනවා?

එහෙම දෙයක් ආරංචි වුණා තමයි. මමත් හිතනවා කලාකරුවන් මීට වඩා හදවත් හොඳවෙලා, හොඳ තීන්දුවකට එනවා නම් හොඳයි කියලා. අපට වඩා ප්‍රවීණ අය ගොඩක් ඉන්නවානේ. ඒ අය සියලු දෙනා එකතු වෙලා හොඳ සංවාදයක් හදලා මේ ප්‍රශ්නයට පිළිතුරු සොයනවා නම් හොඳයි. සහන දුන්නා නොදුන්නා කියන එකටත් වඩා සියලු දෙනා එකතු වෙලා දැනුම්වත් වීමයි වැදගත්.

කොහොමද සරත් කොතලාවල සහෝදරයාගෙන් එහෙම ලැබෙන සහාය?

ඔහු ටෙලි නාට්‍යවල වැඩ නිසා කාර්යබහුලයි. මම ඉතින් කරදර කළෙත් නැහැ. මම වෙන කිසිකෙනකුගෙන් උදවු ගත්තෙත් නැහැ කරදර කරමින්. අන්තිම දවසේ කතාව කරන්නෙත් සරත් කොතලාවල තමයි. ඒත් හැමෝම අසරණ වෙලා ඉන්න වෙලාවක ලැබෙන ටෙලි නාට්‍ය ආදිය අතහැරලා එන්න කියන්නත් හොඳ නෑනෙ. ඉතින් මේ පිළිබඳ දැනුම්වත් වන රසික පිරිසගෙන් සහයෝගය ලැබුණොත් අපට හොඳ සිනමාවක් කරගන්න පුළුවන් වෙයි.

හොඳ සිනමාවක් කියන්නේ?

අපට හොලිවුඩ් බොලිවුඩ් මට්ටමට වියදම් කරන්න බැහැ. ඒ නිසා මගේ ඔළුවට වැදුණේ ඉරාණ සිනමාව. චිල්රන් ඔෆ් හෙවන්, ෆාදර්, බරාන් වගේ චිත්‍රපට එහි තිබෙනවා. එහි තිබෙන්නේ පුංචි වස්තු බීජයක්. එයට වියදම් වන්නෙත් අඩු පිරිවැයක්. මගේ තණ්හා රති රඟා වුණත් ඒ වගේ, යාපනේ ගිහින් එද්දි පුංචි පිස්තෝලයක් හමුවෙනවා. ද නිවුස්පේපර් එකේ තියෙන්නේත් ඒ වගේ පුංචි කතාවක්. මගේ ඊළඟ චිත්‍රපටයත් ඒ වගේ ඔල්ඩ් මෑන් කියලා පාරෙදි හමුවුණු වයසක මනුස්සයකු පිළිබඳ කතාවක්. ලයිෆ් ගාඩ් කියලා මුහුද මැද මිනිසුන් බේරාගන්න කෙනකුගේ කතාවක් කරන්න පිටපත ලියලා තිබෙනවා. තව ස්පා කියලා මේ කොළඹට ඈත පළාත්වලින් එන තරුණ දැරිවියන් පිළිබඳ කතාවක් ලියා තිබෙනවා. මේවාට කිසිදු ලිංගික දර්ශනයක් නොයොදා මම ලියන්නේ ගෑනු දරුවන් පිළිබඳ රටක වගකීම කොයි වගේද කියන්නයි. එහිදී මම ඇතුළු පිරිමි හැම කෙනකුම සැහැල්ලුවට ලක් වෙන්න පුළුවන්. ඒත් කමක් නැහැ. කාන්තාව කොයිතරම් ශ්‍රේෂ්ඨද කියන එක එයින් වැටහෙනවා නම්. එකම ප්‍රශ්නය නිෂ්පාදකවරු සොයා ගැනීම වැනි දේ තමයි.

හැබැයි ඉතින් බොලිවුඩ් කමර්ෂල් චිත්‍රපටයක් ආවොත් වැල නොකැඩී අපේ අයත් යනවානේ?

ඔය ප්‍රශ්නයම ගාමිණි ෆොන්සේකාගෙන් ඇහුවා. නිධානය ලිඩෝ එකේ සාමකාමීව පෙන්වද්දි එදත් සූරයා අදත් සූරයා බලන්න රිට්ස් එකේ දොරවල් කඩාගෙන ප්‍රේක්ෂකයන් එනවා. ඔබ මේ තුට්ටු දෙකේ චිත්‍රපටවල රඟපාන්නේ ඇයි කියලා. ඔහු කීවේ නිධානය මාර චිත්‍රපටයක් වුණාට, ගැලරියේ මට විසිල් ගහන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් රඟපාන එක නවත්වන කියලාද ඔබතුමන්ලා මට කියන්නේ කියලා. ඉතින් අමරදේවයන් වගේම සුනිල් පෙරේරා මහත්මයාත් ඉන්න ඕනෙ. ඒ නිසා මම උත්සාහ කරන්නේ ඔය දෙපැත්ත අතරින් යන මැද මාවතකින් යන්නයි. හැමෝටම තේරුම් ගන්න පුළුවන් සිනමාවක් කරන්නයි. මේ හැමදේටම ප්‍රේක්ෂකයාගේ රසිකත්වයත් බලපානවා.

සිනමාවකින් පණිවිඩයක් දිය යුතුමයි කියලා ඔබ හිතනවාද?

නෑ. නෑ. ඇන්ටන් චෙකොෆ් කීවා වගේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් කෙරෙන දේ සිනමාවෙන් කරමින් ඉන්න බෑ. හැබැයි සමාජ කතිකාවතක් ඕනෙ. ඒ සඳහා මම සිදුවීම වුණ විදිහ කියනවා. මගේ තණ්හා රති රඟා කතාවේ මම පාදක කරගත්තේ අවිගත්තෝ අවියෙන්ම නසිති කියන දේ. ඒත් ඒක බොහෝ දෙනාට අහු වුණාද මම දන්නේ නෑ. සුමිත්‍රා පීරිස් මහත්මිය නම් මට එදා කීවා පුතේ ඔයා මේ ෆිල්ම් එක බැරැක් ඔබාමාට පෙන්වන්න කියලා. මට ඉතින් එහෙම පුළුවන් කමක් තිබුණෙ නෑනේ.

චිත්‍රපටයකින් පමණක් සමාජය වෙනස් කරන්න පුළුවන්ද?

කලාකරුවන් සමාජයට තිබෙන ප්‍රශ්න ගැන කතා කරනවා. මාධ්‍යවේදීන් හැටියට ඔයගොල්ලොත් අපි වගේම පෙරගමන්කරුවන් විදිහට මේ දේවල් කියනවානේ. සුනාමි එන්න කලින් මහගමසේකරයන් කීවානේ ගැඹුරු සත් සමුදුර පතුල බිඳ ඇඹරි ඇඹරී කුරිරු ජලකඳ වෙරළ සම්පත ගිලගනී, ඩබ්ලිව් ජයසිරි කියනවා මහමුහුදම ගොඩට ගලා රත් වුණු හිරු පායන්නට ගොඩබිම මහ මුහුදක් වී මහමුහුදම ගොඩබිම වී කියලා. ඒවා අන් අයට ඇහෙන්නැත්නම් ඉතින් අරීසෙන් අහුබුදු සූරීන් කීවා වගේ මටත් කියන්න තිබෙන්නේ තනි මම කුම් කරම් ජාතිය කළ පවට? කියලා තමයි.

තිලක් පෙරේරා