අම්මාගේ ප්‍රභූ දේවා මං තමයි

සංගීත් ප්‍රභූ
මාර්තු 25, 2021

 

සංගීත් ශංඛ පද්ම රත්නායක කියන නමට ප්‍රභූ යන කෑල්ලක් එක් කෙරුවේ ඔහුගේ අම්මාය. ඒ ඇයගේ ආසම නළුවා ඉන්දියාවේ ප්‍රභූදේවා වූ නිසාය. පුතණුවන් නළුවෙක් වෙනවා දැකීම නොව මවට අවශ්‍ය වූයේ තමන් නිළියක් ලෙස නිර්මාණවලට දායක වීමටය එහෙත් ඒ අභිප්‍රාය කවදාවත් ඉටු වූයේ නැත. එමෙන්ම සිය පුත්‍රරත්නය කවදා හෝ ලංකාවේ ජනප්‍රිය නළුවෙකු වේවියැයි ඇයගේ බලාපොරොත්තුවක් නොවීය. පසුකාලීනව පුතු සංගීත් ප්‍රභූ නමින් ජනප්‍රිය නළුවෙක් ලෙස ඉදිරියට යද්දී තමන්ගේ සිහිනය ඔහු තුළින් දැකීමට මව පුරුදු විය. වත්මනේ සංගීත් ජනප්‍රිය නළුවන් සිටින ලැයිස්තුවට ඇතුළත් ව හමාරය. අනුරාධපුරයේ සිට අතේ පිච්චියක් නැතුව කොළඹට එන සංගීත් අද වනවිට ව්‍යාපාරිකයෙකු ලෙසින් ද සාර්ථකවූ තරුණයෙකි. ජනාදරයට පාත්‍රවූ නාඩගම්කාරයෝ ටෙලි සිතුවමේ කවඩියා ලෙසින් ඔබ හමුවට පැමිණෙන ඔහුගේ රංගන ගමන ලේසි පහසු එකක් වූයේ නැත. ඒ පිළිබඳ අතරින් පතර කතා වෙන ගමන් සංගීත්, නාඩගම්කාරයෝ සහ තමන්ගේ ජීවිතය ගැන අදහස් බෙදා ගන්නට මේ අන්දමින් සරසවිය හා එකතු විය.

 

සංගීත් මේ ගෙවෙන්නේ ඔබේ හොඳම කාලය කියලා මම කිව්වොත්?

රංගන ජීවිතය තුළ මම විවිධාකාරයේ චරිත කළා. කොමඩි චරිත කළා, මැජික් චරිත කළා. නමුත් කවඩියා වගේ චරිතයක් මං කරන්නෙ ෆස්ට් ටයිම්. කවඩියා කියලා කියන්නේ එතරම් ලස්සන නැති, ප්‍රියමනාපයක් නැති, නාන්නේ කරන්නේ නැති, ගඳ ගහන හඩු ඇඳුම් අඳීන චරිතයක් නමුත් ඌගේ හිත පිරිසිදුයි. ඇත්තටම මං ඉතා ආසාවෙන් ඒ චරිතය කළේ. මොකද රංගන ශිල්පියෙකු විදිහට අපි චරිත පිපාසයෙන් පෙළෙනවා. ඒ වෙලාවක මේ වගේ චරිත හම්බවෙන්නේ පූරුවේ පිනකට. ඒක අපේ ජීවිතයටත් ආලෝකයක්. කවඩියා නිසා මට සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවන් කැටගරියට යන්න ලැබුණා. ඇත්තටම සම්මානයක් හම්බ වුණත් නැතත් ඒ නොමිනේට් වෙන එකම සම්මානයක් හා සමානයි.

කවඩියා සහ සරා කියලා කියන්නේ දකුණු අතයි වම් අතයි වගෙ දෙන්නෙක්. සරාගේ දුකකදී කවඩියා තමයි පිහිටට එන්නේ. කවඩියා දුක කියන්නෙ සරාට. ඇතැම් අවස්ථාවලදී සරාගේ අතකොලුව තමයි කවඩියා. රංගනයේදී එකිනෙකාට දෙන සපෝට් එක ඉතා වැදගත්. ඉතින් කවුරු හොඳට රඟපානවාද කියලා ප්‍රේක්ෂකයා තමයි තීරණය කරන්න ඕනේ. හැබැයි සරාට මට වැඩිය අත්දැකීම් වැඩියි. එහෙම බලනකොට මගේ වීරයා තමයි සරා.

 

සංගීත් කොළඹ යන්නෙ නළුවෙක් වෙන්න හිතාගෙන. ඒ වෙනුවෙන් සෑහෙන කට්ටක් කෑවා කියලා ඔබ ගැන දන්න අය දන්නවා?

ඇත්තටම මම කොළඹ එන්නේ සොච්චම් මුදලක් අතේ තියාගෙන. ෆුට් බයිසිකලයක් මිලදී ගන්න එක පවා එදා මට ලොකු සයිස් හීනයක්. අද මම මටම කියා මගේම කියා වාහනයක් පාවිච්චි කරනවා. ඔය අතරේ නළුවෙක් වෙන්න හිතාගෙන ස්ක්‍රීන් ටෙස්ට් වලට අනන්තවත් ගියා. ඒවායින් සෑහෙන්න රිජෙක්ට් වුණා. උඹ හරි පොඩියිනේ බං, උඹට කවදාවත් නළුවෙක් වෙන්න බෑ, කියලා බොහෝ දෙනා කිව්වා. වෙන්ඩ ඇති.. මම ඉතින් පුංචි පුද්ගලයෙක්නේ. ඒත් උත්සාහය අතහැරියේ නෑ. සල් සපු නා නාට්‍යයේ නිල්හාන්ගේ චරිතයෙන් තමයි මම ඉස්සල්ලාම ප්‍රේක්ෂකයෝ අතරට යන්නේ. එතැන ඉඳලා වැඩේ පත්තු වුණා. මගේ ගමන මට හදා ගන්න පුළුවන් වුණා. එදා මාව පහත් කරලා කතා කරපු අයට මම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දනෙ මං මේ පන්නරයක් ලැබුවේ. හැබැයි ඒ අතර සමහරු ඉන්නවා මට හරි ගියාට පස්සේ මාව මුරුංගා අත්තේ තියන. නමුත් ඒ අයත් එක්කත් මම තරහ නෑ. හැමෝම එක්ක සුහදව වැඩ කරන්න තමයි හොඳ.

 

ඔබ සාර්ථක ව්‍යාපාරිකයෙකු විදිහටත් ඉදිරියට ඇවිල්ල තියනවා?

මට මගෙම කියලා සැලුන් එකක් තියෙනවා. ඒ වගේම ඇඳුම් ෂොප් එකකුත් තියෙනවා. ටිකක් දුර පළාතක තවත් ෂොප් එකක් ආරම්භ කරන්නයි මම හිතාගෙන ඉන්නේ. ජීවිතයේ එන්න එන්න වගකීම් වැඩි වෙනවා. මුදල් කියන අවශ්‍යතාවය අපිට සෑහෙන්න මතු වෙනවා. ඒ නිසා අපි ස්ථාවර වෙන්න ඕන. මගේ තව හීනයක් තියෙනවා කොළඹ ගෙයක් හදන එක. මම ඒකත් කොහොම හරි කරනවා.

 

අම්මට නිළියක් වන්න බැරි වුණානේ?

අම්මා සංගීත ගුරුවරියක්. ඇය අපේක්ෂා කරගෙන ඉඳල තියනව නිළියක් වන්න. අම්මට ඒ හීනේ හැබෑ කරගන්න බැරි වුණා. ඒ හීනය ඇය මං තුළින් දකිනවා කියලා මට හිතෙනවා. දැන් ඉතින් අම්මගේ පොර තමයි මම. තවත් විදිහකින් කිව්වොත් අම්මගෙ ප්‍රභූ දේවා තමයි දැන්මං..

 

සාරංග ප්‍රභාත්