සරසවියට නොගොස් ගුවන් විදුලියට ගිය ෆර්නි රෝෂිණි

මාර්තු 18, 2021

ශ්‍රී ලාංකික කලා කෙතට කලා ශිල්පීන්, ශිල්පිනියන් ‍රැසක්ම පාහේ බිහිවූයේ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවෙනි. ජාතික ගුවන් විදුලිය තුළින් අදටත් රටට ජනතාවට මහත් සේවයක් ඉ‍ටු කරන්නේ ජාතික වගකීමක් ලෙස සලකාය. ඒ ජාතික ගුවන් විදුලිය මහජන සේවය ප්‍රමුඛතාවයෙහිලා සලකමින් ක්‍රියා කරන ආයතනයක් වන බැවිනි. එකල මේ ආයතනය මඟින් විශිෂ්ට ගණයේ ගායක, ගායිකාවන්, නිවේදක, නිවේදිකාවන්, වැඩසටහන් නිෂ්පාදකවරුන්, වරියන්, නාට්‍ය මෙන්ම හඬකැවීම්, සංගීත ශිල්පීන්, ගීත රචකයින්, සාහිත්‍ය හා රසවින්ඳනවේදීන්, විරිදු හා කවි ගායන යන ප්‍රමිතිගත ශිල්පීන්, ශිල්පිනියන් විශාල පිරිසක් බිහි කළ අතර ඔවුන් කලා හා සාහිත්‍ය ලෝකයේද ප්‍රමුඛයන් බවට පත්වූහ.එලෙස ජාතික ගුවන් විදුලිය තුළින් බිහිවූ බොහෝ දෙනා අද වනවිට කලා ලොව අතුපතර විහිදා ගිය දැවැන්ත වෘක්ෂ බවට පත්ව ශ්‍රාවක සිත් සතන් තුළ සදාතනිකවම ලැඟුම් ගත්තේය. මෙහි එන කතා නායිකාව ෆර්නි රෝෂිණි එවැනිම ගණයේ ශිල්පිනියකි.

මුලින්ම ඔබේ පෞද්ගලික විස්තර මතක් කළොත්?

ගම හොරණ. පානදුර ශාන්ත මෙ‍තෝදීස් හා හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය යන විදුහල්වලින් තමා අධ්‍යාපනය ලැබුවේ. මගේ තාත්තා රහස් පරීක්ෂක හා අල්ලස් කොමිසමේ නිලධාරියකු ලෙස ‍රැකියාව කළේ්. රාජ්‍ය සේවකයෙක් නිසා විටින් විට තාත්තාට ස්ථාන මාරු ලැබෙනවා. ඒ විදිහට තාත්තට හොරණ සිට කොළඹට ලැබුණු ස්ථාන මාරුවකට අනුව අපි කොළඹ කොල්ලුපිටියට එනවා. එහිදි මම ශාන්ත අන්තෝනි බාලිකා මහා විදුහලේ අධ්‍යාපනය ලැබුවා.ඔය අතරෙ තාත්තාට නැවත හොරණට ස්ථාන මාරුවක් ලැබෙනවා. ඊට පස්සේ මම හොරණ තක්ෂිලා මහා විද්‍යාලයට ඇතුළත් වෙලා නැවත අධ්‍යාපනය හැදෑරුවා.

ඔබ ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නේ කුඩා කාලයේදීම නේද? ඔව්. කොල්ලුපිටියට ආපු කාලේ මම ටිකක් පුංචියි. මගේ නැන්දා කුසුම් පෙරේරා. ඇය ගුවන් විදුලියේ තමා සේවය කළේ. අපේ තාත්තා මාව ඉස්කෝලේ ඇරුණාම ගුවන් විදුලියේ ඉන්න නැන්දා ගාවට ගෙනත් ඇරලනවා. ඒ කුඩා කාලයේදීම තමා මම ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නේ. පස්සේ හඳ මාමා, ළමා පිටිය, ළමා රංඟ පීඨය, සරස්වති මණ්ඩපය, රේඩියෝ සඟරාව වගේ තවත් වැඩ සටහන් ‍රැසකටම මම දායක වුණා. ඒ අතරතුර තාත්තාට නැවත හොරණට ස්ථාන මාරුව ලැබෙනවා. නමුත් මම ගුවන් විදුලියට එන එක අතැරියේ නෑ. හොරණ ඉදලම ගුවන් විදුලියට ආවා ගියා.

එතකොට අධ්‍යාපන කටයුතුවලට මොකද වුණේ?

මම සාමාන්‍ය පෙළ, උසස් පෙළ හොඳීන් සමත් වුණා. ඒ අතරේ අවුරුදු පහක් ලක්නව් භාත්කණ්ඩ විශාරද උපාධිය දක්වා සංගීතය හැදෑරුවා විශාරද පේ‍්‍රමදාස මුදුන්කො‍ටුව මහතාගෙන්. ඒ අතරෙ මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධියත් කළා. උසස් පෙළ සමත් වෙලා ඉන්නකොට ඒ කාලයේ ගුවන් විදුලි සංස්ථාවට වැඩසටහන් නිෂ්පාදන සහයක දෙවනි ශ්‍රේණිය තනතුරට බඳවා ගන්නා බවට මට මතක හැටියට දිනමිණ පත්තරෙ දැන්වීමක් පළකර තිබුණා. ඒ දැන්වීමට අනුව මමත් අයදුම් කළා. පස්සේ මට ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණයකට කැඳවලා තිබුණා. මම එයට සහභාගි වුණා. පරීක්ෂණ වට කිහිපයක් තිබුණා. අවසානයේ මාවත් ඒ සඳහා තේරුණා. පස්සේ කොළඹ ඩී.එස්. සේනානායක මහා විද්‍යාලයේදි එයට බඳවා ගැනිමට අදාළව ලිඛිත පරීක්ෂණයක් පැවැත්වුණා. ඒකට ඇවිත් තිබුණේ ගුවන් විදුලි සංස්ථාව හා එහි වැඩ සටහන් ආශි‍්‍රත ප්‍රශ්න.මම මුල ඉදලම ගුවන් විදුලියට සම්බන්ධවෙලා හිටපු නිසාත් ඒ ගැන දැනුමක් තේරුමක් තිබුණා. ඒ නිසා එයට උත්තර ලියන්න ලේසි වුණා. මෙයින් සමත් වුණු විසිපස් දෙනකුගෙන් යුත් කණ්ඩායමට මමත් ඇතුළත් වෙලා ගුවන් විදුලියේ ‍ඒ රැකියාව මට ලැබුණා. ඒ අතරෙ මට සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයට තේරිලා කියලා එයට ඇතුළත්වෙන්න එන්න කියලා ලිපියක් ලැබෙනවා.

එතැනින් ඔබ සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයට නොයා ගුවන් විදුලියට යනවද?

මම අවුරුදු එකහමාරක් ගුවන් විදුලියේ ඒ වනවිට සේවය කරගෙන ඉන්නකොට තමයි සෞන්දර්යය කලා විශ්ව විද්‍යලයට එන්න කියලා ලිපියක් ලැබෙන්නේ. සෞන්දර්යය කලා විශ්ව විද්‍යලයේ සම්මුඛ පරීක්ෂණයට මම ගියා. එහි උප කුලපති වෙලා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ හිටියා සංගීත් නිපුන් විශාරද සනත් නන්දසිරි මහතා. අද ඒ මහත්තයා සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පීඨාධිපති. මට කිව්වා ‍රැකියාවද විශ්ව විද්‍යාලයද දෙකෙන් එකක් ‍තෝරගන්න කියලා.‍ රැකියාව ‍තෝරගන්නවා නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට තව කෙනෙකුට අවස්ථාවක් ලබාදෙන්න පුළුවන් කියලා කීවා. ඒ කාලේ ගුවන් විදුලියේ රාත්‍රි සේවා මුර ක්‍රමය ක්‍රියාත්මක වුණේ නෑ. එහෙම තිබුණා නම් මට උදේ විශ්ව විද්‍යාලයේ ගිහින් හවස ‍රැකියාව කරන්නත් තිබුණා. ඉතින් මම එහිදී ගුවන් විදුලියේ ස්ථීර ‍රැකියාව ‍තෝර ගත්තා. ගෙදරින් ‍ මේ රැකියාව ‍තෝර ගත්තට මුලින් ප්‍රශ්නයක් ඇති වුණත් පස්සේ අම්මත් මට කීවා ඔයාට දැනුම් තේරුම් තියෙනවනේ කැමති තීරණයක් ගන්න කියලා.ඉතින් ඊට පස්සේ ඒකට ගෙදරිනුත් කැමති වුණා. ඉතින් එදා ඉඳලා අද දක්වාම මම ගුවන් විදුලියේ සේවය කරනවා.

වර්තමානයේ ගුවන් විදුලියේ උසස් නිළධාරිනියක් වන ඔබ දැන් ශිල්පීය දායකත්වය ලබාදීමෙන් ඈත්වෙලාද?

මේ වෙනකොට මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රචාරණ හා ප්‍රකාශන අංශයේ සහකාර අධ්‍යක්ෂිකාව ලෙස තමා කටයුතු කරන්නේ. මුල් කාලයේ ඉඳලම මං ගුවන් විදුලි ශිල්පිනියක් එදා ඒ ආරම්භයේ සිටම අද දක්වාමත් මම අඛණ්ඩව ශිල්පීය දායකත්වය විවිධ වැඩසටහන්වලට ලබාදෙනවා.ජාතික මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විශේෂ උත්සව අවස්ථාවන් නියෝජනය කරමින් නිවේදිකාවක් නිෂ්පාදිකාවක් ලෙසත් තවමත් සුමනා ජයතිලක නැන්දාගේ ආරාධනයෙන් හඳ මාමා ළමා වැඩ සටහනටත්, ගුවන් විදුලි නාට්‍ය හඬ කැවීම්, විරිදු කවි ගායන යන ආදීයෙන් මේ අයුරින් ශිල්පීය දායකත්වය විවිධ ලබා අයුරින් දෙමින් අදටත් කටයුතු කරනවා.

ඔබේ සැමියා හමුවන්නෙත් ගුවන් විදුලියෙන්.ඒ ගැන විස්තර කියන්න කැමතිද?

මම උසස් පෙළින් අනතුරුව නැවතත් ගුවන් විදුලි වැඩසටහන් වලට දායක වෙනවා. පස්සේ මට ගුවන් විදුලියේම ‍රැකියාවක් ලැබෙනවනේ.ඉතින් දීර්ඝ කාලයක් අපි දෙන්න හොඳ යාළුවෝ. එයත් ගුවන් විදුලි ‍රැකියාවට අදටත් තේරිලා අපි විසිපස් දෙනා අතර හිටියා. අපි වැඩසටහන් කිරිම ගැන ඇතුළු විවිධ දේවල් කතා බහ කරමින් එකටම වගේ තමා හිටියේ. කොහොම හරි අපි දෙන්නගේ මේ යාළුකම හිතවත්කමට එහා දුරදිග ගියා. අපි දෙන්නා යාළු වුණා. පස්සේ එයා ඒ ගැන කියලා අපේ ගෙදරින් මං ගැන ඇහැව්වා. ඊට පස්සේ අපි දෙන්නා ආගම් දෙකක හැම ආගමක ඵඬචම කරන්නේ යහපත් මිනිසුන් හදන එක ටඬච. නමුත් මෙතැනදි මම හොඳට හිතලා බළලා තීරණයකට ආවා ඔහුව කසාඳ බදින්න.මමත් මාධ්‍ය ක්ෂේත්‍රයේ කෙනෙක් නිසා මේ ‍රැකියාවට ‍රැයක් දවාලක් නැතිව යන්න එන්නත් වෙනවා.ඉතින් එයත් මේ ක්ෂේත්‍රයේ නිසා දෙන්නටම හොඳ අවබෝධයක් තියෙනවා ප්‍රශ්නයක් නෑ අපි දෙන්නට දෙන්නා වෘත්තිය පැත්තෙනුත් හොදටම ගැළපෙනවා. ඒනිසා එයා තමයි මට සුදුසුම කෙනා කියලා හිතලා අපි දෙන්නා කසාඳ බැන්දා. ඉතින් අදටත් අපි ලොකු දුවලා දෙන්නෙක් එක්ක සතුටින් පවුල් ජිවිතය ගත කරනවා. දරුවොත් එක්ක අපි යාළුවෝ වගේ තමා ඉන්නේ. ඒ ගොල්ලෝත් හැමදෙයක්ම මට ඇවිත් කියනවා. දුවලා දෙන්නත් අද හොඳ මට්ටමක ඉන්නවා. රට ගැන සමාජය ගැන ඒ දෙන්නට හොඳ අවබෝධයක් තියෙනවා.ලොකු දුව දැන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනවා.

මේ අතර ඔබ වේදිකා නාට්‍ය පැත්තට යොමු වෙනවා එහෙම වුණේ කොහොමද?

මම ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් ලෙස වැඩ කරනකොට රවීන්ද්‍ර කෝදාගොඩ මහත්තයා මගේ දක්ෂතාවය දැකලා ඔහු කීවා ඔයාගේ හඬ වඩාත් හරියන්නේ ගුවන් විදුලියට නොවේ වේදිකාවට කියලා. එහෙම කියලා මාව ඔහුගේ වේදිකා නාට්‍යයකට දායක කර ගත්තා. පස්සේ මම ගිහින් ඒකේ පුහුණුවීම් කටයුතු වලත් නිරත වුණා. ඒක සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු මූලස්ථානය තමා කෙරුවේ. මදුරුවා කියලා නාට්‍යයක්. ඒකෙන් සමාජය දැනුවත් කළා ඩෙංගු, මැලේරියා, බරවා මදුරුවන් පිළිබඳව. ඇනොපීල්ස්, බරවා මදුරුවන් ලෙස තමා මට ඒකේ රඟපාන්න තිබුණේ. 2000 වසරෙදි ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ ටෙ‍්‍රා්ජන් කාන්තාවෝ වේදිකා නාට්‍යයෙන් තමයි පළමුව මාව වේදිකාවට හදුන්වා දෙන්නේ. ඊට පස්සේ මම කේ.බි හේරත්, දයානන්ද ගුණවර්ධන, ජයලාල් රෝහණ, ලූෂන් බුලත්සිංහල, ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, රවින් ආරියරත්න, පි‍්‍රයන්ත සෙනෙවිරත්න, ආර්.ආර්.සමරකෝන් යන අධ්‍යක්ෂකවරු ‍රැසක් යටතේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා.මම වේදිකාවට තමා වඩා කැමති. මොකද ඒක තමා නළුවෙකුට හෝ නිළියකට හරිම තැන. සජීවීවම පේ‍්‍රක්ෂකයින් අතරට යනවනේ.

එතකොට ටෙලි නාට්‍ය, සිනමාවටත් ඔබ දායකවෙනවා නේද? ටෙලි නාට්‍යයකට කියලා මුලින්ම සම්බන්ධ වෙන්නේ අරුණ ජයවර්ධන මහතා අධ්‍යක්ෂණය කල සිරස ටීවි එකේ විකාශය වුණු බාදුරාදේශය ටෙලි නාට්‍යයට. රොජර් සෙනෙවිරත්න මහතාගේ චාතුර්්‍යා හා බට්ටි කියන ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වුණා. බට්ටි තමයි ප්‍රථම මෙගා ටෙලි නාට්‍ය ලංකාවේ බිහිවුණ. ඊට පස්සේ මට මුතු වරුසා, මුතු පලස, මද්දහන, ස්වයංජාත, පෙම්බරයාණෙනි, කහ ඉර පාමුල, අකඩවාරිය,සංසාරේ, මායා මන්ත්‍රි, චාතුර්්‍යා වගේ ටෙලි නාට්‍ය විස්සක විසි පහක (20 -25 ) විතර රඟපාන්න අවස්ථාව ලැබෙනවා සුදත් රෝහණ, ෂර්ලි පි දෙලංකාවල, නිමල් රත්නායක, තුෂාරි අබේසේකර යන විවිධ අධක්ෂකවරුන් හා වරියන් යටතේ. චිත්‍රපට නම් පහක හයක (5-6) වගේ තමා. දුවන මුවන්, පත්තිනි, මන්දාරම්, බෙනට් රත්නායකගේ, පි‍්‍රයන්ත කොළඹගේ, හෙක්ටර් කුමාරසිරි, ඉන්ද්‍රානි විජේසිරි යන මහත්ම මහත්මින්ගෙ චිත්‍රපටවලටත් දායක වුණා.

මේ දවස්වල ඔබව අපිට හමුවන්නේ?

හිරු රූපවාහිනි සේවයේ සතියේ දිනවල රාත්‍රී 8.00 යන අකුරු මැකී නෑ ටෙලි නාට්‍යයේ සිංහල ගුරුවරියකගේ චරිතයෙන්, ස්වර්ණවාහිනී සේවයේ සෙනසුරාදා ඉරිදා රාත්‍රී 7.30ට ඉඟි බිඟි ටෙලි නාට්‍යයේ කෝරළේ මහත්තයාගේ මැණිකේ ලෙසත් තව ටෙලි නාටඩ් කිහිපයක් චිත්‍රපටයකුත් තියෙනවා විකාශනය හා තිරගත නොවුණු ඒවා. ඒ වගේම නිවේදිකාවක් ලෙස මම ප්‍රවීණ ගීත රචක රඹුක්කන සිද්ධාර්ථ හිමියන් සමඟ සෑම මසකම පොහෝ දිනවල දහවල් 1.15 සිට 3.00 දක්වා වැඩ සටහනක් කරනවා.වෙළඳ සේවය, සිටි ජ්ර්, රජරට, රුහුණු, කඳුරට, වයඹ යන සියලු ප්‍රදේශ සේවා එක්ව විසුරුවා හරින එය විචාරාත්මක වැඩසටහනක් ලෙස තමා ප්‍රචාරය කරන්නේ.

මම ම නිෂ්පාදනය කරන වෙළඳ සේවයෙන් සෑම අඟහරුවාදා දිනකම රාත්‍රි 7.30ට ප්‍රචාරය වන හිමව් අරණ වැඩ සටහනේ නිවේදිකාව ලෙසත් ගුවන් විදුලි නාට්‍ය හා හඬ කැවීම්, කවි හා විරිදු ගායන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.

කලාවේ මෙතෙක් ආ ගමනේදි ඔබව ඇගයීමට සම්මානයට පාත්‍රවෙලා තියෙනවද?

හඬ කැවීම් ශිල්පීය අංශයෙන් අභීත දියණිය, කා‍ටුන්, ප්‍රවීණා, ස්වප්නා, මිණි පහන ඔබයි ඒ වගේම මේ ලෝකයේ පහළ වූ උතුම්ම කාන්තාවන් වන යශෝධරා දේවිය හා මහා ප්‍රජාපති ගෝතමි යන අයගේ චරිත ඇතුළත් නිර්මාණවල ඒ ඒ චරිතවලට හොඳම හඬ කැවීම් ශිල්පිනිය වෙනුවෙන් මම ඇගයීමට හා සම්මානයට පාත්‍ර වුණා. මං මේ අවස්ථාවේදි මතක් කරන්න ඕනේ යශෝදරා චිත්‍රපටයේ නිෂ්පාදක හා අධ්‍යක්ෂක මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා. එතුමන්ගේ ආරාධනය නිසා තමයි මම ඒ චිත්‍රපටයට සහභාගි වුණේ. ඒ වගේම මෙහිදි ඒ චරිත නිරුපණය කළ අය ද ඇතුළුව බොහෝ දෙනා මම ඒ චරිත වෙනුවෙන් හඬකැවීම ගැන බෙහෙවින් සතු‍ටු වුණා. ඒ ඇගයීම ලැබිය යුත්තේ මටම කියලා. හඬකැවීම් සහ ටෙලි නාට්‍ය රංඟනය ඇතුළුව විවිධ වැඩසටහන් වලින් ලංකාවේ සියලු මාධ්‍ය ආයතන මාහට ලබාදුන් නොමසුරු සහයෝගයටත් මේ අවස්ථාවේදි මම ගොඩක් ස්තූතියි වන්ත වෙනවා.

හේමන්ත බණ්ඩාර 
දයාන් විතාරණ