දරුවන්ගේ අනාගතය ගැන අපි හීන දකින්න ඕනේ නැහැ

ලහිරු පෙරේරා
මාර්තු 18, 2021

ලහිරු පෙරේරා යනු මේ වන විට ගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායන තරුවකි. ලහිරු පෙරේරා යන නමටත් වඩා ඔහුව ලාසිඤ්ඤෝ නමින් පසුගිය වකවානුවේදී ජනප්‍රිය විය. මේ සැරසෙන්නේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙකු වන ලහිරුගේ පුංචි කැදැල්ල දැන් අමුත්තෝ තුන්දෙනෙකුගෙන් පරිපූර්ණයි. පුතුන් තිදෙනෙකුගේ දඟකාර ප්‍රීති ඝෝෂා සේම කිරිසිනා හඬ රැව්දෙන ඒ ඉසව්වට යන්නට අපි තීරණය කළා.

- අපිට ලැබෙන්නේ බෝනස් පිය පදවියක්
- මවුපියෝ තමන්ට කියන්න බැරි දේවල් ළමයි ලව්වා කරවගන්නවා
- ලොකු පුතා මං එක්ක සින්දු කියනවා
- එයාලාට ඉන්නේ කොණ්ඩේ වවපු තාත්තෙක්
- ළමයින්ගේ මුළු බර කරගහගෙන කරන්නේ බිරිඳ

ලහිරු දැන් පුතාලා තුන්දෙනෙක්ගේ තාත්තා කෙනෙක් නේද?

ඔව්. මට කොල්ලො තුන්දෙනෙක් ඉන්නේ. ලොකු පුතා ජේරම් පෙරේරා. එයාට අවුරුදු අටයි. දෙවෙනියා ලයන් ඩිමෙන් පෙරේරා, එයාට අවුරුදු හතරයි. තුන්වෙනියා ඩිනන් කිංග් පෙරේරා. එයා හරිම පොඩියි. තවම මාස හයයි.

කොල්ලොම තුන්දෙනෙක් කියන්නේ තාත්තෙක්ට ලොකු වගකීමක් නේද?

ඔව්. ඒ වගකීම් දැනෙන්නේ දරුවෝ හම්බුණාට පස්සේ. දරුවන් ගැන වැඩිපුර හිතනවා වගේම වෙනත් කවුරු හරි ගැන පවා "මේ මගේ පුතා වුණා නම්..." කියලා හිතෙනවා. ඒ නිසා ගොඩක් දේවල් සාමදානව විසඳෙනවා. 

මුලින්ම දරුවාව දකිනකොට මොකද හිතුණේ?

පළවෙනි දරුවානේ මුලින්ම මගේ කියලා දකින්නේ. ලොකු එක්කෙනාව දකිද්දි එහෙම කිසිම හැඟීමක් මට දැනුණේ නැහැ. පිරිමි අපිට ලැබෙන්නේ බෝනස් පිය පදවියක්නේ. අම්මානේ දුක් විඳීන්නේ. අපි නෙමෙයි දරුවා නිසා දුක් විඳීන්නේ. දරුවා ඉපදෙනකොට බිරිඳ විඳීන දුක දැකලා බිරිඳට ආදරේ වැඩි වුණා. දරුවා ගැන නම් ඇත්තටම එහෙම ආදරයක් දැනුණේ නැහැ. දවස් ටිකෙන් ටික ගිහින් මාස තුනකින් විතර පුතා අපේ ආමන්ත්‍රණවලට ප්‍රතිචාර දක්වන කොට ටිකෙන් ටික තමන්ගේ කියන එක හිතට දැනෙනවා. මගේ ලොකු පුතා ජේරම් ඉස්සෙල්ලාම කිව්ව වචනේ "තාත්තා" කියලා. එතනින් එහාට ලැබුණු දෙන්නා ගැනත් ඒ වගේමයි හැඟීම. ඉතින් ඒ බැඳීම දැනට ඇති වෙලා තියෙන බැඳීම් අතර උඩින්ම තියෙන බැඳීමක්.

ලහිරු කියන්නේ ක්ෂේත්‍රයේ කාර්යබහුල ගායන ශිල්පියෙක්. දරුවෝ තුන්දෙනත් එක්ක ඉන්න කාලය වෙන් කර ගන්නේ කොහොමද?

ළමයි එක්ක ඉන්න කාලය වෙන්කර ගන්නවා හරිම අඩුයි. ඒක මගේ ලොකු අතපසුවීමක්. ළමයි තුන්දෙනෙක් ඉන්න නිසා ඒක ටිකක් තව අමාරුයි. බිරිඳත් රැකියාවක් කරනවා. ගෙදර වැඩට ඉන්න අයත් දැන් නැහැ. අපේ මහගෙදර අම්මලා ළඟ තමයි දරුවෝ තියන්න වෙන්නේ. දැන් නම් තුන්වෙනියා හම්බුණ නිසා බිරිඳ තාම ප්‍රසූත නිවාඩු ඉන්නේ. ඒ නිසා ටිකක් ලේසියි. මට පුතාලත් එක්ක ගොඩක් ඉන්න හම්බෙන්නෙ සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ. සති අන්තයේ කොහොමහරි දවසක් වෙන් කරගන්නවා මම පුතාලා එක්ක ඉන්න. ලොකු පුතාගෙන් නම් ඇත්තටම පැමිණිලි එනවා මම එයා එක්ක ඉන්නේ නෑ කියලා. ඒත් එයා තාත්තා ගායකයෙක් වීම ගැන ආඩම්බරෙන් කතා කරන බව මට ආරංචි වෙනවා.

කොල්ලෝ දඟ ඇති?

දෙවෙනියා ගැන නම් කතා කරලා වැඩක් නෑ. (සිනාසෙමින්) පළවෙනියා ජේරම් හම්බුණාම මම හිතාගෙන හිටිය ළමයි ඔක්කොම ඒ වගේ කියලා. මොකද එයා වෙන ළමයි වගේ දඟ කෙනෙක් නෙමෙයි. කියන දේ අහන හොඳ බුද්ධිමත් දරුවෙක් එයා. දෙවෙනියා ලයන් එයාගෙ නමට හරි යන්න ලයන් කෙනෙක් වගේම ඉන්නවා. මිනිහා කෙලින්ම වසවර්ති මාරයෙක් වගේ පොරක්. එයාගේ තියෙන දඟකම කොල්ලෙක්ගේ තියෙන්න ඕනේ හොඳම විදිහ. පොඩි එක්කෙනා තාම පොඩි. එයා කොහොම වෙයිද දන්නේ නෑ.

කොල්ලෝ තුන්දෙනා කවුරු වගේ කියලාද කියන්නේ?

ලොකු පුතා ජේරම් මම වගේ කියනවා. ඒත් මම හිතන්නේ එයා කවුරු වගේවත් නෙමෙයි ජේරම් ජේරම් වගේ කියලා. එයාගේ මම වගේ සමහර ලක්ෂණත් තියෙනවා. දෙවෙනියා අම්මා වගේ කියනවා. තුන්වෙනියා කවුරු වගේ වෙයිද දන්නේ නැහැ.

දරුවෝ ලොකු වෙන දිහා බලාගෙන එයාලගේ අනාගතය ගැන හීන දකිනවා ඇති?

නැහැ. හේතුව එයාලාගේ අනාගත හීන එයාලා දකින්න ඕනේ. මම ඒවා දකින්නේ නැහැ. එයාලගේ ඉලක්ක එයාලාගේ හීන එයාලා ගොඩනඟා ගන්න ඕනේ. ඒ හීන එයාලා දැක්කට පස්සේ පස්සේ ඒවා හැබෑ කරන්න උදවු කරන්න මට පුළුවන්. එයාලට මම හොඳට උගන්වනවා. අනිත් මිනිස්සුන්ට වදයක් නොවිය ජීවත්වෙන අනිත් මිනිස්සුන්ගේ දුක තේරෙන ළමයි තුන්දෙනෙක් හැදුණොත් මට ඇති. එයාලගේ අනාගතය ගැන අපි හීන දකින්න ඕනේ නැහැ. ඕක තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. මවුපියෝ හැමෝම වගේ තමන්ගේ ඇරියස් ළමයින්ගෙන් යවා ගන්න හදනවා. තමන්ට කරගන්න බැරි වුණු දේවල් ළමයින්ට කරන්න කියලා බල කරනවා. මම නම් කවදාවත් එහෙම කරන්නේ නැහැ. 

දරුවෝ තුන්දෙනෙක් එක්ක ගෙවන ජීවිතය වෙහෙසකර ඇති?

මට ඇත්තටම මගේ බිරිඳ ගැන පුදුම දුකයි. මොකද එයා තමයි ළමයින්ගේ මුළු බරම කරගහගෙන කරන්නේ. මම දරුවන්ගේ අනාගතය හදන, මූල්‍යමය වගකීම් දරනවා. ඉතුරු ඔක්කොම වැඩ කරන්නේ බිරිඳ. මට තියෙන කරදර (වෘත්තිය ජීවිතයේ) සහ බිරිඳට තියෙන කරදර ගත්තාම මගේ ප්‍රශ්න නොසැලකිය හැකි දේවල්. එයට ළමයින්ගෙන් එන පැමිණිලි විසඳගන්න බැරි ඒවා. (සිනාසෙමින්) පොඩිම දරුවට මාස හයයි. බිරිඳ බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. එයාට තවම දරුවාව දාලා යන්න බැහැ. මට ලොකු දෙන්නාගෙන් පැමිණිලි එනවා. ඒත් ඒ තරම් ලොකු දේවල් නෙමෙයි. අයියලා මල්ලිලාගේ රණ්ඩුනේ. ඒත් ඇත්තටම දරුවන්ගෙන් එක පීඩනය සෑහෙන්න අවමයි බිරිඳ ඉන්න නිසා.

පුතාලා දෙන්නත් එක්ක ගත කරන කාලය ගැන කතා කරමු?

පොඩි දෙන්නත් එක්ක ඉන්නකොට වැඩියෙන් සෙල්ලම් කරන්න තමයි එයාලට ඕනේ. කොල්ලොනේ ඉතින්. එක තැන ඉඳලා කරන දේවල් කරන්න කැමති නැහැ. ඒ වගේම නටනවා. ෆිල්ම් බලනවා. ක්‍රිකට් ගහනවා. ලොකු එක්කෙනා මාත් එක්ක සින්දු හදනවා. එයාට සින්දු හදන්න පුළුවන්. එයා පොඩි මීටරයක්. එයාට මං කරන දේවල් ටික ටික පුළුවන් බව පේනවා.

ළහිරුගේ ස්වරූපය ටිකක් වෙනස්. සාමාන්‍ය තාත්තා කෙනෙක් වගේ නෙමෙයි. දරුවෝ ඒක ප්‍රශ්න කරන්නේ නැද්ද?

එයාලා දන්නවා මම කවුද කියන එක. මම සාමාන්‍ය තාත්තා කෙනෙක් නෙමෙයි කියලා එයාලට තේරෙනවා. අම්මගෙයි තාත්තගෙයි චිත්‍රයක් අඳීන කොට එයාලා අම්මගේ තාත්තගේ දෙන්නගෙම කොණ්ඩෙ දිගට අඳීන්නෙ. ඒක දැකලා මගේ බිරිඳත් කියනවා "ඉස්සර අපිටනේ හිටියේ කොණ්ඩේ කපපු තාත්තලා, මෙයාලට ඉන්නේ කොණ්ඩේ වවපු පුතා තාත්තා කෙනෙක්නෙ" කියලා. මට හිතනවා එයාලා එයාල ඔක්කොම මම ඉන්න විදිහට කැමතියි.

ළහිරු ළමයි හදන්නේ සාම්ප්‍රදායික විදිහටද නවීන පන්නයටද?

ඒ කිසිම විදිහකට නෙමෙයි. එයාලට මම නිකන් හැදෙන්න දෙනවා. වැරැද්දක් කළොත් ඒක එපා කියලා කියලා දෙනවා. එච්චරයි. ලෙඩදුක් හැදුණාම නම් දොස්තර ළඟට අරගෙන ගිහින් බෙහෙත් අරගෙන දෙනවා. ඒ හැරුණොකොට අන්තර්ජාලයෙන් බලලා අප්ඩේට් වෙන්නේ නැහැ. මොකද ළමයි එකිනෙකාට වෙනස්නේ. අපි නොදන්න දේවල් අම්මලාගෙනුත් අහලා කරනවා. 

ළමයින්ගේ වැඩ අම්මයි තාත්තයි බෙදාගෙනද කරන්නේ?

නැහැ. මට නම් කරන්න වෙන්නෙම නැති තරම්. අම්මා තමයි ළමයින්ගෙ වැඩ ඔක්කොම වගේ කරන්නේ. ගෙදර ඉන්න වෙලාවට ළමයින්ව හෝදනවා, කවනවා. ඒත් හැමවෙලේම මගේ අතින් වෙන්නේ නැහැ. පුළුවන් වෙලාවට කරන්න උත්සාහ කරනවා. ඒත් මම ළමයින්ගේ වැඩ කරනවා කියලා ක්‍රඩිට් එක ගන්න මම කැමති නැහැ. බිරිඳ තමයි ඔක්කොම කරනවා.

මේ හැමදෙයටම බිරිඳගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කරමු?

සහයෝගය නෙමෙයි ඔක්කොම වැඩ එයා තමයි කරන්නේ. මම කරන්නේ ළමයින්ව එන්ටර්ටේන් කරන එක විතරයි. ළමයින්ගේ අනෙක් සියලුම වැඩ, ඒ කියන්නේ කවන පොවන දේවල්වල ඉඳල අධ්‍යාපනය දක්වා සියල්ල හොයලා බලලා කරන්නේ බිරිඳ තමයි. විශේෂත්වය ඇය රැකියාවත් කරගෙන තමයි මේ ඔක්කොම කරන්නේ.

දරුවෝ තුන්දෙනා නිසා ඔබ දෙපළගේ බැඳීමත් දැන් වෙනස් වෙලා ඇති?

ඔව්. දරුවෝ ලැබෙන්න කලින් එයයි මමයි සැමියා සහ බිරිඳ. දැන් තාත්තයි අම්මයි. ඒ බැඳීම වෙනස් වෙලා. ඒක හොඳ විදිහට වෙනස් වෙලා තියෙන්නේ. පෙරට වඩා දේවල් තේරුම් අරගන්නවා. ඒ වගේම එදිනෙදා ජීවිතයේ සමහර ප්‍රශ්න අපි දෙන්නට හරිම ලේසියෙන් විසඳගන්න පුළුවන්. ඉතින් එහෙම අපි සතුටින් ජීවත් වෙනවා. (සිනාසෙමින්)

දරුවෝ තුන්දෙනාගෙන් කවුරු හරි කිව්වොත් දවසක ගායකයෙක් වෙන්න ඕනේ කියලා මොකද කරන්නේ?

ගායකයෙක් වෙන්න ඕනේ කිව්වොත් ගායකයෙක් කරනවා. කරන වැඩේ හරියට කළොත් ඕනෙම කළොත් ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරන්න පුළුවන්. ඒක ළමයින්ට කියලා දෙනවා. සංගීතය ගැන ගායනය ගැන උගන්වනවා. ඉන් එහාට හරියට වැඩ කරගෙන ඉන්න එක එයාලගේ වැඩක්. දැන් කලින්ට වඩා හරි හැමදේම දියුණුයි. තාක්ෂණය දියුණුයි වගේම දක්ෂතාත් ඉහළයි. ක්ෂේත්‍රයේ ආදායම් මාර්ග වැඩියි. හරියට මාර්ගය තේරුම් අරගෙන ගියොත් දුර ගමනක් යන්න පුළුවන්. 

ලංකාවේ සමාජ වටපිටාව ඔබේ දරුවන්ට කෙසේ බලපායිද?

ලංකාවේ සමාජ වටපිටාව විතරක් නෙමෙයි විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගත්තොත් එහෙම දැන් යන්නෙ අනිත් පැත්තට. ඒක තේරුම් අරගෙන නිතරම දරුවන්ගේ ඔළුව හදන වැඩේ තමයි මවුපියෝ කරන්න ඕනේ. ප්‍රධාන දේ මවුපියෝ ආදර්ශමත් වෙන්න ඕනේ. ළමයා මුලින්ම සමාජානුයෝජනය වෙන්නේ පවුල ඇතුළේ. පවුල ඇතුළේ අපි කතාබහ කරන හැසිරෙන විදිහ එයා හොඳට නිරීක්ෂණය කරලා ඒ අනුවයි හැසිරෙන්නේ. අපේ හැසිරීම ආදර්ශමත් වුණොත් ජීවිතේ හොඳට ගත කළොත් දරුවොත් හොඳට හැදෙයි. ගෙදරින් හොඳට හදලා සමාජයට යන කෙනා නරකට පෙලඹෙනව අවමයි. මගේ දරුවෝ යන්නේ රජයේ පාසලකට. පෞද්ගලික පාසල්වල වගේ නෙමෙයි. විවිධාකාරයේ දරුවන් එනවා. ඒ හැම කෙනා ගැනම දරුවන්ට පොඩි කාලේ ඉඳලා අදහසක් දුන්නොත් සමාජය ගැන අවබෝධයක් දුන්නොත් ඒක තේරුම් අරගෙන හැදෙයි. ඒක තියෙන්නේ ළමයින්ගේ අතේ.

ලහිරුගේ මේ දවල්වල කෙරෙන කලා කටයුතු ගැන නොකිව්වොත් ඒක මේ කතාබහට අඩුවක්.

මේ දවස්වල සින්දු හදනවා. ඒ වගේම වීඩියෝ හදන්නත් මම පටන්ගත්තා. "Music oven" එකේ අපි දැන් සින්දුවේ මුළු ප්‍රඩක්ෂන් එකම කරන්න හදන්නේ. මම ළඟදී සින්දුවක් රිලීස් කළා "මගෙ නේදෝ" කියලා. ඒකේ වීඩියෝ ඩිරෙක්ට් කළෙත් මම.