සින්දු කියන ඒ එස් පී

මාර්තු 18, 2021

ඔහු මහජන සාමය සුරක්ෂිත කරන්නට සිය දිවියේ වසර හතළිහක කාලයක් ශ්‍රී ලංකා පොලීසියට තම සේවා දායකත්වය ලබා දී මේ ගෙවන්නේ සිය දිවියේ සැදෑ සමයයි. තම පියා බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ සේවය කළත් එකල එහි සංගීතමය කටයුත්තක් සිදු වන්නේ නම් එහි පෙරමුණ ගත්තේ ඔහුගේ පියා ය. සිය පියාගේ නිර්මාණ සඳහා තම හඩින් සහය වන්නට පුංචි වජිරට එකල හැකි විය. කලාව හා නිර්මාණකරණය වජිරගේ නිවස වටා කුඩා කල සිටම ඔහුට දකින්නට හැකි විය. සිය පියාගේ සොහොයුරා මෙරට සිනමාවේ දැවැන්ත පෞරුෂයකි. ඒ ඇල්ෆ්‍රඩ් එදිරිමාන්නයි. පියා ස්ථන මාරුවක් ලැබ කොළඹින් නුවරට ගියත් ඒ වන විට පාසල් යමින් සිටි වජිර කොළඹ නතර වෙන්නේ සිය නළු බාප්පාගේ නිවසේය. සිනමාවේ පතාක යෝධයන් වූ විජය, ගාමිණි, ජෝ, කළං වැනි අය වජිරගේ බාප්පා හමුවන්නට එන්නේ එවකට හෙළ නළු නිළි හවුලේ ලේකම් ඇල්ෆ්‍රඩ් එදිමාන්න වූ බැවිනි. ඔය කාලයේදී අප රටේ එදා මෙදා තුර ජනකාන්ත ගායකයා වූ එච් ආර් ජෝතිපාල වජිරගේ නෑ සනුහරයට එකතු වන්නේ සිය නැගණිය වජිරගේ බාලම බාප්පාගේ සහකාරිය වීමත් සමඟයි. දැන් ජෝතිපාලද වජිරගේ නෑයෙකි. ඔබට මා මෙතෙක් සඳහන් කළේ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොළිස් අධිකාරී වජිර එදිරිමාන්න ගැනයි. පසුගිය දිනෙක ස්වර්ණවාහිනී මාත්‍රා ඔස්සේ සිය ගීතමය හඩ අවදි කළ ඔහු ඒ ගී ගයද්දී අපට දැනුණේ ජෝතිපාලගේ හඩමය. අප සිතන්නේ ඔබටත් එසේ දැනෙන්නට හැඟෙන්නට ඇති කියාය. ඔහු සමඟ සරසවිය අප කළ කතාබහකි මේ.

ඔබ පොලීසියේත් කලාව කළා?

1984 දී 'පිබිදෙන ගායක පරපුර' නමින් ගුවන් විදුලියේ වැඩසටහනක් තිබුණා. ආරියදාස පීරිස් තමයි එහි නිවේදකයා වුණේ. මුලින්ම මම ගුවන් විදුලියේ ගායනා කළේ අමරදේවයන්ගේ ' ඉපිද මැරේ ' කියන ගීතය.

මම පාර්ලිමේන්තුව භාරව සහකාර පොළිස් අධිකාරීවරයෙකු ලෙස සේවය කරන කාලයේදී දිනේෂ් බෝගොඩ තමයි සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ගුවන් විදුලියේ. ඔහු සංවිධානය කළා වැඩසටහනක් පොලිස් නිලධාරීන් ගායකයින් ලෙස ශ්‍රේණිගත කිරීමට. එය සම්බන්ධීකරණය කළේ මම. පොලීසිය තුළ සිටි සෑහෙන පිරිසක් එයට සහභාගී වුණා. එහිදී මම ඒ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස ශ්‍රේණිගත වුණා. එවකට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා මා හට අවශ්‍ය සහය ලබා දුන්නා.

ඔබ රඟපානවා කියලත් ආරංචියි?

ඔය කාලේදී ජෝතිපාල මහත්මයාගේ 75 වෙනි ජන්ම දිනය වෙනුවෙන් 2011 වසරේදී අපි ප්‍රසංගයක් කළා එල්ෆින්ස්ටන් රඟහලේදී. එය සංවිධානය කළේ මම සහා මගේ මල්ලී අමල් එදිරිමාන්න. ඔහුගේ මව ජෝතිපාලගේ නැගණිය. ඒ ප්‍රසංගයේදී මම ගීත හතරක් ගායනා කළා. ප්‍රසංගයට ආරාධිතයෙක් වශයෙන් ඇවිත් හිටියා සනත් ගුණතිලක. ගායනයෙන් පස්සේ මා ළඟට ඇවිත් ඔහු මට ප්‍රශංසා කළා. එහිදී අප අතර ගොඩ නැඟෙන මිත්‍රත්වය තුළ පසු කාලයේදී ඔහුගෙ ගැහැනු චිත්‍රපටයේ මා ගීත ගායනා කරනවා පමණක් නොවෙයි එයට රංගනයෙන්ද දායකත්වය ලබා දෙන්නට හැකි වුණා. මා නිසා පිටපතේ යම් යම් වෙනස් කිරීම් කිරීමටද ඔහුට සිදු වුණා. පොඩි චරිතයක් කියලා හිතුවට චිත්‍රපටය තුළ දර්ශන වාර රැසකට සම්බන්ධ වෙන්න මට හැකි වුණා. එය තමයි මාගේ සිනාමාගමනය. ඊට අමතරව චින්තක කුලතුංග ගේ 'දෙයියන්ගේ රටේ' කියන ටෙලිනාට්‍යයේත් වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් මං රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ජෝතීපාල නෑයෙක් වෙන නිසාම ඔහු එක්ක ළග ඇසුරක් තියෙන්නත් ඇති?

ඔහු ජනප්‍රියත්වයේ ඉහළම තලයේ ඉන්න කාලයේ මම හිටියේ නුවර. ඒ කාලේ මම එනවා ඔහුව බලන්න කොළඹ. එක දවසක් මම එනකොට ඔහු ප්‍රසංගයකට ගිහින් ඇවිත් නිදි. මං ආවම ඔහු නැඟිටලා මා සමඟ කතා කළා. මට මතකයි එදා මට ඔහුගේ අලුත්ම කමිසයක් දුන්නා.

ජෝතිපාලට නුවර ප්‍රසංගයක් තියෙනවා නම් ඔහු අනිවාර්යයෙන්ම අපේ ගෙදර එනවා. මගේ තාත්තා ඔහු ඉන්න තැනට ගිහින් එක්කගෙන එනවා. ඒ ආවම සිංදු කියලා කෑම කාලා යනවා. ඔහු මට මාමා වුණත් මල්ලි කියලයි කතා කළේ.

ඒ කාලේ රසවත් අද්දැකීම් එහෙමත් ඇති?

පවුලේ අයගේ උපන්දින සාද තියෙන වෙලාවට පෝතිපාල නෑ. ඔහු කොහේ හරි ගිහිල්ලා. දවස් දෙක තුනකට පස්සේ තෑග්ගක් අරගෙන එනවා උපන්දිනේ අයිතිකාරයා බලන්න. ඒ වගේ හිනා යන දේවල් තිබුණා ඒ කාලේ.

ඔබට ඔහුව දැනුණේ කොහොමද?

ඇත්තටම ඔහු සැලකුවේ සාමාන්‍ය මිනිසුන්ට. පොදු මහ ජනයට. ඒ නිසාමයි ඔහු පොදු ජනතාවගේ ගායකයා බවට පත් වන්නේ. පවුලට වඩා ඔහු මුල්තැන දුන්නේ රසිකයාට. ඇඳගෙන ඉන්න ඇඳුමපවා ගලවලා දෙන පරිත්‍යාගශීලී කෙනෙක් ඔහු.

ජෝතිපාලගෙන් පසුව ඔහුගේ ගීත බොහොමයක් ඔබ ගායනා කරනවා? 

ඔව් එතුමාට පස්සේ එතුමාගේ ගීත වැඩියෙන්ම ගායනා කරන්නේ මම. එතුමාගේ ගීත ගුවන් විදුලියේ 'සුභාවිත ගීත' වැඩසටනේ තවමත් මම ගායනා කරනවා. සමස්තයක් වශයෙන් මේ වෙනකොට මම එතුමගේ ගීත 77 ක් පමණ ගායනා කරලා තියෙනවා. මං හරිම ආඩම්බර වෙනවා එතුමාගේ ගීත මට ගායනා කරන්න ලැබීම පිළිබඳව.

ඔහු මවට හරි ආදරේලු නේද?

ඔහු අම්මට හරිම ආදරෙයි. අපි මුණගැහෙන්න ගියත් අම්මා තමයි ඔහුව ඇහැරවන්නේ. අපි එක්ක කතාකරන්න යොමු කරන්නේත් අම්ම තමයි. අම්මා මොනවද කියන්නේ එතුමා අම්මා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. කිසිම වෙලාවක අම්මගේ හිත රිදවන්නේ නෑ.

පොලීසියේ ගයකයෙක් කියලායි ඔබ ප්‍රසිද්ද?

පොලීසියෙන් ගායකයෙක් ලෙස මුලින්ම ජනප්‍රිය වෙන්නේ වොලී බැස්ටියන්. ඉන්පසුව රන්ජන් ජයතිලක. ඉන්පසු අනුර සේනානායක. ඊට පස්සේ මටත් රූපවාහිනී නාළීකාවල ගීත ගායනා කළ නිසා ඒ ප්‍රසිද්ධිය ලැබුණා. පොළීසියෙන් ඒ වැඩ සටහන්වලට යෑමට අවසර ලබා දෙනවා. අදටත් මම සහභාගීවන වැඩසටහන් බලලා ඒ අය දුරතථනයෙන් මට සුබ පතනවා. අදටත් මට සින්දු කියන ඒ එස් පී මහත්තයා කියලයි නම පට බැඳීලා තියෙන්නේ. ( සිනා සෙමින්)

'ගැහැනු' බලන්න ලැබෙන්නේ කවදද?

චිත්‍රපටයේ සියලුම රූ ගත කිරීම් සිදු කොට අවසානයි. එහි කාර්මික කටයුතුªත් මේ වෙද්දි අවසන් වෙලා තියෙන්නේ. නමුත් මේ පවතින තත්ත්ව හමුවේ ඉවසීමෙන් බලා ඉන්න වෙනවා තව ටික කාලයක්.

තිළිණි රාජපතිරණ