හතළිස් වසරකට පසු හංස විලක්

මාර්තු 18, 2021

ධර්මසිරි බණ්ඩාරනායකගෙන් මතකාවර්ජනයක්

 

මිනිසුන් අතර බැඳීම් ඇති වන්නේ මහ පුදුම සහගත අයුරිනි. වෙසෙසින් ගැහැනුන් සහ පිරිමින් අතර සම්බන්ධතා ඇති වන හේතු ඇතැම් විට අන් අයට තේරුම්ගත නොහැකි තරම්ය. අන් අයට තබා බැඳීම ඇති වූ දෙදෙනා අතර පවා අවසානයේ පැහැදිලි හේතු දැක්වීමක් නොවිය හැකිය. එහෙත් ඒවා සමාජ සම්මුති නම් වූ කෝවක දමා කිරා මැන බලා, බේරා දමන්නට තුන්වැනි පාර්ශ්වයක් ඉදිරිපත් වූ කල ඒ බැඳීම්වලට නම් තැබීමට සිදු වේ. ආදරය, ප්‍රේමය, කාමය, සෙනෙහස, වෛරය, ක්‍රෝධය, අනාචාරය, උන්මාදය ආදි වූ මේ සියලු හැඳීන්වීම්වලට මූලය වන්නේ තව කෙනකුගේ ක්‍රියාවක් අප විසින් අපගේ දැනුමට, අත්දැකීම්වලට හා දෘෂ්ටියට අනුව විග්‍රහ කිරීමට යෑමය. නිශ්ශංක හා මිරැන්ඩාගේ බැඳීම ඔවුනොවුන්ගේ කුටුම්භවලට මෙන්ම අවට සමාජයට මහත් ව්‍යසනයක් බවට පත් වන්නේ ඒ තානායම වැටලූ පොලිස් නිලධාරීන් තෙවැනි පාර්ශ්වයක් බවට පත් වෙමින් සමාජ සම්මුතීන්ගේ කෝවට දමා නම් තබා තම ආකල්ප අනුව පැනය විසඳීමට යෑම නිසාය. එසේ නොවුවා නම් 1980 වසරේ ඇරැඹුණු ඔවුන්ගේ සුන්දර බැඳීම දශක හතරකින් පසුව අදටත් රහසක් ලෙසම පවතින්නට ඉඩ තිබුණි. එහෙත් එවිට 'හංසවිලක්' එදා දුටු පරපුරේ මෙන්ම අද දකින ඔබේත් මගේත් පරපුරේ මනෝ භාවයන් ප්‍රකම්පනය නොකළ නිසල දියක්වම පැවතෙනු ඇත. එසේ වූවා නම් වම් ඉවුරේ තුන්වැන්නකු සිනමාවට බිහි වේවිද? නොවූවා නම් තුන්වෙනි යාමය, සුද්දිලාගේ කතාව, බවදුක, බවකර්ම සිනමා කෘති බිහි විය හැකිද? එවිට ධර්මසිරි බණ්ඩාරනායක නම පවතිනු ඇත්තේ ඒකා අධිපති, මකරාක්ෂයා, යක්ෂාගමනය, ධවල භීෂණ, ට්‍රොජන් කාන්තාවෝ වැනි වේදිකා නිර්මාණවල පමණක් වීමට ඉඩ තිබුණිද? මේ ඩිජිටල් තාක්ෂණයට පෙරළා සංරක්ෂණය කළ හංසවිලක් සිනමා පටය කටුබැද්ද කේ සෝන් හිදී පසුගියදා නැරඹූ මොහොතේ මට ඇති වූ සිතිවිලි සමුදායයි. ඒවා එකිනෙක නිරාකරණය කර ගැන්මට චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන් සමඟ පිළිසඳක යෙදුණෙමු.

අවරුදු හතළිහකට පස්සේ හංසවිලක් මෙහෙම දකිද්දි මොකද හිතෙන්නේ? සරසවිය යූ ටියුබයේ ද විකාශය සඳහා කෘතියේ නිර්මාතෘගෙන් ඇසිය යුතු මුල්ම පැනය එය යැයි මට සිතිණි.

අවුරුදු හතළිහකට කලින් මම තරුණ කාලේ තමයි මේ චිත්‍රපටය හැදුවේ. හැබැයි අද වන විට මම වයසට ගිය කෙනෙකු හැටියට හඳුන්වා දෙන්න මම කැමැති නැහැ. තවමත් මට ඒ සියලු හැකියාවන් තිබෙනවා. ඒත් ඒවා ප්‍රයෝජනයට නොගෙනම අපේ කාලය ගෙවී යනවා කියලා හිතෙද්දි කනගාටුවක් ඇතිවෙනවා. නිර්මාණකරුවන් ඇසුරේ තමයි අප ජීවත් වෙන්නේ. ඒත් අපට ජීවත් වෙන්න තිබෙන අවකාශය වෙන අය විසින් මංකොල්ලා කාලා තිබෙන වෙලාවක තමයි අපි මේ සිනමාව ගැන කතා කරන්නේ. අපි නිශ්ශබ්ද වුණොත් වන්නේ මංකොල්ලය දිගටම සිදුවන එක. ඔවුන්ට දෙන්න තිබෙන උත්තරය තමයි මම මේ සපයන්නේ. මංකොල්ලකරුවන්‌ට කට පියාගෙන ඉන්න කියන්න තමයි අවුරුදු හතළිහකට පස්සේ හංසවිලක් පෙන්වන්නේ.

 

කවුද ඒ මංකොල්ලාකරුවන්?

මේ රටේ සුවහසක් ජනතාව හොඳ චිත්‍රපටයක් නරඹන්න බලා ඉන්න බවට සාක්කි ඔබට අද පේන්න ඇති. ඒ අවස්ථාව අහුරන්නන් තමයි මංකොල්ලාකරුවන්.

 

ඔබ වම් ඉවුරේ තුන්වැන්නා ලෙසයි සිංහල සිනමාවේ හඳුන්වන්නේ?

වම් ඉවුර කියන වචනය මේ සිනමාව තුළ හඳුන්වා දුන්නේ විචාරකයන්. විශේෂයෙන්ම සිරිල් බී. පෙරේරා. එතුමා වසන්ත ඔබේසේකර සහ ධර්මසේන පතිරාජ එසේ හඳුන්වන අතර, මාවත් ඒ ලෙස හඳුන්වා දුන්නා. එය මගේ කලාත්මක කෘති නිර්මාණයට ලොකු පිහිටක් වුණා. එහි ප්‍රතිඵල තවමත් භුක්ති විඳීන්න මම සමත් වෙලා තිබෙනවා. මම එහි තුන්වැන්නා නම් මට ලොකු දුකක් තිබෙනවා කෝ අනෙක් දෙදෙනා කියලා. ඒ දෙදෙනාම අද ජීවතුන් අතර නැහැ. අනාගතයේ මටත් අයිති වන්න තිබෙන්නේ ඒ ඉරණමම තමයි. එදාට ඔබත් දුක් වේවි තුන්වැන්නත් ගියා කියලා.

 

නැගෙනහිර යුරෝපීය සිනමාවේ ආභාසය ඔබේ හංසවිලක් පෝෂණය කළ බවයි විචාරකයන්ගේ මතය?

ඇත්ත. නැගෙනහිර යුරෝපීය සිනමාව තමයි මගේ ගුරුවරයා ලෙස සලකන්නේ. මගේ ජීවිතකාලය තුළ නැරඹූ විශිෂ්ටතම සිනමා කෘති රැසක් තිබෙන්නේ ඒ සිනමාවේ. එනිසා මම එය ගුරුකොට සලකමින් ඒ දෙස බලාගෙන තමයි හංස විලක් නිර්මාණය කළේ. හැබැයි එය කොපි කිරීමක් නෙවෙයි. ඒ ආකර්ෂණය මට අදත් ඒ අයුරින්ම තිබෙනවා. ඒ ආභාසය ලැබීමෙන් තමයි අපට සර්වකාලීන සිනමා කෘති නිර්මාණය කරන්න ලැබෙන්නේ. හංස විලක් සර්වකාලීන සිනමා කෘතියක් බවට පත්වේගන යනවා හෝ විචාරකයන් එසේ කියන්නට පෙලඹී තිබෙනවා නම් ඒ විශ්වාසය ගොඩනැඟුණේ නැඟෙනහිර යුරෝපීය සිනමාවේ පිහිටෙන් බව සැලකීම ඉතාම වැදගත්.

 

එයට හේතුව ඔබේ දේශපාලන මතවාදය?

වම් ඉවුර කියූ ගමන්ම වාමවාදී නැඹුරුව කියන දේ තිබෙනවා. මොකද මේ ජනතාවට යම් පලප්‍රයෝජනයක් ලැබෙන්නට නම් සැබෑ වම මතු විය යුතුයි. ඒ වම මතු නොකර පැත්තෙන් පැත්ත අත ගගා වම්මු විදිහට පෙනී සිටින දේශපාලන ඝාතකයන්ගෙන් තමයි අපි මේ රට ගලවා ගත යුත්තේ. ඒ එඩිතරකම වයසට ගියත් මට තිබෙනවා.

(එතැන රැස් වී සිටි පිරිස ඔහුට අත්පොළසන් දුන්හ. එවිටය මට මතක් වූයේ අපේ සාකච්ඡාව තව බොහෝ දෙනකු අසා සිටින බව. ඒ කොවිඩ් වසංගතය නිසා ආසන සීමා පනවා මාධ්‍යවේදීන්ට පසුව කලාකරුවන් ඇතුළු පිරිසට වෙනම සූදානම් කළ දර්ශනය සඳහා පැමිණ සිටි අය වූහ. )

 

ඔබ තැනූවේ චිත්‍රපට පහයි ඒ ප්‍රමාණවත් වුණාද ඔබේ ඔය දේශපාලන මතවාදය මෙරට තුළ පිහිටුවන්න.?

බැරි වුණෙත් නැහැ. ඔබ මොහොතකට කලින් නැරඹූවේ මගේ පළමු චිත්‍රපටය. එයින් ඔබට යම් කිසි ස්පන්ධනයක් ඇති කළා නම් සිනමා මාධ්‍යය පිළිබඳව ඒ චිත්‍රපටය ඔබ දෙවියන් ලෙස සැලකිය යුතුයි. සිනමාව අපට එතැනට ගෙන එන්න බැරි වුණේ වල්මත් වූ සිනමාකරුවන් පිරිසක් විසින් චිත්‍රපට කලාව ගණිකා වෘත්තියේ යෙද වූ නිසා.

 

කවුද ඒ වල්මත්වූ සිනමාකරුවන්?

මම කීවේ කලිනුත් මේ රටේ සුවහසක් ජනතාව හොඳ චිත්‍රපටයක් නරඹන්න බලා ඉන්න බව. චිත්‍රපටයක් හදන්නන් වාලේ හැදීම නෙවෙයි සිනමාකරුවාගේ යුතුකම, චිත්‍රපටකරුවාගේ දැනුම සමාජගත කිරීමයි. ඒ යුතුකම ඉටු කිරීමේ ප්‍රාතිහාර්යාත්මක ප්‍රයත්නයක යෙදුණු එක චිත්‍රපටයක් තමයි හංසවිලක්. එය අනාගත සිනමාකරුවන්ට මඟ පෙන්වන චිත්‍රපටයක්. එය විචාරකයන් පළ කළ යුතු අදහසක් මිස මට කීමට අයිතියක් ඇති දෙයක් නෙවෙයි. ඒ අදහස මතුවට හංසවිලක් පිළිබඳ ලියැවේවි.

 

ඔබ හංසවිලක් අධ්‍යක්ෂණය කළේ රඟපාන අතරතුර. පළමුවැනි චිත්‍රපටයේම එවැනි අභියෝගයකට මුහුණ දුන්නේ කොහොමද කියා මතක් කරමු?

මම අධ්‍යක්ෂවරයෙක් වශයෙන් සිනමාව‌ට කැප වෙන්නෙ මා ඇසුරු කළ මට අධ්‍යාපනය ලබා දුන් ලාංකේය සිනමාකරුවන් නිසා. එහි ප්‍රමුඛස්ථානයේලා මම සලකන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, පසුව වසන්ත ඔබේසේකර සහ ධර්මසේන පතිරාජ. මේ තමයි අපේ වම් ඉවුර. ඒ වම් ඉවුර තුළ තමයි මම සිනමා කලාවේ අයන්න ආයන්න කියෙව්වෙ. ඒ වගේම විදේශ සිනමාකරුවන් අතරින් සත්‍යජිත් රායි. ඔවුන්ගේ සිනමා කෘතිවලින් ලද රසිකත්වය තමයි මට හංස විලක් එසේ කරන්න හේතු වුණේ.

 

ඔබ ස්වර්ණා මල්ලවාරච්චි ශිල්පිනිය මේ චරිතයට තෝරාගැනීමට විශේෂ හේතුවක් තිබුණාද?

ඇයට හොඳට රඟපාන්න පුළුවන්. ඇය ඉතාම දක්ෂ නිළියක් ලංකාවේ ඉන්න. කවුරුහරි කියනවා නම් ඒක එහෙම නෙවෙයි කියලා මම කියනවා වරෙන් ඉස්සරහට කියලා.

(ඔහු පවසන්නේ ඉදිරියට දිගු කළ අතේ ඇඟිලිවලින් තමන් දෙසට සතුරාට එන්නට සන් කරන්නාක් මෙන් වූ ඉරියව්වකිනි.)

 

ඇය වරක් කීවා ඔබ අධ්‍යක්ෂවරයෙක් ලෙස ඉතා ආත්මාර්ථකාමීයි, සාහසිකයි කියලා. මොකක්ද ඔබේ මේ අධ්‍යක්ෂණ සිද්ධාන්තය?

එකම දෙයයි. මට ඕනෙ දේ ලබාගැනීමේ සහ මට ඕනෙ නැති දේ බැහැර කිරීමේ දක්ෂතාවය. එය ස්වර්ණා මල්ලවාරච්චි පමණක් නොවේ මා සමඟ කටයුතු කළ සෑම ශිල්පියකුම දන්න දෙයක්. මම ඔවුන්ට කියනවා මේ දෙබස් මේ ආකාරයට කිව යුතුයි, මෙතැනදී මේ ආකාරයට හැසිරිය යුතුයි කියලා. මොකද සිනමාව මගේ ඒ කියන්නේ අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යය. ඒ අයිතිය මට තිබිය යුතුයි. එක එක්කෙනාට ගෙවල්වලින් පිළුණු බත් වගේ රඟපෑම් ගෙනැල්ලා මෙතන වීසි කරන්න බෑ. ඒ නිසා මට හොඳ සිනමාකරුවකු වීමට ශක්තිය තිබෙනවා.

 

ඔබ අධ්‍යක්ෂණය කරමින් රඟපාන විට ඒ විධානය දෙන්නේ කවුද?

මම දන්නවා මම කරන්න අවශ්‍ය දේ කුමක්ද කියලා. ඒ චරිත මා අතින් තමයි නිර්මාණය වුණේ, මගේ අත්දැකීම් තුළින්. එහෙම නම් මට එහා කවුද ඉන්නේ චිත්‍රපටය තුළ ඒ ගැන කියා දෙන්න.

 

මෙහි ඩිජිටල් පිටපත ගැනත් අපි කතා කරමු?

හංසවිලක් චිත්‍රපටය සිංහල සිනමාවේ වංශාවලිය ලියද්දි ඉතාම වැදගත් තැනකලා සැලකිය හැකි කෘතියක් බවට විචාරක මත රැසක් මට දැනගන්න ලැබුණා. ඉතින් මට එක් අවස්ථාවක හිතුණා මේ චිත්‍රපටයත් අනෙක්වා සමඟම නැතිවෙලා යන්න පුළුවන් නිසා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මෙය තනාගන්න අවස්ථාවක් ලබා ගත්තොත් මෙය පවතියි කියලා. එසේ කළොත් මේ සමාජය ඇතුළේ මෙය තවත් කාලයක් රස විඳීන චිත්‍රපටයක් බවට පත් වෙයි කියන සිතිවිල්ලත් මට තිබුණා. ඒ සමඟම තවත් චිත්‍රපටයක් එකතු වුණා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව. මේ චිත්‍රපට දෙකම ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සම්පූර්ණ පිරිවැය යොදවලා ඉන්දියාවේ ප්‍රසාද් රසායනාගාරයට යවලා ඩිජිටල් තාක්ෂණයට පෙරළා සකස් කළා. මේ සඳහා අවුරුදු තුනක් පමණ ගත වුණා. මේ සියලු කටයුතු කළේ හිටපු ජනාධිපතිතුමාගේ අනුමැතිය යටතේ.

 

දැන් ලංකාවේත් මේ කටයුතු කරන්න හැකියාව තිබෙන බව කියනවා?

ඒත් තාම ඩිජිටල් තාක්ෂණය යටතේ පූර්ණ වශයෙන් චිත්‍රපටයක් තැනුණු අවස්ථාවක් දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙය ප්‍රථම අවස්ථාව ලෙස හඳුන්වා දෙන්න මම කැමැතියි.

 

ඔබ චිත්‍රපටවල රඟපාන්න අකමැතිව හිටි බවයි කියැවෙන්නෙ. ඒත් දරිද්‍රතාවයේ තරුණයාගේ චරිතය නොපැකිළව කළා. මොකක්ද මේ කැමැත්ත සහ අකැමැත්ත?

අකැමැති වීමට ප්‍රධාන හේතුව සුරූපී ලද බොළඳ පෙනුමක් මට නැති වීම. සුරූපීබව කියන්නේ... ළයාන්විත හැඩරුව ඇති සිනමාවක් තමයි අපට දායාද වුණේ. එය අපේ මුල් යුගයේ චිත්‍රපටවල ඇති වූ තත්ත්වයක්, රූපත් විය යුතුයි, කොණ්ඩය ලස්සනට කැරලි විය යුතුයි, නහය ඇද වන්න බෑ, තොල් දෙක ගෑනු ළමයකුගේ වගේ ලස්සන විය යුතුයි. මේවා තමයි අපේ සිනමාවට ලස්සන කියන්නේ. මම හිතන්නේ මම ඒ කිසි දේකට අයිති නැහැ. මම කැමැතියි හැම තිස්සේම හරයක් ඇති දෙයකට දායක වෙන්න. වේදිකාවේ වුණත් සිනමාවේ වුණත්. හරවත් චරිත නිරූපණය තමයි මගේ ආරම්භයේ සිට මේ කතා කරන මොහොත දක්වා කළේ. එ නිසා මගේ කාලය නිරපරාදේ අපතේ ගියේ නැහැ. එයට සාක්ෂි දරයි මගේ ප්‍රේක්ෂක ජනතාව. මම දරිද්‍රතාවයේ තරුණයා ලෙස හඳුන්වන්න පෙළඹුණේ ‘පළඟැටියෝ‘ චිත්‍රපටය නිසා. මම ජීවත් වෙන්න නොවිඳීනා දුක් විඳපු, විවාහය නිසා අප්‍රමාණ දුක්වේදනා විඳපු චරිතයක් නිසා විය යුතුයි ඔබ කියූ ඒ නම මට පටබැඳෙන්න ඇත්තේ.

 

ඔබට ඒ රංගනය සඳහා හොඳම නළුවා සම්මානයත් ලැබුණානේ... ඒත් ඔබ බක්මහ දීගේ කළේ බොහොම ප්‍රේමාන්විත යෞවනයෙකුගේ චරිතයක්?

ඔවු. ඔහු සොයාගෙන ගියා ප්‍රේමය. ළමාතැනීලා සමඟ තුරුළු වෙන්න ගියේ ඒ බලාපොරොත්තුවෙන්. දයානන්ද ගුණවර්ධනයන්ට අනේක වාරයක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ එවන් ප්‍රේමාන්විත බැල්මක් මට තිබෙන බව ඔප්පු කළාට.

 

(සිනාසී මා දෙස බලා කී ඔහුගේ පිටට තට්ටු කළ දෙතුන්දෙනෙක් එයට ප්‍රතිචාර දක්වමින් ශාලාව තුළට ඇදුනහ. ඒ දෙවැනි දර්ශනය ඇරඹීමට ආසන්න බැවිනි. ඔහු ඒ සියලු දෙනාට ආචාර කරන අතර මගේ පැනවලටද කල්පනාකාරීව පිළිතුරු දෙයි.)

 

ඔබ හරියටම කළේ වේදිකා නාට්‍ය පහයි චිත්‍රපට පහයි. ඔබේ මතය වෙනුවෙන් රොක් වුණු රසිකයන් වෙනුවෙන් ඔබ කළ නිර්මාණාත්මක සේවය ඇති කියා සිතනවාද?

මම හිතන්නේ නැහැ ඇති කියලා. ඒ නිසා ඇතියි කියලා නොහිතන අයට උදවුවක් කරන්න ඔබේ ශක්තිය භාවිත කර මට අවස්ථාව සලසා දෙන්න. මොකද මේ සියල්ල මම කළේ මගේ මහන්සියෙන්. හංසවිලක් '80 දි පිටපත ලියා අධ්‍යක්ෂණය කරද්දි එහි අර්ථපතීත්වය දැරුවේ ඇල්ෆ්‍රඩ් ජයසිංහ මහත්මයා. ඔහු මට විශ්වාසයක් ගොඩ නැඟුවා චිත්‍රපටයක් හදන්න පුළුවන් කියලා. වෙනත් නිෂ්පාදකවරු ආවේ නැත්තේ මම සල්ලි විනාශ කළ නිසා නෙවෙයිනේ. හංසවිලක් සඳහා ඒ කාලේ පිරිවැය රුපියල් දෙලක්ෂ පනස් දහසයි. ඒත් කෝටි ගණනක වටිනාකම එහි ගැබ් වෙනවා. අපේ රටේ ප්‍රතිපත්තිගරුක, කලාත්මක භාව ප්‍රකාශනයක යෙදෙන කෘතීන්වලට අවස්ථාව සලසන්න දැනුමක් නැති ව්‍යාපාරිකයන් ඉන්නේ. ඒ ව්‍යාපාරිකයන් හැමතිස්සේම කරලා තිබෙන්නේ දැනුම අයාලේ යැවූ එක. අයාලේ යන්න අසතුටු අප වැනි අය සම්පූර්ණයෙන්ම බැහැර කරලා. එය මගේ තරුණ වියේ සිට වයස්ගතවන තුරුම මම ලැබූ අත්දැකීම. ඉතින් මට නිෂ්පාදකවරු සොයා දෙන්න ඉදිරිපත් වන්නකුට තමන් මේ සිනමාවට කළ යුතුකම ගැන හිතලා කවදා හෝ සතුටු වන්න පුළුවන් ඉදිරියේදී.

 

වේදිකා නාට්‍යවලින් සිනමාවට එන්න තීරණය කළේ?

ඒකා අධිපති මගේ පළමු වේදිකා නාට්‍යයට පස්සේ මම මකරාක්ෂයා වේදිකා නාට්‍යය පටන් ගත්තා. ඒ දෙකම කරගෙන යද්දි මට එයින් ඇති වුණු වෙහෙස නිවා ගන්න නුහුරු මාර්ගයකට ළං වෙන්න සිතුවා. ඒ තමයි සිනමාව. නැගෙනහිර යුරෝපීය සිනමාව තුළ මට නැවත උත්පත්තිය ලැබුණා.

 

අද ඔබ හංසවිලක් රූපගත කළා නම්, ඔබේ චරිතයට තෝරන්නේ කාවද?

මම අධ්‍යක්ෂවරයා වුණොත් අලුතෙන් නළුවෙක් හදලා ඉදිරිපත් කරනවා. එවිට ඔබ කියයි ඔහු ධර්මසිරිට වඩා දක්ෂයි කියලා. හැබැයි අද ක්ෂේත්‍රයේ නම් තිබෙන්නේ හෝදාපාළුවක්. ඒ ගැන කනගාටුයි. මේ රටේ සිනමාවේත් රජයන්නේ හොරු මංකොල්ලාකාරයෝ සහ මනස්ගාතකාරයෝ. ඒවා සිනමාවත් නෙවෙයි කලාවත් නෙවෙයි. බය නැතිව අපට ඒක කියන්න පුළුවන්.

 

ඔබ සිනමාව ඔස්සේ සමාජයට යම් ධර්මතාවක් ඔප්පු කරන්න හදනවාද ලිංගිකත්වය පිළිබඳ?

නෑ. මම කිසිම විදිහකින් ධර්මිෂ්ඨයෙක් නෙවෙයි. මම නිරන්තර මගේ නිරුවත දකින්නෙක්. හැබැයි අනුන්ගේ නිරුවත දැකලා සතුටු වෙන කෙනකුත් නෙවෙයි. ඒ වගේම නිරුවත කියන දේත් මම අගය කරනවා. එය ලස්සන නම් සුන්දර නම් එය අගය කළාට කිසි ප්‍රශ්නයක් නැහැ. සිරිල් බී. පෙරේරා මහත්මයා මගේ චිත්‍රපටවලින් නිරූපණය වන ලිංගිකත්වය පිළිබඳ ලියා තිබෙනවා. ඒ පිළිබඳ කිසිම අමනාපයක් නැහැ. මගේ චිත්‍රපටවල ලිංගිකත්වයේ යා හැකි උපරිම දුර මම ගිහින් තිබෙනවා. ඒකට යන්න මම බයත් නැහැ. සමාජය තුළ තිබෙන හරපද්ධතීන් විනාශ කරන කාරණාවලට නෙවෙයි මම ඇතුළු වෙන්නේ. මේ සමාජය නිරුවත් කරන්න ඕනේ. ඒ තුළ තමයි සමාජයේ හරවත් දේ ඉස්මත්තට ගෙන ආ හැක්කේ. ඒ තමයි කලාව පිළිබඳ මගේ දැක්ම. කලාව භාවිතයට ගැනීමේදී පුළුවන් තරම් එය ආරක්ෂා කරගන්න මම උත්සාහ කරනවා.

සුද්දිලාගේ කතාව ගත්තොත් ලිංගිකත්වය පිළිබඳ මම බරපතළම ලෙස කතා කළ චිත්‍රපටය. එයට සයිමන් මට බැන්නා. ඒ ගැන මට කිසි කම්පාවක් නැහැ. මොකද සයිමන්ට දැනුණු ලිංගිකත්වය මට එහි දැනුණේ නැහැ. චිත්‍රපටයෙන් මම ස්වර්ණා මල්ලවආරච්චිගේ නිරුවත පෙන්වන්න හැදුවේ නැහැ. සයිමන් නිරුවත ලියලා තිබුණා. මම පුළුවන් තරම් එය අඩුවෙන් පරිහරණය කළා. සිනමාකරුවකු වශයෙන් මට තිබෙන විනයට මම හැම මොහොතෙම ගරු කරනවා. අපි හැම තිස්සෙම හිතන්න ඕනේ අපි හිටගෙන ඉන්නේ හරි තැනද කියලා. අපිත් මේ රටේ සංස්කෘතින්වලට කිසියම් ආකාරයකට අනුගතයි. අපටත් තිබෙනවා ශික්ෂණයක්. ඒ නිසා මගේ චිත්‍රපට සමූහයේම මම මිනිස්සුන්ට බලන්න බැරි ජුගුප්සාජනක දේවල් ඇතුළත් කළේ නැහැ. මොකද මගේ නිර්මාණශීලීත්වය විනාශ කරගන්න මම කැමැති නැහැ.

 

අද ඔබට මතක් වන පිරිසකුත් ඇති?

මීට අවුරුදු 40ට කලින් මම සිනමාව පිළිබඳ අත්පොත් තබලා තිබුණේ නැහැ. ඒත් මා පිළිබඳ යම් විශ්වාසයක් ගොඩනඟා තිබුණා විවිධ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රතිභාව යටතේ නිරූපණය කළ චරිත ඇසුරින්. ඇන්ඩෲ ජයමාන්න මගේ චිත්‍රපට පහේම කැමරා ශිල්පියා. ඒත් මම ඔහු සලකන්නේ මගේ සිනමා භාෂාව ඉගැන් වූ ගුරුවරයකු ලෙස. මේ සිනමා මාධ්‍යය පිළිබඳ යම් හසරක් මා ලැබුවා නම් ඒ ඇන්ඩෲ නිසා. හෙන්රි ජයසේනගේ නාට්‍යයක මම ප්‍රධාන චරිතය නිරූපණය කළා. හෙන්රි ඒ වගේම මගේ චිත්‍රපටයේ ඩග්ලස්ගේ චරිතය නිරූපණයට නිහතමානීව සහභාගී වුණා. ස්වර්ණා මල්ලවාරච්චි විශිෂ්ට රංගනයක යෙදෙමින් ඇයගේ සිනමා චාරිකාවේ මුල් අදියරේ රංගනය උදෙසා ලබා ගත් කීර්ති නාමය මගේ සිනමා ජීවිතයටත් ලද ආලෝකයක් ලෙස සලකන්න මම කැමැතියි. වසන්ති චතුරාණි ගැහැනු ළමයි චිත්‍රපටයේ චරිත නිරූපණය කළ පසු හංස විලක් සමඟ එක් වීම මගේ චිත්‍රපට කලා ජීවිතයට ලොකු වටිනාකමක් ලබා දුන්නා. ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර වසන්තිගේ ලොකු අයියා ලෙස ප්‍රේක්ෂකයන් සිත් ගත් අතර මගේ චිත්‍රපටයේ ආත්මයක් ලෙස සලකන්න පුළුවන්. ජේ. එච්. ජයවර්ධන, දෙනවක හාමිනේ, වෝල්ටර් රොද්‍රගු, ග්‍රැන්විල් රුද්‍රිගූ ඇතුළු සෙසු චරිත ඉදිරිපත් කළ හැමෝම මගේ චිත්‍රපටය ඔප මට්ටම් කිරීමට ඔවුන්ගේ රංගන දායකත්වය ලබා දුන්නා. ඒ වගේම ප්‍රේමසිරි කේමදාසගේ සංගීතය මේ චිත්‍රපටයේ ආත්මය ලෙස සැලකිය හැකියි. හෙමින් සැරේ පියා විදා ගීතය මේ හතළිස් වසර පුරා අගය කළේ ප්‍රේක්ෂක ජනතාවයි. මේ ගීය රචනා කළේ ධර්මසේන පතිරාජයන්. ඒ වගේම මෙහි ගීත ටී.එම්. ජයරත්න, නන්දා මාලිනී, අයිවෝ ඩෙනිස්, සුනිලා අබේසේකර ගැයූ අපූරුව නිසා ඒවා අද දක්වා ප්‍රේක්ෂක හදවත්වල රැඳුණා.

 

(ඔහු කියන විටත් පමා වී පැමිණි තවත් කීපදෙනකු ශාලාවේ දොර සීරුවෙන් සැරේ විවෘත කරගෙන ඇතුළු වෙද්දී එහි වැයෙන්නේ හෙමින් සැරේ පියා විදා ගීතයේ සිතාරයේ හඬයි)

 

වසර හතළිහක් පුරා මතක සිටි රසවත් සිදුවීම් එහෙමත් ඇති?

අතිශයින්ම රසවත්.. (සිනාසී බලා) ඔබට කියන්න බැරිතරම්... (කල්පනා කරයි) හැබැයි... (දිගු නිහැඬියාවකට පසු වචන එකින් එක සීරුවෙන් ගළපයි) ජීවිතයේ. ලොකු... හැලහැප්පිලි සිදු වුණු කාලයක්. ඒ යුගය. ඒවා.. තවත්... පාර්ශ්වකරුවන්... ගණනාවකගේ, ජීවිතවලටත්, බලපෑවා. ඒ, කිසිවක්, මේ, නිර්මාණයේ, අපතේ, නොගිය, අමුද්‍රව්‍ය, ලෙස, සලකන්න... මම කැමැතියි. තවත්, කාලයකදී, මගේ, අතින්, තැනෙන, මගේ, ම්.... වයස්ගතවීම පිළිබඳ චිත්‍රපටය සඳහා, ඔවුන්, මට ලබා දුන් දැනුම, අත්දැකීම් ඒ චිත්‍රපටයට පාදක වේවි කියා හිතෙනකොටත් ලොකු... වෙහෙසක්! දැනෙනවා.

 

ඒ කියන්නේ චිත්‍රපටයකට සූදානම් වෙනවා?

තිරනාටකයක් ලියමින් පවතිනවා. මේ රටේ වයස්ගත වුණු මිනිසුන්ට චිත්‍රපට නැහැ. එයට පිළියමක් වශයෙන් මගේ ඊළඟ නිර්මාණ මෙහෙයවන්න කැමැතියි.

 

සාකච්ඡාව නිම කරමින් මම සමුගන්නට සැරසුණෙමි. ඔහු යළිත් යමක් කියන්නට උත්සාහ කරන බව පෙනෙයි.

 

මොකක්හරි කියන්න අමතක වුණාද?

නෑ.... (ඔහු බොහෝ සෙමින් කියයි) වයස්ගත අයට පමණක් නෙවෙයි මටත් නෑ, බලන්න චිත්‍රපටයක්...

 

මම යළි හිඳ ගතිමි. යමෙක් ශාලාවේ දොර විවෘත කළ බැවින් ඔහු ඇඟිල්ලක් ඒ දෙස දිගු කර සවන් දෙන ලෙස සන් කළේය. නන්දා මාලනියගේ ගායනය ඇසේ. ඔහු ඒ පද වැලේ ඇතැම් වදන් අවධාරණය කරමින් මුමුණයි.

 

සඳුන් සිහින මණ්ඩපයේ

ප්‍රාර්ථනා පියා සලයි

නිවි නිවි දැල්වෙන

රිදී පහන් වැට

අඳුර සමඟ ගැවසේ

එළිය සෙමින් වියැකේ

 

දැක්කද? ඒක ලිව්වේ මම. මේ සංසාරයේ අපට කොයි තරම් දේ හමුවෙලා නැතිවෙලා ඇත්ද? මහා වැලපීමක් ජීවිතය. ඒත් ඉපදීම දුකක් කියලා මම හිතන්නේ නැහැ. ඉපදීම තරම් ලස්සන දෙයක් නැහැ. මම අරුණිගේ පළමුවෙනි ප්‍රශ්නයට ඇත්තම උත්තරේ කියන්නද? මට සවන්දෙන්න කෙනෙක්, මෙහෙයවන්න කෙනෙක් නෑ, බෙදාහදාගන්න කෙනෙක් නෑ. ම‌ට ලොකු තනිකමක් දැනෙනවා. නිර්මාණ කරද්දි නම් තනි නැහැ. නිර්මාණ නොකෙරෙන මොහොතක දැනෙන තනිකම කියන්න බැහැ. ඒ නිසා අවුරුදු හතළිහකට පස්සේ හංස විලක් පෙන්වද්දි දුකයි. කෑ ගහලා අඬන්න පුළුවන් නම් මම දැන් කෑ ගහලා අඬනවා.