2021 මගේ හොඳම අවුරුද්ද වේවි

-සෙනාලි ෆොන්සේකා-
මාර්තු 18, 2021

 

නාඩගම්කාරයෝ මගේ කලා ජීවිතයේ අමතක නොවන සන්ධිස්ථානයක්

 

2020 මට පාඩම් ගොඩක් ඉගැන්නුවා

 

මම දැන් පෙරටත් වඩා ශක්තිමත්

 

මට සමාජ ජාලාවල Bad Comments  එන්නේ අඩුවෙන්

 

 

මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවෙන් විකාශය වන අතිශය ජනාදරයට පත් ටෙලි නිර්මාණයකි නාඩගම්කාරයෝ. එහි මේ දිනවල ජනප්‍රිය බොහෝ චරිත අතර "පාඨලී" එසේත් නැති නම් "සුදු චූටි" ඔබට මතක ඇති? ඇය සෙනාලි ෆොන්සේකා. නිළි රැජණගේ පරපුරේ තවත් එක් පුරුකක් වන ඈ මේ වන විට ක්ෂේත්‍රය තුළ ජනාදරයට පත් රංගන ශිල්පිනියකි. නාඩගම්කාරයෝ ගැන සහ රංගන ජීවිතයේ වතගොත සෙනාලි ෆොන්සේකා අප හා පැවසුවේ මෙසේය.

 

සෙනාලි මේ දවස්වල නාඩගම්කාරියක් වෙලා කියලා ආරංචියි?

මේ දවස්වල නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයත් එක්ක තමයි කාර්යබහුල. නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයේ මම රඟපාන පාඨලීගේ චරිතය ගොඩක් ජනප්‍රියයි. පාඨලී කියන නමට වඩා "සුදු චූටි" කියන නමෙන් තමයි හැමෝම මාව හඳුන්වන්නේ.

 

කොහොමද පාඨලීට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

ඇත්තටම මම හරි වාසනාවන්තයි මේ වගේ ප්‍රේක්ෂකයෝ අතරට යන ජනතාව වඩා ප්‍රිය කරන නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම නිසා. නාඩගම්කාරයෝ කියන්නේ මගේ කලා ජීවිතයේ අමතක නොවන සන්ධිස්ථානයක්. මට ප්‍රේක්ෂක ආදරය ගොඩක් ලැබෙනවා. ජනවාරි මාසයේ දී ප්‍රේක්ෂකයා අතරට අපි මේ නිර්මාණය ගෙන ආවම මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවේ නැහැ. නොහිතපු වෙලාවක එවැනි දෙයක් වුණාම හරිම සතුටුයි. අපි මේ හැමදේම කරන්නේ ප්‍රේක්ෂකයන්ට. ඔවුන් සතුටු වෙන නිර්මාණයකට සම්බන්ධ වුණාම ඒ ගැන අපිටත් පොඩි නිහතමානී ආඩම්බරයක් තියෙනවා.

 

සෙනාලි සම්බන්ධ වෙන හැම නිර්මාණයක්ම ජනප්‍රිය වෙනවා.

ඒක ඇත්තටම මගේ වාසනාව කියලයි මම හිතන්නේ. මට සම්බන්ධ වෙන්න ලැබුණු හැම නිර්මාණයක්ම වගේ ප්‍රේක්ෂකයා අතරට ගිහින් තියෙනවා. ඒක සිනමා නිර්මාණයක් වුණත් ටෙලි නිර්මාණයක් වුණත් ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැලඳ ගත්ත නිර්මාණ බවට පත්වෙලා තියෙනවා. මට විවිධ චරිත තුළින් ප්‍රේක්ෂකයා අතරට එන්න ලැබිලා තියෙනවා. ඒ වගේම මම සම්බන්ධ වුණේ නිර්මාණවල අධ්‍යක්ෂවරුන් සහ රංගන ශිල්පීන් මතක් කරන්න ඕනේ. ඒ අයගේ දක්ෂතාවත් ඒ නිර්මාණ ජනප්‍රිය වෙන්න එක හේතුවක්.

 

නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණය පාඨලීගේ චරිතය කොහොමද ඔබට ලැබෙන්නේ?

"හාරකෝටිය" ටෙලිනාට්‍යය තමයි මම මුලින්ම සම්බන්ධ වුණු දීර්ඝ ටෙලිනාට්‍ය. ඒ පිටපත රචනා කරන්නේ සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයා. අධ්‍යක්ෂණය කරන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයා. ඒ වගේම එය නිෂ්පාදනය කරන්නේ චාමර සමරවික්‍රම මහත්මයා. ස්වර්ණවාහිනී නාළිකාව හරහා තමයි එය විකාශය වෙන්නේ. 2020දී මම කලාවෙන් ටිකක් ඈත් වෙලා හිටියා. ලොකුවට කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. කොරෝනා වසංගතය නිසා කොහොමත් රංගන ශිල්පීන්ට නිර්මාණවලට සක්‍රීයව සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. මගේ පෞද්ගලික ජීවිතේ වුණු දේවල් නිසා කලාවෙන් ටිකක් ඈත් වෙලා ඉන්න හිතුවා. මම 2021දී නැවත මගේ කලා ජීවිතය හොඳ ගැම්මකින් පටන් ගන්නවා කියලා මම කල්පනා කර කර ඉන්නකොට මට නාඩගම්කාරයෝ නිර්මාණයට නිෂ්පාදක චාමර සමරවික්‍රම මහත්මයා ආරාධනා කරනවා. ඒ වගේම සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාත් මට ආරාධනා කළා. මම මීට කලින් හාරකෝටිය ටෙලි නිර්මාණයේදීත් මේ තුන්දෙනත් එක්ක වැඩ කරලා තියෙන නිසා මට ලොකු විශ්වාසයක් ආවා මේ නිර්මාණය හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ස්වර්ණවාහිනී නාළිකාවේ දැන් ඉන්න විධායක අධ්‍යක්ෂ රංගන ද සිල්වා අයියාවත් මතක් කරන්න ඕනේ. ඔහු මට කිව්වේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ පාඨලීව දැක්කම මිනිස්සුන්ට සිරිපැරකුම් චිත්‍රපටයේ නඟාව මතක් වෙන්න ඕන කියලා. නිර්මාණයට මට විශේෂයෙන් සූදානම් වෙන්න දෙයක් තිබුණෙ නැහැ. මේක සම්ප්‍රදායික ගැහැණු ළමයෙක්ගෙ චරිතයක්. වැඩි දෙයකට කියල තිබුණේ පාඨලී ටිකක් සරාට නපුරුයි. මම නිතරම හෙව්වේ වෙනස් චරිත. සාමාන්‍ය චරිතයක් මට ලැබුණාම මම දෙවතාවක් හිතනවා. මේ අවස්ථාව මට ලැබුණාම මට හිතුණා හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා.

 

2020 සෙනාලිට අවාසනාවන්ත වසරක් වුණා නේද?

ඔව්. ජීවිතේ නොහිතපු විදිහට වෙනස් වෙච්ච, වෙනස් කරපු ඒ වගේම මට පාඩම් ගොඩක් උගන්වපු අවුරුද්දක් තමයි 2020 කියන්නේ. මගේ තාත්තා එංගලන්තයේදී නැති වුණා කොරෝනා වසංගතයට ගොදුරු වෙලා. ඒ නිසා 2020 කියන්නේ මගේ ජීවිතයේ අවාසනාවන්ත අවුරුද්දක්. ඒ නිසාමයි මම කලා ජීවිතයෙනුත් ඈත් වුණේ. මම ගොඩක් වැටුණා තාත්තාගේ අහිමිවීමත් එක්ක. හැමදාම වැටිලා ඉන්නත් බැහැනෙ. මම තේරුම් ගත්තා ජීවිතේ කියන්නේ මේක තමයි. ඉපදුණොත් මැරෙනවා. නොහිතන වෙලාවල්වලදී ජීවිතයේ දේවල් සිද්ධ වෙනවා. ඒ පාඩම් එක්ක ඉස්සර සමාජයට මූණ දීපු විදිහට නෙමෙයි දැන් මම සමාජය ඉස්සරහට යන්නේ. ඉස්සර නම් මොනදේ වුණත් තාත්තා ඉන්නවා. දැන් මම අම්මා එක්ක තනියම ජීවිතේට මූණදෙන්න ඕනේ. එන හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න ඕනේ මමමයි. ඉස්සර උත්තර හොයලා දෙන්න තාත්තා හිටියා. මම හැමදාම වැටිල හිටියොත් ජීවත් වෙන්න් බැහැනේ. ඒ නිසා හිටියාට වඩා මම ශක්තිමත් වෙන්න ඕනේ කියලා මම තේරුම් ගත්තා. ඉගෙන ගත්තා. ඒ නිසා 2021 අවුරුද්ද මගේ ජීවිතයේ හොඳම අවුරුද්ද කරගන්නවා කියන බලාපොරොත්තුවෙන් වැඩ පටන්ගත්තා.

 

සෙනාලි නිළි රැජණගේ පරම්පරාවේ එක පුරුකක් වීම නිසා ක්ෂේත්‍රයේ වැඩකටයුතු කොයිතරම් දුරට පහසු වෙනවාද?

මට පෞද්ගලිකව කිසිම වරප්‍රසාදයක් හම්බ වුණේ නැහැ. නළු නිළි පරම්පරාවකින් එනවා කියලා එහෙම වරප්‍රසාද ලැබෙනවාද කියන එක මම දන්නේ නැහැ. සමහරු හිතන්න පුළුවන් මම සම්බන්ධ වෙන නිර්මාණ ලොකු නැන්දි (මාලිනී ෆොන්සේකා) මට කතා කරල දීපු නිර්මාණ කියලා. එහෙම නැත්නම් මට නිකන් ඉඳලා ලැබුණ නිර්මාණ, ඕඩිෂන් එකකටවත් යන්නෙ නැතුව ඉඳලා ලැබුණ නිර්මාණ කියලා ගොඩක් අය හිතන් ඉන්නවා මටම දැනිලා තියෙනවා. එහෙම කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. එහෙම වුණා නම් මම ක්ෂේත්‍රයේ මීට වඩා ගොඩක් ඉහළ තත්වයක ඉඳීවි. මම අවුරුදු හතක් වෙනවා දැන් ක්ෂේත්‍රයට ඇවිත්. ඒත් මම තවම සම්බන්ධ වුණු නිර්මාණ අතේ ඇඟිලි ගානට ගණන් කරන්න පුළුවන්. විශේෂ වරප්‍රසාද මට ලැබෙන්නේ නැහැ. නමුත් සිරි පැරකුම් චිත්‍රපටයෙන් මම ආවට පස්සෙ මාලිනී ෆොන්සේකාගේ ඥාති දියණියක් නිසා ජනතාවගෙන් ලොකු ආදරයක් පිළිගැනීමක් මට ලැබුණා. ලොකු නැන්දිගේ නිර්මාණ බලපු අය තමයි දැන් අපේ නැන්දලා මාමලා ආච්චිලා සීයලා වෙන්නේ. ඒ පරම්පරාවේ අය ගොඩක් ආදරේ කරන්නේ ලොකු නැන්දිට. ඔවුන් කියනවා මාව යම් යම් තැන්වලදී "පොඩි මාලිනී" විදිහට පේනවා කියලා. ගොඩක් අය මට කියනවා මාලිනී තරුණ කාලේ වගේ කියලා. මට වැඩිහිටි පරම්පරාවේ අයගෙන් මට ලැබෙන ආදරේට ලොකුම හේතුව තමයි ලොකු නැන්දි. ඒක එක්තරා විදිහක වගකීමක්. ප්‍රේක්ෂකයන් මාව මාලිනී ෆොන්සේකා විදිහට දකිනවා නම් ඔවුන් මගෙන් ඒ හා සමානම රංගන හැකියාවක් බලාපොරොත්තු වෙනවා. නමුත් මම තාම රංගනය ගැන ඉගෙන ගන්නවා. මම තාම අලුත්. මට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඒ නිසා මම උත්සාහ කරනවා මම කරන දේ සියයට අසූවක්වත් සාර්ථකව කරන්න. ඒ ඇරුණුකොට මම කලා පවුලකින් එන නිසා පොඩි කාලේ ඉඳලම කලාවට සම්බන්ධ වුණු ප්‍රධාන පුද්ගලයින් හොඳීන් දන්නවා. ඒ අය දිහා බලාගෙන තමයි මම හැදෙන්නේ වැඩෙන්නේ. ඒ අය මට ගෙදර අය වගේ. ඒ නිසා කලාවට ආවා කියලා මට අමුතු වෙනසක් දැනෙන්නේ නැහැ.

 

මාලිනී ෆොන්සේකා වගේ ජනප්‍රිය නිළිය සහ හොඳම නිළිය සම්මාන දෙකම ගන්න හීනයක් නැද්ද?

අනිවාර්යයෙන්ම. ඕනේම රංගන ශිල්පිනියක් තමන්ගෙ වෘත්තිය හරියට කරනවා නම් තමන්ට කලා ශිල්පියෙක් විදිහට තවත් අගය වැඩි වෙනවා සම්මානවලින්. ජනප්‍රිය සහ හොඳම සම්මාන ලැබෙනවා නම් ඒ අගය තව තවත් වැඩි වෙනවා. හොඳම නිළිය සම්මානය ලැබෙන්නේ දක්ෂතාව අනුව. මම වගේම තවත් දක්ෂ රංගන ශිල්පිනියන් ඉන්නවා. ජනප්‍රිය රංගන ශිල්පිනියොත් තව ගොඩක් ඉන්නවා. බලමු යම්කිසි දවසක වාසනාව තියෙනවා නම් ඒ සම්මාන දෙකම මටත් ලැබෙයි.

 

සෙනාලිගේ ඊළඟ පරම්පරාවත් දැන් රඟපානවා නේද?

ඔව්. මගේ ඥාති සහෝදරයාගේ දියණිය කුෂේන්‍යා ෆොන්සේකාත් දැන් ළමා රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නේ. ඇය මගෙත් දියණියක් වෙන්නේ. හරිම සන්තෝසයි. ඇයගේ පොඩි වයසට ඇය දක්ෂ ළමා නිළියක් කියලා රූකඩ පැංචි චිත්‍රපටයෙන් ඇය ගොඩක් හොඳ ඇහුවා ප්‍රේක්ෂකයන්ගෙන්. මටත් ඇගේ රංගනය ගැන ප්‍රේක්ෂකයින් හොඳ කියලා තියෙනවා.

 

සෙනාලි චරිත තෝරා බේරා ගැනීමක් කරනවා?

ගොඩක් අයට හිතෙන්න පුළුවන් මම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ නිර්මාණවලට විතරයි සම්බන්ධ වෙන්නේ කියලා. එහෙම දෙයක් නැහැ. නිර්මාණය කරන අධ්‍යක්ෂවරයා සහ නිර්මාණයට සම්බන්ධ වෙන අනෙක් රංගන ශිල්පීන් මට අදාළ නැහැ. මම මුලින්ම බලන්නේ පිටපත. මම බලන්නේ කතන්දරය මොකක්ද කියලා. මම මෙතෙක් කරපු නිර්මාණවල පිටපත කියවද්දි මගේ චරිතය ඉස්මතු වෙන්නේ මැද හරියකට යද්දි. ඒත් මම නිර්මාණයට ආසවෙලා තමයි සම්බන්ධ වෙන්නේ. ඊටපස්සේ අධ්‍යක්ෂවරයා සහ රංගන ශිල්පීන් ගැන බලන්නේ. ඒ වගේම මම කැමති නැහැ එක චරිතයකට කොටු වෙන්න. ඒ නිසා මම වැඩි සැලකිල්ලක් දක්වනවා විවිධාකාර චරිත කරන්න. තවමත් මම රංගනය ඉගෙනගන්නවා. මම තවම අලුත්. මම කරන චරිතම තමයි මගේ රංගන පාඩම් කරගන්නෙත්. ඒ නිසා මම කැමතියි වෙනස් චරිතවලට පණ පොවන ඒ අත්දැකීම ලබලා තවත් දේවල් ඉගෙන ගන්න.

 

මේ දිනවල ප්‍රසිද්ධ චරිතවලට සමාජ ජාලාවල නරක ප්‍රතිචාර ලැබෙනවා. ඒත් සෙනාලිට?

මට ඒ වගේ වැරදි හෝ නරක ප්‍රතිචාර එන්නේ අඩුවෙන්. එහෙම කමෙන්ට්ස් එන අවස්ථා තියෙනවා. ඒත් ඒ වගේ ප්‍රතිචාරයද තව කෙනෙක් එක්ක සංසන්දනය කළොත් විශාල ලෙස එන්නේ නැහැ. මටත් එනවා. නමුත් මම ඒක භාරගන්න විදිහ වෙනස්. මුල් කාලෙදී මිනිස්සු එහෙම කමෙන්ට් කරන්නේ ඇයි කියලා මම දුක් වුණා. නමුත් දැන්වෙනකොට මම ඒ ගැන බලන්නේ මට තවත් හැදෙන්න පුළුවන් අවස්ථාවක් විදිහට. කවුරුහරි මගේ රංගනය ගැන බෑඩ් කමෙන්ට් එකක් දුන්නොත් මම ඒ ගැන හිතලා බලනවා. ඒ ඇරුණුකොට ඒවා ගැන දුක් වෙන්නේ සහ ගමනට බාධා කරගන්නේ නැහැ. ඒ වගේම මම ගොඩක් අවධානය යොමු කරන්නේ සමාජජාලාවල මට එන හොඳ ප්‍රතිචාර ගැන. ඒ ප්‍රසංශාවලට අවධානය යොමු වෙද්දි නරක ප්‍රතිචාර ගැන අවධානය අඩුවෙන් යන්නේ.

 

සෙනාලිට ක්ෂේත්‍රයේ හොඳම යාළුවෙක් ඉන්නවාද?

ඔව්. මගේ හොඳම යාළුවා විනූ සිරිවර්ධන. විනූ මට වඩා ක්ෂේත්‍රයේ වැඩි කාලයක් හිටපු කෙනෙක්. මම ක්ෂේත්‍රයේ ආපු කාලේ ගොඩක් අය මට කිව්වා මම විනූ වගේ කියලා. විනූටත් ඒ දෙයම කියලා තියෙනවාලු. අපි විවිධ වැඩවලදි මුණගැහිලා තියෙනවා. නමුත් යම්කිසි තැනකදී ඒ යාළුකම තදින් ඇති වෙනවා. විනූ මගේ යාළුවෙක් වෙන්නේ මගේ තව යාළුවෙක් හරහා. අවසානයට අපිව යාළු කරපු අය පැත්තක. අපි හොඳම යාළුවෝ. එයාගේ ජීවිතයේ සහ මගේ ජීවිතයේ සිද්ධවෙන විවිධ සිදුවීම් විපර්යාසවලදී අපි දෙන්නට අපි දෙන්නා හිටියා. අද වෙන කොට ඒ තුළින් ඒ යාළුකම තවත් ශක්තිමත් වෙලා තියෙනවා. අද කැමරාව ඉස්සරහාදී හෝ ක්ෂේත්‍රය තුළ විතරක් නොවී ඒ යාලුකම අද පෞද්ගලික අපේ ජීවිතවලටත් ඇවිල්ල තියෙනවා.

 

සෙනාලිගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම රංගන ක්ෂේත්‍රයට එනකොටම මට ඉලක්ක කීපයක් තිබුණා. තවම ඒ කීපයෙන් අතළොස්සයි සැබෑ කරගෙන තියෙන්නේ. ඒ ඉලක්කවලින් එකක් යම්කිසි දවසක හොඳම නිළිය වෙන එක. අපේ ලොකු නැන්දලාගේ ත‍රුණ කාලයේදී ඔවුන්ට ලැබුණු ඇගයීම සහ ජනප්‍රියත්වය වර්තමානයේදී කිසිම රංගන ශිල්පියෙක්ට ලැබෙන්නේ නැහැ. අදටත් ඒ අය ගැන හැමෝම කතා කරනවා. මට ඉලක්කයක් තියෙනවා මම කරපු නිර්මාණ කවදාහරි දවසක මම වයසට ගිහින් නැවත හැරිලා බලද්දි මට ආඩම්බර වෙන්න පුළුවන් වෙන්න, එදාටත් මිනිස්සු මං ගැන කතා කරන තැනට එන්න. ඒ වගේ මට ජීවිතයේ පොඩි පොඩි හීන ටිකක් තියෙනවා. ඒත් ඒවා මත්තෙම නැහෙන්න බලාපොරොත්තුවක් නැහැ. 2020දී ඒක වෙනස් වුණේ. අපි දන්නේ නැහැ අපේ ජීවිතේ කොයිවිදිහටද වෙනස් වෙන්නේ කියලා. නමුත් අපිට කරන්න පුළුවන් අවස්ථාවෙදි උපරිමයෙන් වැඩ කරනවා.

 

විවාහ වෙන්නේ කවද්ද කියලා හිතවතුන් අහන්නේ නැද්ද?

ඒක හැමෝම අහනවා. ක්ෂේත්‍රය

ට ආපු දවසේ ඉඳලාම ඒක හැමෝම මගෙන් අහන ප්‍රශ්නයක්. මගේ ජීවිතේ දේවල් කොයි විදිහට කොහොම වෙනවාද දන්නේ නැහැ. සෑම දෙයකටම කාලයක් තියෙනවා. මේ ඒ දෙයට හරි කාලය නෙමෙයි. ජීවිතයට මිනිස්සු එනවා යනවා. අපි දන්නේ නෑ අපි කොයි මොහොතේ නතර වෙයිද කියලා. ඉදිරියේදී බලමු ඉතින්.

 

ඉදිරි වැඩ කටයුතු ගන කිව්වොත්?

මේ දවස්වල නම් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ නාඩගම්කාරියක් වෙලා තමයි ජීවත් වෙන්නේ. මම සම්බන්ධ වුණ සිනමා නිර්මාණ කීපයක් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. ධනුෂ්ක රේමන්ඩ්ගේ "පරිස්සමෙන් ඉන්න", ජැක්සන් ඇන්තනීගේ "එකගෙයි සොකරි", හර්ෂ උඩකන්දගේ "කබඩි", ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ "යාත්‍රා" යන සිනමා නිර්මාණ තිරගත වෙන්න නියමිතයි. මේ අතරවාරයේ තවත් ටෙලි නිර්මාණයකට සම්බන්ධ් වුණා "මනුසත් විමන" කියලා. මම බලාපොරොත්තු වෙනවා ඉක්මනින් කොරෝනා වසංගත තත්ත්වය අවම වෙලා මේ සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන් වෙන වාතාවරණයක් නිර්මාණය වෙයි කියලා.