අපේ ආදරණීය වැඩිහිටියාට අවුරුදු 80යි

පෙබරවාරි 11, 2021

අද පෙබරවාරි 11 වැනිදාය. එසේ විශේෂයෙන් කියන්නට හේතුව කුමක්දැයි ඔබ සිතනවා ඇත. පෙනේද මේ සේයා රූ? ඒවායේ ඇති ප්‍රතාපවත් වත, පාංශුදේහධාරී ලක්ෂණ ඔබේ නෙතට හසුවද්දී ඒ හා බැඳුණු පැහැදිලි ගැඹුරු කටහඬ ඔබේ සවන්පත්වල රැව් දෙනවා නියතයි. 'සතිස්චන්ද්‍ර එදිරිසිංහ' සන්නාමය ශ්‍රී ලාංකිකයන්ගේ හදවතේ තැන්පත් වන්නේ ඒ සියල්ල සමඟිනි. අද හරියටම ඔහු සිය දිවි ගමනේ අසූවැනි ජයටැඹ මත සිටගනී. ඒ වෙනුවෙන් ඔහුට සුබපතන්න සරසවිය සූදානම්ය... අපි ඔහු හමු වන්න ගියේ ඒ සුබපැතුම් සමඟිනි.

සතිස් මහත්තයා, එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වන සුබ උපන්දිනක් වේවා!

බොහොම ස්තූතියි...ඉතින් ඉතින්... ඔහු පවසන්නේ පීතෘ ස්නේහපූර්වකවය.

ඔහුගේ ඉතිහාසය මෙන්ම කලාකෙතට කළ සේවය පිළිබඳ යළි ඇසිය යුතු නොවේ. එය බොහෝ මාධ්‍යවල බොහෝ වාරයන්හි සටහන් වූවකි.

තරුණ වියේ සිට මේ වනතුරු දහම්පාසල්, පාසල්, විවිධ සමිති සමාගම්, පෞද්ගලික ආයතන, රජයේ ආයතන ආදියේ ධනාත්මක චින්තන දේශන පවත්වන ඔහු, පොත්පත් 25ක් රචනා කෙරූවෙකි. ඉන් 8ක් ළමා පොත්ය. වේදිකාව සිනමාව සහ රූපවාහිනිය යන ක්ෂේත්‍රත්‍රයේම අඛණ්ඩ සම්බන්ධතාව වසර හැටක් පුරා පවත්වා ගනිමින් වේදිකා නාට්‍ය 6ක්, චිත්‍රපට 6, ටෙලිනාට්‍ය 11ක් අධ්‍යක්ෂණය කෙරුවෙකි. ඉන් චිත්‍රපට 2ක් සහ ටෙලිනාට්‍ය 8ක් ඔහුගේ නිෂ්පාදන්ය.

ඔහු කළ 'අධිෂ්ඨානය' චිත්‍රපටය ජර්මනියේ මැන්හයිම් සිනමා උලෙළේ ඩිප්ලෝමා සහතිකයක් ලබා ගත්තේය. ඔහු අන්තර්ජාතික චිත්‍රපට තුනක ද රඟපා තිබේ. කොටිවලිගය චිත්‍රපටයේ තත්පර 90ක රංගනය වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි සරසවිය සම්මානය ලැබුවේ ඔහුය. ඊ‌ට අමතරව රයිගම්, සුමති, ජනාධිපති සම්මානවලින් ද පිදුම් ලැබූවෙකි. මේ සියලු දෑ සුප්‍රසිද්ධ කරුණුය. ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් සරසවියේ යුතුකම ඒවා නැවත සටහන් කිරීමට වඩා ඔහුගේ ජීවන දර්ශනය තව තවත් සමාජගත කිරීම නොවේද?

අද ඉඳන් ආවර්ජනය කරද්දි ජීවිතය ගැන කොහොමද හිතෙන්නේ? මම ඇසුවෙමි.

"මට අවුරුදු අසූවයි. මගේ විවාහයට පනස් පහයි. කොහොමද හිතෙන්නේ නළුවෙක් එක වහලක් යට එච්චර කල් හිටියා කීවාම?" ඔහු සිනා සී අසයි. ඒ සිය ප්‍රිය භාර්යා ශ්‍රියා අසලින් හිඳ ගනිමිනි. අපිද සිනාසෙමු.

"කවදාවත් කිසිම කෙනෙකුට තමන්‌ට අවශ්‍ය දේ සියයට සියයක් ඉටු කරගන්න අමාරුයි. ඒ තමයි ස්වභාවය. ඒත් කෙනකුට වටිනාකමක් ඇති අතීතයක් තිබෙනවා නම් තමන් පිළිබඳ කිසියම් තෘප්තියකට පත්වෙන්න පුළුවන්, නිහතමානීව ආඩම්බර වෙන්නත් පුළුවන්.

මගේ ලොකු පුතා උදය ලංකාවේ පදිංචි. ශෂිනි දුවත්, උදාර පුතත් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි. ඔවුන් නිසා මට මුණුපුරු මිනිබිරියන් හත් දෙනකු ඉන්නවා. ඉන් ලොකු මුණුපුරායි මිනිබිරියන් තුන්දෙනකුයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. සමාජයේ කිසිවෙකුට අවස්ථාවක් දීලා නැහැ මේ වෙනකල් අපට ඇඟිල්ලක් දිගු කරලා කතා කරන්න. ඒකට හේතුව කලාවට අධිපති සරස්වතිය අපට උගන්වන පාඩම. දැනුම, රසිකත්වය, කථිකත්වය සහ විනය. මම බොහෝ දුරට මේ කරුණු සපුරාගෙන තිබෙනවා. සරස්වතිය වැඩ ඉන්නෙත් නෙළුම් මලක් මත. කලාකරුවකුත් අපිරිසුදු මඩෙන් උඩට පිපෙන නෙළුම් මලක් වගේ සමාජය නමැති පොකුණේ පිපී ගුණ සුවඳ වගේම සේවාවේ සුවඳත් විහිදවන්න ඕනේ. ඒ සේවාව මම වසර හැටක් පුරා කළා. එහි අග්‍රඵලය තමයි වසරක් පාසා කරන සුවඳ පද්ම උපහාර සම්මාන උලෙළ. ඒ වගේම කලාවේදි කුසලතා පූර්ණ නවකයන්ට අතහිත දීමේ අග්‍රඵලය තමයි වික්ටර් රත්නායක පළමුවතාවට සංගීත අධ්‍යක්ෂවරයකු, සුනිල් එදිරිසිංහ ගායකයකු වුණේ, සිරි කුලරත්න පළමුවතාවට සිනමාවට ආවේ, මහාචාර්ය සුනිල් ආරියරත්න පළමුවතාවට චිත්‍රපට ගීත රචකයකු වුණේ වගේම මිල්ටන් මල්ලවාරච්චි, මර්වින් පෙරේරා, වෝලටර් ප්‍රනාන්දු ගීත ගයන්නත්, විජය නන්දසිරි චිත්‍රපට රංගනයට සුළු චරිතයකින් හෝ අවතීර්ණ වුණේත් මගේ මාතර ආච්චි චිත්‍රපටයෙන්. 

මට වයස අවුරුදු 3දි අකුරු කියෙව්වේ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති අතිපූජ්‍ය කිරිවත්තුඩුවේ ශ්‍රී පඤ්ඤාසාර හිමියන්. 2006 වසරේදී ඒ විද්‍යාලංකාර පිරිවෙණින්ම සෞන්දර්ය කලා රත්න ශිරෝමනී කියන ගෞරව උපාධිය හිමි වුණා. එය කලාවට සහ දහමට කළ සේවය වෙනුවෙන්. ධර්මාලෝක විද්‍යාලයේ තෙමහල් ගොඩනැඟිල්ලක් මගෙ නමින් වෙන් කර තිබෙනවා. එය දකිද්දි ඇති වන්නේ පුදුමාකාර සතුටක්. මොකද මම ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස හිටියෙත් ඒ පාසලේ. 80ක් වෙලත් කිසිම මොහොතක නිකං ඉන්නේ නැහැ. මොනවා හෝ වැඩක යෙදෙනවා. ඒ වගේම ඉගෙන ගැනීම නවත්වා නැහැ. තවම හිතන්නේ මම ශිෂ්‍යයෙක් කියලා. එසේ ඉගෙන ගනිමින් උගන්වනවා." ඔහු කීවේ නිහතමානී සිනාවකින් මුව සරසාගෙනය.

"රැකියා වශයෙන් වසර 20ක් ලංගම සේවය කළා. ඒකාලය තුළ මේ යකඩ ගොඩවල් තුළට කලාව හා සංස්කෘතිය ගෙන ඒමට උත්සාහ දරමින් නාට්‍ය, වැඩමුළු කළා. රැකියාව කියන වචනයට මම කැමැති නැහැ. වසර 34ක් රජයට අනුබද්ධ ආයතන තුනක සේවය කළා මිස රැකියා කරලා නැහැ. 'සේවය වනාහි කුලී ගෙවීමකි.' මොකද අපට මේ පෘථිවියේ ජීවත් වන්න වරප්‍රසාදයක් ලැබී තිබෙනවා. අපි එයට ණය නිසා කුලී ගෙවිය යුතුයි. මම අහලා තිබෙන හොඳ පාඨයක් තමයි ඔබ සමාජයේ විනිශ්චයකරුවකු වනවාට වඩා ආලෝකයක් වන්න, විචාරකයකු වනවාට වඩා ආදර්ශයක් වන්න. එවැනි‌ දේ පොතපතින් දැනගත්තාම මම ඒ දේවල් ජීවිතයට එකතු කරගත්තා. අපි මධ්‍යම ප්‍රතිපදාව සහ මධ්‍යම පාන්තික සාර්ථක ජීවිතයක් මේ කාලය පුරා ගත කළා. ලෙඩදුක් ආදිය ඇති නොවුණා නොවේ. ඒවා උපේක්ෂාවෙන් දරාගෙන ජීවත් වුණා. අද මේ කතා කරන මොහොතෙත් අපි ඉන්නේ ලෝකෙම වෙලා ගත් ව්‍යසනයක. ඒ සියල්ලට බුදු දහමෙන් ලබාගත් හේතුඵලවාදය හා පටිච්ච සමුප්පාදය පිළිබඳ අවබෝධයක් මට තිබෙනවා. ඒ නිසා කිසිවක් පිළිබඳ අපි විස්සෝප වෙලා වැඩක් නැහැ."

වසර හැටක් පුරා රංගන අත්දැකීමේ වෙනස දුටුවේ? මගේ පැනයයි.

"අපේ සිනමාවේ රුක්මණී දේවිය කඩවුණු පොරොන්දුවේ රඟ පෑ ශෛලිය ඒ වකවානුවට හරි. සමහරු නූතනය හා සසඳා එය වැරැදියි කීවාම මම විරුද්ධව කතා කර තිබෙනවා. එදා තිබුණ අවශ්‍යතා, සම්පත් අනුවයි එහෙම රඟපෑවේ. පස්සේ ඇය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අහසින් පොළොවට චිත්‍රපටයේ රඟපෑවේ කොහොමද? කාලීනව තමන්ගේ රංග රටාව වෙනස් කරගත් නිසා. මගේ රූපණ රටාව ඇරඹුණේ පාසල් සමයේ ඉඳලා. මහ වේදිකාවට ගියේ 1961 වෙස්සන්තර නාට්‍යයට රුක්මණී දේවියි එඩී ජයමාන්නයි එක්ක. හැබැයි එදා කළේ අද ඉන්න වයසේ චරිතයක්. ජූජක බමුණා. මේ වගේත් නෙවෙයි. කුදු ගැහිලා, දත් හැලිලා, රැවුල වැවිලා හැරමිටියක් ගෙනියන චරිතයක්. වේදිකා නාට්‍යවල රඟපෑමේ පරිචය සහ පුරුද්ද තමයි චිත්‍රපටවලටත් ගෙනාවේ. වේදිකාවේ සහ චිත්‍රපටවල රඟපෑම හරියට නිවුන් සහෝදරයන් වගේ. බැලු බැල්මට එකවගේ, හැබැයි වෙනස්. ඒ ශිල්පයෙන්. වේදිකාවේදී හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති, රන්ජිත් ධර්මකීර්ති, සුනන්ද මහේන්ද්‍ර වැනි බහුශ්‍රැත විද්වතුන් සමඟ වැඩ කරන්න ලැබෙද්දි ඔවුන් අපට වක්‍රව ගුරුවරුන් වුණා වගේම ඔවුන්ගෙන් අපි පෝෂණය වුණා. රංගන කලාවේ හරවත් නිර්මාණවල නිරත වීමේ රහසක් තිබෙනවා.

ස්පාඤ්ඤ ජාතික ගර්ෂියාලෝකා කියා තිබෙනවා 'බොරුවෙන් සහ වේදනාවෙන් පිරුණු වේදිකාවට භක්තියෙන් සහ ආදරයෙන් ගොඩ වී ප්‍රේමය, දයාව, කරුණාව, පරිත්‍යාගය ප්‍රචලිත කරන්න'. ඒ නිසා නාට්‍යවලින් පිස්සු නටන්න බෑ.

ලියෝ තෝල්ස්තෝයි කියනවා 'කිසියම් නිර්මාණයක් නිර්මාණකරුවකු කරන්නේද එය මිනිසාගේ සහ මිනිස් සංහතියේ උන්නතිය සඳහා විය යුතුය'. එවැනි පොතපත පරිශීලනය කළ අප මුදලට වහල් වුණේ නැහැ. හැබැයි අපේ ජීවිතය දීමේ සහ ගැනීමේ ගිවිසුමක්. අපි ලෝකයට දෙන දේ අපට නැවත අනිවාර්යයෙන්ම ලැබෙනවා. මම කල්පනා කළේ මට ලැබෙන දේ නෙවෙයි, මගෙන් විය යුතු දේ කුමක්ද කියලා. කෙනකුට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් මොනවා හෝ කරලා. ඒත් ගෞරවාදරය ලබන්න බැහැ. මම දන්න තරමින් මිනිසකුට අද මේ මොහොත තමයි වටින්නේ. උපතින් වාසනා ගුණය හෝ කුසලතාවත් තිබෙන්න ඕනේ. පුද්ගලයකුගේ කුසලතාව මුහුදේ තිබෙන අයිස් කන්දක් වගේ. අර නොපෙනෙන හැකියාව හඳුනා ගන්න පුළුවන් නම් ඉතාම සාර්ථකයි.

ඉස්කෝලෙ හිටිය රණතුංග ගුරුතුමිය මට කීවේ 'එදිරිසිංහ කවදා හරි හොඳ නළුවෙක් වෙයි' කියලා. එය මට කවදාවත් අමතක වන්නේ නැහැ. ඒ වගේම යශෝධාගේ තාත්තා රවිලාල් විමලධර්ම තමයි මාව මුලින්ම ගුවන් විදුලියට රැගෙන ගියේ. අපි එහි කදාවළලු රඟපෑවා. පාසලේ දී 1956 කේයස්ගේ සුදෝ සුදු රඟපෑවා.

අද ඉන්න තරුණයන් ඉතාම දක්ෂයි ඔවුන් රංගනය හදාරනවා. හැබැයි සමහරු හිතන්නේ මේක සරල දෙයක් කියලා. එහෙම හිතන අය පෙනී සිටිනවා විතරයි චරිත නිරූපණයක් නැහැ. ඒ අපහසුව දැනෙන්නේ, රූපණ කලාව සාමාන්‍ය ජීවිතේට වඩා චුට්ටක් ලොකු නිසා. අන්න ඒ 'චුට්ටේ' තමයි රංගන කලාව තිබෙන්නේ. සමහරු පෞද්ගලික ජීවිතේත් රඟපානවා. මම එහෙම නැහැ. මොකද නළුවා වනාහි බොරුවේ උල්පතකි. මම ඒ බොරුව කරන්නේ කැමරාව ඉදිරිපිට විතරයි. පළිඟු මැණිකේ ටෙලිනාට්‍යයේ සෝමවීර සේනානායක මවන පණ්ඩිත හාමුදුරුවෝ කියන්නේ සතිස්චන්ද්‍ර නෙවෙයි. හැබැයි මගේ සියලු ඉරියව්වල ඒ හාමුදුරුවන්ගේ ලක්ෂණ තිබිය යුතුයි. ඉතින් රඟපෑමේ තිබෙන රහස තමයි චරිතයට ගැළපෙන ලෙස හැසිරීම, ඇඳීිම, කතාව කිරීම. මගේ විශේෂය තමයි යම් අධ්‍යක්ෂවරයකුගේ අණසක යටතේ චරිත නිරූපණය කරද්දි මම රංගන ශිල්පියා. හැබැයි මට අවුරුදු 80 වෙද්දි සැබෑ ජීවිතේ චරිත කීයක් තිබෙනවාද? අද ඉහළින්ම තිබෙන්නේ සීයා චරිතය. ඊට පස්සේ දරුවන් තිදෙනකුගේ තාත්තා. වසර 55ක් පුරා බිරිඳකගේ ස්වාමි පුරුෂයා, අක්කා ළඟ මල්ලි, මල්ලි ළඟ අය්යා, අම්මා තාත්තා පුංචිලා ළඟ මම පුතෙක්. පැය 24ක් තුළ නිදා ගන්නා කාලය හැර චරිත කීයක් අපට රඟපාන්න වෙනවාද? ඒ වෙනස ගැන හිතන්නේ කී දෙනාද?

මේ වෙද්දි ලෝක සිනමාවට වසර සියය පැනලත් චාලි චැප්ලින් පරද්දන්න නළුවෙක් නැහැනේ. ඔහු ගිය රංගන පාසල කුමක්ද? වෛද්‍යවරයකු වන්නෙකුට පුස්තකාලයක් සහ රසායනාගාරයක් තිබෙනවා වගේ රංගන ශිල්පියකුට තිබෙන ලොකුම පුස්තකාලය හා රසායනාගාරය තමයි තමන්ගේ සමාජය සහ ලෝකය. මගේ හාමුදුරු චරිත ගත්තත් ඒවා එකිනෙකට වෙනස්. එයට හේතු වෙන්නේ අපි දැක ආශ්‍රය කළ හාමුදුරුවරුන්ගේ හැසිරීම් වෙනස් වීම.

(සතිස් මහතා කතාව කියන ගමන් රූපණය කරයි)

බණ්ඩාරනායක ඝාතන නඩුවට සම්බන්ධ වුණ බුද්ධරක්ඛිත හිමියන් පන්සලේ වැඩ වෙසෙද්දි දුරුතු පෙරහැර කාලෙට පාරු එකතු කරලා පාලමක් හදනවා. එක වසරක අම්මයි මමයි පන්සලට යද්දි මිනිස්සු පෝලිමක් පේළියට ඉන්නවා. බුද්ධරක්ඛිත හිමියන් ආවා සිවුර හැදුවා මූණු ටික බලාගෙන ඒ පැත්තට ගියා ආයේ මේ පැත්තට ගියා, "උඹලා පාරු පාලම ගහනවාද නැත්නම් මම සතේ ගෝනිවලින් පාලමක් ගහන්නද? දෙකින් එකක් තෝරගනිල්ලා." කීවා එච්චරයි. මම මඟුල් ගෙදරක ගියත් හොඳට බලාගෙන ඉන්නේ. අපේ නෝනා සමහර වෙලාවට අහනවා මොකද ඔච්චර ගෑනු දිහා බලන්නේ කියලා. ඒ මැතිනියෝ (රඟපා) මුලින්ම එද්දි විශාකාවෝ වගේ එන්නෙ. අනුන්ගෙ ඕපාදූප බලන්නේ හෙමීට කැරකෙන විදුලි පංකාව වගේ බෙල්ල කරකවලා ඇස් කොනින්. ටිකක් වෙලා ගියාම මහත්තුරුත් දෙකක් දාලා බයිලා සින්දුවක් එහෙම ඇහෙනකොට කොල්ලො කෙල්ලො පරදින්න තඩි බඩවල් හොල්ල හොල්ලනේ නටන්නේ.

(ඔහුගේ රූපණයට සිනා නොවී සිටිය හැකි නොවේ. එය සැබැවින්ම ප්‍රහසන නාට්‍යයක් දෙස බලා සිටින්නා වැනිය)

මළගෙවල්වල ගියත් අපට බොහෝම අත්දැකීම් ලැබෙනවා. එක්තරා බර්ගර් මළගෙදරක ස්වාමියාගේ දේහය දිහා බලාගෙන භාර්යාව කියන්නේ මෙච්චරයි. අනෙ ඩැඩි, ඩැඩි ඩැඩි, ඩැඩිඩැඩිඩැඩිඩැඩි ඩැඩියෝ... මේ සියල්ල අවධානයෙන් බලාගෙන හිටියොත් තමයි අපේ උපවිඥානයේ තැන්පත් වෙලා අවශ්‍ය වෙලාවට භාවිතයට ගන්න පුළුවන් වෙන්නෙ.

(සතිස් මහතා යළි හිඳගනියි.)

එදා වේදිකා නාට්‍යකරුවන් සියයට 95ක්ම විවිධ රජයේ ආයතනවල වෘත්තියක නිරත වුණ ද්විභාෂා හැකියාව තිබුණ අය, ඒ අය තම දැනුම අන් අයට දීම කලාකරුවාගේ යුතුකමක් ලෙස සිතුවා. එදා සමාජයේ අයුක්තිය අසාධාරණය දැක්කාම කලාකරුවාගේ හදවත නමැති වීනාවේ තත් හඬන බව මහාචාර්ය සුචරිත ගම්ලත් කීවා. ඒත් සල්ලි හම්බකරන අදහසින් 'ඉල්ලුමට සැපයුම නාට්‍ය' කරන්න ගත්තාම සියල්ල පහළට බැස්සා. ඒ වගේම ඒ කාලේ රජයේ අනුග්‍රහය හොඳීන් ලැබුණා. අනෙක නාට්‍යයක යටි පෙළ හඳුනාගන්න තරම් උගත් ප්‍රේක්ෂක පිරිසක් හිටියා. පහත් වින්දනය පමණක් ලැබෙන නිර්මාණවලින් ගමනක් යන්න බැහැ."

එතකොට සිනමාව?

සිනමාවට නම් රජයේ අනුග්‍රහය සම්පූර්ණයෙන් ලැබිය යුතුයි. අපේ ශාලා ගණන දැන් බාගයටත් අඩු වුණා. ඒ වගේම ටෙලිනාට්‍යවල යන දේවලටත් වඩා අඩු මට්ටමේ දේවල් කෙරුණාම මිනිස්සු හිතන්න ගත්තා දෙවිහාමුදුරුවනේ මොකටද මේ සෙලෝලයිඩ් එක විනාශ කළේ කියලා. 1973 ඉදන් 1983 දක්වා මම චිත්‍රපට හයක් කළා. ඒ කාලය තුළ සිලෝන් තියටර්ස්, සිලෝන් එන්ටර්ටේන්මන්ට් සහ සිනමාස් තියාගෙන සිටි ඒකාධිකාරය නැති කරන්න හෙළ සිනමා හවුල ඇති වුණා. සිරිමාවෝ මැතිනිය ඡන්ද පොරොන්දුවක් ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව හදලා වඩාත්ම සුදුසු ඩී.බී. නිහාල්සිංහයන්ව සාමාන්‍යාධිකාරි කළා. එක වතාවක් 1977 ආණ්ඩුව දිනුවාම පිරිසක් අපේ මහගෙදර ඇවිත් කීවා සතිස් ලෑස්තිවෙන්න සංස්ථාවේ සාමාන්‍යාධිකාරීකම ගන්න. මම කීවා 'මට බැරි දේවල් තේරුම්ගන්න තරම් ශක්තියක් මට තිබෙනවා. කෙනෙක්ව හොයාගන්න බැරි නම් මම හොයලා දෙන්නම්'. (රහසින්) මේ මොකද දන්නවාද අපෙ අය්යා ජේ.ආර්ගේ පෞද්ගලික ලේකම්. ඉතින් හිතුවා අපේ මුළු පවුලම ගිහින් මේ තනතුරුවලට පනී කියලා. රෝයල් කොලීජියේ නවරඟහල ඉදි කරන්න එච්.ජී. සුගතපාල විදුහල්පතිතුමා නාට්‍ය සති දෙකක් පෙන්වනවා. හෙන්රි ජයසේන මහත්මයාගේ මනරංජන වැඩවර්ජනත් පෙන්වනවා. එවකට හිටිය රාජ්‍ය ඇමැති ජේ.ආර් ආවා බලන්න. නාට්‍යය ඉවරවෙලා තිරය වැහුවාට පස්සේ ආපහු අරිනවානේ නළු නිළියන් සමඟ කතාබහ කරන්න. මම උස නිසා කණ්ඩායමේ මැද හිටියේ. හෙන්රි කණ්ඩායම මුල ඉඳන් හඳුන්වාදෙන්න පටන් ගනිද්දි ජේ. ආර්. කෙළින්ම ආවා මගේ ළඟට (හඬ මවමින් කියයි) එදිරිසිංහ සහෝද්රයා නේද?' මම ඔව් සර් කීවා. ආපහු ගියා මුල ඉඳන් අඳුන්වා දෙන තැනට. ඒ සති අන්තයේ අය්යා කතා කරලා මල්ලිව හම්බෙන්න ඕනෙ කිව්වා. හෙට උදේ නවයට වෝඩ් ප්ලේස් වරෙන් හම්බෙන්න කියලා. ඔන්න දේශපාලකයන්ට වරදින තැන. මම ඒ කාලේ හිටියේ සම සමාජ කට්ටිය හෙන්රි ජයසේන, උපාලි වනසිංහ, පියසිරි ගුණතිලක, රෙජී පෙරේරලා එක්ක සමාජවාදී කඳවුරේ. මොකද මට ඒ අය උදවු කරනවා. මගේ 'හොටබරි යුද්දෙ' නාට්‍යය හැදෙන කාලේ. ඔය අතර අයියා මට කියලා තිබුණා සිරිකොතේ තියෙන මානවසිංහ මහත්තයා කර්තෘ වුණ සියරට පත්තරේට ගිහින් ඩී. එස්. සේනානායක මහත්තයා ගැන ආර්ටිකල් එකක් ලියන්න කියලා. ඒත් සමාජවාදී කඳවුර ජාතියේ පියා හැටියට එතුමා පිළිගන්නේ නැහැනේ. ඉතින් මමත් ලීවෙත් නැහැ. දැන් මෙතනදිත් මට ඕනේ ජේ.ආර්ව මඟඅරින්න. මම ගියේ දහයාමාරට. 'උඹ හරි මිනිහෙක්නෙ. ලොක්කා කවදාවත් නැතුව විනාඩි දහයක් විතර බලාගෙන ඉඳලා කළුතර ගියා. අන්න උඹට සරසවි උත්සවේ කතාව ලියලා දෙන්න කීවා'. මම රෙජී පෙරේරා මහත්තයාගේ පුතෙක් වන රොහාන් පෙරේරා වගේම තවත් කීපදෙනකුගෙන් ඔය කාන් උලෙළ වගේ ලෝක සිනමා උලෙළ ගැන එහෙම ටිකක් අහගෙන කතාව ලිව්වා. මම තමයි ලීවේ 'සිංහල සිනමාවට රජයේ අනුග්‍රහය ලැබිය යුතුමයි' කියලා. ජේ. ආර්. ඒක කිව්වා. (සිනාසී) මම මේක කීවේ දේශපාලනයන් කලාකරුවන් වැරදියට මනින හැටි කියන්න මිස මගේ ලොකුකම කියන්න නම් නෙවෙයි.

ඕකටම සමාන සිදුවීමක් තියෙනවා ගුණසේන ගලප්පත්තිගේ ලියතඹරා වේදිකා නාට්‍යයේ. (යළි රූපණය කරමින්)මමයි, සෝමලතා සුබසිංහයි, සමන් බොකලවෙලයි ඉන්නේ. මම ධනපති පන්තියෙන් ඇවිත් විප්ලවකාරී අදහස් දරන කෙනෙක්. මගේ මොළ ශෝධනයක් කරලා පිස්තෝලයක් දෙනවා දේශපාලකයාව මරන්න. මගේ බිරිඳ දේශපාලකයාගේ ප්‍රතිරූපයට කැමැති නිසා නිකලස්ට ඒ බව කියනවා. නිකලස් අපේ ගෙදර එනවා දවසක්. පොත් රාක්කයක් තියෙනවා. එංගල්ස්, මාක්ස්, හිස වනා එලියට්, ලෝකා කවුද ඒ? ප්‍රසිද්ධ කවියො දෙන්නෙක්. ආ.. තමුසෙත් කවි ලියනවාද?

ඔව්...

මොකක්ද මේ? මට කියවන්න බෑ...

සතතින් බවන් අඹ කොළ බුදින තවුසර දැහැනින් මිදේ දුට ලෙළ දෙන ලියතඹර

මොනවද ලියතඹර කියන්නේ?

ඔය හිමාල වනේ පිපෙන මල් ජාතියක් ඒක ඈතට ස්ත්‍රියක් වගේලු පේන්නේ ඒ මල් දකින තවුසන්ගේ සිල් බිඳෙනවාලු. 

හරි අපූරු මල් ජාතියක්නෙ...

ඒක තමයි කතාවේ අවසානයට ගේන්නෙත්. බිරිඳ දේශපාලකයා සමඟ සම්බන්ධ වුණාම තමයි අර කිසිම ආත්ම ශක්තියක් නැති මිනිහා දේශපාලකයාව මරන්නේ. නැතිව දේශපාලන හේතුවකට නෙවෙයි. මගේ ජීවිතේ හොඳම රඟපෑම කළ නාට්‍යය ලියතඹරා.

සාහිත්‍යය කන්නද කියලා අහපු ජේ.ආර් ඩඩ්ලි සේනානායක මහත්තයා මැරුණු වෙලාවේ ඉංග්‍රීසියෙන් කළ කතාව දන්නෙම නැතිව ඉවර කළේ 'ස්ලීප් ස්වීට් ප්‍රින්ස් ස්ලීප්' කියන ශේක්ස්පියර්ගේ හැම්ලට් එකෙන්. මට තිබෙන මේ අත්දැකීම් හුඟ දෙනකුට නැහැ.

ගාමිණි දිසානායක මහත්තයයි මාව ගත්තේ මහවැලියට. හැබැයි එක දේශපාලන මීටිමක කතා කරලා නැහැ. ඒත් මගෙන් බලාපොරොත්තු වුණ සේවය හිතුවාටත් වඩා හොඳට ලබා දීලා තිබෙනවා. මම ඔළුව කෙළින් තියාගෙන යන්නේ ඕනෙ තැනක අන්න ඒ දේවල් නිසා. කිසි කෙනකුට අතපාලා නෑ. ණය නෑ.

මොකක්ද රහස?

ජනප්‍රිය වෙලා සල්ලි හම්බකරනකොට ජීවන ක්‍රමය වෙනස් වෙනවා. ඇඳුම් පැලඳුම් යාළු මිත්‍රයන් එක්ක කනබොන දේ විතරක් නෙවෙයි ඉන්න ගෑනු මනුස්සයාට අමතරව තව කෙනෙක් හොයා ගන්නවා. වියදම වැඩි වෙනවා. සෞඛ්‍යයට හානි වෙනවා. මනස සැහැල්ලු නැහැ රහස් එළි වෙයි කියලා බයයි. ඉතුරු කරපු දෙයක් නැහැ. ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනකොට හිඟන්නා වෙනවා.

මම සිගරට් එකක් අරක්කු ටිකක් බොන්න පුරුදු වුණා නම් ඒ මගේම යාළුවෙක් නිසා. ඔහු මට සියලු දේ පුරුදු කරන්න හැදුවා. හැබැයි හිත පාලනය කරගන්න පුළුවන් හැදියාව තියෙන කෙනාට ඒ සියල්ලෙන් මිදෙන්න පුළුවන්. ගහක කඳ හොඳට වැඩෙන්නේ මුල් පද්ධතිය හොඳට තිබුණාමයි. ඒක කාටවත් පේන්නේ නැහැ. කඳ ලොකු නම් අතුපතර හොඳට එනවා. මල් ගෙඩි හොඳට හටගන්නවා. නොපෙනෙන මුල් තමයි කෙනකුගේ ආධ්‍යාත්මයට සමාන වෙන්නේ. කඳ ක්‍රියාව සහ හැසිරීම් රටාවට සමාන වෙනවා. ඔහු හෝ ඇය කරන සේවයට තමයි ගෙඩිමල් සම වන්නේ. හැම කෙනකු තුළම මහා ශක්තිමත් යෝධයකු නිදාගෙන ඉන්නවා. ඒ තමයි කුසලතාව. ඒ යෝධයාව අවදි කරන්න ඕනෙ. ඒ වගේම තව දෙන්නෙක් ඉන්නවා. ඒ පහත් සේවකයා. ඔහුගෙන් වැඩ ගන්න ඕනෙ. අනෙකා භයානක පාලකයා, කාමරයක දාලා වහලා තියන්න ඕනෙ. භෞතික සත්ත්වයා පෝෂණය කරන එක සාමාන්‍යයෙන් අපි කොහොමත් කරනවා. ආධ්‍යාත්මික සත්ත්වයාත් පෝෂණය වන්න ඕනෙ. වහින වැස්ස වහිනවාමයි. කුඩයක් ගෙන යන කෙනා බේරෙනවා. ඒ තමයි දහම. දහම පිළිගැනීම, පිළිපැදීම සහ ප්‍රතිඵල ලැබීම.

රූපවාහිනියටත් ඔබ බෙහෙවින් සම්බන්ධ වුණා?

මුල් ආරම්භය ගැන හැමෝම දන්නවානේ. එම් ජේ පෙරේරා මහත්තයා රූපවාහිනියේ සභාපති වුණාම වේදිකා නාට්‍ය කලාවේ දක්ෂ ශිල්පීන් තමයි පත් කරගත්තේ. ඒවා දේශපාලන පත්වීම් නෙවෙයි. පරාක්‍රම නිරිඇල්ලලා, ධම්මජාගොඩලා වගේ අය. ඒ කාලෙ අපි හදන නාට්‍යවලට අපිමයි අනුග්‍රාහකයන් සොයා ගන්න ඕනෙ. ඒ ක්‍රමයෙදි කලාව ඉහළටම ආවා. ප්‍රෙක්ෂකයන්ට හොඳ නාට්‍ය ලැබුණා. හොඳ ප්‍රමිතියක් තිබුණා. ඒ ක්‍රමය වෙනස් වුණා විතරයි නළු නිළියන් දවස් කුලියට වැඩ කරන අය බවට පත් වුණා. කලිසම වෙනස් නොකර කමිසය විතරක් වෙනස් කරලා එකම ගෙදර දෙපැත්තට ගෙවල් දෙක වගේ වෙන්න නාට්‍ය කරන්න ගත්තා. ඉතින් එදා 80-90 දශකවල ටෙලිනාට්‍යවල මුල මැද අග දැන්වීම් කීපයක් පෙන්වනවා වෙනුවට අද දැන්වීම් ගොඩක් මැද ටෙලිනාට්‍ය කොටස් කීපයක් පෙන්වනවා.

ඉදිරි බලාපොරොත්තු?

උපන්දිනයක් කියන්නේ කුමක්ද කියා අපි දන්නවා. ජාති ජරා ව්‍යාධි මරණ පිළිබඳ යථාර්ථය දැනගෙන ජීවත් වුණාම හරි. දුකක් වේදනාවක් නැතිව ආරෝග්‍යා පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් එච්චරයි එකම බලාපොරොත්තුව.

ඒ බලාපොරොත්තුව එසේම ඉටුවෙමින් තව බොහෝ කලක් ස්වකීය සේවාව රටට, දැයට, සමයට ඉටු කරන්නට චිරං ජයතු වේවා යන පැතුම එක් කරමින් අපි යළි සරසවිය බලා පිටත් වූයේ පිරුණු සිතිවිලි සමුදායක් පිටු අතර රඳවන අටියෙනි.

තිලක් පෙරේරා