එදා ඔය ඇස්දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා

අභිෂේකා විමලවීර
පෙබරවාරි 11, 2021

Cover Story

අද සරසවිය කවරය හැඩ කරන ආදරණීය සුන්දර රුවැත්තී අභිෂේකා විමලවීර. පසුගිය 5 වෙනිදා ඇය ඔබට ඇගේ නවතම ගීතමය නිර්මාණය වන “මතක” තිළිණ කරද්දී ඒ සමඟම ඇය තම facebook පිටුවේ තැබූ සටහනයි මේ.

‘ආදරයෙන් ඇරඹී, රාගයෙන් තෙත්වී, කඳුළෙන් අවසන් වූ මගේ “මතක” වල බර අද සිට ඔබේ හිතට භාර කරමි. දැන් මා නිදහස්‍ ය.

ආදරය වෙනුවෙන් ජීවිතයේ සන්තකය දන් දී උපේක්ෂාවෙන් ජීවිතය උහුලා ගත් හයිය හිත්වලට “මතක” මතකයක් වනු ඇත.

එදා මරණය පරදවා ජීවිතයට ආදරය කරන්නට ඉගැන්වූයේ ඔබ ය. එනිසා අද ඔබ දුන් ගින්දරෙන් මා දැවෙන්නේ නැත. මා මියැදෙන්නේද නැත. මගේ පියාපත් ෆීනික්ස් කිරිල්ලියකගේ තරම් සවිමත් ය. මම මරණයට වෛර කරමි. ඒ... ඔබේ මතකය සමඟ මට තව බොහෝ කල් ජීවත් වීමට උවමනා බැවිනි’

 

අභිෂේකාගේ මතක දෙකක් එළියට ඇවිත්?

ජීවීතයේ එක් එක් කාර්තුවල ජීවිතය ගැන ප්‍රේමය ගැන මට හිතුණ දේවල් මම ටචජඥඡධධඬ එකේ ලියන්න ගත්තා. ඉතින් ගොඩක් අය ඒවා තමන්ගේ කරගෙන විඳීනවා. ඒ දේවල් තමන්ට අත්දැකීම් වුණ අය මට කියනවා ඔයා මේ ලියන්නේ මගේ ජීවීතේ. කොහොමද ඔයා මට වෙලා තියෙන දේ මෙහෙම ලියන්නේ කියලා. මට ගොඩක් අයගෙන් ඉල්ලීම් ආවා මේ ලියන දේවල් පොතකට ගේන්න කියලා. මටත් හිතුණා ඒ අදහස හොඳයි කියලා. මතක නමින් ඒ පොත එළියට ගෙනාවා. මේකට මට වියදමක් වුණේ නෑ k- books මේ වැඩේ කරලා දුන්නා. ස්තූතියි කියන්න ඕන ඔවුන්ට.

 

එතකොට මතක ඇතුළේ තිබුණු මතකයක් ගීතයක් කළා?

ඔව්. මතක පොත ඇතුළේ තියෙන එක සිංදුවක් තමයි මේක. මේක තුන්කොන් ප්‍රේමයක්. පිරිමියා ගැහැනිය හා අනියම් පෙම කියන චරිත ත්‍රිත්වය ම මතක හරහා කතා කරනවා. වැරදි කරන කවුරුත් තමන් වැරදියි කියලා හිතන්නේ නෑ. හැමෝටම තමන්ගෙ පැත්තෙන් සාධාරණ හේතූවක් තියෙනවා. මට ඕන වුණා මේ ගීතය හරහා ඒක පෙන්නන්න. ගීතයේ වචන මගේ. තනු නිර්මාණය තරිඳු ප්‍රියංකර ද සිල්වා වගේම සංගීතය ළහිරු ද කොස්තාගෙන්.

 

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඉතාම හොඳයි. නිස්සාර ගීතයට වඩා හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ගොඩක් සතුටුයි.

 

ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් එක්කයි ඔබ මේ ගීතය ගායනා කරන්නේ?

කරුණාරත්න දිවුල්ගනේ මහත්තයාට මම ගීතයක් කරන්න හිතන් ඉන්නවා කියලා මේ ගීතය මම නිකමට යැව්වා. මුලින් මම හිතන් හිටියේ ඔහු ටිකක් ආඩම්බරකාරයෙක් කියලා. නමුත් මම කියන්න ඕන ක්ෂේත්‍රයේ මට හම්බුණු සුන්දරම නිහතමානීම ප්‍රවීණයා ඔහු. ඔහු ඉතාම සතුටින් වැඩේට කැමති වුණා. ඔහු සමඟ බලද්දි මම නවකයෙක් වුණත් ඔහු හොඳ සහයෝගයකින් මා එක්ක කටයුතු කළා. සමහර කලාකරුවන්ගේ නිර්මාණ ආදරණීය නිසා අපි ඔවුන්ට කැමති වුණාට ඔවුන්ගේ ඇතුළාන්තය දැනගත්තම නිර්මාණයත් එපා වෙනවා. ඒත් දිවුල්ගනේ මහත්තයා ගැන දැන ගත්තම ඔහුගේ නිර්මාණවලට තව තව ආස හිතෙනවා.

 

අභිෂේකා, video එක ගැනත් කියමු?

මගේ හැම ගීතයකම වගේ මේ ගීතයෙත් script එක මගේ. මේ ගීතය මම ලිව්වෙම ඇත්ත කතාවක් පාදක කරගෙන. ඒ Image එක මගෙ ඔළුවේ තිබුණ නිසා ඒක script එකට ඒ විදිහටම ගන්න පුළුවන් වුණා.

කැමරා අධ්‍යක්ෂණය ‍රංග අයියාගෙන්. ඔහු මට සෑහෙන උදවු කළා මේ වැඩේ දී.

 

එතකොට video එකේ director අභිෂේකාමද?

(සිනාසෙමින්) director  කියන title එක දාගන්න මම තවම කැමති නෑ. මේ ගීතය හා බැඳුණු සත්‍යය කතාව මම දන්න නිසා එහි රූපරාමූ පෙළ මගේ හිතේ තිබුණා. ඒ නිසාම direction පැත්තට මම මගේ උපරිමය ලබා දුන්නත් මේ වැඩේ සාර්ථක වුණේ රංග අයියාගෙන්. ඒ credit  එක මම ඔහුට දෙන්න කැමතියි. මොකද ඔහු නැත්නම් මට මේක තනියම කරගන්න බෑ.

 

හේමාල් රණසිංහවත් ඔබ නිර්මාණයට එකතු කරනවා?

හේමල් අයියා මීට අවුරුදු 8කට කලින් “අයදුම නෑ කියා” කියලා මගේම ගීතයක වැඩ කරලා තියෙනවා. මම ගීතය ඔහුට දුන්නම ඔහු කිසිදු ප්‍රතික්ෂේප කිරීමකින් තොරව වැඩේ ගැන හිතලා එකතු වෙන්න කැමති වුණා. කොරෝනා නිසා තැන් තැන්වලට යන්නේ නැතුව එකම තැනක රූපගත කිරීම කරන්න වුණා. එක තැනකට කොටුවෙලා මේ වැඩේ කරන්න පුළුවන් හොඳම කෙනා හේමාල් කියන විශ්වාසය මට තිබුණා. ඇත්තටම ගොඩක් සතුටුයි ඔහු මගේ නිර්මාණයට එකතු වීම ගැන.

 

නිස්සාර ගීතයෙන් රසිකයා වැලඳගත් මනෝජා මතකය තුළ වෙනමම තැනක තියලා?

නිස්සාර ගීතයෙන් පස්සේ කපිල්-මනෝජා යුගයක් නිර්මාණය වුණා. ඒක ඒ විදිහටම තියලා අලුත් දෙයක් කරන්න මට ඕන වුණා. තිබුණ ලොකුම අභියෝගය හේමාල් එක්ක මනෝජව දාගෙන කොහොමද මේ වැඩේ කරන්නේ කියන එක. ඒ අභියෝගය ජය ගන්න මනෝජාගේ ඒජබ එක තදින්ම බලපෑවා. මනෝජාට තියෙනවා හොඳ හැකියාවක් චරිතයකින් චරිතයකට ඉතා සූක්ෂ්මව වෙනස්වීමට. ඒ නිසාම මතක මනෝජා එක්ක කරන්න ලේසි වුණා.

 

චන්ද්‍ර මණ්ඩලේ ගීතයට පිළිතුරු ගීතයක් කරන්න හිතුවෙ ඇයි?

තාත්තා නැති වුණාට පස්සේ තාත්තා ගැන ගීතයක් කරන්න මගෙ හිතේ තිබුණා. මම ඒ වෙනුවෙන් බොහෝ සේ මහන්සි වුණත් අවසානේ ඒක ව්‍යර්ථ වුණා. මගේ ගීත හැම එකකම පද මට ගළපන්න පුළුවන් වුණත් තාත්තා වෙනුවෙන් මට පද ගළපන්න බැරි වුණා. මම තේරුම් ගත්තා ජීවීතේ අපි වැඩියෙන්ම ආදරේ කරන මිනිස්සු ගැන අපිට ලියන්න බෑ කියලා. ඉතින් මං රත්න ශ්‍රී සර්ට කතා කළා. එතුමා මට කීවා සති දෙකක් දෙන්න මං වැඩේ කරලා දෙන්නම් කියලා. ආයෙම විනාඩි 10කින් කතා කරලා සර් මට කිව්වා අභිෂේකා WhatsApp  බලන්න මම ගීතය ලිව්වා කියලා. මට බැරි වුණු ඒ ගීතය රත්න ශ්‍රී මහත්තයා විනාඩි 10 න් එක පෙළට ලියලා තිබුණා. මේ ගීතයට සංගීතය කළේ රෝහණ වීරසිංහයන්.

 

පුංචිකාලේ ඉඳලා ක්ෂේත්‍රයේ ඉන්න අභිෂේකාට එදයි අදයි දැනෙන්නේ කොහොමද?

එදා සහ අද මට ලොකු වෙනසක් නෑ. ඒ තිබුණ දේවල් හැමදේම ඒ විදිහට තියෙනවා. එකම වෙනස තාක්ෂණය කියලා අලුතින් යමක් එකතු වෙලා. එදා සිට අද දක්වා නිර්මාණකරණයේදී යොදාගත් මාතෘකා එකමයි. එහෙත් එයට දෙන අර්ථකථනය වෙනස්. ඉස්සර පදරචනය සංගීතය ගායනය පමණක් වූ ගීත නිර්මාණය අද වන විට රූප රචනය තෙක් දිගු වෙලා. හෙට වනවිට සුවඳ විඳින්නත් පුළුවන් වෙයි. තාක්ෂණය හරහා යම් යම් දේ වෙනස් කරත් ඒ වෙනස සිදු කරන ප්‍රස්තුතය නම් එකමයි. කලාකරුවා සිදු කළ යුත්තේ ද ඒ පෙර නොවූ විරු අපූර්වත්වයයි.