නාඩගම්කාරයෝ නිසා මට නමකුත් පටබැඳුණා

ටෙලි සිතුවමේ ජානු - මධුශානි පෙරේරා
පෙබරවාරි 11, 2021

 

ඇය මේ වන විට රඟපා ඇත්තේ ටෙලි නාට්‍ය දෙකක පමණි. එහෙත් මේ ඒවාහි ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට තරම් ඇය වාසනාවන්ත විය. මේ සුරූපිණියගේ නම මධුෂානි පෙරේරා. මේ දිනවලදි ඉමහත් ජනාදරයට පාත්‍ර වෙමින් විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි සිතුවමේ ජානු නැමැති චරිතය නිරූපණය කරන්නේ ඇයයි. එමෙන්ම රාවණ ටෙලි නාට්‍ය මාලාවේ මන්දෝදාරි චරිතය මැව්වේද මධුෂානිය. නාඩගම්කාරයෝ නාට්‍යයේ මධුෂානි රඟපෑ කොටස් කිහිපයක් මේ දිනවලදී අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවේ. ඒවා අති විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹා තිබේ. ජානු යනු ඒ ගමේ මුදලාලිගේ දියණියයි. මුදලාලිගේ චරිතයට පණ පොවන්නේ ඔබ හොඳීන් හඳුනන ගිරිරාජ් කෞශල්‍යයි.

ජානුගේ මවුපියන් සාම්ප්‍රදායික සිතුම් පැතුම් ඇත්තෝ වෙති. එහෙත් ඇයගේ අදහස කවදා හෝ මෝස්තර නිරූපණයෙන් ජීවිතයේ ඉදිරිය දැකීමටය. ඒ වෙනුවෙන් ජානු නොයෙකුත් කැපකිරීම් කරයි.

මේ චරිතය නිසාම මධුෂානි සමාජයේ කතා බහට ලක් වුණු ජනප්‍රිය නිළියක් වී හමාරය.

 

මධුෂානි, බොහොම කෙටි කලකින්ම ඔබට ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වන්නට හැකියාව ලැබුණා?

ඇත්තටම ඒක ලොකු වාසනාවක්. මම නාට්‍ය දෙකයි කරල තියෙන්නෙ. රාවණ ටෙලිනාට්‍යයේ රාවණ රජතුමාගේ බිරිය ලෙසට රඟපෑවා. චරිතයේ නම මන්දෝදාරි. ඇත්තටම ඒ චරිතය ලැබුණේ අහම්බෙන්. මම මෝස්තර නිරූපිකාවක් විදිහට කටයුතු කරමින් ඉන්නකොටයි නාට්‍යයේ ඒ චරිතෙට මට කතා කළේ. ඒ චරිතය නිසා තමයි නාඩගම්කාරයෝ නාට්‍යයේ ජානුව මට ලැබුණේ. මේ වෙලාවෙ මතක් කරන්න ඕනේ ස්වර්ණවාහිනී ආයතනයේ රංගන ද සිල්වා, නාඩගම්කාරයෝ නිෂ්පාදක චාමර සමරවික්‍රම, අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ එය රූපවාහිනියට රචනා කරන සද්ධාමංගල සූරියබණ්ඩාර යන මහත්වරුන්ව. ඔවුන් තමයි මට මේ චරිතයට අවස්ථාව ලබා දුන්නේ.

 

නාඩගම්කාරයෝ නාට්‍යයේ චරිතය නිසා ඔබට අනවර්ථ නමකුත් පටබැඳීලා කියලා ආරංචියි?

නාට්‍යයේ කතාවට අනුව මගේ තාත්තා උළු මුදලාලි කෙනෙක්. ඉතින් උළු බිස්නස් කරන කෙනාගේ දුව “උළු කෑල්ල” කියලා කට්ටිය කියන්න පටන් ගත්තා. ඔය නම හදන්න මූලිකත්වය ගත්තේ නාට්‍යයේ සරාට රඟපාන සජිත අනුත්තර අයියා. එයා තමා මට මුලින්ම උළු කෑල්ල කිය කිය කතා කරන්න පටන් ගත්තේ. ඒ නම ඊට පස්සේ එහෙම්මම පටබැඳුණා.

 

තරුණ ගෑනු ළමයෙකු විදිහට මේ ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරගෙන යද්දි මොනවගේ අභියෝගයන්ටද මුහුණ දෙන්න වෙන්නේ?

මට නම් එහෙම ලොකු අභියෝගයන්ට මුහුණ දෙන්න වුණේ නැහැ. මේ ක්ෂේත්‍රය ගැන බාහිර පුද්ගලයන් විවිධ කතන්දර කියනවා. ඒත් මේ ක්ෂේත්‍රයේ දැනට වැඩ කටයුතු කරගෙන යන කෙනෙකු විදිහට මට නම් මේක ඉතා හොඳයි. සමහරු කියනවා අයුතු යෝජනා එනවා වගේ දේවල්. නමුත් තමන් හරියට කටයුතු කළොත් කාටවත් ඇඟිල්ල දිගු කරන්න බැහැනේ.

 

මධුෂානි, තමන්ගේ රුව රැක ගන්න මොනවගේ දේවල් ද කරන්නේ?

ඇත්තටම මම එහෙම විශේෂිත කිසිම දෙයක් කරන්නේ නැහැ. ස්වභාවික ලස්සන තියාගන්න තමයි මම කැමති. මම සැලුන් ගියත් යන්නෙ ඇහිබැම හදාගන්න විතරයි. අනවශ්‍ය දේවල් කරලා තියෙන රුවත් නැති කර ගන්නවට වැඩිය මේ ඉන්න විදිය හොඳටම හොඳයි.

 

නිළියක් වුණාම සාමාන්‍යයෙන් වැඩිපුර විලාසිතා කරනවා?

වෙන්න පුළුවන්. මම විලාසිතා කරන්නේ තැනට අවශ්‍ය පරිදි විතරයි. එතනින් එහාට සාමාන්‍ය කෙනෙක් විදිහට තමයි මම ජීවත් වෙන්නේ. මඟට බහින්නේ සාමාන්‍ය විදිහට හැඳපැලඳ ගෙන.

 

මධුශානි, මේ වන විට පෙම්වතියක් ද?

අනේ නැහැ. හැබැයි ගෙදරින් මට මේ වන විට කෙනෙක් හොයනවා කියලා නම් දැනෙනවා.

 

ගෙදරින් හොයන කෙනා මධුෂානිට කිව්වොත් ඔය රංගන වැඩකටයුතු නවත්වන්න කියලා?

මම බලනවා ඔහු ඒ රංගන කටයුතු නවත්වන්න කියන හේතුව මොකක්ද කියලා. හැබැයි මම හිතනවා මගේ වෘත්තිය වැඩ කටයුතු තේරුම් ගන්න කෙනෙක් ලැබුණොත් හොඳයි කියලා.

 

ආදර සබඳතා තිබීම මේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යන්න බාධාවක්ද?

ඇතැම් විට වෙන්න පුළුවන්. මගේ යාළුවෝ සමහරක් විට ගමනක් බිමනක් යන්නට කලින් වුණත් පෙම්වතාගෙන් අවසර ගන්න ඉල්ලනවා. එච්චරටම කොටු වෙන්ඩ හොඳ නෑ කියලයි මම හිතන්නේ. වාරණ තියෙන්න ඕනේ, ඒ වුණාට අනවශ්‍ය විදිහට ආදර සම්බන්ධයකින් කෙනෙකුගේ ජීවිතයට බලපෑම් එල්ල කරනවා කියන්නේ එතන මොකක් හරි වැරැද්දක් තියෙනවා කියන එකනේ. ඒ වගේ සම්බන්ධතා තිබීමේ තේරුමක් නෑ.

මධුෂානිගේ පවුලේ කවුද ඉන්නේ?

මමයි, අම්මයි, තාත්තයි, අයියයි.

 

ඔබේ ගම කොහෙද කියලා කිව්වොත්?

මම කොට්ටාවේ.

 

ඉගෙන ගත්තු පාසලත් මතක් කළොත්?

පන්නිපිටිය ධර්මපාල විදුහල.

 

උපන් දිනය?

අගෝස්තු තුන්වෙනිදා.

 

මධුශානි පෙරේරා කියන චරිතය කෙටියෙන් හඳුන්වලා දුන්නොත් මොන වගේද?

තමන්ගේ පාඩුවේ වැඩකටයුතු කර ගෙන යන කෙනෙක්.

 

 

දීපාල් ගෝමස්