මේ ඇගෙත් මගෙත් ප්‍රථම පේ‍්‍රමය

පෙබරවාරි 11, 2021
 
 
මේ ආදර කතාව ආරම්භ වන්නේ 2008 මැයි 13 වැනිදා. ඒ වෙනකොට සුරේන්ද්‍ර පෙරේරා ආකර්ෂණීය තරුවක් බවට පත්වෙලා අහවරයි. මා ඉහත සඳහන් කළ දින ඔහුට හමුවෙනවා එක් තරුණියක් නොවේ තරුණියෝ රෑනක්. ඔවුන් පැමිණෙන්නේ සුරේන්ද්‍ර පෙරේරා කියන අතිශය ජනප්‍රිය තරුව සමඟ වචනයක් හෝ දෙකක් කතාකොට සමරු සටහනක් ගන්න. එතැන තමන්ගේ ඉරණම්කාරිය සිටි යැයි සුරේන්ද්‍ර හීනෙකින්වත් සිතන්න නැතුව ඇති. ඒත් එහෙම වුණා. අචිනි පෙරේරා නමැති ඇය සුරේන්ද්‍ර හා මිත්‍ර වුණේ සාමාන්‍ය පරිදි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන් එකිනෙකාට නැතුවම බැරි වුණා. ඒකට තමයි ආදරය කියන්නේ...
 
 
 
සුරේන්ද්‍ර, අචිනි ඔබට ගැළපෙනම කෙනා කියලා හිතුණේ කොහොමද?
පළමු හමුවේදි ඇය මගෙන් දුරකථන අංකය ඉල්ලගෙන ගියා. පසුව දිගින් දිගටම ඇමතුම් දුන්නා. අපි දෙන්නා නොදැනුවත්වම ගොඩක් ළං වුණා. ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ දුර්භීක්ෂ කාල එනවා. මටත් ඒක පොදුයි. ඔය කාලවලදි ඇය මට පුදුම ශක්තියක් ලබාදීලා මාව දිරිමත් කළා. මගෙ අඩුපාඩු, දුර්වලකම් හදාගන්න උදවු කළා. ඔය අතරතුර අපි ආදරය කරන්න පටන් අරන්. දෙන්නටම ඒක තේරුණා. ඇයට පුදුම ඉවසීමක් තියෙන්නේ. ඒ වගේම මාව ඉතා ඉක්මනින් තේරුම් ගන්න පුළුවන්. මේ මේ කාරණා එක්ක මම හිතුවා ඇය තමයි මගෙ ජීවිතයට හරියනම කෙනා කියලා. මේ ඇගෙත් මගෙත් ප්‍රථම ආදරය.
 
ඔබ දෙපොළ විවාහ වුණේ වැඩි සද්දයක් බද්දයක් නැතිව?
වෙඩින් එක බොහෝ අයට කියන්න බැරි වුණා. එහෙම කියනවානම් මුළු ලංකාවටම කියන්න ඕනෙනේ. එච්චරට යාළුවෝ ඉන්නවා. ඒ නිසා මොරටුවේ අපි දන්න කියන හොටෙල් එකක බොහොම චාමෙට වෙඩින් එක ගත්තා. දෙන්නාගේ පවුලේ අය තමයි සහභාගී වුණේ. අපි ලොකුවට ප්ලෑන් කරගෙන හිටියෙත් නැහැ මේ කාලෙම බඳීනවා කියලා. හොඳ වෙලාවක් ලැබුණා, ඉක්මනින් වෙඩින් එක ගත්තා.
 
අචිනි මොන පළාතෙද, ඇය වෘත්තියක් විදිහට මොනවද කරන්නේ?
ඇය මොරටුවෙ. දැනට ඇය නීතිය පිළිබඳ හදාරනවා.
 
වසර දොළහක් ඔය ආදර සම්බන්ධය සඟවා හිටියේ කොහොමද?
මම ලෝකෙට පේන්න ආදරය කරන කෙනෙක් නෙවෙයි. හැබැයි අත්‍යවශ්‍ය තැන්වලදි මම හිටියා ඇය වෙනුවෙන්. අපි පෙම්වතුන් කියලා අත්වැල් අල්ලගෙන ඇවිදින්නවත් ලෝකෙට පේන්න කරේ නැඟගෙන ආදරය කරන්න ඕනේ නැහැ කියලායි මම හිතන්නේ. ඒ නිසා මම පෙම්වතෙක් කියලා නොපෙනෙන්න ඇති. හැබැයි අපි ගැන දන්න අය දැනගෙන හිටියා.
 
 
 
 
 
ඔබ කරන විලාසිතා ගැන ඇය මොකද කියන්නේ?
විශේෂ දෙයක් කියන්නේ නැහැ. මින් ඉදිරියට මොනවා කියයිද දන්නෙ නැහැණේ. කොහොමත් දැන් ඇය කියනදේ අහන්නත් ඕනෙනේ. (සුරේන්ද්‍ර මහ හඬින් සිනාසෙයි)
 
ඔබේ ගීත අතරින් බිරිය වඩාත් කැමති මොන එකටද?
මේ ළඟදි කරපු නෑවෙන්න සේදෙන්න ගීතයට තමයි මේ දිනවල ප්‍රිය කරන්නේ.
 
පසුගිය කාලේ සංගීත සංදර්ශන පැවැත්වුණේම නැති තරම්. මේ තත්ත්වය කොහොමද ඔබට දැනුණේ?
මේ වගේ කාල එනවා කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. ෂෝ මුකුත්ම තිබුණේ නැහැනේ. පාර්ටීස්, වෙඩින්ස් වගේ ඒවාට සහභාගී වුණා. මගෙ ස්ටූඩියෝ එකේ වැඩ සුපුරුදු පරිදි කරගෙන යනවා. මොනවා නැතත් සුපුරුදු පරිදි කාලා බීලා පාඩුවේ ඉන්න්වා.