ඒක මනුස්සයෙක් වුණත් වල් සතෙක් වගේ හැසිරෙන්න ඕනේ චරිතයක්

පෙබරවාරි 11, 2021
 
මට රඟපාන්න ආසාවක් තිබුණේ නැහැ. ඒත් සිනමාවේ ඉන්න
ආසාවක් තිබුණා
 
සිනමාවේ දැවැන්තයෝ එක්ක කරට කර රඟපාන්න වෙනවා
 
පෙරළුණු පිට හොඳයි
 
මම දෙවෙනි ඉනිමේ හිරවෙලා නැහැ
 
රවීන්  කනිෂ්ක සිනමාවට
 
ඔහු අඛණ්ඩව ටෙලි සම්මාන උලෙළ රැසක පුංචි තිරයේ ජනප්‍රියම නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය. එක් ටෙලි නිර්මාණයක් තුළින් මෑතකදී වැඩිම කාලයක් වැඩිම වාර ගණනක් බහුතර රසික ජනාදරයක් හිමි කරගත් තරුණ රංගන ශිල්පියා ඔහුය. ගායන රියැලිටි තරගයක අනුශූරතාව හිමි කරගෙන කරළියට පැමිණි ඔහු අද වන විට රංගන ක්ෂේත්‍රයේ ඉහළ ජනප්‍රියත්වයක සිටී. හෙතෙම රවීන් කණිෂ්ක ය. දෙවෙනි ඉණිම ටෙලිනාට්‍යයේ කවුරුත් දන්නා හඳුනන “අනුහස්” දැන් රිදී තිරයටත් අවතීර්ණ වූ බව සැලයි. මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය වන “ක්ෂීර සාගරය කැලඹිණ” හී මුහුරත් උලෙළ පසුගියදා පැවැත්විණි.  එහි එක් සුවිශේෂී චරිතයක් නිරූපණය කිරීමට රවීන් කණිෂ්කට අවස්ථාව හිමි වී ඇත. සිනමාවේ ප්‍රවීණයන් සමඟ එකට ගැටෙමින් ඔහු කරන්නට සැරසෙන චරිතය පිළිබඳ තතු සරසවියට පැවසුවේ මෙලෙසය.
 
 
රවීන් හාහාපුරා කියලා සිනමාවට ඇවිත්?
මේක ඇත්තටම මගේ පොඩි කාලේ ඉඳන් තිබුණ හීනයක්. මට රඟපාන්න ආසාවක් තිබුණේ නැහැ. ඒත් සිනමාවේ ඉන්න ආසාවක් තිබුණා. මගේ රඟපෑම ටෙලිනාට්‍ය හරහා දැකලා ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයො ටිකක් මට කතා කළා සිනමා නිර්මාණයකට. සුනිල් ආරියරත්න මහත්මයා සහ ජැක්සන් ඇන්තනි මහත්මයා කතාබහ කරලා ඔවුන්ගේ අලුත්ම සිනමාපටය "ක්ෂීර සාගරය කැලඹිණ"හි චරිතයකට මාව තෝරගෙන මට කතා කළා. මම ඔවුන්ට ගෞරව පූර්වකව ස්තූතිය පළ කරනවා. 
 
ඔබේ චරිතය ගැන කිව්වොත්?
මගේ චරිතය හිරිමලා. මේ චරිතය මනසින් සාමාන්‍ය නොවුණු වියරුවෙන් ඉන්න කෙනෙක්ගේ චරිතයක්. ඔහු සිහිවිකලෙන් ඉන්න කෙනෙක්. චිත්‍රපටයේ දෙවැනි අර්ධයේදී සාමාන්‍ය තත්ත්වයට හැරෙනවා. මේක මට ඇත්තටම අභියෝගයක්. මොකද මම මෙච්චර කල් කළේ පෙම්වතාගේ චරිතය. මනුස්සයෙක් වුණත් වල් සතෙක් වගේ හැසිරෙන්න ඕනේ මගේ සීමාවෙන් ගොඩක් එහාට ගිය චරිතයක් මේක. ලොකු අධ්‍යයනයක් කරලා වෙහෙසක් දරන්න ඕනේ චරිතයක් මේක. මම අභියෝගවලට  ගොඩක් ආස, පෙරේත කෙනෙක්. ඒ නිසා මම බොහොම ආසාවෙන් ඉන්නවා මේ චරිතයට පුළුවන් උපරිමයක් කරන්න. 
 
සිනමාවේ දැවෙන්තයෝ එක්ක ඔබට ගැටෙන්න පුළුවන් වෙයිද?
ඒක මට ලොකු අභියෝගයක්. මම තාම නවකයෙක්. සිනමාවේ ඉන්න දැවැන්තම අධ්‍යක්ෂවරයෙක් සහ රංගන ශිල්පියෙක් ජැක්සන් ඇන්තනී මහත්මයා. මට කලින් පරම්පරාවේ ජ්‍යෙෂ්ඨයෙක් හේමාල් රණසිංහ. ඒ වගේම ඒ පරම්පරාවෙම උදාරි වර්ණකුලසූරිය සහෝදරිය. මේ හැමෝම එකම කරට කර රඟපාන්න වෙනවා මට නවකයෙක් හැටියට.
 
 
ඒ නිසා සියයට සියයක් නෙමෙයි. සියයට දාහක්ම මට මේකට මහන්සි වෙන්න වෙනවා. ඔවුන්ගේ හැකියාවත් එක්ක ඒ තිරයට ගැලපෙන්න මගේ හැකියාව තියුණු වෙන්න ඕනේ. ඒ නිසා මට කරන්න දේවල් ගොඩක් තියනවා. කාටත් නොකිව්වාට මම දැක් තියාම ඒ චරිතයට සූදානම් වෙනවා. ජැක්සන් ඇන්තනී මහත්මයා සහ සුනිල් ආරියරත්න සර් පවා මට කිව්වා මේ චරිතයට ගොඩක් වෙහෙසෙන්න වෙනවා කියලා. ඒ ඕනෙම දෙයක් කරන්න සූදානම් වෙලා ආසාවෙන් බලාගෙන ඉන්නවා. 
 
 
 
කොහොමද ඒ චරිතයට සූදානම් වෙන්නේ?
මම මෙච්චර කල් කරපු හැමදේම කළේ ස්වයං අධ්‍යනයකින්. සංගීතය සහ රංගනය කවුරුත් කියලා දීලා නෙමෙයි මම තනියම ඉගෙනගත්තේ. මම අවශ්‍ය අවස්ථාවලදී ජ්‍යෙෂ්ඨයන්ගෙන් නොදන්න දේවල් ඉගෙනගත්තා. "ක්ෂීර සාගරය කැලඹිණ" සිනමා නිර්මාණයේදීත් මාව සම්පූර්ණයෙන්ම සුනිල් සර්ගෙ සහ ජැක්සන් ඇන්තනී මහත්මයාගේ අධීක්ෂණයට ලක් වෙනවා. පුංචි තිරයේ සහ පුළුල් තිරයේ ලොකු වෙනසක් තියෙනවා. සතතාභ්‍යාසය කියන එක පුංචි තිරයටත් අවශ්‍යයි. ඒත් සිනමාවට අත්‍යවශ්‍යයි. දෙආකාරයකින් ඒ සතතාභ්‍යාසයන් වෙන්නේ. මම ඒක මේ දිනවල අධ්‍යයනය කරනවා. සාමාන්‍ය චරිතයකින් එහා ගිහිල්ලා කොහොමද වෙනස් චරිතයකට අනුගත වෙන්නෙ කියන එක මම මේ දවස්වල අධ්‍යයනය කරනවා.
 
මේ සිනමාපටයට අදාළ සයිමන් නවගත්තේගමගේ "ක්ෂීර සාගරය කැලඹිණ" පොත කියවලා තියෙනවද?
ඉස්සර මම පොත් පිස්සෙක් වගේ කියවපු එක්කෙනෙක්. නමුත් වැඩ කටයුතුත් සමඟ කාර්යබහුල වෙන්න ගත්තට පස්සේ පොත් කියවන එක ගොඩක්දුරට මඟහැරුණා. සයිමන් නවගත්තේගම සූරීන්ගේ පොත් මම කලින් කියවලා තියෙනවා. නමුත් මේ පොත කවදාවත් කියවන්න ලැබිලා නැහැ. මේ සිනමා නිර්මාණය ඔහු රචනා කරපු නවකතාව ආශ්‍රය කරගෙන ඔහු රචනා කළා නම් කොහොම තියේදිද කියලා මනඞකල්පිතව හිතලා ගොඩනඟපු පිටපතක් ජැක්සන් ඇන්තනී මහත්මයා රචනා කරලා තියෙන්නේ. මම විශ්වාස කරනවා පොත කියවලා තියෙන අයටත් මේ සිනමා නිර්මාණය අලුත් අත්දැකීමක් වේවි කියලා. මම මෙහි මුල්කෘතිය සහ තිරරචනය එකකට එකක් අධ්‍යයනය කරමින් පවතිනවා. 
 
රවීන්ට මීට පෙර සිනමාවට ආරාධනා ආවාද?
ඔව්. ගොඩක් ආරාධනා ආවා. ඒත් මම බලාගෙන හිටියා. කවදාම හරි මගේ හිතේ ඉන්න නිර්මාණකරුවෝ මට නිර්මාණයකට කතා කරයි කියලා මම විශ්වාස කළා. ඒ ඇමතුම එනකම් මම බලාගෙන හිටියා. දැන් ඒ හීනේ හැබෑ වෙලා ඒ හීනේ එක්ක ඔට්ටු වෙන ගමන් ඉන්නේ. මම ඒ අතින් ගොඩක් වාසනාවන්තයි කියලා හිතනවා. 
 
රවීන්ගේ අනෙක් කලා වැඩකටයුතු සමඟ චිත්‍රපටයේ රඟපාන්න කාලය වෙන් කරගන්නේ කොහොමද?
මම චිත්‍රපටයේ නිර්මාණකරුවන්ගෙන් ඉල්ලීමක් කළා චිත්‍රපටයේ රූගත කිරීම් යෙදෙන දින ටික පුළුවන් තරම් කලින් දෙන්න කියලා. එතකොට මට මගේ අනෙක් වැඩ කටයුතු ඊට කලින් හෝ පසුව යොදාගෙන බෙදාහදාගෙන සාමකාමීව කරගන්න පුළුවන්.
 
රවීන් ගායන රියැලිටි තරගාවලියකින් ක්ෂේත්‍රයට ඇවිත් දැන් රඟපානවා. ජීවිතේ වෙනස් වෙන ඕනේ විදිහක් භාරගන්නවාද?
 
පෙරළුණු පිට හොඳයි කියන එක මම පොඩි කාලේ ඉඳන්ම පිළිගත්ත දෙයක්. ඒත් පෙරළුණු පිට කළමනාකරණය කර ගත්තොත් විතරයි පෙරළුණු පිට හොඳ වෙන්නේ. මම ඒක හරියට කළමනාකරණය කරගත්තා කියලා මම විශ්වාස කරනවා. ඒක කළමනාකරණය කරගන්න උත්සාහ කරමින් පවතිනවා. ඉස්සරහට තව තව මොන පිටවල් පෙරළුණත් ඒ හැම පිටම හොඳීන් කරගන්න තමයි මම බලාගෙන ඉන්නේ. 
 
ප්‍රේක්ෂකයන්ගෙන් චෝදනාවක් එනවා රවීන් දෙවෙනි ඉනිම ඇතුළේ හිරවෙලා කියලා. එතනින් එළියට එන්නේ කවද්ද?
මම දෙවෙනි ඉනිමේ හිර වෙලා නැහැ. දෙවෙනි ඉනිම කියන්නේ සෝප් ඔපෙරා ගණයට අයත් ටෙලි නිර්මාණයක්. ලංකාවේ අයට ගැටලුව දෙවෙනි ඉනිම එන්න එන්න දීර්ඝ වෙන එක. සෝප් ඔපෙරා ගණයට අයත් නිර්මාණ දිගින් දිගටම වසර ගාණක් යනවා. කවුරු මොනවා කිව්වාත් මේ ටෙලිනාට්‍යයට තියෙන ජනතා ආකර්ෂණය අඩු වීමක් වෙන්නේ නැහැ.
කවුරු මොනවා කිව්වත් මේක මිනිස්සු බලනවා. මේක නතර කළොත් ඒක වටා එක්වුණු මිනිස්සුන්ට කරන අසාධාරණයක්. මම හිතන්නේ මේක ජනතාව ප්‍රතික්ෂේප කරන කාලයක් ආවොත් එදාට නතර කළ යුතුමයි. නමුත් ජනතාව මේක දිගින් දිගටම බලාපොරොත්තු වෙනවා නම් නතර කරන එක අනවශ්‍යයි. මම දෙවෙනි ඉනිම ඇතුළේ කිසිසේත්ම හිරවෙලා නැහැ. මම බොහොම නිදහසේ වැඩ කරන කෙනෙක්. 
 
ඒත් රවීන් වෙනත් කිසිම නිර්මාණයකට තවමත් දායක වෙලා නැහැ. 
විවිධ නාළිකාවල ටෙලිනාට්‍යවලට මට ආරාධනා රාශියක් එනවා. ගැටලුව තියෙන්නේ මම දෙරණ නාළිකාවේ වැඩත් සමඟ ගොඩක් කාර්යබහුලයි. රංගනය, නිවේදනය ආදියත් එක්ක මම කාර්යබහුල නිසා වෙනත් වැඩක් භාර අරගෙන කාර්යබහුල වෙන්න බැහැ. මට කවුරු එක්කවත් වැඩ කරන්න කිසිම තහනමක් නැහැ. ගැටලුව මගේ කාර්යබහුලත්වය නිසා කාලය වෙන් කරගන්න තියෙන අපහසුව විතරයි. 
 
සංගීත ක්ෂේත්‍රයේ වැඩ ටිකක් කරන්න අදහසක් නැද්ද?
මම කරන්නන්වාලේ වැඩ කරන කෙනෙක් නෙමෙයි. මගේ ඇතුළේ ඉන්න ගායකයා බොහොම හෙමින් යන කෙනෙක්. මම ජනප්‍රිය රැල්ලට ගීත කරන්නේ නැහැ. නිදහසේ අහගෙන ඉන්න පුළුවන් ගීත ගයන කෙනෙක් මම. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ සින්දු ඇහෙන්නේ නැහැ කියලා. ඔව්...  ඇත්තටම ඇහෙන්නේ නැහැ තමයි. ඒ ගීත අහන පිරිස දැන් අඩුයි. ප්‍රේක්ෂකාගාරයට අවශ්‍ය දේ නෙමෙයි අපිට දැනෙන දෙයයි කරන්න ඕනේ. සමහරවිට කාලයක් ගත වෙලා මගේ රසයි රසිකයන්ගේ රසයි     ගැළපුණොත් මම ගීත නිර්මාණය කරයි. මම ගීත නිර්මාණ ගොඩක් අත්හදා බලනවා. විවිධ ආරෙන් විවිධ හැඩයෙන් මට දැනෙන විදිහට ගීත නිර්මාණය කරනවා. එතනින් වඩා සාර්ථක හොඳ නිර්මාණයක් කරන්න උත්සාහ කරනවා. 
 
රංගනය නිසා රවීන්ට සංගීත වැඩකටයුතු අතපසු වෙනවා කිව්වොත් හරිද?
අනිවාර්යනේම ඔව්. ගායන ශිල්පියෙක් කවදාවත් කාර්යබහුල නැහැ. ගායන ශිල්පියෙක් ප්‍රසංගයක් තියෙන තැනට යනවා, සින්දු ටික කියනවා. ස්ටේජ් එකෙන් බැහැලා එනවා. ඒත් රංගන ශිල්පියෙක්ට එහෙම නැහැ. උදේ පාන්දර රූගත කිරීම් පටන්ගත්තාම ඉවරවෙන වෙලාව දන්නේ දෙයියෝ තමයි. ලොකු මහන්සියක් ශ්‍රමයක් කාලයක් කැප කරලා කරන්න ඕනේ දෙයක් රංගනය කියන්නේ. ඇත්තටම රූගත කිරීම්  කටයුතුත් එක්ක සංගීත වැඩකටයුතු කරන්න මගේ කාලය මදි. 
 
රවීන්ට ගායනය හා රංගනය අතරින් එකක් තෝරාගන්න කිව්වොත්?
මට කතා කරන අවසානම රංගන අවස්ථාව වෙන තෙක්ම මම රඟපානවා. මට කතා කරන අවසාන සංගීත නිර්මාණය වෙන තෙක්ම මම ගායනා කරනවා. ඒ හැරුණුකොට මම අත්හරින්න කැමති නැහැ එකක්වත්. තෝරාගන්න කිව්වොත් මම දෙකම තෝරගන්නේ. එකක් තෝරගෙන වැඩ කරන්නේ නැහැ. 
සමහරු රවීන්ව "සීනිබෝල නළුවෙක්" විදිහට හඳුන්වනවා?
රංගන ක්ෂේත්‍රයේ පෙම්වතාගේ චරිතය රඟපෑ පමණින් සීනිබෝල නළුවෙකු වෙනවා නම් ඒ සීනිබෝල ලේබලය නළුවන් කී දෙනෙකුට වැදිය යුතුද කියලා මම ප්‍රශ්න කරනවා. අදාළ ශිල්පියා හෝ ශිල්පිනියගේ අනෙකුත් දක්ෂතා සැලකිල්ලට නොගෙන සීනිබෝල ලේබලය ගහනවා නම් එසේ චෝදනා කරන අය තමන් ගැන කෙසේ සිතිය යුතුද? ඉදිරියේදී අදාළ රංගන ශිල්පියා කරන දේවල් බලලා හැකියාව ගැන විවේචන කරන්න කියලා මම ඔවුන්ට ආරාධනා කරනවා. මම හරිම කැමතියි මිනිස්සු මාව විවේචනය කරනවට මට හොඳ කියනවට. අපිට හැමෝවම සතුටු කරන්න බැහැ. ඕනේ කෙනෙකුට ඕනේ කෙනෙව ඕනේ විදිහකට දකින්න පුළුවන්. හැමෝම මම ගැන එකම විදිහට සිතිය යුතුයි කියලා නියමයක් නැහැ. බහුතරයකට මාව ප්‍රිය වෙලා තියෙනවා. ඒ බහුතරය මට ඉහටත් උඩින්. 
 
රවීන්ට මෙවරත් අඛණ්ඩව ජනප්‍රියම නළුවා සම්මානය ලැබුණා?
 
ජනප්‍රියත්වය කියන්නේ මට නම් ලොකු වගකීමක්. ජනතාව ප්‍රිය කරන චරිතයක් කියන්නේ ජනතාවගේ වැඩි ආකර්ෂණයක් අවධානයත් තියෙන චරිතයක්. එතකොට අපිට පුදුමාකාර වගකීමක් තියෙනවා. අපි දිහා බලාගෙන ඉන්න ලක්ෂ කෝටි ගාණක ජනතාවගේ ඇස්වලට අපෙන් නොවිය යුත්තක් නොපෙන්වා සිටින්න.
එතකොට අපේ හැසිරීම, ජීවන රටාව අපේ කලා නිර්මාණ ආදී ඕනෑම දේකදි පෙරට වඩා යම් වගකීමක් තියෙන්න ඕනේ. ඔවුන් අපිට ආදරේ කරන්නේ ජනප්‍රියත්වයට ඔසවා තබන්නේ හේතුවක් ඇතුව. අපි ඒක හෑල්ලුවට ලක් කරන්න හොඳ නැහැ. ඔවුන්ගේ ආදරය මට හැමදාමත් වගකීමක්. ඒ වගකීම මම දිගටම දරනවා. ඒ ආදරේට මම ගොඩක් ණයගැතියි. 
 
ඒ නිසාද රවීන්ගේ පෞද්ගලික වතගොත ඒ තරම් හෙලි නොකරන්නේ?
මම නළුවෙක් හෝ ගායකයෙක් හෝ නොවී සාමාන්‍ය මනුස්සයෙන් වුණත් මගේ පෞද්ගලික ජීවිතය එළියට නිරාවරණය කරලා පෙන්නන්න කැමති නැහැ. මනුස්සයෙක් වුණාම තමන්ගේ පෞද්ගලික ජීව්තය, පෞද්ගලිකත්වය තමන්ගේ සීමාවේ තියාගන්න ඕනේ. පෞද්ගලිකත්වය කියන එකට සමාජ මට්ටම අදාළ වෙන්නේ නැහැ. මම මගේ පවුලේ සාමාජිකයින්වත්, මගේ පෞද්ගලිකත්වයවත් කිසිම වෙලාවක සමාජයට නිරාවරණය කරලා නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. 
 
 
කාලෙන් කාලෙට රවීන්ට විවිධ කටකතා පැතිරෙනවා. 
මම හරිම ආසයි ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න. (සිනාසෙමින්) මේ වෙද්දි කතාබහට ලක්වෙන නිර්මාණවලින් මම දායක වෙන්නේ දෙවෙනි ඉනිමට. දෙවෙනි ඉනිමේ මම මේ වෙද්දි රංගන ශිල්පිනියෝ හයකට වැඩි ප්‍රමාණයක් එක්ක රඟපාලා තියෙනවා. ඒ හැමෝවම ඈදලා මට කටකතා හැදිලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අනුහස්ව හැමෝම දන්නවා. අනුහස් එක්ක රඟපාන්න එන අනිත් නිළියොත් දන්නවා. මිනිස්සුන්ට කටවලුත් තියෙනවා. ඉතින් මෙහෙම කටකතා හැදෙන එක සාමාන්‍ය දෙයක්නෙ. මිනිස්සු එහෙම කටකතා හදලා සතුටක් ලබපුවාවේ. කමක් නෑ. ඒ වගේ ඇත්ත නැත්ත අපි විතරක් දැනගත්තම ඇති. කතාවට කියනවා කටකතා කියන්නේ මෝඩයන් විසින් පතුරන ලද බූරුවන් විසින් පිළිගන්නා ලද ඒවාය කියලා. කියන්නා කෙසේ වෙතත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි. 
 
රවීන්ගේ පෞද්ගලික විස්‍තර ගැන කිව්වොත්?
මම ඉතින් අපේ ගෙදර පවුලේ සාමාජිකයෝ හැමෝම එක්ක සතුටින් ආදරය උපරිමයෙන් ලබන ගමන් සාමකාමීව ජීවත් වෙනවා.