දැන් චරිතාංග නිළියෝ නැතිඑකට මමත් වගකියන්න ඕනේ

දුලීකා මාරපන
පෙබරවාරි 4, 2021

- හොඳ ලුණු ඇඹුල් ඇති නිර්මාණයක් අපි කළා
- අපේ අලුත් වැඩේ “පොඩ්ඩේ රාළහාමි”
- සුපර්ණා නිසා වුණු පාඩුව අතිවිශාලයි
- දැන් නළු නිළියෝ ටෙලිනාට්‍යවල රඟපාන්නෙ සෙල්ෆි ගහන්න බලාගෙන
- අපිට මේන්ටේන් වෙන්න සල්ලි ඕනේ නෑ
- ඉක්මනට පිපෙන හතු ඉක්මනට තැළිලා පොඩි වෙනවා
- ඌරුමස් එක්ක රොටි විකුණපු නිසා ඒක “පෝර්ක් වීදිය වුණා”
- පෙනෙන තරම් මහතක් මගේ නැහැ
- නවක රංගන ශිල්පීන්ට ඍජුවම චෝදනා කරන එක වැරදියි

මෙරට කලා ක්ෂේත්‍රයේ ඕනෑම චරිතයක් නිරූපණය කළ හැකි චරිතාංග රංගන ශිල්පිනියන් අතළොස්සකි. දුලීකා මාරපන ඒ අතරින් ඉහළම පෙළ නියෝජය කරන්නියකි. වේදිකාව, පුංචි තිරය, සිනමාව යන සියල්ල තුළ විවිධ විචිත්‍ර චරිත නිරූපණය කිරීමට ඇය සමත්කම් දැක්වූවාය. ලොකු කුඩා භේදයකින් තොරව ප්‍රේක්ෂකයන් තම චරිතය තුළ රඳවා තබාගන්නා ඇය මේ දිනවල නැවතත් පුංචි තිරයෙන් ඔබ හමුවට පැමිණෙයි. ඒ ස්වාධීන රූපවාහිනීයේ විකාශය වන “ඉන්ට‍ර්නැසනල්” ටෙලි නිර්මාණය ඔස්සේය. කලාව පිළිබඳව ඇයට විවේචන බොහොය... යෝජනා බොහෝය... මේ පිළිසඳර ඒ සියල්ල එකට කැටිකොටය.

දුලීකා කාලෙකට පස්සෙ ආයෙමත් පුංචි තිරයේ දකිනවා. 

ඔව්. මම ස්වාධීන රූපවාහිනියේ නිර්මාණ දෙක්කට සම්බන්ධ වුණා. මේ දවසවල "ඉන්ටර්නැසනල්" ටෙලි නිර්මාණයත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. ඒකට හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබෙමින් පවතිනවා. "ඉන්ටර්නැසනල්" කියන්නේ මාධ්‍යයේ නරඹනවාට අමතරව යූටියුබ් එකෙත් ට්‍රෙන්ඩින්ග් වෙලා තියෙන ටෙලිනාට්‍යයක්. විශාල ජනප්‍රියත්වයක් සහ ජනප්‍රසාදයක් ලැබෙමින් පවතිනවා.

එහි ඔබේ චරිතය ගැන කිව්වොත්?

මේ කතාව දිවයන්නේ අම්මාවරුන් පස්දෙනෙක් මූලික කරගෙන. මම එක් අම්මා කෙනෙක්. මගේ චරිතයේ නම දිස්නා. මේ සමාජය නියෝජනය කරන අම්මාවරුන් පස් දෙනෙක්. ඔවුන්ගේ පවුල් පසුබිම් විවිධාකාරයි. ඔවුන්ගේ ප්‍රශ්න විවිධාකාරයි. ඒ අයගේ ඉලක්ක විවිධාකාරයි. මේ සමාජයේ කාන්තාවන්ගේ ස්වභාවය සහ ඔවුන්ගේ පවුල් රටා ගැන කතා කරනවා මේ ටෙලිනාට්‍යයෙන්. ඒ නිසා මට හැමෝම කියනවා "මේ අපිට වෙලා තියෙන දේ, මේ අපේ කතාව, මේ විදිහ දේවල්වලට අපි මූණ දීලා තියෙනවා" කියලා. මේ කතාව මිනිස්සුන්ට ඉතාම සමීප කතාවක්.

ඉන්ටර්නැසනල් කියන්නේ සුජීවගෙයි - දුලීකාගෙයි තවත් එක් නිර්මාණ ප්‍රයත්නයක් නේද?

කොරෝනා නිසා මහා ව්‍යසන ගොඩකට අපේ කලාකරුවන්ට මූණ දෙන්න සිද්ධ වුණා. අපිට නිර්මාණ නැතුව ගියා, රඟපාන්න බැරිව ගියා, වේදිකා නාට්‍යශාලා වහලා තිබුණා. සිනමාපට පෙන්වන්න විදිහක් නැතුව තිබුණා. සිනමාශාලා වහලා තිබුණා, අලුතෙන් ටෙලි නිර්මාණ ආරම්භ කරන්න විදිහක් නැතුව තිබුණා. අවුරුද්දක විතර කාලයක් ඒ දුර්භික්ෂයට මූණ දෙනවා තවමත් මුහුණ දෙමින් ඉන්නවා. නමුත් අපි කොහොම හරි දෙයක් කරන්න උත්සාහ කරනවා. සුජීවට ඕන වුණා වෙනස්ම විදියට ටෙලිනාට්‍යයක් කරන්න. ස්වාධීන රූපවාහිනියෙනුත් ඒ සඳහා අපිට අවස්ථාවක් දුන්නා. අපි ප්‍රේම කතාවල හිර වෙලා නිර්මාණ කරන්න කැමති නැහැ. ප්‍රේමයත් තියෙන රසක් තියෙන, දුකත් තියෙන, හොඳ ලුණු ඇඹුල් ඇති නිර්මාණයක් අපි කළා. ඒක තමයි "ඉන්‍ටර්නැසනල්" හඳුන්වන්න තියෙන හොඳම විදිහ. ඒක වෙනස් නිර්මාණයක් වුණා.

සුපර්ණාට මොකද වුණේ?

සුජීවත් මමත් එකතුවෙලා ඉස්සෙල්ලම "ලෝරන්ස්ගේ මනමාලි" වේදිකා නාට්‍යය කළා. ඒක අතිශයින්ම ජනාදරයට පත් වුණා. "සුපර්ණා" සිනමාපටය අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන හැදුවේ. නමුත් එය තිරගත කරන විටම කොරෝනා වසංගතය ආවා. ඒ නිසා එය ප්‍රේක්ෂකයන්ට නරඹන්න බැරි වුණා. ඒක තමයි ලංකාවේ මුලින්ම හැදුණු විද්‍යා ප්‍රබන්ධ සිනමා පටය. ඒකේ ඇතුළේ අපි කතා කළේ මිනිසුන් විසින් නිර්මාණය කරන ලද වෛරසයක් මිනිසා විසින්ම සමාජය ගත කළොත් මොනතරම් විනාසයක් වෙයිද කියන එක. සිනමාපටය තිරගත වන විට මුළු ලෝකය පුරාම කොරෝනා වෛරසය පැතිරිලා ඉවරයි. "සුපර්ණා" සිනමාපටය black knight අන්තර්ජාතික සම්මාන උලෙළ නියෝජනය කළා. එහිදී එයට හොඳම කැමරාකරණය වෙනුවෙන් සම්මානයක් ලැබුණා.

"සුපර්ණා" නැවත තිරගත කරන්න අදහසක් නැද්ද?

නැවත තිරගත කරනවා කියන කාරණාවට අපිට ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. නැවත මුදලක් වියදම් කරලා සිනමාශාලාවලට චිත්‍රපටය දැම්මට ඒක බලන්න එන ප්‍රේක්ෂකයන් ගණන අවම නිසා ඒ මුදලවත් අපිට ලබාගන්න නොහැකි වෙනවා. ඒ නිසා තවමත් නැවත තිරගත කිරීම පිළිබඳව තීරණය කරලා නැහැ. සුපර්ණා කියන්නේ ටිකක් සංකීර්ණ සිනමාපටයක්. අපි මේ මූණදෙන ඛේදවාචකය තමයි අපි මේ කතා කළේ.

"සුපර්ණා" නිසා වුණු පාඩුව කොච්චරක්ද?

පාඩුව නම් අතිවිශාලයි. ඒක සංඛ්‍යාවක් වශයෙන් කියන එක තේරුමක් නැති වැඩක්. මොකද සුපර්ණා කියන්නේ ඉතා විශාල බර පැනක් වියදම් කරලා කරපු නිර්මාණයක්.

"පෝර්ක් වීදිය" ගැනත් කතා කරමු? 

"පෝර්ක් වීදිය" කියන්නේ මම මෙතෙක් කල් දායක වුණු නිර්මාණ අතර වෙනස්ම විදිහේ ටෙලි නිර්මාණයක්. එහි අධ්‍යක්ෂවරයා බවට පත්වෙන්නේ අපේ ඉන්ටර්නැසනල් නාට්‍යයේ කළමනාකාරවරයා. අසංක සායක්කාරගේ පෝර්ක් වීදිය පිටපත ඔහුට ලැබුණට පස්සේ මට කතා කළේ වෙනම චරිතයකට. නමුත් පිටපත කියවගෙන යනකොට මම ඔහුගෙන් ඉල්ලීමක් කළා. එහි තියෙනවා වීදියේ ගී ගයන අන්ධ ගායිකාවකගේ චරිතයක්. මම හිතුවා ඒක මට වෙනස්ම විදිහකට කරන්න පුළුවන් වෙයි කියලා. ඒ චරිතය මම සාර්ථකව කළා කියලා ප්‍රතිචාරවලින් හිතෙනවා. එය තවමත් විකාශය වුණේ නැහැ. ඒ ටෙලිනිර්මාණය ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වෙයි කියලා හිතනවා. පසුගිය කොරෝනා සමයේ අපි දැක්කා හැම වීදියකම පාහේ ඌරු මස් සමඟ පොල් රොටි විකුණනවා. ඔවුන් ඒ කාර්යය ඉතාම හොඳට පිරිසිදුව කළා. ඒ වගේ තැනක තමයි මේ ගායිකාව ගී ගයන්නේ. ඒක ඉතාමත් සුවිශේෂී නිර්මාණයක් බවට පත්වෙයි කියලා හිතෙනවා.

මේවෙද්දී Mini series, Telefilm වගේ ටෙලිවිෂනය හා සම්බන්ධ නව අත්හදා බැලීම් කරනවා. අලුත් වැඩක් කරන්න අදහසක් නැද්ද?

අලුත් වැඩක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ වෙනකොට මම "පොඩ්ඩේ රාලහාමි" නමින් සමාජයට වැදගත් වෙන යූටියුබ් නාළිකාවක් ආරම්භ කළා. මින් පසු අපි ටෙලි නිර්මාණයක් කරනවා නම් එය විකාශය කරන්නේ "පොඩ්ඩෙ රාලහාමි" යූ ටියුබ් චැනලයේ කියලා අපි තීරණය කළා. ඒ වගේම අපි "පොඩ්ඩේ රාළහාමි" නමින් ටෙලි නිර්මාණයක් කරනවා. එහි කොටස් කීපයක රූගත කිරීම් අවසානයි. එහි අපි කතා කරන්නේ අපේ කෘෂිකර්මාන්තය, අපේ හෙළවෙදකම, සෞඛ්‍ය සම්පන්න, ජීවිතය යන ජීවිතය ගැන. මේ කාර්යබහුල ජීවිතවලින් මදකට ඈත් වෙලා ජීවිතය ගැන හැරිලා බලලා සෞඛ්‍ය සම්පන්නව ජීවිතය ගත කරන්නේ කොහොමද කියන එක ගැන "පොඩ්ඩෙ රාළහාමි" කියන ටෙලිසීරිස් එකෙන් අපි කතා කරනවා.

ක්ෂේත්‍රයේ ඉන්න නවක රංගන ශිල්පීන් ඇත්තටම රඟපානවද ?

ඒ අයට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒකයි තියෙන ගැටලුව. වර්තමානයේ නිර්මාණ අඩුයි. දැන් තියෙන්නෙ කලබලයට එහෙන් මෙහෙන් ගහන ඒවා. "ටෙලිනාට්‍යය ගහනවා" කියලා කියන්නේ. ඒ වගේ ටෙලිනාට්‍යයක් ගහන තැනකට තමයි මේ නවක රංගන ශිල්පීන්ට එකතු වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ. දවසකට සීන් කොච්චරක් ගහන්න ඕනෙද කියන අරගලය තුළ එයාලා ඉන්නේ. නාළිකාවකින් ලැබෙන මුදලත් එක්ක තමයි අපිට "ගහන" තැනට එන්න වෙලා තියෙන්නේ. ඉස්සර නම් ටෙලිනාට්‍යයකට ලොකු මුදලක් එක කොටසකට ලැබෙනවා. එතකොට අධ්‍යක්ෂවරයාට හොඳට කාලය අරගෙන ගුණාත්මක නිර්මාණයක් කරන්න ඉඩකඩ ලැබෙනවා. නමුත් වර්තමානයේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අපිට දකින්න ලැබිලා තියෙන්නේ උදේ පාන්දර සෙට් එකට අරගෙන ගිහිල්ලා මහ රෑ වෙනකම් මිනිසුන්ගෙන් වැඩ ගන්න ක්‍රමවේදයක්. එහෙම පසුබිමක තමයි අලුත් පරම්පරාවට වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒ වගේ තැන්වල පිටපත එන්නේ දෛනිකව. පිටපත කලින් දෙන්නෙ නැහැ. චරිතයට පෙර සූදානම් වීමක් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි වර්තමාන පරම්පරාවේ දරුවන්ට පෙර සූදානමක් හෝ එම චරිත ගැන හදාරන්න හෝ ඒවා ගැන ඉගෙන ගන්න කිසිම උවමනාවක් නැහැ. ඒ අය එන්නේම මේ තියෙන රාමුව තුළ වැඩ කරන්න. නවක රංගන ශිල්පීන්ට ඍජුවම චෝදනා කරන එක වැරදියි. මොකද ඔවුන්ට දායකවෙන්න වෙන්නේ අවම ගුණාත්මකත්වයක් තියෙන නිර්මාණවලට. ඔවුන්ගේ හැකියා පෙන්වන්න හෝ ඔවුන්ව ඒ සඳහා පුහුණු කරන්න හෝ හැකියාවක් කාටවත් නැහැ. මේ හැමෝම රුපියල් ශත ඇතුළේ අරගලයක් කරන්නේ. දැන් නළු නිළියෝ ටෙලිනාට්‍යවල රඟපාන්නෙ සෙල්ෆි ගහන්න බලාගෙන. එහෙම නැත්නම් ෆේස්බුක් හෝ ඉන්ස්ටර්ග්‍රෑම් ලයිව් එන්න බලාගෙන. ජනප්‍රියත්වයට තියෙන අවධානය වැඩියි, නිර්මාණය සාර්ථකව කරගන්නවා කරගන්නවාට වඩා.

ක්ෂේත්‍රයේ නවක රංගන ශිල්පීන් හිටියට දුලීකා මාරපන පන්නයේ චරිතාංග නිළියක් තවමත් නැහැ. ඔබ කවදාහරි බැට්න් එක දෙන්නේ කාටද?

මිනිස්සුන්ගේ බාහිරින් පෙනෙන දේවල්වලට තියෙන අවධානය වැඩි වුණාට පසුව අභ්‍යන්තරික ගුණ වගාව අත්හැරෙනවා. හුඟක් අය ඉස්සර ඉඳන්ම මගෙන් අහනවා "අම්මෝ... ඇයි ඔයා ඔච්චර මහත?" කියලා. හැබැයි ඒ පේන තරම් මහතක්වත් විශාලත්වයක්වත් තියෙන පුද්ගලයෙක් නෙමෙයි මම. නමුත් නිර්මාණවල මාව විවිධාකාරයෙන් පේනවා වන්නට පුළුවන්. මට ඉතාම වැදගත් වෙන්නේ නිරෝගීව ඉන්නේ කොහොමද කියන එක. මම හද්ද ගමක ඉඳන් කොළඹ එනකොට ගමේ ඉඳන් මම අරගෙන ආපු පෞරුෂයම තමයි තාමත් මගේ තියෙන්නේ. මම මගේ ජීවිතේ හැමදේම ඉගෙන ගත්තේ මේ මහපොළොවෙන්. අපෙන් පසු පරම්පරාව නිසි ලෙස හැදිලා නැහැ කියනවා නම් ඒකට හේතුව ඔවුන්ට එහෙම හැදෙන්න තරම් පරිසරයක් නැහැ. වුවමනාවක් නැහැ.

ඊට පසු පරම්පරාව නියෝජනය කරන ඔබත් ඒකට වගකියන්න ඕන? 

ඔව්. අනිවාර්යයෙන්ම අපිත් ඒකට වගකියන්න ඕනේ. අපි විතරක් නෙමෙයි අපිට පෙර පරම්පරාවත් ඒකට වගකියන්න ඕන. අපේ පරම්පරාවේ අපි ඇතුළු කීප දෙනෙක් විතරයි ඔය වගේ චරිතාංග රංගන ශිල්පියයෝ හැටියට ගණන් ගන්න පුළුවන් අය ඉන්නේ. අපිට පෙර පරම්පරාවත් අපිට එහෙම වපසරියක් හදලා දීලා නැහැ. මෙය මා තුළ තියෙන්නෙ මම විසින් ගොඩනඟා ගත්ත එකක්. මට ගුරු කුලයක් නැහැ. ක්ෂේත්‍රයට හා හා පුරා කියලා එනකොට මට මුණගැහුණා බන්දුල ජයවර්ධන නම් වූ අපූරු මිනිසාව. ඔහු මට කියලා දුන්නේ "නළුවෙක් වෙන්න කලින් හොඳ මිනිසෙක් වෙන්න" කියලා. ඒ නිසා මම හැමදාම උත්සාහ කළේ මනුෂ්‍යත්වය විනාශ කර නොගෙන මේ ගමන යන්න. ඒ වගේම මට හොඳ ප්‍රධානියෙක් හිටියා. ඔහු තමයි ගාමිණී ෆොන්සේකා. එතුමන් මම වැඩ කරපු ආයතනයේ ඉහළ ප්‍රධානියෙක් හැටියට හිටියා. ඔහු මට කිව්වේ "උඹේ අතේ සත පහක් නැති වුණත් කිසිම දවසක කිසිම කෙනෙකුට අතපාන්න එපා" කියලා. ඒ වගේම ඔහු තව දෙයක් කියලා දුන්නා "උඹ ඉගෙනගනින් තව කෙනෙක් උඹට සම කරන්නට බැරි තැනට එනකං" කියලා. මගේ චරිතය මේ විෂය ක්ෂේත්‍රය තුළ නිර්මාණය කරගන්න මේ ගුරුහරුකම් බලපෑවා. ඒත් අපේ දරුවන්ට ගුරුහරුකම් දෙන්න කෙනෙක් ඉදිරිපත් වුණත් වර්තමානයේ ඉන්න බොහෝ දරුවෝ එහෙම ගුරුකරුකම් ගන්නට සූදානම් නැහැ.

ඔබ හිතන ආකාරයට චරිතාංග රංගන ශිල්පිනියන් ලෙස අනාගතයේ ගමනක් යා හැකි රංගන ශිල්පිනියෝ කවුද?

වර්තමානයේ එහෙම නිළියෝ මම දකින්නෙ නැහැ. හේතුව හුඟක් අය ඉතාම සරල දේවල් එක්ක මේක අතහැරලා දාලා යනවා. ඔවුන් බොහොම කෙටි කාලෙකට ක්ෂේත්‍රයට එන්නෙ. ජනප්‍රිය වුණු ගමන් කවුරුන් හෝ ව්‍යාපාරිකයෙක් විවාහ කරගෙන මෙතනින් ඉවත් වෙනවා. එහෙම නැත්නම් මේක ඇතුළේ මූණ දෙන්නට වෙන මහා භයානක ඛේදවාචකවලට මුහුණ දීලා නිහඬව පැත්තකට වෙනවා. රංගන ක්ෂේත්‍රය ඇතුළේ රැඳෙන්නේ කවුද කියල නම් මට අද දවසේ කියන්න බැහැ. පසු කාලවකවානුව තුළ හතු පිපෙනවා වගේ පිපුණු බිම්මල් හුඟක් තැලිලා පොඩිවෙලා ගිහිල්ලා තියෙනවා. සියලුම කලා පුවත්පත්වල මුල්පිටුවේ ලස්සනට ඉන්න චරිත කීයෙන් කීදෙනාද දිගටම ක්ෂේත්‍රයේ ඉන්නේ? අද හිටියට හෙට නැහැ.

විකල්පය මොකක්ද?

මේ රටේ කලාවට වෘත්තිය මට්ටමක් අවශ්‍යයි. වෘත්තීය මට්ටමක් නැතිකම විශාල ඛේදවාචකයක්. අපි මොන විදියෙන් හරි මේක අල්ලගෙන ඉන්නවා. කලාව කියන්නේ අපි ආස, රැදෙන්න ලෝභකමට තියාගෙන ඉන්න එකක්. ඒ නිසයි ඉඳලා හිටලා හෝ අපි හොඳ නිර්මාණයක් කරන්නේ. ගොඩක් අයට නළු නිළියෝ විදියට මේන්ටේන් වෙන්නත් ලොකු මුදලක් යනවා. අපිට එහෙම මේන්ටේන් වෙන්න ලොකු මුදලක් යන්නේ නැහැ. අපි බොහොම සාමාන්‍ය විදිහට ජීවත් වෙන්නේ. පවතින සහ පෙර තිබූ සියලුම රජයන්ට අපි හැමෝම ඉල්ලීමක් කළා කලාකරුවන්ට වෘත්තීය මට්ටමක් දෙන්න කියලා. නමුත් ඒක තවමත් සිදුවෙලා නැහැ. වෙනත් රටවල කලාව කියන්නේ හොඳ වෘත්තියක්. ඒ වෘත්තිය අපේ රටේ නැති එක තමයි ගැටලුව.

චමිත් ෂා අම්බලන්ගොඩ