මට ගොඩක් අවස්ථාවලදී සිනමාව මඟහැරුණා

නැවතත් රංගනයට පිවිසි ශිරෝෂි රොමේශිකා
පෙබරවාරි 4, 2021

වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ල තමයි මේ. ඩාන්සිං ස්ටාර් සිනමාපටයේදී ඇය හඳුන්වා දුන්නේ අන්න එහෙම. කාලයාගේ ඇවෑමෙන් ටෙලි සිතුවම් සඳහාද සිය රංගන දායකත්වය දැක්වූ ඇය සිනමාවේදී හමුවුණේ ඉතා අල්ප වශයෙන්. ඇගේ නම ශිරෝෂි රොමේශිකා. ඉකුත් වසරවල දී ඇය අප නොදුටුව තරම්... පවුල් ජීවිතයට මූලිකත්වය දී ශිරෝෂි ඒ වෙනුවෙන් කැප වුණා. වගකීම් රැසක් දරාගෙන දියණියකගේද සුරතල් විඳීමින් සිටිනා ඇය නැවතත් සිය රංගන චාරිකාව අරඹලා. ඒ “බස් එකේ ඉස්කෝලේ” ටෙලි සිතුවමෙන්. මේ දිනවල දී ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන එහි ශිරෝෂි රඟපාන්නේ ද මවකගේ චරිතයක්.

ශිරෝෂි කොපමණ කාලෙකට පසුවද ඔබ රඟපාන්න එන්නේ? 

මං හිතන්නේ හරියටම අවුරුදු හතරකින් විතර පස්සෙ.

පසුගිය කාලය ඔබ ගත කළේ පවුල වෙනුවෙන්?

ඇත්තටම ඔව්. මගේ දුවට අවුරුදු තුන වෙනකල් මම රඟපාන්නෙ නැහැ කියලා හිතාගෙන හිටියා. දැන් ඇයට අවුරුදු තුන සපිරුණා. මම හිතුවා ඒ අනුව නැවතත් මගේ සුපුරුදු රාජකාරි ආරම්භ කළොත් හොඳයි කියලා.

බස් එකේ ඉස්කෝලේ ටෙලි සිතුවම සහ එහි ඔබේ චරිතය ගැන කතා කළොත්?

ප්‍රදීප් රසංග තමයි ඒ නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ. ජගත් චමිල ඇතුළු ප්‍රවීණ නළුනිළියෝ රැසක් එහි රඟපානවා. මගේ චරිතයේ නම බියුලා. ඇය ජීවිතයේ දරුවොත් එක්ක තනිවුණු කෙනෙක්. ඇය කසාද බඳීන්න අපේක්ෂාවෙන් කෙනෙකුත් ඉන්නවා. ඔය වගේ තමයි ඒ චරිතය ගලා ගෙන යන්නේ. ටිකක් සංකීර්ණ චරිතයක්.

ඔබට පෙම්වතියගේ චරිතයට කතා කළොත්?

අනිවාර්යයෙන්ම යනවා. ඒ වගේ චරිතයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ඔබේ දියණිය ඔබේ කලා කටයුතුවලට මොන වගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ?

මගේ පැරණි වැඩසටහන්, විශේෂයෙන්ම නර්තනයේ දායකත්වය දක්වපු වැඩසටහන් යූටියුබ් හරහා දුව දකිද්දී ඇය කැගහල මට අඬ ගහනවා, මෙන්න අම්මා ඉන්නව කියල. ඇය හරිම සතුටුයි මාව ඒ වගේ ඉවෙන්ට්වලින් දකිනකොට. ඉතින් මම හිතනවා මම නිළියක් විදිහට රඟපානවා දැක බලා දුව සතුටින් ඒ නිර්මාණ රසවිඳීයි කියලා.

ඇය කලා කටයුතු වලට දක්ෂද?

හොඳට සින්දු කියන්න පුළුවන්. රඟපාන එක කොහොමද කියල නම් හරියට දන්නෙ නැහැ. නමුත් ඇය කවදහරි කලාවට එන්න උත්සාහ කළොත් මම ඒක වළක්වන්නේ නැහැ.

ඔබ රඟ නොපෑ කාලය අතරතුරදී ඔබගේ ජනප්‍රියත්වය එලෙසම පැවතුණාද? 

මම හිතනවා වැඩි දෙනෙකුට මාව අමතක වෙන්නේ නැතුව ඇති කියලා. මොකද මඟතොටේදී දැක්කත් අර කළු අරලිය එකේ හිටපු කෙනා නේද මේ කියලා මගෙන් අහනවා. මම අන්තිමේට රඟපෑවේ මොණර කඩදාසි සහ කළු අරලිය කියන නාට්‍යවල ඒ වසර හතරක් පමණ ගත වෙලත් ඒ චරිත මිනිස්සුන්ට මතකයි කියලා කියන්නේ ඒක මගේ වාසනාවක් මම විශ්වාස කරනවා තවමත් ශිරෝෂි රොමේෂිකා කියන චරිතය වටා හොඳ ප්‍රේක්ෂක කණ්ඩායමක් ඉන්නවා කියලා

කොහොමද ඔබේ මහත්තයාගෙන් ඔබේ කලාකටයුතු වලට ලැබෙන සහාය?

හොඳයි. වරදක් නැහැ.

ගෙවුණු කාලයේ ඔබ ටිකක් මහත්වෙලා?

ඒක නම් ඇත්ත. දැන් ආයෙත් ටිකක් කෙට්ටු වෙන්න ඕනේ.

ඔබ ඉතාම ජනප්‍රියත්වයට පත්වන්නේ ඩාන්සිං ස්ටාර් සිනමාපටය හරහා. ඔබට හිතෙන්නැද්ද ඉන් පසුව ඔබට සිනමාව මඟ හැරුණා කියලා?

අවංකවම කතා කරනවා නම් එහෙම වුණා. මට බොහෝ අවස්ථාවන්වලදී සිනමාව කියන මාධ්‍යය අතඇරුනා. මොන දේ පිළිබඳ කනගාටුවක් නැතත් ඒ දේ පිළිබඳ නම් මගේ හිතේ සන්තාපයක් තියෙනවා.

චමිත් ෂා අම්බලන්ගොඩ