හතර වරන් තිරගත වුණේ හොඳම කාලයේ...

නිෂ්පාදක සුමන දීප්ති ගුණරත්න
පෙබරවාරි 4, 2021

 

මං සිනමාපටයක් නිෂ්පාදනය කළේ කළේ ලාභයක් බලාගෙන නෙමෙයි. ඒ නිසා වියදම් වුණ මුදල පිය වුණා නම් ඇති කියලා මම හිතනවා.

සිංහල සිනමාවට නවක නිෂ්පාදකවරු පැමිණෙන්නේ ඉතා අල්ප වශයෙනි. ඊට හේතුව සිනමාව යනු පාඩු ලබන මාධ්‍යයක් යැයි ක්ෂේත්‍රය තුළ පවතින මතයක් හේතුවෙනි. මොන තත්ත්වයක් මත වුවද සිංහල චිත්‍රපට තැනීම අඛණ්ඩව සිදුවේ. එය එක්තරා අතකින් සතුටු දායක කරුණකි. මේ අතරතුරදී එක් චිත්‍රපටයක් තිරගත වෙද්දී තවත් සිනමාපටයක් නිර්මාණය කරන්නට සූදානම්වන නිෂ්පාදකවරයෙක් අපට හමුවිය. ඔහු නමින් සුමන දීප්ති ගුණරත්නයි. මේ දිනවල දී සිනමා ශාලා 50කට අධික සංඛ්‍යාවක තිරගත වන හතර වරන් සිනමාපටය ඔහුගේ නිෂ්පාදනයකි.

සුමන දීප්ති සන්සුන් නමින් තවත් සිනමාපටයක් නිර්මාණය කරන්නට ද සූදානමිනි. මෙම සිනමා සිනමාපට ද්විත්වයේම අධ්‍යක්ෂවරයා ජනප්‍රිය සිනමා නළුවෙකි. ඔහු නමින් චතුර පෙරේරාය. චතුර නැසීගිය රංගන ශිල්පියකු මෙන්ම සිනමා අධ්‍යක්ෂවරයෙකුද වන එල්. එම්. පෙරේරාගේ වැඩිමල් පුතණුවන්ය. සුමන දීප්ති අප සරසවියට කැඳෙව්වේ හතර වරන් සිනමාපටය පිළිබඳ මෙන්ම ඔහුගේ ඉදිරි නිර්මාණ ජීවිතය පිළිබඳ කතාබහක නියැළීමටත්ය.

 

අපි පළමුව කතා කරමු ඔබ සිනමා නිෂ්පාදනයට පිවිසෙන අන්දම ගැන?

ඇත්තටම සිනමා නිෂ්පාදකවරයෙකු වෙන්නට තුන් හිතකවත් අදහසක් තිබුණේ නැහැ. සිනමා ක්ෂේත්‍රයේ මම දන්න හඳුනන කිසි අයෙකු හිටියෙත් නැහැ. චතුර පෙරේරා මගේ බාල සහෝදරයාගේ මිත්‍රයෙක්. ඒ හිතවත්කම් මත මට ඔහු මුණගැසුණා. ඒ මොහොතේ කළ ඉල්ලීමකට අනුවයි මම චිත්‍රපට නිෂ්පාදනයට යොමු වුණේ.

 

ඔබ පළමුව හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් නිෂ්පාදනය කළේ ඇයි?

මම චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න තීරණය කළත් එය කුමන අන්දමේ සිනමාපටයක් ද කියන කාරණයට බලපෑමක් කළේ නැහැ. අධ්‍යක්ෂවරයාට රිසි සේ තමන්ගේ කැමති තේමාවක් යටතේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට මම ඉඩ දුන්නා.

 

ඔබ හිතනවද සිනමාපටය ප්‍රදර්ශනය වුණේ සුදුසුම කාලවකවානුවක කියලා?

ඇත්තටම මීට පෙර අවස්ථා දෙකකදී පමණ හතර වරන් සිනමාපටය රිලීස් කරන්නට අවස්ථාව උදා වුණා. නමුත් මේ කොරෝනා වසංගතය නිසා අපිට ඒ අවස්ථා දෙකම මගහැරුණා. නමුත් මේ කාලයත් වසංගතය යම්තාක් දුරකට පවතින සමයක්. කෙසේ වෙතත් මම හිතනවා තවත් කල් බල බල ඉන්නෙ නැතුව මේක මෙහෙම රිලීස් වුණ හොඳයි කියලා. මිනිස්සු මේ වෙලාවේ දැඩි පීඩනයකින් ඉන්නේ. මේ වගේ චිත්‍රපටයක් බලලා ඔවුන්ගේ මනස සැහැල්ලු වෙයි කියන විශ්වාසය අපිට තියනවා. මේ චිත්‍රපටය නරඹන්න එන්නත් කියලා මම මේ මොහොතේ දී ආරාධනා කරනවා.

සාමාන්‍යයෙන් චිත්‍රපටයක් නිර්මාණය කරනවට වැඩි අපහසුයි එය තිරගත කිරීම. කොහොමද ඒ තත්ත්වය ඔබට දැනුණේ?

මට චිත්‍රපට සංස්ථාවේ පිරිසගෙන් සහ මා වටා ඉන්න සියලු දෙනාගෙන් ඉතා හොඳ තල්ලුවක් ලැබුණා. විශේෂයෙන්ම ටියානස් ටෙක්ස්ටයිල් අජිත් ජයරත්න මහත්මයාවත් මතක් කරන්න ඕන. ඒ අයගේ උදව් නිසා මට චිත්‍රපටය ඉතා ඉක්මනින් නිර්මාණය කරන්නට මෙන්ම ප්‍රදර්ශනය කරන්නටත් අවස්ථාව සැලසුණා. ඒ උදව් මම කවදාවත් අමතක කරන්නේ නැහැ. අප රටේ චිත්‍රපට ප්‍රදර්ශනයේ දී යම් යම් කාරණා වෙනස් විය යුතුයි. විශේෂයෙන්ම යම් පිළිවෙළක් ඇතුව චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්ඩ ඕනේ. මම හිතනවා ඉදිරියේදී අපේම පිරිස් එකතු වෙලා මීට වඩා හොඳ පිළිවෙළක් හෝ ක්‍රමවේදයක් හදයි කියලා.

 

තවත් සිනමාපටයක් නිර්මාණය කරන්නට ඔබ දෙවතාවක් හිතුවේ නැද්ද?

චතුර පෙරේරා එක්කම තමයි ආයේ සිනමාපටයක් නිර්මාණය කරන්න ඉන්නේ. මං සිනමාපටයක් නිෂ්පාදනය කළේ ලාභයක් බලාගෙන නෙමෙයි. ඒ නිසා වියදම් වුණ මුදල පිය වුණානම් ඇති කියලා මම හිතනවා. තවත් චිත්‍රපටයක් කරන්නට හිතුණේ මං මේ කලාවට ඇති ආසාව නිසා. යෙදී තවත් හොඳ නිර්මාණ ගෙන එන්නට මම බලාපොරොත්තු වෙනවා.

 

හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්ද ඔබ නැවතත් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වන්නේ?

එහෙම එක තැනකට කොටු වෙලා නිර්මාණ කරනවාට වැඩිය වෙනස් විදිහේ නිර්මාණ කරන්න තමයි කැමති. ඊළඟට කරන්නෙත් මීට වඩා වෙනස් නිර්මාණයක් තමයි. ඒක හාස්‍යෝත්පාදක ද නැත්නම් වෙන තේමාවක් යටතේ ද කියන එක දැම්මම කියන එක හරි නැහැ කියලයි මට කියන්න තියෙන්නෙ.