මට දැන් ආයේ රඟපාන්න පුළුවන්...

වසර තුනක් එක්තැන්ව සිටිගාමිණී අම්බලන්ගොඩ සරසවියට කතා කරයි.
පෙබරවාරි 4, 2021

බින්දුවයි හතේ තුනයි හැට නවයයි අනූ අටයි බිංදුවයි අට අංකයට මම දුරකථන ඇමතුමක් ගත්තෙමි.

අනෙක් අන්තයෙන් එයට පිළිතුරු ලැබෙනු මට ඇසිණ.

මේ ගාමිණී අම්බලන්ගොඩ මහත්තයාද කතා කරන්නේ?

මම විමසුවෙමි

ඔව් කතා කරනවා.. කවුද මේ මහත්තයා

මම සරසවිය පත්තරේ ප්‍රසාද් කතා කරන්නේ...

මේ අපි දන්න ප්‍රසාද් නේද, වෙන ප්‍රසාද් කෙනෙක් නෙවෙයිනේ..

ගාමිණී අයියා එහා අන්තයේ සිට සිනාසෙමින් මගෙන් අසයි.

ඔයා දන්න කෙනා තමයි මේ කතා කරන්නේ..

ඉතින් ඉතින් කොහොමද ප්‍රසාද්?

ගාමිණි අයියාගේ සුපුරුදු ළෙංගතුකම එලෙසමය.

හොඳීන් ඉන්නවා... අයියේ ඔයාට දැන් කොහොමද?

මට දැන් ගොඩක් හොඳයිනේ...

ගාමිණී අයියාගේ සිනහ බර වුවන මට මැවී පෙනෙයි. ජනක් ප්‍රේමලාල්ගේ රජගහේ නාඩගම වේදිකා නාට්‍යයේ එන "කන්න දෙනව නම් අපට බොන්න දෙනව නම් මොන කෙංගෙඩියද තව ඕන කරන්නේ" ගීතය ගයමින් වේදිකාව දෙවනත් කළ අයුරුද සිහියට නැගෙයි. ජවසම්පන්නව සිටි වෘත්තීමය කලාකරුවෙක් වසර තුනක් එක් තැන්ව සිටීම ඔහුගේ කලා ජීවිතයට කොතරම් හානිදායක වන්නට ඇත්ද.. එය ඔහුට මිළ කළ නොහැකි පාඩුවකි. එමෙන්ම ගෙවී ගිය වසර තුන නැවත කෙසේවත් නොඑන නිසා ඒ කාලය අතරතුරදී ඔහුට ලැබෙන්නට තිබූ බොහෝ දෑ අහිමි වී යන්නට ඇති බවටද කිසිදු සැකයක් නැත. මේ අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ දුන්නේ අපේ ගාමිණී අම්බලන්ගොඩය. රුව දුටු පමණින් රටක් හඳුනාගත් ඔහු නළුවෙකු සහ ගායකයෙකු ලෙස වේදිකාවට, පුංචි තිරයට, රිදී තිරයට මෙන්ම ප්‍රසංග වේදිකාවටද නැතිවම බැරි චරිතයක් විය. අම්බලන්ගොඩ ප්‍රදේශයේ දිවි ගෙවූ ගාමිණී අම්බලන්ගොඩ අහිංසක කලාකරුවෙක් ලෙස ප්‍රකටය. සුපුරුදු කලා කටයුතුවල යෙදෙමින් සිටියදී නොසිතූවිරූ අන්දමින් අසනීප වන ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබා යළි නිවසට එන්නේ වම් පාදයේ වළලූකර තෙක් අහිමිවය... 

ගාමිණි අයියට මතකද එදා මොකද වුණේ කියලා?

මම ඔය කලා කටයුත්තකට යමින් හිටියේ. වෑන් එකේ දි මට ප්‍රෙෂර් වැඩි වෙලා ගාල්ලේ ඉස්පිරිතාලෙට ඇතුළත් කළා. ඊට පසුව ප්‍රතිකාර ලබා නිවසට ආවත් මට තේරුණා අසනීපය සියයට සියයක් හොඳ නැති බව. ඊට පස්සේ කරාපිටිය රෝහලට ඇතුළත් වෙලා ප්‍රතිකාර ගත්තා. ඔය අතරතුරදී තමයි මගේ කකුලේ ඇඟිලි තුනක් කපා ඉවත් කරන්න කරන්නේ ස්නායු වැඩ කරන්නේ නැහැ කියලා. අන්තිමේ ජීවිතය බේරගන්න ඕන නිසා කකුලේ වළලුකර තෙක් කපන්නට සිද්ධ වුණා.

වෘත්තිමය කලාකරුවෙක් විදිහට ඔබට එක්තැන් වන්නට සිදුවෙනවා?

ඒක තමයි මගේ ජීවිතේ මම ලබපු අමිහිරිම අත්දැකීම. විශේෂයෙන් වේදිකා නාට්‍ය ගණනාවක මං එතකොට රඟපාමින් හිටියේ. ටෙලි නාට්‍යය චිත්‍රපටි වගේ නෙමේ වේදිකාවේ අපි සක්‍රීයව එහෙ මෙහෙ දුව දුව ඉතාම යුහුසුලුව රංගන කටයුතුවල කටයුතු වල නියැළෙන්නට ඕනේ. ඒ වගේම කන්න දෙනව නම් බොන්න දෙනවා නම් ගීතය නිසා මට ප්‍රසංග වේදිකාවෙ ද හොඳ ඉල්ලුමක් තිබුණා. ඒ සියල්ලම නැති වුණා නැති වුණා මගේ මේ අසනීප වීමත් එක්ක.

දැන් කොහෙද ගාමිණි අයියා ඉන්නේ?

නුවර වත්තේගම ඇල්කඩුව කියන ප්‍රදේශයේ තමයි මම දැන් ජීවත් වෙන්නෙ. අයියාගේ දුව අපිව බලාගනවා. අපි කියලා කිව්වේ මමයි අක්කයි.

ආයේ රඟපාන්න එන්න පුළුවන් නේද දැන්?

ඇත්තෙන්ම ඔව්. ප්‍රවීණ රංගන ශිල්පී ලකී ඩයස් මහත්මයාගේ මැදිහත් වීමෙන් මට පාදයක් ලැබුණා. ඔහුගේ පෞද්ගලික වියදමින් මාව කොළඹ ගෙන ආවා. මට පාදයක් ලබා දීලා දවස් තුනක් විතර ඒක දාගෙන ඇවිදින්න ට්‍රේනින් එකකුත් කර ගන්නටත් ඔහු අවස්ථාව සලසා දුන්නා. දවස් කිහිපයකට පසුව මම නැවත ඇල්කඩුවේ යන්නේ සුපුරුදු පරිදි ඇවිදගෙන. එදා කොළඹින් පිටත් වෙන්න කලින් මාව බලාගත්තු ඒ පිරිස ඉස්සරහ කන්න දෙනව නම් බොන්න දෙනව නම් ගීතය ගායනා කරලා නටලා එහෙම තමයි මම එතැනින් පිටත් වුණේ.

කොළඹින් ටිකක් දුර බැහැර සිටීම ඔබ රංගන ගමන යළි පටන් ගැන්මට ටිකක් බාධාවක් නොවෙද? 

නැහැ. මගේ යාළුවෙක් ඉන්නවා කඩවත. ඒ වගේම තව කොළඹ ස්ථාන කිහිපයකත් මගේ යාළුවෝ ඉන්නවා. රංගන අවස්ථාවක් ලැබුණු ගමන් ඊට කලින් දවසේ මට ඇවිල්ලා කොළඹ නවතින්න පුළුවන්. එහෙම සැලසුමක් සකස් කරගෙන තමයි මම ඉන්නේ.

ඔබ දැන් බොහොම සතුටින් ඉන්න වගත් පේනවා?

ඇත්තෙන්ම ඔව්. හැමදාම දුක් වෙවී ඉඳලත් බැහැනේ. මට දැන් ඇවිදගෙන යන්න පුළුවන්. හැබැයි වැඩිය දුවන පනින වැඩ කරන්න බැහැ. මම හිතනවා මට ගැළපෙන චරිතවලට මගේ හිතවත් අය කතා කරයි කියලා. හැමදාමත් මෙහෙම ඉන්න බෑනේ. අනික මේ කකුලේ ප්‍රශ්නය ඇරෙන්න මට කිසිම අතුරු ආබාධයක් මට නෑ.

මේ වෙලාවේ විවාහ වෙලා හිටියා නම් හොඳයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

අපෝ නෑ. විවාහ වෙලා හිටිය නං ඒක තව කරදරයක් වෙයි.

ඔබ අසනීප වෙලා කියලා දැන ගත්තම යහළුවෝ මිත්‍රයෝ ගොඩක් කනගාටු වුණා?

ඇත්තටම ඔවුන් නිසා තමයි අද මම මෙහෙම සතුටින් ජීවත් වෙන්නේ. මොකද නිතර දෙවේලේ මට මට කතා කරමින් දුක සැප හොයා බැලුවා. ඒ හිතවත්කම මට බොහොම වටිනවා. කොයි වෙලාවත් මාව තනි කළේ නෑ.

එහෙනම් ගාමිණි අයියේ බොහොම ස්තූතියි මෙච්චර වෙලා අපිත් එක්ක කතා කළාට..

මම දුරකථන ඇමතුම නිමා කරන්නට පෙර ඔහුට එසේ පැවසුවෙමි.

ඔයාලටත් බොහොම ස්තූතියි.

සරසවියෙ සියලු දෙනාම මං මතක් කරා කියලා කියන්න.

එසේ කියමින් ගාමිණි අයියා අනෙක් අන්තයෙන් දුරකථනය දුරකතනය විසන්ධි කළේය.

ඔබට පුළුවන් ගාමිණී අම්බලන්ගොඩ දුක සැප හොයා බලන්න. මේ තමයි ඔහුගේ දුරකථන අංකය 0777699808.