සිංහල සිනමාවේ මේ සා දැවැන්ත බිඳ වැටීමක් සිදු වූ කාලයක් මට මතක නැහැ

ක්ෂීර සාගරය කැලඹිණ අරඹමින් මහාචාර්ය සුනිල් ආරියරත්න පවසයි
පෙබරවාරි 4, 2021

 

කාලයකට පසු යළිත් චිත්‍රපටවල මුහුරත් උලෙළ පටන් ගෙනය. හේබෑ වී ගිය සිංහල සිනමාව අළු ගසා දමා නැඟිටින සෙයක් පෙනෙන්ට තිබේ. මුහුණු කටවල් වසාගෙන ඈත් මෑත්ව සිටියත් රත්තනපිටිය හෝටල් පරිශ්‍රයට එකතු වූ අප සියලු දෙනාගේ දෑස්වල නව බලාපොරොත්තුවක සේයා දැල් වී තිබිණ. ඒ පසුගිය 21 වැනිදාය. ක්ෂීර සාගරය කලඹා අමුර්තයත් හලාහල විෂත් එකවර සොයා ගත්තා යැයි අසා ඇති අපට, කොරෝනාව නිසා හලාහල විෂ පෙවී අඩපණ වූවා සේ හුන් සිංහල කථානාද සිනමාව එහි 74 වැනි සංවත්සරය සමරන දාම අමූර්තයෙන් බිඳක් තොල ගා යළි පණනළ ගැසෙන්නට සලස්වන්නාක් මෙන් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය "ක්ෂීර සාගරය කැලඹිණ" සුබ මුහූර්තයෙන් ගිවිසුම්ගත කිරීම දැනෙන්නට විය. ඒ සරසවි අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහතාගේ තවත් දැවැන්ත නිෂ්පාදන කාර්යයක් ලෙසිනි. ඉන්ද්‍රජාලික යථාර්ථවාදී සිංහල නවකතාවේ නොමැකෙන සලකුණක් තැබූ ගත්කතුවරයකු මෙන්ම නාට්‍යවේදියකු, රංගන ශිල්පියකු වන සයිමන් නවගත්තේගමයන්ගේ ක්ෂීර සාගරය කැලඹිණ නමින්ම වූ නවකතාව ඇසුරින් සැකසෙන මේ දැවැන්ත නිර්මාණය පිළිබඳ මහැදුරු සුනිලුන් සමඟ මුහුරතින් පසු කළ සුහද කතාබහක සටහන මෙසේ සරසවිය පිටු අතරට එක් කරමි.

 

ක්ෂීර සාගරය කැලඹිණ ඇරඹුණු දා

 

 

 

මට එක්තරා සිනමා ශාලා හිමියකු කීවේ මේ විදිහට අපට දෙනවා නම් වැඩි ඉල්ලුමක් තිබෙන චිත්‍රපට අවම වශයෙන් සතියක් තිරගත කරන්න, අපට කිසිම කන්කෙඳීරි ගෑමකින් තොරව දහදොළොස් දෙනකු සඳහා ප්‍රේක්ෂාගාරයක් සහිත සිංහල චිත්‍රපට වුවත් ප්‍රදර්ශනය කරන්න පුළුවන් කියලා. මම හිතනවා එය ඉතාම හොඳ යෝජනාවක් කියලා. අපට කලින් තිබුණේ මේ වැනි චිත්‍රපට ආවාම රාත්‍රී 10.00 දර්ශන සහ පාන්දර 2.00 දර්ශන සකසා දීම. ඒත් මම පෞද්ගලිකව යෝජනා කරනවා මේ මාස්ටර් චිත්‍රපටය පූර්වාදර්ශයට අරගෙන මොනයම් වෙලාවක හෝ එබඳු චිත්‍රපටයක් ප්‍රදර්ශනයට ලැබුණොත් සතියක කාලයක් කොන්දේසි විරහිතව චිත්‍රපටය ප්‍රදර්ශනයට අවස්ථාව දෙන්න කියලා.

 

සර්, මේ කාලේ චිත්‍රපටයක් පටන් ගන්නවා කියන්නෙම ලොකු අවදානමක්?

ඔව්. සිංහල සිනමාවේ මේ සා දැවැන්ත බිඳ වැටීමක් සිදු වූ කාලයක් මට මතක නැහැ. විවිධ කාලවකවානුවල සිංහල සිනමාවේ බිඳවැටීම් සිදු වූ අවස්ථා තිබුණා. මෑත අතීතයේ පාස්කු ප්‍රහාරය එයින් එකක්. ඒ බිඳ වැටුණු මොහොතෙත් අපි කොහොම හරි ඔළුව ඉස්සුවා. මමත් මගේ නිෂ්පාදක එච්.ඩී. ප්‍රේමසිරි මහත්මයත් අතිශයින් සතුටු වෙනවා සිනමාව බිඳවැටුණු මොහොතක විජයබා කොල්ලය වැනි චිත්‍රපටයක් මුදා හරින්න හැකි වීම ගැන. සිනමා ශාලා 80ක එය පෙන්වන්න පුළුවන් වුණේ එය කවුරුවත් තමන්ගේ චිත්‍රපට මුදාහරින්න ඉදිරිපත් නොවුණු මොහොතක් වුණ නිසා. අපි එයින් විපුල ඵල නෙළා ගත්තා. වර්ෂයේ වැඩිම ආදායම් ලද චිත්‍රපටය හැටියට පීපල්සි අවෝඩ් එක ලැබුණා. ඒක අපි කළ පිංකමට ලැබුණු ප්‍රතිලාභයක් කියලත් හිතෙනවා. ඉන්පසු සිනමාව පුනර්ජනනයක් සිදු වුණා වගේ සාර්ථකව චිත්‍රපට ප්‍රදර්ශනය වන්න පටන් ගත්තා.

ඉන්පසු මේ කොරෝනා උවදුර සිදු වන විට ඉතාම ආකර්ෂණීය චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය වෙමින් පැවතුණා. එකක් ආචාර්ය සෝමරත්න දිසානායකගේ 'සුනාමි' චිත්‍රපටය සහ කල්පන ආරියරත්න සහ වින්දන ආරියරත්න දෙසොහොයුරන්ගේ 'රූකඩ පැංචි' චිත්‍රපටය. මේ චිත්‍රපටවලට ඉතාම හොඳ ස්ථාවරයක් සිනමා ශාලාවල ගොඩනැඟෙමින් තිබියදී තමයි කොරෝනා උවදුර ඇතිවන්නේ. අවදානම්සහගත සහ සිංහල සිනමාව අකර්මණ්‍ය වී ඇති වෙලාවක තමයි මේ අපි මේ 'ක්ෂීර සාගරය කැලඹිණ' චිත්‍රපටයත් පටන් ගන්නේ. ඇත්තටම මේ මොහොතේ සිනමා ශාලා හිමියන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය, නිෂ්පාදකවරුන්ගේ සංගමය, සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට ආදින් සමඟ විවිධ සාකච්ඡා පවත්වාගෙන ගියා. එහි ප්‍රතිඵලයක් හැටියට යම් යම් සාධනීය ප්‍රතිඵල සිංහල සිනමාවට ලැබුණා.

සිනමා ශාලා විවෘත කිරීමට අවකාශ ලැබීම ඉන් එකක්. 25% ක ධාරිතාවකින් චිත්‍රපට ප්‍රදර්ශනය අරඹා පසුව එය 50% දක්වා වැඩි කළා. ඒ අතර 'මාස්ටර්' දෙමළ චිත්‍රපටය පෙන්වීමෙන් සියලුම සිනමා ශාලා හිමියන්ට සැනසුම් සුසුමක් හෙළන්න පුළුවන් වුණා. මට එක්තරා සිනමා ශාලා හිමියකු කීවේ මේ විදිහට අපට දෙනවා නම් වැඩි ඉල්ලුමක් තිබෙන චිත්‍රපට අවම වශයෙන් සතියක් තිරගත කරන්න, අපට කිසිම කන්කෙඳීරි ගෑමකින් තොරව දහදොළොස් දෙනකුගේ ප්‍රේක්ෂාගාරයක් සහිත සිංහල චිත්‍රපට වුවත් ප්‍රදර්ශනය කරන්න පුළුවන් කියලා. මම හිතනවා එය ඉතාම හොඳ යෝජනාවක් කියලා. අපට කලින් තිබුණේ මේ වැනි චිත්‍රපට ආවාම රාත්‍රී 10.00 දර්ශන සහ පාන්දර 2.00 දර්ශන සකසා දීම. ඒත් මම පෞද්ගලිකව යෝජනා කරනවා මේ මාස්ටර් චිත්‍රපටය පූර්වාදර්ශයට අරගෙන මොනයම් වෙලාවක හෝ එබඳු චිත්‍රපටයක් ප්‍රදර්ශනයට ලැබුණොත් සතියක කාලයක් කොන්දේසි විරහිතව චිත්‍රපටය ප්‍රදර්ශනයට අවස්ථාව දෙන්න කියලා. එතකොට කන්කෙඳීරි ගෑමකින් තොරව සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයට සිනමා ශාලා හිමියන් බැඳී සිටිනවා වගේම ඔවුන් මේ මොහොතේ ඒ යෝජනාව ඉදිරිපත් කරනවා.

 

ජනවාරි පළමුවැනිදා ඉඳන් සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමත් ඇරඹුණානේ?

සිනමා ශාලා හිමියන් මට කීවේ සුසිරන් ද සිල්වාගේ 'මිස් ජෙනිස්' චිත්‍රපටය සඳහා පැමිණෙන ප්‍රේක්ෂක සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා වගේම දුරකථන මාර්ගයෙන් ආසන වෙන්කිරීමත් ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවක්. එය ඉතා හොඳ ප්‍රවණතාවක්. නිවෙස්වලට වෙලා දැඩි පීඩනයකින් පසුවුණු ප්‍රේක්ෂකයන්ට සිංහල සිනමාව නැරඹීමේ අවස්ථාව දැන් තිබෙනවා. ඇත්තම කීවොත් මේ සිනමා මණ්ඩල අපට කිවේ සිංහල සිනමාව නැතිව සිනමා ශාලා පවත්වාගෙන යන්න බැහැ කියලා. ඒකට හේතුව කොළඹ කෙසේ වෙතත් කොළඹින් පිට සෑම සිනමා ශාලාවකම පැවැත්ම තිබෙන්නේ සිංහල චිත්‍රපට මත. කලාත්මක හෝ වාණිජ වශයෙන් වේවා කවරාකාරයෙන් වුවත් සිංහල චිත්‍රපට ප්‍රාදේශීය සිනමාශාලාවලට අවශ්‍යයි. ඒ අතර ජයන්ත චන්ද්‍රසිරි විසින් කරන ලද අපූරු යෝජනාවක් සංස්කෘතික ලේකම් අභිමුවදී මට අසන්නට ලැබුණා. 

ජයන්ත කීවේ අවුරුදු දෙකක කාලයක් සඳහා කොන්දේසි විරහිතව සිංහල චිත්‍රපට පෙන්වන ශාලාවල ආකර්ෂණීය චිත්‍රපට 25ක් ප්‍රදර්ශනය කළ යුතුයි කියලා. 'ආකර්ෂණීය' යන වචනය යෙදීමෙන් ඒ චිත්‍රපට මොනවාද යන්න පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. සිනමා ශාලා හිමියන් සමඟ සාකච්ඡා කරලා දැනට ලොකු ගැටලුවක්ව තිබෙන සිනමා මණ්ඩලවල සියයට 10 ක ගෙවීම සම්බන්ධව කතා කරලා එහි යම් අඩු කිරීමක එකඟතාවකට පැමිණ චිත්‍රපට 25ක් පෙන්වූවොත් සිංහල සිනමාව නැවත ගොඩ ගන්න පුළුවන්. එය ඉතාම කාලෝචිත යෝජනාවක් කියා මම සිතනවා. රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමත වුණු අලුත් චිත්‍රපට 80ක් පමණ තිබෙනවා. ඒ අතරින් ආකර්ෂණීය චිත්‍රපට තෝරාගත යුතුයි. ඒවා තෝරන්නේ කවුද? කෙසේද කියන ප්‍රශ්නය නම් ඉතිරිව තිබෙනවා.

 

සිනමාවට තවත් සහන කීපයකුත් ලැබෙන බවයි ආරංචිය?

මේ මොහොතේ මළ ගිය ප්‍රාණ කරුවකු වැනි සිනමා කර්මාන්තයට අගමැතිතුමා නැවත බදු සහන දීමට තීරණය කිරීම ජීවය එන්නත් කිරීමක් වගේ. අවුරුදු දෙකක කාල සීමාවකට යටත්ව සිනමා ශාලා විනෝද බද්දෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම, විදුලි බිල පිළිබඳ සලකා බැලීමටත් ඩලස් අලහප්පෙරුම වැනි කලාවට හිතැති ඇමතිවරයෙක් අමාත්‍යාංශය බාරව සිටීම ඉතා වැදගත්. සිනමා ශාලාහිමියන් ඉල්ලා සිටින්නේ තමන් කර්මාන්තකරුවන් ලෙස ගෙන විදුලිබිලට සහනය දෙන්න කියන කරුණයි. එහෙම වුණොත් අපට මුලින්ම තිබෙන්නේ මේ සිනමා ශාලා හිමියන් ගලවා ගැනීම. නිෂ්පාදකවරුන් ගලවා ගැනීම, මණ්ඩලවලට ගෙවන ප්‍රතිශතය අඩු කිරීම පැහැදිලිවම විය යුතුයි. මෙහෙම ගියොත් අපට සිංහල සිනමාව ගලවා ගැනීමට පුළුවන් වෙනවා.

 

ඔබ මෙවරත් අත ගසන්නේ දැවැන්ත නිර්මාණයකට?

මෙයත්, යශෝධරා, කදිර දිව්‍යරාජ, විජයබා කොල්ලය වගේම දැවැන්ත චිත්‍රපටයක්. මම කුසපබා චිත්‍රපටයෙන් පසු පෙලඹිලා තිබෙන්නේ දැවැන්ත චිත්‍රපටවලට අතහසන්න. (සිනා සී) කුසපබා සිට මේ දක්වා චිත්‍රපට ලබාගෙන තිබෙන වාණිජමය සාර්ථකත්වය නිසා නිෂ්පාදකවරු හිතනවා මම කෙසේ හෝ ඔවුන් ගොඩදායි කියලා.

මේ චිත්‍රපටයත් ඔබ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි එකක්?

ඩබ්ලියු ඒ සිල්වා‌ගේ මම කැමතිම නවකතාව විජය බා කොල්ලය. මට ඒ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වුණේ විජයබා කොල්ලයේ නෛතික අයිතිය ලබාගෙන තිබුණු ආචාර්ය බුද්ධි කීර්තිසේන සහ ඔහුගේ පුත් බූඩි කීර්තිසේන යන පියපුතු දෙපළ ඒ සඳහා අවසරය ලබා දුන් නිසා. මම එය සඳහන් කළේ ක්ෂීර සාගරය කැලඹිණ සඳහාත් පසුබිම් කතාව එබඳු නිසා. සයිමන් නවගත්තේගමගේ විශිෂ්ටතම නව කතාව කුමක්ද ඇහුවොත් බොහෝ දෙනා බොහෝ කතා කියයි. ඒත් මම කැමතිම ඔහුගේ නව කතාව ක්ෂීර සාගරය කැලඹිණ. එම නවකතාව මුද්‍රණය වූ 1989 අගෝස්තු මාසයේම මට සයිමන් ඔහුගේ අස්සනින් යුතුව පිටපතක් ලබා දෙමින් කීවා. "මම චිත්‍රපටයක් සඳහා ලියූ තිරනාටකයක් මේක. කවුරුවත් එය චිත්‍රපටයක් සඳහා තෝරා නොගත් නිසා මම එය නවකතාවක් බවට පත් කළා. 

මේ එහි පිටපතක් මම ඔබට ප්‍රදානය කරන්නේ" (එසේ කියමින් මහැදුරුතුමා කතුවරයාගේ අස්සන සහිත පිටපත මට පෙන්වීය) ඇත්තටම ඒ වෙලාවේ ඔහු කියූ දේ යටිපෙළ මට තේරුණේ නැහැ. ඒ වෙද්දි 1978 සිට මගේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම අරඹා තිබුණේ. පසු කාලයක මම චිත්‍රපටයක් සඳහා නවකතාවක් සොයද්දි මගේ ඔළුවට ආවේ මේ ක්ෂීර සාගරය කැලඹිණ. ඒත් සයිමන් ජීවතුන් අතර සිටියදීම එහි නෛතික අයිතිය ලබාගෙන තිබුණේ ආනන්ද අබේනායක. ඒ අතර පරාක්‍රම නිරිඇල්ල, රංජිත් කුරුප්පු වැනි බොහෝ දෙනා ක්ෂීර සාගරය සිනමාවට නඟන්න උත්සාහ කරමින් සිටියා. ඒත් ඒ සියලු උත්සාහයන් ව්‍යාර්ථ වුණේ ආනන්ද මෙහි අයිතිය ලබා තිබූ නිසා. (සිනාසෙමින්) මම ආනන්දට හමුවන හමුවන වාරයක් පාසා ඔහුට කරදරයක් වන තරමටම කීවා ඔබ යම් දවසක මෙය නොකරනවා නම් මට දෙන්න කියලා. ඔහු මට කීවා "මම කවදා හෝ මේ නවකතාවෙන් චිත්‍රපටයක් කරන්නේ නෑ කියලා තීරණය කළොත් ඔබටම තමයි පිටපත දෙන්නේ" කියලා. ඔහු ඒ ප්‍රතිඥාව ඉටු කළා. මම ඒ අයිතිය ලබා ගත්තේ විජයබා කොල්ලය කරමින් සිටි කාලයේමයි. පසු කාලීනව මේ පණිවිඩය ඒ.ඩී. රන්ජිත් කුමාර මහත්මයාගෙන් දැනගත් එච්. ඩී. ප්‍රේමසිරි මහත්මයා යෝජනා කළා අපි මේ ක්ෂීර සාගරය කැලඹිණ නිෂ්පාදනය කරමු කියලා.

 

ඒකත් මේ කාලේම?

ඔව්. මමත් විස්මයට පත් වුණා කෝවිඩ් වසංගතය පවතින මේ සමයේ මෙවැනි දැවැන්ත නිර්මාණයක් කිරීමට ඔහු යෝජනා කිරීම සම්බන්ධව. ඒ විතරක් නෙවෙයි ඔහුට ඊඒපී සමාගම විජයබා කොල්ලය වෙනුවෙන් ලක්ෂ 150ක් ගෙවන්න තිබියදී, ඔහු මුදල් ආයෝජනය කළ ප්‍රසන්න විතානගේ ගේ ගාඩි චිත්‍රපටය සහ මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ සහෝ චිත්‍රපටය තිරගතවීමට තිබියදී, ඒ වගේම ඔහු ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ රවීන්ද්‍ර ගුරුගේ සමඟ නිෂ්පාදනය කළ “ද නිවුස්පේපර්” චිත්‍රපටයෙන් තඹ දොයිතුවක්වත් ඊඒපී සමාගම නොගෙවා තිබියදී මෙවැනි යෝජනාවක් ගෙන ඒම පිළිබඳවයි මම විස්මයට පත් වුණේ. ඒ්ත් සිංහල සිනමාවේ නාමයෙන් ඔහු මේ චිත්‍රපටයත් කිරීමට ඉදිරිපත් වුණා.

 

සයිමන් නවගත්තේගමයන්ගේ බොහෝ කතා යථාවෙන් බොහෝ ඈතයි?

ඇත්ත. මෙය මම අතගැසූ ඉතාම බැරෑරුම් සිනමා නිර්මාණයක්. සයිමන්ගේ මේ නවකතාවත් ඉන්ද්‍රජාල යථාර්ථවාදය අනුව රචිත නවකතාවක් වගේම දේශපාලන තේමාවක් යටතේ ලියැවුණක්. මෙය අරුමැසි නිර්මාණයක්. මේ නිර්මාණයේ නිශ්චිත කාලයක්, දේශයක් නෑ. චරිතවලට නිශ්චිත නම්ගම් නෑ. මෙහි ඉන්නේ අධිරාජයා, දැරිය, කැරලිකාරයා, පුරම්භිකාව වැනි නම්වලින් යුතු චරිත කීපයක්. මෙහි තිරනාටකය රචනා කිරීමේ වගකීම පැවරුවේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ජැක්සන් ඇන්තනිට. අපි සාකච්ඡා වට හතරක් පවත්වලා තමයි අවසාන තිර රචනයට එලැඹුණේ. මෙහි කැරලිකාරයා ලෙස හේමාල් රණසිංහ, පුරම්භිකාව ලෙස උදාරි වර්ණකුලසූරිය සහ හිරිමලා ලෙස රවීන් කණිෂ්ක නමැති ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය නළුවා. ඒ වගේම දැරිය නමින් හැඳීන්වෙන ආකර්ෂණීය චරිතය සඳහා හරිණි කාව්‍යාංජලී නමැති අලුත් තරුණ නිළියක් හදුන්වා දෙනවා.

අපි රූපගත කිරීම් කරන්න බලාපොරොත්තු වෙන්නේ අප්‍රේල් මාසේ අවසානයේදී. ඒ වෙද්දි දෙවියන්ගේ පිහිටෙන් මේ කොරෝනා උවදුර යම්තාක් දුරකට යටපත් වෙලා, රුසියාව කියන සියයට සියයක් සාර්ථක එන්නත ලැබිලා, මේ රට යම්තාක් දුරකට හෝ සුවපත් දේශයක් බවට පත්වෙලා තිබෙයි කියලා විශ්වාස කරනවා.

 

යථාර්ථවාදී සිනමා නිර්මාණ කළ ඔබටත් මෙය වෙනස් අත්දැකීමක් වෙයි?

ඒ අභියෝග සියල්ලම තිබෙන්නේ පිටපතේ. මෙහි සමස්ත කතන්දරය ගොඩනැඟෙන්නේ යථාර්ථයත් ස්වප්නයත් අතර දෝලනය වෙමින්. අපට ඇඳුම් පැලඳුම් ලංකාවේ විදිහට ගේන්න බැහැ. සංගීතය ලංකාව හෝ ඉන්දියාවවත් පසුබිම් කරගන්න බැහැ. නර්ථනය ආදි සියලු අනුශාංගිකාංග මෙතෙක් අප අනුගමනය කළ තැන්වලින් වෙනත් තැනකට ගෙනයන්න වෙනවා. මෙහි සටන් පවා එහෙමයි. නවකතාවේ සයිමන්ම ලියා තිබෙන විදිහට වරෙක කැරලිකාරයා අහනවා මොකක්ද මේ සටන් ක්‍රමය කියලා. ඔහුම විග්‍රහ කරනවා එක්තරා සටන් ක්‍රමයක්. ඉතින් අපට සොයාගෙන යන්න වෙනවා ඒ සටන් ක්‍රමය කොහෙද තියෙන්නේ කියලා. අපට අනෙක් දේ සඳහාත් ඒ වගේ නව ඉසව් සොයාගෙන යන්න වෙනවා. ප්‍රෙක්ෂකයාගේ වින්දනයත් වෙනම ඉසව්වකට මෙයින් ගෙනයන්න වෙනවා. ඒ නිසා අප ඉන්නේ බොහොම අවදානම් කලාපයක මේ චිත්‍රපටයෙදි. අපට හරියටම අහුලාගන්න වෙනවා මේ සියලු අනුශාංගිකාංග වෙනස් කළ යුත්තේ කෙසේද කියලා. එහෙත් රංගනය යථාර්ථවාදී ස්වභාවයෙන් ඔබ්බට යන්න බලාපොරොත්තු වන්නේ නැහැ විකාරරූපී රංගනයක් විය හැකි නිසා. ඒ හැරුණාම පරිසරය ඇතුළු අනෙකුත් දේවලින් තමයි එය මවා ගන්නේ.

 

ඔබ කාලයක් මා සමඟම ලිපිවලදි කීවා ටෙලි නාට්‍ය නළු නිළියන් චිත්‍රපටවලට යොදා ගන්නේ නැහැ කියලා?

කදිර දිව්‍යරාජ දක්වාත් ඒ අදහසේ ඉන්න පුළුවන්කම තිබුණත් අද වනවිට නළුවන් හෝ නිළියන් කිසිවෙක් ටෙලිනාට්‍යවල රඟ නොපාන අය නැහැ. ඉතින් අපට සිදුවෙලා තිබෙනවා ඒ අතරින් දක්ෂයන් අහුලා තෝරා ගන්න. ටෙලිනාට්‍යවල අය ගත්තාම ප්‍රශ්නයක් වනවා කියන අදහසත් ඇත්තටම ඉවත් කරන්න සිදුවෙලා තිබෙනවා.

රවීන් කණිෂ්ක මම මුලින් අත්හදා බැලුවේ කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ ගායකයකු ලෙස. මම විශ්වාස කරනවා ඇත්තටම ඔහු විශිෂ්ට ගණයේ ගායකයකු කියලා. මම ඔහුගේ ටෙලි නාට්‍ය දිහා බලද්දි තේරුණා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන් ඔහුගෙන් ගන්නවාට වඩා ප්‍රයෝජනයක් ගත හැකි දක්ෂතා ඔහු සතුයි කියලා.

සරසවිය ඔබට සුබපතනවා මේ මොහොතේ අභියෝගය බාර ගැනීම සම්බන්ධව?

ස්තූතියි. අපි මතෙක් අභියෝගවලට මුහුණ දුන්නා, ඒවා ජයගත්තා. මෙවරත් මට ඉතා හොඳ තාක්ෂණික කණ්ඩායමක් සහ නළුනිළි පිරිසක් ලැබී තිබෙනවා. මම කිසිම පෞද්ගලික දැනහැඳුණුම්කම්, යාළුමිත්‍රකම්, ඥාතිමිත්‍රාදී සබඳතා කිසිවක් සලකන්නේ නැහැ නළුවරණයේදී සහ කාර්මික ශිල්පීන් තෝරද්දි. ඊට උචිතම පුද්ගලයා තෝරාගන්නවා හැර. ඒ නිසා ඔබ කීවා වගේම මෙවන් මොහොතක සිංහල සිනමාව වෙනුවෙන් මේ අභියෝගයත් ජයගන්න පුළුවන් කියා මම දැඩි සේ විශ්වාස කරනවා.