මගේ සිහින චිත්‍රපටය තවම නිර්මාණය කරන්න බැරි වුණා

“ආලේ කොරෝනා” සිනමාපටයේ අධ්‍යක්ෂ සංජය නිර්මාල්
පෙබරවාරි 4, 2021

මම ලෝ බජට් කියලා කිව්වේ අපි අඩු පිරිවැයකින් නිර්මාණය කළා කියන එක නෙමෙයි. මේකට වැයවෙන නියමිත මුදල වැය කරලා තමයි මේ චිත්‍රපටය හැදුවේ. ලක්ෂ සීයක චිත්‍රපටයක් ලක්ෂ තිහකින් කරනවා නම් අන්න එතන ලෝ බජට් කියලා කියන්න පුළුවන. අපි එහෙම ඉහළ මුදලකට ප්ලෑන් කරලා අඩු මුදලකින් කළේ නෑ.

 

චිත්‍රපට තිරගත කරන්නට ඕනෑතරම් ඉඩ ඇතත් චිත්‍රපටකරුවන් තමන් සතු සිනමාපටය ප්‍රදර්ශනය නොකොට ඊට නියමිත වූ කාලයක් එනතුරු බලා සිටින යුගයකි මේ ගෙවෙන්නේ. එයට ප්‍රධානතම හේතුව වන්නේ කොරෝනා වසංගතයයි. සිනමාශාලාව යනු සෙනඟඟ එක්රැස් වන තැනක් බැවිනි වරින් වර ඒවා වසා දමනු ලැබුවේ ජනතාවගේම ආරක්ෂාව හේතුවෙනි. නමුත් ඉකුත් ජනවාරි පළමු වැනිදා සිට යළි සිනමාශාලා විවෘත කරනු ලැබුවේ මෙරට අනෙකුත් අංශයන්හි වැඩකටයුතු ක්‍රම ක්‍රමයෙන් ආරම්භ කළ බැවිනි. කෙසේ වුවත් සිනමාශාලාවන්හි දොරගුළු හැරියද සිනමාපට එළිදැක්වීම මන්දගාමීව සිදුවන බවක් පෙනෙන්නට තිබේ.

ඒ තවමත් හරිහැටි ජනතාව චිත්‍රපට බලන්නට නොඑන බවට විශ්වාසයකින් සිනමාකරුවන් පසුවන නිසාය. මේ තත්ත්වය මත වුවද පසුගියදා සිනමාපටයක් තිරගතවීම ආරම්භ විය. ආලේ කොරෝනා නමැති එය සංජය නිර්මාල්ගේ අධ්‍යක්ෂණයකි. ආලේ කොරෝනා යූ. ඒ. පල්ලියගුරු නිෂ්පාදනය කොට තිබේ. මෙවන් වූ කාල වකවානුවක සිනමාපටයක් ප්‍රදර්ශනය කිරීම කෙබඳු අත්දැකීමක්දැයි අපි සංජය නිර්මාල්ගෙන් විමසුවෙමි. එයට පිළිතුරු ලබා දෙන ගමන් ඔහු වැඩිදුරටත් තම සිනමාපටය ගැන මේ අන්දමින් අදහස් දැක්විය.

 

ආලේ කොරෝනා රූප රාමුවක්

 

 

සංජය, ඔබ හිතනවාද ආලේ කොරෝනා චිත්‍රපටය තිරගත වුණේ සුදුසුම කාලේ කියලා?

සිනමාපටය ගලායන්නේ ලොක්ඩවුන් සීසන් එකේදි නිවෙසක කොටුවූ අනියම් යුවළකගේ අත්දැකීම් සමුදායක් ඔස්සේ. ඇත්තටම ඒ වගේ අනන්තවත් කතාන්දර මෙරට වගේම ලෝකය තුළත් තියෙන්නට ඇති. මේ ගෙවී යන්නේ සැරින් සැරේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ලොක්ඩවුන් වෙමින් සහ යළි විවෘත වෙමින් යන සමයක්නේ. ඒ නිසා මට හිතෙනවා මිනිස්සුන්ට මේ කතාව ගැන ෆීල් වීමක් තියෙයි කියලා. ඒ නිසා තව කාලයක් බලාගෙන ඉන්න නැතුව අපි හිතුවා මේක ප්‍රදර්ශනය කරලා බලමු කියලා.

 

ඔබට මේ සිනමාපටය ගැන ප්‍රතිචාර එහෙම ලැබෙනවද?

ඔබ මගෙන් ඇහුවොත් ආලේ කොරෝනා සිනමාපටය සාර්ථකව තිරගත වෙනවද කියලා මම දෙන උත්තරේ ඔව් කියන එක. මොකද මට සිනමාපටය බලපු ගොඩාක් අය දුරකථනය හරහා ප්‍රතිචාර ලබා දුන්නා. ඇත්තටම මම හිතුවෙත් නැහැ පිරිසක් මට කතා කරලා චිත්‍රපටය ගුණ දොස් කියයි කියලා. ඒ ඇමතුම් එක්ක මට හිතෙනවා සැලකිය යුතු ප්‍රමාණයක් සිනමාපටය නරඹලා තියෙනවා කියලා. එතකොට හිතෙන්නේ අපි රිස්ක් එකක් අරන් සිනමාපටය ප්‍රදර්ශනය කරපු එක හොඳයි කියලා.

 

ආලේ කොරෝනා වැඩිහිටියන්ට පමණක් සීමා වෙච්ච සිනමාපටයක් නේද?

ඔව්.

 

මේ ඔබේ කී වැනි සිනමා නිර්මාණයද?

මේ මගේ නිර්මාණ ජීවිතයේ හය වැනි චිත්‍රපටය. සමාරා, රෝස කැලේ, ස්වර, ජුලි හතයි, ජුසේවාස් තමයි මම මීට කලින් නිර්මාණය කරපු චිත්‍රපට.

 

ආලේ කොරෝනා සිනමාපටය නිර්මාණය කරන්න ඔබට ආරාධනා ලැබෙන්නේ කොහොමද?

ඒ ආරාධනාව ලැබෙන්නේ යූ. ඒ. පල්ලියගුරු කියන නිෂ්පාදකවරයාගෙන්. අපේ පොඩි පර්යේෂණාත්මක මට්ටමේ සිනමාපටයක් කරමු කියලා තමයි කතා කළේ. අඩු දින ගණනකදී අඩු බජට් එකක් යටතේ තමයි මෙහි සියලු වැඩ අපි සැලසුම් කෙරුවේ. දින තුනක් ඇතුළත රූපගත කිරීම් නිමකළා. ලොක්ඩවුන් සීසන් එකේ දී හිර වෙච්ච ඒ යුවළ මුහුණදෙන ආර්ථික පසුබිමත් එක්ක අපි මෙහි යම් කිසි දේශපාලනයකුත් කතා කරනවා.

 

සංසාරාරණ්‍ය අසබඩ වැනි ගුණාත්මක ගණයේ ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කළ ඔබ ලෝ බජට් සිනමාපට නිර්මාණය කරන්නට පෙලඹෙන්නෙ ඇයි?

මම ලෝ බජට් කියලා කිව්වේ අපි අඩු පිරිවැයකින් නිර්මාණය කළා කියන එක නෙමෙයි. මේකට වැයවෙන නියමිත මුදල වැය කරලා තමයි මේ චිත්‍රපටය හැදුවේ. ලක්ෂ සීයක චිත්‍රපටයක් ලක්ෂ තිහකින් කරනවා නම් අන්න එතන ලෝ බජට් කියලා කියන්න පුළුවන්. අපි එහෙම ඉහළ මුදලකට ප්ලෑන් කරලා අඩු මුදලකින් කළේ නෑ. මම කලින් කිව්වා වගේ මේකට අපි වියදම් කළේ හරියටම වැයකළ යුතු සහ සිනමාපටය වෙනුවෙන් වැය කළ යුතු අවශ්‍ය මුදල.

 

ඇයි ඔබට බැරි ඔබ ටෙලි නාට්‍ය නිර්මාණය කරන විදිහට සිනමාව පැත්තෙන් නිර්මාණකරණයේ යෙදෙන්න?

ලංකාවේ දැනට තියෙන තත්ත්වේ එක්ක ලොකු ගාණක් නිෂ්පාදකවරයෙක් ලවා වියදම් කරවලා එහි මුදල යළි පියවන්න ටිකක් අමාරුයි. මොකද චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ප්‍රතිශතයත් එක්ක බලද්දි සිනමා නිෂ්පාදකවරයෙකු ලාභයක් ලැබෙයිද කියලා පොඩි සැකයක් තියෙනවා. නමුත් මේ ක්‍රමය දැන් දැන් වෙනස් වෙමින් පවතිනවා. චිත්‍රපට ප්‍රදර්ශනයෙන්ම පමණක් නොව නිෂ්පාදක අරමුදල් ලැබෙන ක්‍රමෝපායන් ඕන තරම් තියෙනවානේ.

ටෙලිනාට්‍යවලදී ඔබට ලැබෙන්නට නියමිත වූ මිල ඔබට ලැබුණද?

අනිවාර්යනේම ලැබුණා. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම අයි. ටී. එන්. රූපවාහිනි නාළිකාව. ඔවුන් මට මගේ නිර්මාණ සඳහා දෙන්න ඕන උපරිම මිල ලබා දුන්නා.

 

ටෙලි අධ්‍යක්ෂවරයෙක් විදියට ඔබ තෘප්තිමත් වුණත් සිනමා අධ්‍යක්ෂවරයා විදිහට ඔබ තෘප්තිමත් නැහැ නේද?

ඇත්තෙන්ම ඔව්. මගේ සිහිනයේ තියෙන චිත්‍රපටය නිර්මාණය කරන්න මට තවම බැරි වුණා. යම් කිසි සීමාවක හිර වෙලා තමයි මම මෙතෙක් කරපු සිනමා නිර්මාණය ඉදිරිපත් කළේ. එතනින් එහාට ගිහිල්ලා මම සිනමාව පැත්තෙන් දෙයක් ඉදිරියේදී ගෙන එන්නට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.