අමරදේවයන් ඇසුරෙහි අඩ සිය වසක අත්දැකීම් ගැනයි මේ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර
පෙබරවාරි 4, 2021

 

කුරිරු දුක්බර අඳුරු ලෝකෙක

මතක අමතක කර දමන්නට

අඳුරු දිය කුස පහන් දල්වන

ඔබේ ගී හඬ ඇසේ අදටත්

මේ පණ්ඩිත් අමරදේවයන් පිළිබඳ ලියැවුණු ලිපි එකතුවකින් සැදුණු පොතක නමකි. එහි කතුවරයාගේ රුව මෑත අතීතයේ ඔබට වඩාත් හුරුවූයේ දිනපතා පුවත්පත්වල තොරතුරු ගෙනා මුල්පිටුවෙන් විය හැකිය. එහෙත් ඔහුගේ බන්දුල පද්මකුමාර නාමය රට හඳුනන්නේ වසර හතළිහකටත් පෙර සිට බව අමුතුවෙන් කිව යුතු නොවේ. වරෙක මා ඔහු හඳුනා ගන්නේ ලක්බිම පුවත්පතේ කර්තෘවරයා ලෙසය. තවත් වරෙක අපේ පත්තර මහගෙදර කර්තෘමණ්ඩල අධ්‍යක්ෂ ලෙසය. අවසාන වශයෙන් ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙසය. සිනමාව, කලාව, දේශපාලනය සහ ජනමාධ්‍ය යන ක්ෂේත්‍ර සියල්ලේම දැවැන්තයකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා සිය කෘතියෙන් පළකළ අමරදේවයන් කෙරෙහි ඇති භක්ත්‍යාදරය පිළිබඳ සරසවියට පැවසුවේ මෙසේය...

 

 

 

මෙවැනි ලිපි පෙළක් පොතක් ලෙස එළි දැක්වීමට නිමිත්ත වුණේ කුමක්ද?

මෙය පොතක් ලෙස ප්‍රකාශයට පත් කරන්න නෙවෙයි මුලින්ම අදහස් කළේ. මා ඉතා භක්තියෙන් ළඟින්ම ඇසුරු කළ අයකු ලෙස පණ්ඩිත් අමරදේවයන් පිළිබඳ මා වසර පනහක් පමණ මුළුල්ලේ ලියූ ලිපි පෙළක් මීට ඇතුළත් වන්නේ. එය මගේ පෞද්ගලික සිහිවටනයක් ලෙස ළඟ තබා ගැනීමටයි උත්සාහ කළේ. ඒත් පොත සකස් වීමෙන් පසු මට හිතුණා මෙහි සමහර දේවල් අමරදේවයන්ගේ මිතුරු, රසික කැල දැනගැනීම සුදුසුයි කියලා. ඒ නිසා සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණක් මුද්‍රණය කළා.

 

මෙහි ඇතැම් කරුණු බොහොම දේශපාලනිකයි?

ඔව්. හැබැයි ඒ සියල්ල අමරදේවයන් පදනම් කරගත් නිසා ඒවා ලිවීමේදී එතරම් ප්‍රශ්නයක් වුණේ නැහැ.

 

සමීපව ඇසුරු කෙරූවකු ලෙස අමරදේවයන් ඔබ දකින්නේ කෙසේද?

අමරදේව කියන්නේ බොහොම අහිංසක සාධු චරිතයක්. අනෙක් කලාකරුවන් තම කලා නිර්මාණවලට අමතරව තමන්ගේ භෞතික දේවල්, අඹුදරුවන් වැනි දේ ලබාගන්න බොහෝ දේ කරනවා. එවැනි අරමුණු ඔහුට නැහැ. වෙන මුකුත්ම නැත්නම් ඔහු සංගීතය මුමුනමින් හෝ ඉන්නවා. ඒ තරමට ඔහුගේ ජීවිතය වුණේ සංගීතය.

 

ඒ සාධුබව නිසාම ගසාකෑම්වලට ලක්වුණා කියා ඔබේ ලිපිවලම තිබෙනවා?

වාණිජ මට්ටමින් එවැනි ගසාකෑම්වලට ඔහු ලක්වුණා තමයි. ඒත් ඔහුගේ නිර්මාණකරණයට එය කිසිසේත් බලපෑවේ නැහැ. එය බාධාවක් කරගත්තේත් නෑ. ඔහු නාට්‍ය චිත්‍රපට ආදියට සංගීත සපයමින් තමන්ගේ කටයුතු කරගෙන ගියා. උදාහරණයකට ප්‍රේම සැඳෑවෝ කැසට් පටයේ නිකුතුව සැලකුවොත්, ඒ කැසට්පටයට වෙන අයකු ලවා අමරදේවයන්ගේ ගී ගැයීම නිසා අමරදේවයන් කේමදාස මාස්ටර් සමඟ තරහකින් ඇති කියා අන් අය සිතුවා. ඒත් මා ළඟදි ලිපියකත් දැක්කා දෙදෙනා උත්සව අවස්ථාවක කවුරුත් කුතුහලයෙන් සිටියත් අමරදේවයන් කේමදාස මාස්ටර් සමඟ හොඳීන් කතා කර අවසානයේ දෙදෙනා බදාගෙන කතාබහ කළ බව. එයට මුල පිරුවේ අමරදේව සර්. ඒ නිසා ඔහු ජීවිතය දිහා උපේක්ෂාවෙන් බැලූ අමුතු චරිතයක්. අපට නොකීවට සමහර විට පණ්ඩිත්ට වේදනාවක් දැනෙන්න ඇති. ඒත් ඔහු ජීවිතාන්තය දක්වාම කේමදාස මාස්ටර්ට ගරු කළා.

 

තරුණ ගායක පරපුර පිළිබඳවත් ඔබ සඳහන් කර තිබෙනවා?

ගායක කුල, ගායක ශෛලීන් විවිධ ඒවා තිබුණත් ඔහු ඒ කිසිවක් හෙළා දැක්කේ නැහැ. කිසිවකු පිළිබඳ විවේචනය කළේ නැහැ. හැබැයි ඔහුට කවුරුන් හෝ විශිෂ්ට ගායකයකු හෝ ගායිකාවක් මුණගැසුණහොත් ප්‍රශංසා කළා. ජීවිතයේ අවසන් සමයේ උමාරියා වැනි බටහිර ආරට ගී ගයන නවක ගායිකාවක සමඟ ගීතයක් ගැයීමට ඔහු එකඟ වුණේ ඒ නිසයි. එතුමාගේ ගායන දිවියේ ලස්සනම ගීතයක් ලෙස එය හඳුන්වන්න පුළුවන්. එයින් පෙන්නුම් කරන්නේ ඔහුට විශිෂ්ට හඬක් හඳුනා ගැනීමට තිබූ අපූරු හැකියාව.

 

මයිකල් ජැක්සන් සහ අමරදේවයන් පිළිබඳ ලියූ අපූරු ලිපියක් මෙහි අඩංගුයි?

මයිකල් ජැක්සන් කියන්නේ බටහිර සංගීතයේ විශිෂ්ටතම නිෂ්පාදනයක්. මම ළඟදි දැක්කා ලිපියක ජැක්සන්ගේ අර්ත් සොන්ග් (ඡ්චපබඩ ඉධදඨ) නම් පරිසර ගීතය තමයි වසර සියයකින් හෝ නොනැසී පවතින්නේ කියලා. අපේ බොහෝ විදග්ධ කලාකරුවන් සහ බුද්ධිමතුන් ජනප්‍රිය සංගීත ශිල්පීන්ගේ කාර්යභාරය තේරුම්ගෙන තිබුණේ නැහැ. ඔවුන් එය සැලකුවේ අවරගණයේ සංගීතය සහ ගීත කියලයි. හැබැයි එය වෙනම සංස්කෘතියක්. අමරදේවයන් එය ඉවසුවා. ඔහු දන්නවා ඔහුගේ ගීත මෙන්ම ජනප්‍රිය සංස්කෘතියේ ගීතත් රසිකයන් අතර තිබෙන බව. ඔහු මිනිසුන්ගේ සිත් පිනවන උත්තම ගණයේ සංගීතකරුවෙක් වුණා වගේම, මම හිතන විදිහට අපේ පරපුරේ ඒ කියන්නේ 50-60-70 දශකවල අපේ සිතුම් පැතුම් පවා වෙනස් කරන්න සමත් වුණා.

ඔහු අපට ආදරය ගැන කීවා, රටේ අභිමානය ගැන කීවා, රටේ ගහකොළට සතා සීපාවාට ආදරය කරන්න ඉගැන්නුවා, බුදු දහමේ වටිනාකම කීවා. එනිසා ගායකයකුට වඩා ඔබ්බට ගිය, මිනිසුන්ගේ ජීවිත යහපත් කරන්න, මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියේ මුල් සොයාගෙන යන ගතියක් ඔහුට තිබුණා. මේ රටේ වියපත් බුද්ධිමතුන් කලාකරුවන් සියලු දෙනා අමරදේවයන්ගේ ගායනය සමඟ තමන්ගේ ජීවිත බද්ධ කරගත් අය. ඔවුන්ගේ ජීවිතවලට විශාල ආලෝකයක් මඟපෙන්වීමක් සුන්දරත්වයක් එයින් ලැබුණා. මගේ ජීවිතේ නම් කලාත්මක සිතුම් පැතුම් පමණක් නොවේ මේ රටට දක්වන භක්තිය තීව්‍ර කරන බොහෝ දේ අමරදේවයන්ගේ ගීතවලින් ලැබුණා කියලයි මම හිතන්නේ. ඔහුගේ දේශාභිමානී ගී සරල දේශාභිමානීත්වයට වඩා අපේ රටත් සංස්කෘතියත් නැවත නැවත තේරුම් කරන්න එයට ආදරය කරන්න හේතු වුණ බවයි මට හැඟෙන්නේ.

ඒ නිසාද ඔබ ලේක්හවුසියේ කර්තෘමණ්ඩල අධ්‍යක්ෂ ලෙස සිටි කාලයේ ජාතික ගීය අමරදේවයන් ලවා ගැයීමට සිතුවේ?

මට හිතුණු දෙයක් තමයි ජාතික ගීය පණ්ඩිත් අමරදේවයන්ගේ හඬින් අහන්නට ලැබුණා නම් කෙතරම් දෙයක්ද යන්න. ඒත් අපේ සංගීත ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ තිබූ කුහකබව නිසා ඒ අවස්ථාව අපට අහිමි වුණා.

 

පසුගිය දිනවල ඔබ විසින් මීට අමතරව පොත්පත් කීපයක් එළි දැක්වූවා, නව මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවීම ඇරඹුවා?

ඔව්, යහපාලන ආණ්ඩුව ඇති වුණු ගමන් මම ලේක්හවුස් ආයතනයේ සභාපතිධුරයෙන් සමුගත්තා. ඒ වගේම දේශපාලන බලපෑම් නිසා මම අවුරුදු දොළහක් පමණ අඛණ්ඩව කරගෙන ගිය මුල් පිටුව වැඩසටහන අහිමි වුණා. හැබැයි ඒ සමඟම මට විශාල සැහැල්ලුවක් දැනෙන්න ගත්තා. ඒ වගේම මට චිත්‍රපට බලන්න, නාට්‍ය, පොත්පත් බලන්න, සංගීතයට ඇහුම්කන් දෙන්න අහිමිව තිබූ කාලය නැවත ලැබුණා. පසුගිය අවුරුදු පහේම මම මට මඟහැරුණු ඒ දේවල් වෙත යොමු වෙමින් අධ්‍යාපනයක් ලැබුවා හා සමානයි කියන්න පුළුවන්. ඉන් පසු මට කීපවතාවක් ආරාධනා ලැබුණත් රූපවාහිනී වැඩසටහන්වලට, ඒවාට යන්න මැළි වුණා මගේ දායකත්වයට සරිලන මූල්‍යමය අගය කිරීමක් නොවූ නිසා. පසුව මම මේ දිනවල සතියකට වරක් යූටියුබයේ සාරවිට නමින් වැඩසටහනකුත් ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් නමින් වැඩසටහනකුත් කරනවා. අවුරුදු පහක් තිස්සේ ආදරණිය අම්මි නමින් ගැබිණි මාතාවන් දැනුම්වත් කිරීම සඳහා සඟරාවක් කරගෙන යනවා. පොත් තුනක් නිකුත් කළා මේ කාලය ඇතුළත. එකක් අමරදේවයන් පිළිබඳ මේ පොත. අනෙක ප්ලේ බෝයි සහ තවත් කතා නමින් මගේ ප්‍රථම කෙටිකතා එකතුව. තුන්වැන්න “රනිල් වික්‍රමසිංහ වගේ නෙවෙයි මම ගෙම්බන්ට ඇඩ්” එය ලීවේ බොහෝ දෙනෙක් වේදිකාවල කතා කළාට දේශපාලනික සමාජ විවරණ සටහන් කරන්නේ නෑනෙ. ඒත් එමඟින් ඉතිහාසය සටහන් වෙනවානේ. මට ඕනෙ වුණේ ඒ කාර්යය ඉටු කරන්න. අමරදේවයන්ගේ පොතේත්, කෙටි කතා පොතේත් එවැනි ප්‍රවේශයක් තිබෙනවා.

 

කොරෝනා සමය ඔබට බලපෑවේ කොහොමද?

මේ කොරෝනා සමයේ මම චිත්‍රපට හතර බැලූ දින තිබුණා. ඉස්සරට වඩා ගුණාත්මක බව හොඳයි, විවිධ රටවල නිර්මාණ අන්තර්ජාලය ඔස්සේ නරඹන්න පුළුවන්. ඒ නිසා උසස් මට්ටමේ කලාත්මක චිත්‍රපට නරඹන්න අවස්ථාව ලැබුණා. පොත් කියෙව්වා.

 

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු සම්බන්ධවත් දැනගන්න කැමැතියි?

මම දැනට සැලසුම් කරගෙන යනවා තවත් පොත් තුනක්. මම දැඩි සිනමා භක්තිකයෙක් නිසා ඊට අදාළ නිර්මාණ කීපයක් තමයි මේ දිනවල කෙරෙන්නේ. මට දේශපාලනයේ, මාධ්‍යකරණයේ සහ කලාක්ෂේත්‍රවල අත්දැකීම් බහුලයි විවිධයි. ඒ නිසා මම ඒ දේවල් ඊළඟ පරපුරට පොත් ලෙස දායාද කිරීම සුදුසුයි කියලා හිතුණා. ජනමාධ්‍ය පිළිබඳ මගේ අත්දැකීම් පසුබිම් කරගත් පොතකුත් කරන්න ඕනේ කියලා හිතනවා. මේ වසර ඇතුළත ඒ පොත් පාඨකයන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔබ සිනමා රසිකයෙක් මෙන්ම සිනමා කර්මාන්තයට ඍජුව සම්බන්ධ වී කටයුතු කෙරූවකු ලෙස අපේ සිනමාවේ වත්මන් තත්ත්වය පිළිබඳ දකින්නේ කොහොමද?

අපේ සිනමාව දිගින් දිගටම අභියෝගවලට මුහුණ දුන්නා. හැබැයි ඒ අතර මට පේන එක දෙයක් තමයි ඒ දේවලට මුහුණ දෙන්න අපේ ක්ෂේත්‍රයේ එක්තරා ප්‍රවණතාවකුත් ඇති වෙලා තිබෙනවා. තරුණයන් යූ ටියුබයට පවා චිත්‍රපට නිර්මාණය කරනවා. ඉස්සර චිත්‍රපට කියන්නේ දැවැන්ත ආයෝජනයක්. දැන් තරුණයන් දන්නවා එවැනි දැවැන්ත ආයෝජන කරලා එය ආපසු ලබා ගන්න බැහැ කියලා. ඒ නිසා අඩු මුදලින් චිත්‍රපට කරන්න ඔවුන් පෙලඹී තිබෙනවා. අපට තාක්ෂණික පහසුකම් තිබෙනවා. තරුණ නළු නිළියන් සෑහෙන ඉන්නවා. ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඔවුන් ජනප්‍රිය රැල්ලේ ඉන්න නිසා ඔවුන්ගේ දක්ෂතාවන් නිවැරැදිව හඳුනාගන්න අපට අවස්ථාවක් නොලැබෙන එකයි. අනෙක සිනමා ශාලාවක චිත්‍රපටයක් නරඹන තරම් හොඳ අත්දැකීමක් රසිකයකුට නෑ තමයි. ඒත් දැන් අපට ඒ හා සමාන රසවින්දනයක් ගෙදර ඉඳන් බලන්න පුළුවන් තාක්ෂණයක් ගොඩ නැඟී තිබෙනවා. සිනමා කලාවේ බිඳ වැටීමක් මම ඒ නිසා දකින්නේ නැහැ. හැබැයි සිනමා කර්මාන්තයේ කඩා වැටීමක් තියෙන්න පුළුවන්. ඒක ජයගන්න ක්ෂේත්‍රයේ අය නව මං සොයා ගත යුතුයි. ඒ නිසා අපේ තරුණ පිරිස අතින් ඉදිරි සිනමාව ගොඩ නැඟෙයි කියා සිතනවා.