සිනමාවට කොරෝනා හැදුණේ 2000දී

නීතීඥ අශෝක සේරසිංහ
ජුනි 18, 2020

 වේදිකාවේ සිට සිනමාව දක්වා හසල දැනුමක් ඇති නීතීඥ අශෝක සේරසිංහ මහතා දේශීය සිනමාවේ පරිපාලනමය අංශයේ මුල් පුටුව වන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිධුරයට තේරී පත්වූයේ 2005 වසරේදීය. පසුගිය සමයේ චිත්‍රපට බෙදාහැරීමේ අර්බුදය විසඳීමට පත්කළ විද්වත් මණ්ඩලයේද ප්‍රධාන සාමාජිකයා වූ ඔහු රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ලෙසද බොහෝ කලක් කටයුතු කළේය. කොරෝනා ව්‍යසනය හමුවේ දේශීය සිනමාවේ අනාගතය පිළිබඳ ඔහුගේ අදහස් විමසීම කාලෝචිත බැවින් අපි ඒ පිළිබඳවත්, සිංහල සිනමාවේ උන්නතිය උදෙසා ගතයුතු පියවර පිළිබඳවත් හිටපු සභාපතිවරයකු ලෙස ඔහුගේ මතය කෙබඳුදැයි මෙසේ විමසීමු.

 

කොරෝනා වසංගතය සමඟ ලෝකයේම චිත්‍රපට කර්මාන්තය ඇනහිටියා. දැන් එය යළි අළුගසා දමමින් නැඟිටිනවා. අපේ රටට මෙය කොයි ආකාරයෙන් බලපායිද?

සිනමාව කියන්නේ සාමූහික රසවින්දනයක් ලබන කලාවක් වගේම සංවෘත්ත, සංයුක්ත පරිසරයක සිදුවන්නක්. ඒ නිසා තමයි කෝවිඩ් -19 සමඟ සිනමාව සෑම රටකම පාහේ ප්‍රදර්ශනය නවතා දැමුවේ. සිනමාව කියන කලා විෂයට උනන්දුවක් තිබෙන පුද්ගලයන්‌ගේ දැනුම සහ රසවින්දනය වෙනුවෙන් නෙට්ෆ්ලික්ස් වැනි විකල්ප ක්‍රම මඟින් චිත්‍රපට ප්‍රදර්ශනය වනවා පෞද්ගලිකව රසවිඳීය හැකි අයුරින්. ඒත් අද ලංකාවේ ඇති ලොකුම ප්‍රශ්නය තමයි සිනමා ශාලා වැසුණු පසු ප්‍රේක්ෂකයන් ඉල්ලා සිටිනවාද අපට චිත්‍රපට බලන්න ඕනේ එනිසා චිත්‍රපට දෙන්න කියලා. සිනමාව ඉල්ලා හිටියොත් තමයි චිත්‍රපට නිපදවා දෙන්නේ. එහෙම නොඉල්ලන්න හේතුව තමයි සිනමාව ලංකාවේ ජනජීවිතය සමඟ එල්බගත් සංස්කෘතිකාංගයක් බවට පත් නොවීම. නිදසුනක් ලෙස ඉන්දියාව ගත්තොත් එරටේ යාචකයන් පවා නොකා නොබී එකතු කරගත් සල්ලිවලින් කරන්නේ චිත්‍රපට දර්ශන වාර හතර පහ බලන එක. ලංකාවෙ එහෙම පෙලඹවීමක් නොවන්න ප්‍රධාන හේතුව සිනමාව නිසි ලෙස සමාජගත නොවීම. හැබැයි එහෙම සමාජගත වුණු කාලෙකුත් තිබුණා. 60-70 දශකවල මිනිසුන්ට විනෝදය සැපයීමේ ප්‍රධාන මාධ්‍යය වුණේ සිනමාව. වේදිකාව බරපතළ ලෙස ලංකාවේ ක්‍රියාත්මක නොවීම ඒකට හේතුව ලෙස ගතහැකියි. සිනමාවට ඇබ්බැහි වුණ පිච්චර් පිස්සන් ඒ යුගයේ හිටියා. ඒත් අද නැහැ. ඒ නිසා කොවිඩ්වලින් පසු පරණ විදිහට සිනමාව නැඟිටුවන්න සිතීම සුදුසු නැහැ.

 

මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු ලෙස ඔබ දකින්නේ මොනවාද?

ඉන්දියානු සම්ප්‍රදායික සිනමාව ඒ ජනතාවගේ හද ගැස්මට කතා කරන එකක්. ඒකට සමගාමී සිනමාවක් තමයි ලංකාවේ ව්‍යාප්ත වුණේ. පසුව ජනප්‍රියවාදී චිත්‍රපට කතා සහ සිනමාව සමඟ ආසියාකරයේ බැඳුණු විශේෂිතම අංගය වන සංගීතය වගේම සිනමාව ජනතාවට ගෙන යන නළු නිළියන් කියන සාධක කෙරෙහි ප්‍රේක්ෂකයන් බැඳුණා. ආනන්ද ජයරත්න, ගාමිණි ෆොන්සේකා, විජය කුමාරණතුංග කියන තිදෙනා ඒ ඒ වකවානුවල සිනමාව ආවරණය කරමින් මිනිසුන්ගේ ආකර්ෂණයට ලක් වුණා. ඒ නිසා චිත්‍රපටය කුමක් වුවත් පුද්ගලබද්ධව ඒ නළුවා සිටින චිත්‍රපටය නරඹන්න පිරිසක් සැදී පැහැදී සිටියා. පසුකාලීනව වීරයන් නැතිව ගියා. ඒ නිසා තමයි අපේ සිනමාව ගාමිණි, විජය යුගයෙන් පසු මිනිසුන්ගෙන් යම් දුරස්ථභාවයක් ඇති වුණේ. එයට තවත් සාධක සපයමින් විකල්ප මාධ්‍යයක් ලෙස රූපවාහිනිය පැමිණියා. ඒ වගේම හැත්තෑව අසූව දශකයන්වලදී වාණිජ සිනමාවේ තිර රචනා අංයේ විශාල ඌනතාවක් ඇති වුණා. කලාත්මක අංශයෙන් ඉතාමත් විශිෂ්ට තිර රචනා දකිනට ලැබුණා. ඒත් ඉන්දියාව දෙස බැලුවොත් ප්‍රධාන චරිතය දෙන්නේ වාණිජ අංශයට. වස්තු බීජය කියන දේ කතාවට ඉතාම වැදගත්. වෙනත් රටවල වස්තුබීජ සපයන අය වෙනම ඉන්නවා. අපේ එහෙම නැහැ. කැමැති කෙනෙක් තමන්ගේ බිත්ති හතර ඇතුළේ වෙන කතාවක් ලියාගෙන එනවා. ඒක පුළුවන් විදිහටක සිනමාවක් කරලා මිනිසුන්ට බලන්න කියනවා. ඒක රසිකයන් නොබැලුවාම කියනවා සිනමාව කඩා වැටිලා කියලා. ඒත් ඇත්තෙන්ම එහෙම දෙයක් නැහැ.

 

ඔබ 2005 වසරේ පත් වූ ජාතික චිත්‍රපට සංස්ථා සභාපතිවරයා ලෙස අපේ සිනමා කර්මාන්තය පිළිබඳ දකින්නේ කෙසේද?

බොහෝ වෙලාවට ලංකාවේ සිනමාව එක්තරා අනියම් ක්‍රමයකට බලාපොරොත්තු වුණා රාජ්‍ය අනුග්‍රහයෙන් පැවතිය යුතුයි කියලා. ඒ ආකල්පය 70 දශකයේ සිට පැමිණි දෙයක්. එවිට සියලු දෙනා හිතනවා සිනමාව කියන්නෙ ජාතික චිත්‍රපට සංස්ථාව කියලා. එහෙත් අවාසනාවකට වගේ පසුකාලීනව කිසිම රජයක් සිනමාව පිළිබඳ සැබෑ ළෙන්ගතු බවක් දැක්වුයේ නැහැ. සිනමා විෂයයට නොවෙයි ශිල්පීන් කිහිපදෙනකුගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන්න ගිහින් තමයි කර්මාන්තයේ ඉදිරි ගමන වැලකුණේ. මම සභාපති වෙලා 2005 එද්දි 2000 වසරේ සිට ගරා වැටුණු කර්මාන්තයක් මෙය. එය ආක්‍රමණය කර තිබුණේ බාල වර්ගයේ කාමුක චිත්‍රපට. පසු කාලයක ඒවායේ කටවුට්වලට රෙදි අන්දන්න පවා සි-දු වුණා. ඒකට ඇබ්බැහි වුණු පිරිසක් සිටියා. ඒ අය ගලවා ගන්න කිසිම රජයක් උනන්දු වුණේ නැහැ. සිනමා ශාලාවෙන් කරලා තිබුණා ඒ චිත්‍රපට වෙනුවෙන්. වරක් මට විනිශ්චයකාරවරියක් කීවේ බොරැල්ල හන්දියෙන් ඔළුව උස්සාගෙන යන්න පුළුවන් වාතාවරණයක් හදලා දෙන්න කියලායි. වරක් ජනාධිපති සම්මාන උලෙළේ වැඩිම ආදායම් වාර්තා තැබු චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවා එවැනි චිත්‍රපටයක්. මගේ සභාපතීත්වයට සමගාමීව මම රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතීත්වය ලැබුණාම මම එවැනි චිත්‍රපට 187ක් තහනම් කළා. කාමුක චිත්‍රපට සඳහා වෙන් කෙරුණු ශාලාවල තත්ත්වය ඒ සමඟ වෙනස් වුණා.

 

ඉන් පසු රජකතා රැල්ල?

නිවැරැදියි, හැබැයි අබා සමඟ ආ රජකතා රැල්ල නිසා සිනමාවේ හොඳ ආරම්භයක් ඇතිවුණා. එය මස්තකප්‍රාප්ත වන්නේ සිරිපැරකුම් වැඩිම ආදායම් ලබමින්. ඒ සමඟ ළමා කතා රැල්ලකුත් පැමිණියානේ. මේ නිසා කාමුක සිනමා රැල්ලෙන් රසිකයා මුදවාගන්න මිනිසුන්ට බලන්න පුළුවන් චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න අපට හැකි වුණා. ඒ සමඟම වාණිජ වශයෙන් යම් පිබිදීමක් ඇති වුණා. ආයෝජකයින් සිනමාවට ආවා. අපි ඔවුන්ට බදු සහන දුන්නා. මට තිබූ පරමාර්ථයක් තමයි අන්තර්ජාතික සිනමාව සමඟ අපේ රට සම්බන්ධ කිරීම. ඒ සඳහා චීනය සමඟ ඓතිහාසික ගිවිසුමක් අස්සන් කළා. එයින් ලැබුණු අවස්ථාව තමයි දෙරටේ සිනමා උලෙළ පැවැත්වීම. චීන සංස්කෘතික අමාත්‍යාංශය මඟින් දියුණුවන රටක චිත්‍රපටයක් සඳහා ආයෝජනය කරනවා. ඒ අවස්ථාවත් ලැබී තිබියදී මට මාරුවීමක් ලැබුණා. ඒ නිසා ගිවිසුම බිඳ වැටුණා.

සභාපතිධුරයේ ඉන්න සමයේ ඉන්දියාවේ ජෙමිනි ආයතනය සමඟ සාකච්ඡාවකට වගේම ඉරාණයේ ෆරාබි පදනමෙන් කළ ආරාධනයකටත් අප ගියා. ඉරාණය වසරකට එක් අධ්‍යක්ෂවරයකුට ශිෂ්‍යත්වයක් දෙන්න තීරණය කළා. ඒ වගේම ඉරාණය සහ ලංකාව අතර බද්ධ කෘතියක් කරන්නත් කළ සාකච්ඡා තනතුර වෙනස් වීමත් සමඟ ඇන හිටියා.

මම විශ්වාස කරනවා විෂයය පිළිබඳ පුළුල් අවබෝධයක් නැති පරිපාලකයන් පත් වූ විට ආයතන එකතැන පල්වනවා මිස ඉදිරියට යෑමක් නැහැ. චිත්‍රපට සංස්ථාවේ සභාපති පුටුව කියන්නේ සෙනසුරු දශාව පමණක් ගෙවන අසුනක්. කිසි කෙනකුට එකදිගට සේවයක් කරන්න ලැබෙන්නේ නැහැ. එයට ප්‍රධාන හේතුව රජයන් එය ග්‍රහණය කරගන්නා විදිහ.

 

සංස්ථාවේ පුටුව වෙනස් වීම පමණමද සිනමා කර්මාන්තයේ පරිහානියට බලපාන්නේ?

සිනමාව තුළ හැමකෙනාම අල්ලා ගන්නා කරුණක් තමයි බෙදාහැරීමේ අර්බුදය නිසා සිනමාව බිඳවැටුණා කියන දෙය. චිත්‍රපට සංස්ථාවට තමයි බෙදාහැරීමේ බලය පනත මඟින් ලබා දී තිබුණේ. ඒත් 2001 වසරෙදි කිසිදු පදනමක් නැතුවයි පෞද්ගලික අංශයට එය බාර දුන්නේ. මේ වෙද්දි අවුරුදු 19ක් වෙනවා. එහෙත් අප අවබෝධ කරගත යුතු දේ තමයි බෙදාහැරීම පෞද්ගලීකරණය වීමේ අවාසිය සංස්ථාවට කියන කාරණය.

 

මම ඔබෙන් අහනවා කර්මාන්තයක් යනු කුමක්ද? කියා

යමක් කර්මාන්තයක් වන්න නම් නිෂ්පාදිතයක් තිබෙන්න ඕනා, වෙළෙඳ පොළක් තිබිය යුතුයි. ඒ වෙළෙඳපොළ අරමුණු කරගෙන තමයි නිෂ්පාදිතය සැදෙන්නේ. ඒ වගේම නිෂ්පාදිතය නිසා කර්මාන්තය තුළ රැකියා අවස්ථා, අමුද්‍රව්‍ය භාවිතය, යටිතල පහසුකම්, උපයෝගීතා ආදිය භාවිත වෙමින් එක ඒකකයක් ලෙස ආර්ථිකයට යම් බලපෑමක් කරනවා.

 

එවැනි නිෂ්පාදන කාර්යයකට ලියාපදිංචි වූ සංවිධිත කර්මාන්තයක් ලෙස සිනමාව මේ රට තුළ කවදා හෝ පැවතුණාද?

ලංකාවේ සිනමාව එහෙම සංවිධිත ආකාරයෙන් පැවතුණේ නැහැ. යම් කෙනකුට චිත්‍රපටයක් කිරීමට අවශ්‍ය වූ විට කරන්නේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ආයතනයට ගොස් නම ලියාපදිංචි කර කොලේ ගෙන ඒමයි. එවිට කිසි කෙනෙක් විමසන්නේ නැහැ ඔබේ මේ කටයුත්තේ තිරසර බව කෙසේද? ශක්‍යතාව කුමක්ද? කියලා. ඒ සම්බන්ධව අපට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි නිෂ්පාදනය පිළිබඳ ශක්‍යතා වාර්තාවක් වගේම වෙළෙඳපොළ පිළිබඳ පුරෝකථනයකුත් නැතිවීම. ඒවගේම ප්‍රමිති කාර්යාංශය මඟින් එයට ප්‍රමිතියක් තනනවා. එවැනි කිසිම දෙයක් සිනමාවට නැහැ. නිහාල්සිංහ මහත්මයා සාමාන්‍යාධිකාරී වශයෙන් සිටි කාලයේදී චිත්‍රපටයක් කරන්න පුළුවන් කියන ප්‍රමිතිය හදාගන්නා ව්‍යාපෘතියක් ලෙස කෙටි චිත්‍රපටයක් කළයුතු වූණා වගේම ඒ සඳහා ආධාර මුදලකුත් ලබා දුන්නා. ඒ මඟින් බලපත්‍රයක් ලබා දුන්නා. සමහරු එයට කීවේ මේ කලාව නිදහස් වන්න ඕනේ. ඕනෑම කෙනකුට සිනමාවට අවතීර්ණ වන්න පුළුවන් විය යුතුයි කියලා. ඒත් මෙතන තිබෙන තර්කය ඕනෙ කෙනකුට සිනමාවක් හදන්න පුළුවන් වුණාට ඒ සිනමා පටය ඕනෙ කෙනකුට නරඹන්න පුළුවන් මට්ටමේ තිබෙනවාද කියන එකයි.

ඒ කියන්නේ අපේ සිනමා කර්මාන්තයට ගැලවීමක් නැහැ කියන එකද?

සිනමාවට කොවිඩ් -19 හැදුණේ 2000 වසරේ ඉඳන්. ඉතින් එයා ආසාදිතව දිගටම හිටියා, කාටවත් බෝ වුණේ නැති වුණාට. ඒ අතර ඇත්තටම කොරෝනා වසංගතයට මුහුණ දීම දෙවැනි වරටත් ආසාදනය වීමක් හා සමානයි. මෙතැනදි සිනමාව ඉදිරියට යා යුත්තේ කොවිඩ්ට පසුව නොවේ, 2000 වසරේදි ඇතිවුණ පසුබෑම හා සසඳමිනුයි. ඒ සඳහා අවශ්‍යතාවක් තිබෙන්නේ කාටද? අධ්‍යක්ෂවරුන්ටද? ශාලාහිමියන්ටද? නිෂ්පාදකවරුන්ටද? ශිල්පීන්ටද? නැහැ. හැමෝම බලාගෙන ඉන්නවා විතරයි. මට හොඳට මතකයි පසුගිය කාලේ බෙදාහැරීමේ ප්‍රශ්නය පිළිබඳ නිවැරැදි වාර්තාවක් හදාදෙන්න අප වැනි විරුද්ධ දේශපාලන මතයේ සිටින අයත් සහභාගී කරගෙන කටයුතු කළා. ඒ අනුව අපි ඉතා සාර්ථක විසඳුම් සහිත වාර්තාවක් ලබා දුන්නා.

 

එය මතු නොවන්නේ නිලවීර වාර්තාව නිසාද?

හරි. නිලවීර වාර්තාව නම් ප්‍රශ්නය, එය නිශේධ කර ඉවත් කරන්නේ කොහොමද? ඒ ගැන කතා කරද්දි හැමෝම කියන්නේ පනත සංශෝධනය කරන්න කියලා. මගේ මතය නම් පනත සංශෝධනය විය යුතු නැහැ ඒක බොහොම සාරවත් පනතක්. නිලවීර වාර්තාව කැබිනට් අනුමැතියෙන් ආ එකක්. එහෙනම් කළ යුතු එකම දේ එය අහෝසි වන්න තවත් කැබිනට් අනුමැතියක් ගැනීමයි. ඒ සඳහා උත්සාහ දරමින් සිටියදී මට සභාපතිධුරයෙන් සමුගන්න සිදු වුණා. මම කියන්නේ නැහැ දැනට ඉන්න බෙදාහැරීම් මණ්ඩල සියල්ල අහෝසි කළ යුතුයි කියලා. ඒ අයට යම් ලාභ තීරුවක් තිබෙනවා නම් එය අඩු කිරීමට කළ යුත්තේ තරග කළ හැකි තවත් සමාගම් ඇති කිරීමයි. හැබැයි ඒකත් නෙවෙයි ප්‍රශ්නය. මේ සියල්ල විසඳුවා කියමු ඒත් පෙන්නන්න චිත්‍රපට නැත්නම් මොකද කරන්නේ. බලන්න ප්‍රේක්ෂකයන් එන්නේ නැත්නම් මොකද වෙන්නේ?...

 

හරි, මේ රටේ චිත්‍රපට සංස්ථාවක් ස්ථාපනය වුණේ ඇයි?

ඒ වෙලාවේ චිත්‍රපට බෙදා හැරි පෞද්ගලික ආයතන තුන වන සිනමාස්, සිලෝන් තියටර්ස් සහ එන්ටර්ටේන්මන්ට් සමස්ත සිනමාව අතට ගෙන තමන්ට අවශ්‍ය චිත්‍රපට පෙන්වන්න ගත්තා. සමහර විට සිංහල චිත්‍රපටයක් පෙන්වන අතර කොතරම් හොඳට දුවන සිංහල චිත්‍රපටයක් වුවත් ගලවා දෙමළ චිත්‍රපට ප්‍රදර්ශනයට යොදවනවා. එය වළක්වන්න සිරිමාවෝ මැතිනියගේ රජයේ පළමුවැනිම පනත ලෙස ගෙනාව මෙය ඉතා හොඳ පනතක්. ඒත් විවෘත ආර්ථිකයෙන් සිනමාව විසිරුවා හැරියා. ඉන්පසු සිනමාව එකලස් කරන්න කවුරුවත් උත්සාහ කළේ නැහැ. කලාකරුවන් හැමදාම දේශපාලන වේදිකාවල මල් පෝච්චි වුණා මිස ඡන්දය අවසන් වූ පසු කවුරුවත් ඒ පෝච්චි බිමට බෑවෙත් නැහැ, වතුර දැම්මෙත් නැහැ.

 

ඒ කියන්නේ දැන් පවතින තත්ත්වය යටතේ චිත්‍රපට සංස්ථාව වැඩක් නැහැ කියලාද?

මෙහෙමයි. මූලික කාරණය දැනට චිත්‍රපට සංස්ථාව කරගෙන යන ආකාරයට නම් එහෙම ආයතනයක අවශ්‍යතාවක් නැහැ. මොකද දැනට එය බෝඩ් ලෑල්ලක් විතරයිනේ. ඒ බෝඩ්ලෑල්ලට මුවාවෙලා කීපදෙනෙක් තම තමන්ගේ අරමුණු සපුරා ගන්නවා. ඒ හැරුණාම චිත්‍රපට සංස්ථාව පවතිනවා නම් එය ප්‍රතිසංවිධානය විය යුත්තේ කොහොමද? අලුත් ලෝකයට ගැළපෙන ආකාරයෙන් සිනමාව සමඟ අප කළ යුත්තේ කුමක්ද යන්න හිතලා වැඩ කළ යුතුයි. සමහරුන්ගේ මතය නම් සංස්ථාවකට වඩා රටට අවශ්‍ය නියාමන කොමිසමක් කියලා. ඒත් අපට ඇතිවන ප්‍රශ්නය ඒ විදිහට නියාමනය කරන්න තරම් දැවැන්ත සිනමාවක් මේ රටේ තැනෙනවාද යන්නයි.

 

මේ තත්ත්වය වෙනස් කිරීමට ඔබේ යෝජනාව ?

මෙය පටන්ගත යුත්තේ සිනමා සංස්කෘතියක් බිහි කිරීමෙන්. මම ඒ කාලේ පුංචි තාරකා නමින් පාසල් දරුවන් සඳහා චිත්‍රපට වැඩසටහනක් ඇති කළා. පාසල් සමයේ සිට ඒ උනන්දුව ඇතිකිරීමෙන් වැඩිහිටියන් ලෙසත් චිත්‍රපට නරඹන්න එන පිරිසක් ඇති කළ හැක්කේ රජයටයි. එයට රජයට සිනමාකරුවන්ගේ සහාය අත්‍යාවශ්‍යයි. ඒත් අද සිනමාකරුවන් කරන්නේ මට චිත්‍රපටයක රඟපාන්න දෙන්න, අනෙක් නිර්මාණකරුවාට කුමක් වුවත් කමක් නැහැ මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න යන ආකල්පවල පැවතීමයි. එයට හේතුවත් සිනමා සංස්කෘතියක් නැති කමනේ... ඒ නිසා මොන ආයතනය පිහිටෙවුවත් සිනමා සංස්කෘතියක් නැතිව ඉදිරිගමනක් නැහැ. අද ප්‍රේක්ෂකයනුත් අඩුවෙලා - අඩුවෙලා කෝවිඩ් සමඟ බින්දුවට බැහැලානේ. ඒ නිසා කොච්චර හොඳ චිත්‍රපටයක් නොමිලේ පෙන්වනවා කීවත් මිනිස්සු එන්නේ නැහැ කෝවිඩ්වලට බයයි. හරි සිනමා සංස්කෘතියක් තිබෙන විට කොවිඩ් හැදුණත් චිත්‍රපට බලනවා කියන මානසිකත්වයට මිනිස්සු පෙලඹෙනවා. බොලිවුඩ් කොලිවුඩ් චිත්‍රපටවල තිබෙන්නේ එහෙම තත්ත්වයක්. ඉස්සර ගාමිණි ෆොන්සේකා ඇවිත් ඇඟිලි දෙකෙන් සරම පැත්තට ගන්නකොට මිනිස්සු විසිල් ගහනවා. ඒකයි සිනමා සංස්කෘතිය. අද එහෙම එන්න නළුවෙකුත් නැහැ. නිළියොත් නැහැ. සිනමාව, සිනමාවක් ලෙස ප්‍රවර්ධනය කරන්න අවශේෂ සාධකත් නැහැ.

 

ඔබ කියන්නේ ව්‍යංජනයට මාළුවකුත් තුනපහත් නැතුව කෑම රහබලන්න එන්න කියනවා වගේ වැඩක් වෙලා කියලාද?

ඇත්තෙන්ම. භාණ්ඩයක් නැතිව අපි පාරිභෝගිකයන්ට ගන්න කියනවා වගේ වැඩක් මේක. තවදෙයක්, පාරිභෝගිකයාට අපි පණිවිඩය දෙන්නෙත් විද්‍යුත් මාධ්‍යයෙන්නේ. ඒ සඳහා වැයවන මුදල චිත්‍රපටය හදන්න යන පිරිවැයටත් වැඩියි. අඳුරු ශාලාවක පුළුල් තිරයේ චිත්‍රපටයක් බැලීමෙන් ඇතිවන මානසික, සමාජීය බලපෑම ටෙලිවිෂනයෙන් චිත්‍රපටයක් බලා ලබන්න බැහැ. මේ වෙද්දි දවසකට චිත්‍රපට පහක්වත් නාළිකාවල විකාශය කෙරෙනවා. සෑම නාළිකාවක්ම අද යැපෙන්නේ චිත්‍රපටවලින් වුවත් සිනමාව සඳහා ඔවුන්ගෙන් කිසිම සහායක් නැහැ.

 

පාරිභෝගිකයාට නිෂ්පාදනය ලබාදෙන්න ඔබ යෝජනා කරන්නේ කුමක්ද?

උදාහරණයක් විදිහට නාට්‍ය හා රංගකලාව පාසල් විෂයය පද්ධතියට ඇතුළත් කර තිබෙනවා. ඒ නිසා නාට්‍ය පිළිබඳ යම් පිබිදීමක් ඇති වෙලා තිබෙනවා. අපේ ඈත පළාත් සමහරක සිනමා ශාලාවක් හොයාගන්න සැතපුම් ගාණක් පයින් එන්න ඕනෙ. අප්‍රිකානු මහද්වීපයේ ඒ සඳහා කරන්නේ ඉස්සර කූඩාරම් චිත්‍රපට පෙන්නුවා වගේ ගමින්ගමට ගිහින් වීඩියෝ දර්ශන හෝ ප්‍රදර්ශනය කරන එක. ඉස්සර අපේ සිරිසේන විමලවීර ඒ කටයුත්ත කළා. ඒ සඳහා වර්තමානයේ අපි ක්‍රමවේදයක් හදන්න ඕනේ. මත්ද්‍රව්‍ය පැකට්ටු දිගින් දිගටම දීලා ඒකට පුරුදු කරනවා නම් චිත්‍රපටවලට එහෙම පුරුදු කරන්න බැරි ඇයි.

 

පුහුණු වූ ශිල්පීන්, ප්‍රමිතිගත නිර්මාණ බිහිකරගන්න කළයුත්තේ කුමක්ද?

එහිදී කලින් තිබුණා වගේ සිනමා සමාජ හදලා, පාසල්, අධ්‍යාපන ආයතන වැනි ප්‍රාදේශීය මට්ටමේ වැඩමුළු පවත්වන්න ඕනේ. මගේ මූලිකම අරමුණ තිබුණෙත් සිනමා ඇකඩමියක් ගොඩ නැඟීම. ඒ වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුමකුත් අස්සන් කළා. ඒවා පුද්ගලයා ඉවත් වූ පසු අක්‍රිය වන එකයි වැරැද්ද. කවුරු ආවත් ඒ ව්‍යාපෘති ඉදිරියට ගෙන යනවා නම් මේ තත්ත්වය වෙනස් වෙනවා. ඉස්සර චිත්‍රපට සංස්ථාවේ තිරරචනා බැංකු තිබුණා. මේ දේවල් ගොඩනඟන්න විශාල කැප කිරීමක් කරන්න වෙනවා. සිනමාකරුවන්ට හා ප්‍රේක්ෂකයා යන දෙපිරිසටම සිනමා සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. එහෙම නැතුව බෙදා හරින්නේ කවුද? ඩිජිටල් තාක්ෂණයට ගියාද නැද්ද කියන එක නෙවෙයි වැඩේ. අනෙක දැවැන්ත චිත්‍රපට කරන්න විශාල වියදමක් යනවා. අඩු වියදමින් කළ චිත්‍රපටයකුත් තියෙන්න පුළුවන්. ඒත් ශාලාව ඉදිරියේ මේ දෙකම සමානයි. අඩුවියදම් චිත්‍රපටය වියදම සොයා ගන්නවා. දැවැන්ත චිත්‍රපටය එරෙනවා. ඒ නිසා මම කියන්නේ අප හොඳ චිත්‍රපට ඒ කියන්නේ කලාත්මක නොවේ ජනාකර්ෂණය තිබෙන වාණිජ චිත්‍රපට තනලා ඒ පහසුව ප්‍රේක්ෂකයාටත් දිය යුතුයි. නොදියුණු කාලයේ පවා සින්දු පොත් වැනි දේ තිබුණා. අද ඒවා නැහැ.

 

චිත්‍රපටවල ගුණාත්මක ප්‍රමිතිය රැකීමට තිරනාටකය සමීක්ෂණය කිරීම යළි ඇරඹිය හැකියිනේ?

දැන් එය සිදුවන්නේ නැහැ. ඒත් චීනය ඉරාණය වගේ රටවල තිරනාටකය සමීක්ෂණ මණ්ඩලයේ අනුමැතියට යොමු කරලා දුර්වල නම් පෝෂණය කරලා තමයි චිත්‍රපටය කරන්න දෙන්නේ. කතාව හොඳනම් මූල්‍යාධාර පවා දෙනවා. චිත්‍රපටයක් හොඳ නැත්නම් වගාපාළු වුණාම ණය කපා හරිනවා වගේ කරලා ඒක ප්‍රේක්ෂකයාට නොපෙන්වා ඉඳීම තමයි හොඳම. අප යෝජනා කළෙත් මූල්‍ය ශක්තිය ඇති චිත්‍රපට හතරකට කලාත්මක චිත්‍රපටයක් මුදාහැරීමට සහ එය පාඩු ලබනවා නම් එයට මුදල් පොම්ප කිරීමට සිනමාවෙන් ලබන ආදායම සිනමාවට යොදවනවා නම් හැකියි කියලයි. සිනමාවේ ප්‍රබලත්වය කොපමණද කීවොත් සමහර කඩා වැටුණු සමාගම් තමන්ගේ ආයතනය පිටරටවලට විකුණන්න පවා සිනමාව හේතු වුණා. මම කියන්නේ බෙදාහැරීමේ ගාස්තු සියයට 5ක් කරන්න. ප්‍රේක්ෂක සංඛ්‍යාව හා වාර සංඛ්‍යාව වැඩි වුණාම එය ලාභයක්. අනෙක චිත්‍රප‌ටවල අංශ දෙකක් තිබෙනවා. එකක් දේශීය චිත්‍රපට අනෙක ආනයනිත චිත්‍රපට. විදේශීය චිත්‍රපට පෙන්වීමෙන් මුදල් ටිකක් ලැබෙනවා, විදේශිය චිත්‍රපට නරඹන්නන්ගේ උත්තේජනය වැඩිවනවා පමණයි. ඒ නිසා මගේ පාලන සමයේදී දේශීය චිත්‍රපට පිටපත් සංඛ්‍යාව 35ක් සහ විදේශීය චිත්‍රපට සඳහා ශාලා හයක් ලෙස පාලනය කළා. ඒත් දැන් දෙමළ චිත්‍රපට සඳහා ශාලා අසූව ලැබෙනවා. ඉස්සර සිංහල චිත්‍රපට පමණක් පෙන්වූ ශාලාවල පවා දැන් හැම චිත්‍රපටයම පෙන්වනවා. ඒ නිසා ප්‍රේක්ෂකයා බලාපොරොත්තුවෙන් යන චිත්‍රපටය නරඹන්න ලැබෙන්නේ නැහැ. මගේ මතය නම් ජාතික සිනමා සඳහා වෙනම ශාලා වෙන්වන්න ඕනේ. සිනමා සංකීර්ණවල තිබෙන්නේ සිනමා සංස්කෘතියකට වඩා වෙනත් දෙයක්. කොහොම වුණත් චිත්‍රපට බෙදාහැරීමේදී මීටවඩා විධිමත් ක්‍රියාමාර්ගයකට යන්න ඕනේ.

 

චිත්‍රපට බෙදාහැරීම වගේම ආනයනයේත් ප්‍රශ්න තිබෙනවා?

එතන තිබෙන්නේ ඒකාධිකාරයක්. හරිනම් චිත්‍රපට ආනයනය කිරීමේ සම්පූර්ණ අයිතිය පනතින් තිබෙන්නේ සංස්ථාවට. ඒත් සංස්ථාවට මුදල් නැති නිසා පෞද්ගලික ආයතනවලට දෙනවා. ඒවා අනිවාර්යයෙන් සංස්ථාවට ලබාදෙන්න ඕනේ. සංස්ථාව තමයි ගෙන්වන චිත්‍රපට පවා තීරණය කළ යුත්තේ. පෞද්ගලික ආයතන ඒ සේවය සපයනවාට කමිෂන් එකක් දෙනවා පමණයි. දැන් සිදුවන්නේ ඒ අයට අවශ්‍ය චිත්‍රපට ගෙන්වා ප්‍රදර්ශනය කරන එකයි. ඒවා ලබා දෙන්නේත් තමන්ගේ හිතවත් ශාලාවලට පමණයි.

 

පසුගිය දිනවල බෙදාහැරීම සම්බන්ධව චිත්‍රපට සංස්ථාව මුහුණ දුන් ප්‍රශ්නය ගැන ඔබ මොකද හිතන්නේ?

මේ වනවිට හරි හෝ වැරැදි හෝ බෙදා හැරීම පෞද්ගලික අංශයට පැවරී තිබෙනවා. එයට පදනම් වුණේ නිලවීර මාර්ගෝපදේශයන් කැබිනට් තීන්දුවක් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව තීරණය කිරීම. ඒත් පනත යටතේ තවමත් බෙදාහැරීම පවතින්නේ සභාපතිගේ අතේ. එත් භාවිතයෙන් අපි අවුරුදු 19ක් බෙදාහැරීමේ මණ්ඩල සමඟ ගනුදෙනු කර තිබෙනවා. ඒ අය යම් ක්‍රමවේදයක් සකසාගෙනත් තිබෙනවා. එනිසා එකවරම එය වෙනස් කිරීම ගැටලු සහගතයි. මේ කිසිවක් නොසිතා හිටපු සභාපතිවරයා ලියුමක් යැව්වා බෙදාහැරීමේ මණ්ඩලවලට. ඒ අය උසාවි ගියාම අධිකරණය කීවා මෙය අධ්‍යයනය කළ යුතු තත්ත්වයක් කියලා. දිස්ත්‍රික් උසාවියෙන් සංස්ථාවට කැමැති දෙයක් කරගන්න නිදහස් කළ වෙලාවේ හිටපු සභාපතිනිය ඒ අවසරය වැරැදියට ගත්තා. ඒ නිසා යළිත් මණ්ඩල ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන ගියා. මේ නිසා බෙදාහැරීම අනවශ්‍ය තැනක හිරවෙලා. මගේ උපදෙස වුණේ විද්වත් මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයා ලෙස, සභාපතිට විරුද්ධ නඩුවකදී ඇමතිවරයා හෝ ඇමති මණ්ඩලයට බැඳීමක් නැති නිසා එය පසෙක තබා කැබිනට් තීන්දුව වෙනස් කිරීමට කටයුතු කරන්න කියන එකයි. නීතිය තිබුණු පළියට කටයුතු කරන්න බැහැ. භාවිතය සමඟ කටයුතු කළ යුතුයි.

 

අවසාන වශයෙන්, හෙට අනිද්දාට යළි සිනමාව මල්ඵල දරන විට එහි උපරිම අස්වැන්න ලැබීමට කළයුත්තේ කුමක්ද?

මූලිකව සිනමාව පිළිබඳ ගැඹුරින් සිතන්න ඕනේ. කෝවිඩ් කියලා විෂබීජහරණය විතරක් කරලා සිනමා ශාලා විවෘත වෙලා වැඩක් නැහැ. අපි අනෙක් දේවල් මුල සිට අරඹනවා වගේ මෙයත් ඇරඹිය යුතුයි. එහිදී අපි පටන් ගතයුත්තේ කොහෙන්ද? මුලින්ම ප්‍රේක්ෂකයන් හදාගත යුතුයි සිනමා සංස්කෘතය සමඟ. පසුව ප්‍රෙක්ෂකයන් ඉල්ලා සිටින තිරකතා සහිත සිනමාවක් හදන්න ඕනේ. ඒ සඳහා තේරීම් මණ්ඩලයක් හෝ උපදේශක නැත්නම් වර්ගීකරණ මණ්ඩලයක් තිබිය යුතුයි. නැත්නම් පරණ විදිහටම පටන්ගන්න ගියොත් කවදාකවත් ඔළුව උස්සන්න ලැබෙන්නේ නැහැ.