කොරෝනා කාලේ මෙහෙමයි හිටියේ රාලේ

ජුනි 18, 2020

කොරෝනා හෙවත් Covid-19 වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවද මාස තුනකට ආසන්න කාලයක් වසා තැබීමට බලධාරීන් කටයුතු කළා. මෙය විවිධ ක්ෂේත්‍රවලට විවිධ ලෙස බලපෑ අතර කලා ක්ෂේත්‍රයට කළ බලපෑම ඉහළයි. එම නිසා කලාකරුවන් කොරෝනා සමය ගත කළ ආකාරය පිළිබඳව විමසන්න අප තීරණය කළා. 

කෙටි චිත්‍රපටයක්

අශෝක හඳගම

මාස එකහමාරක් දෙකක් විතර කාලයක් ගෙදරටම හිර වෙලා කිසිම සමාජ සම්බන්ධතාවක් නැතුව හුදෙකලාව ඉන්න අවධියක් අපි ගත කළා. වෙනදා වගේ හැන්දෑවක මිත්‍රයෝ මුණගැහිලා සතුටුසාමීචියේ යෙදෙන්න නොහැකි වුණාට Zoom video conferencing technology එක ප්‍රයෝජනවත් වුණා විවිධ දේවල් කතාබහ කරන්න. ඒ තාක්ෂණය හරහා නිර්මාණයක් කලා කෘතියක් බවට පරිවර්තනය කරන්න උත්සාහ කළා. කිසියම් හැඟීමක්, සෞන්දර්යයක්, යතාර්ථවාදී ගතියක් සහිත පිටපතක් ගොඩනඟලා, සමාජ දුරස්ථකරණ සීමාව තුළ හොයාගන්න පුළුවන් රංගන ශිල්පීන් සහ අනෙකුත් ශිල්පීන් පිරිස හොයාගත්තා. මම එකතැනක සිට Zoom  තාක්ෂණය යටතේ මේ කටයුත්ත මෙහෙයුවා. චිත්‍රපටයේ නම "ඇල්කොහොල් නැති බියර්". 

මහා පරිමාණ වගාවක

එඩ්වඩ් ජයකොඩි

චරිතාගෙයි මගෙයි තියෙනවා ලොකු පුස්තකාලයක්. පොතක වටිනාකම වැඩි වෙන්නේ ඒක බලන පිරිස වැඩි වුණාම. අපි හිතුවා අපි බලපු පොත්වලින් තව අය ප්‍රයෝජන ගන්නවා නම් හොඳයි කියලා. බන්ධනාගාර කොමසාරිස්තුමා සමඟ සම්බන්ධ වෙලා පොත් 400ක් වර්ගීකරණය කරලා වැලිකඩ බන්ධනාගාරයේ රැඳෙවියන්ට පරිත්‍යාග කළා. මේ අවදානම් කාලයේ ඔවුන් හුදෙකලා මිනිසුන් පිරිසක්. ඉතින් ඔවුන්ගේ කාලය ගත කරන්න පොතක් කියන්නේ හොඳ බෙහෙතක් කියලා අපි හිතනවා. ඊට අමතරව අපේ ගෙවත්තේ තිබුණු වගාව ටිකක් පුළුල් කරලා මහා පරිමාණයේ වගා කටයුත්තක් ආරම්භ කළා. අපේ පුතාලා ලෝකයේ සංගීතය ගැන අධ්‍යයනය කරනවා. ඒ වගේම අපේ රාගධාරී සංගීතය තියෙනවා. අපි මේ සංගීත ශෛලීන් සංසන්දනය කරලා අධ්‍යයන කටයුතු කළා. වෙනදාට වැඩියෙන් පුහුණු අභ්‍යාසවල නිරත වුණා. ඒ වගේම ආශිර්වාදාත්මක ගීත කීපයක් අපි කළා. ඒ වැඩකටයුතුවලටත් මේ කාලයේ සම්බන්ධ වුණා. 


 ව්‍යාපාරවලට අවධානයක් 

කමල් අද්දරාරච්චි

කොරෝනා නිසා කරපු කියපු වැඩ හැමදේම නතර වුණා. පසුගිය කාලය ගෙවල්වලටම වෙලා ගෙදර දොරේ දෛනික වැඩ කටයුතු කරගෙන, විමසිල්ලෙන් ලෝකය දිහා බලාගෙන කොරෝනා කියන එක අවබෝධ කරගන්න දරපු කාලයක් වුණා. ජංගම දුරකතනයත් එක්ක තිබුණු සම්බන්ධතාව වැඩි වුණා. අන්තර්ජාලය එක්ක වැඩිපුර කාලය ගත කළා. ප්‍රයෝජනවත් විදිහට ගත කළා වෙනුවට කාලය කා දැමීමක් කළා. මොකද කරන්න වැඩක් නොතිබුණු නිසා. මම ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්. මේ තත්ත්වය යටතේ කර්මාන්තශාලා කරගෙන යන්නේ කොහොමද කියන එක ගැන වැඩි අවධානයක්‍ යොමු කරන්න වුණා. සේවකයන් සීමිත කළා, සෞඛ්‍යාරක්ෂිත උපක්‍රම භාවිතා කරලා ව්‍යාපාරය කරගෙන යන්නේ කොහොමද කියන එක බැලුවා. ව්‍යාපාරිකයෙක් හැටියට ඒ දේවල් සාර්ථකව කළමනාකරණය කරගත්තා. 

උපකාර මෙහෙවරක් 

දමිතා අබේරත්න

ටෙලි වෘත්තිකයින්ගේ ජාතික සංගමයේ උපලේකම් මම. මේ කොරෝනා සමයේ අපි කලාකරුවන් වෙනුවෙන් ලොකු වගකීමක් ඉටු කළා. කොරෝනා නිසා අපහසුතාවට පත්වුණු අපේ සහෝදර කලාකරුවන්ට උදව් උපකාර කරන්න මේ කාලයේ මම ගොඩක් වෙහෙසුණා. මේක දිගින් දිගටම පවතිනවා කියන්නේ කලාකරුවන් ආර්ථිකමය අතිනුත් අපහසුතාවට පත්වෙනවා කියන එක. සියලුම අංශයන්ට වඩා කලා ලෝකයට මේක බලපාලා තියෙන ආකාරය දරුණුයි. ඒ නිසා මම මට හැකි ආකාරයට අපේ කලාකරුවන්ට උදව් උපකාර කරන්න උත්සාහ කළා. ඒ වගේම කලාකරුවන්ගේ විවිධ සංවිධාන සමඟ එකතුව කලාකරුවන්ට රජයෙන් ණයක් ලබා දෙන්න අපි කටයුතු කළා. ස්වාධීන රූපවාහිනි සේවය සමඟ එකට එකතු වෙලා කොරෝනා නිසා අපහසුතාවට පත් වුණු සියලුම කලාකරුවන්ට දැවැන්ත වැඩපිළිවෙලක් යටතේ උපකාර කළා. මේ කොරෝනා කාලය මම මගේම අය වෙනුවෙන් බොහොම ආදරයෙන් කැප කළා. 


නළුකම අමතක කළා

දසුන් පතිරණ

කොරෝනා මුල්ම දවස්වල මුකුත්ම කළේ නැහැ. මොකද අපි හිටියේ මේ කොරෝනා වසංගතයත් එක්ක භීතියකින්. ඒ කාලයේදි නළුවා කියන එක අමතක කරලා මනුස්සයෙක් විදිහට ජීවත් වුණා. මේ කොරෝනා නිසා ගෙදරට වෙලා ඉන්න අවස්ථාවක් ලැබුණා සහ අහල පහළ මිනිස්සු එක්ක කතාබහ කරන්න, ආශ්‍රය කරන්න අවස්ථාවක් ලැබුණා. මනුස්සයෝ විදිහට අනිත් මනුස්සයෝ නැතුව ජීවත් වෙන්න බැහැ කියන එක තේරුම් ගත්තා. ටික දවසක් ගිහින් වැඩක් කරන්න මානසිකත්වය හැදුණා. ඒ ප්‍රතිඵලයක් හැටියට ටෙලිනාට්‍යයක් ලියන වැඩ පටන්ගත්තා. ගොඩක් අය වගා කරන්න පටන්ගත්තා. මේ කාලයේ අපිට වගා කරන එකේ විටනාකම දැනුණා. අපි කොළඹ ජීවත් වෙන මිනිස්සු නිසා අපිට වතු නැහැ. ඒ නිසා පුංචි ඉඩකඩක වවන්න පටන්ගත්තා. මෙච්චර කාලයක් මිනිස්සු සමහර දේවල් දැක්කේ නැහැ. දැන් හිතෙනවා මුළු ලෝකෙම අවුරුද්දකට වතාවක්වත් shutdown කරන්න පුළුවන් නම් මිනිස්සු සමහර දේවල්වල අගයන් සහ වටිනාකම් වටහා ගනීවි කියලා. 

සංගීතේ ඉගෙන ගත්තා

හේමාල් රණසිංහ

කොරෝනා නිසා අපිට අපේ ඇවතුම් පැවතුම් සියල්ල වෙනස් කරන්න වුණා. ඒ වගේම අලුත් ජීවන රටාවක් එක්ක අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මම වැඩිපුරම ගෙදර දොරේ වැඩ කටයුතු කළේ. ඒ වගේම මේ ගැටලුවට මම මට පුළුවන් වපසරිය ඇතුළේ සමාජදායකත්වයක් ලබාදුන්නා. ඒ වගේම මම විෂයට සම්බන්ධ දේවල් කරන්න ගොඩක් උත්සාහ කළා. මම මෙතෙක් නොකරපු දේවල් අධ්‍යයනය කරන්න උත්සාහ කළා. ඒ සඳහා අන්තර්ජාලය ප්‍රයෝජනවත් වුණා. වර්තමාන සිනමාවේ තියෙන ගැටලුවක් තමයි සංගීතය. බජට් ප්‍රශ්නයත් music වල ගුණාත්මකත්වය අඩු වෙලයි නිර්මාණය එළියට එන්නේ. මම විශ්වාස කරන හැටියට ඍඪඤඥධVideo එකට වඩා ප්‍රබල Audio එක. ඒ නිසා මම හිතන විදිහට ලංකාවෙ sound engineering අඩු මට්ටමක පවතින්නේ. ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කළා. Sounds track හදන්න උත්සාහ කළා. 

Drive in Concert

සන්තුෂ් වීරමන්

මේ කාල සීමාව තුළ පවුලේ සාමාජිකයන් එක්ක වැඩියෙන් කාලය ගත කරන්න ලැබුණා. විශේෂයෙන් දරුවෝ එක්ක සතුටින් කාලය ගත කළා. මේ කාලයේ අපි ගෙදරටම වෙලා හිටියේ නැහැ. අපි යුද හමුදාව සහ ගුවන් හමුදාව එක්ක තදාසන්න ප්‍රදේශවල කොටු වෙලා ඉන්න මිනිස්සු වෙනුවෙන් free shows කළා. මේ කාලය අවසාන භාගයේදී ඇඳීරි නීතිය ටිකෙන් ටික ලිහිල් කරනවාත් එක්කම අපි BnS  Drive in Concert එකක් සැලසුම් කළා. එය පසුගිය දවසක රත්මලාන ගුවන් හමුදා කඳවුරේදි පැවැත්වුවා. මේක වෙනත් රටවල් අත්හදා බලලා තිබුණා. නමුත් දකුණු ආසියාවේ කිසිම රටක් මේ සංකල්පය අත්හදා බැලුවේ නැහැ. ලෝකයෙන්ම එකොළොස්වෙනියට  අපි කළේ. ඉතා හොඳ ප්‍රතිචාර අපිට මේකට ලැබුණා. අපිටත් මේක අලුත් අත්දැකීමක් වුණා. ප්‍රසංගය බලන්න පැමිණි හැමෝමත් විනය ගරුකව සෞඛාරක්ෂිත විදිහට හැසිරුණා. 

ජීවිතේ ඉදිරි සැලසුම්

ප්‍රදීපා ධර්මදාස 

මේ කාලයේදී මම ගොඩක් වැඩ කළා. මම කියපු ගීත සියල්ල එක තැනකට එකතු කළා. ඒ වගේම මගේ සියලුම ගීත රචනා පොතක් හැදුවා. මගේ ගෙදර කරගන්න බැරි වුණු වැඩ සියල්ලම කළා. ඒ වගේම මම මගේ ඉදිරි ජීවිතේ සැලසුම් කළා. අපි මැරෙන මිනිස්සු. හැමදාම ජීවත් වෙන්නේ නෑ. ඒ නිසා මගේ වැඩකටයුතු සියල්ල ලියලා දරුවන්ට පවා දුන්නා. මගේ ගෙදර වගා කරන්න පටන් ගත්තා. ඉඩකඩ සීමිත වුණත් පුළුවන් උපරිමයෙන් මම වගාවක් පටන් ගත්තා. දැන් ඵලදාවත් ගන්න පුළුවන් මට්ටමට ඒ වගාව සාර්ථකයි. අපිට පවුලක් හැටියට එකට එකතුවෙලා ගත කළා. මගේ සැමියා අධ්‍යාපන ඇමතිවරයා නිසා ඉතාම කාර්යබහුල කෙනෙක්. නමුත් අපිට පුළුවන් ආකාරයට අපි පවුලක් ලෙස ලැබෙන කාලය සතුටින් ගත කළා. 

මුළු ගෙදරම වැඩ කළා 

රේණුකා බාලසූරිය

මගේ මුළු ජීවිත කාලයම මට කරගන්න බැරි වුණු එක දෙයක් තිබුණා. මගේ මුළු ජීවිතේම මගේ අම්මා තමයි මට උයලා කන්න දුන්නේ. මම මුළු ජීවිත කාලෙම හිටියේ අම්මත් එක්ක. අපේ කාර්යබහුලත්වය එක්ක මුළු ගෙදරම වගකීම දැරුවේ අම්මා. මේ කොරෝනා කාලයේ මුළු දවසම ගෙදර වැඩ හැමදෙයක්ම කළේ මම. මම දැන් කල්පනා කල්පනා කරනවා ඒක මොන තරම් සැපවත් ජීවිතයක්ද කියලා. ජීවිතයේ පළවෙනි වතාවට තමයි මුළු ගෙදරම වගකීම අරගෙන වැඩ කළේ. 

අවුරුදු පහළොවකට පස්සේ අම්මා එක්ක

නිරංජනී ශන්මුගරාජා

කොරෝනා කාලයේ විශේෂයෙන් වැඩක් කළේ නැහැ. ඒත් මම මේ කාලය හොඳට වින්දා. සාමාන්‍ය මනුස්සයෙක් විදිහට මගේ කාලය ගත කළා. ඒ වගේම අවුරුදු පහළොවකට පස්සේ මට මගේ අම්මත් එක්ක වැඩි කාලයක් ඉන්න ලැබුණා. සාමාන්‍යයෙන් මගෙ අම්මා මාත් එක්ක ඉන්නේ නෑ. මාව බලන්න ඇවිත් ඉක්මන්ට ගෙදර යනවා. මේ සැරේ එක දිගට මාස තුනක් මට අම්මත් එක්ක ඉන්න වාසනාව ලැබුණා. ඒ හැඟීම මම වින්දා. අපි හැමදාම කළේ එක එක වැඩත් එක්ක කාර්යබහුල වෙච්ච එක. ඒ නිසා සැහැල්ලුවෙන් මේ කාලය ගත කළා. ඒ වගේම ඒ සැහැල්ලුවත් එක්ක මනස නිදහස් වුණාම අපිට ජීවිතය ගැන යම් යම් දේවල් අවබෝධ වෙනවා. මම මේ කාලවකවානුව ජීවිතය ගැන ගොඩක් දේවල් හිතන්න ප්‍රයෝජනයට ගත්තා. 

වීඩියෝ වැඩ 

දිනක්ෂි ප්‍රියසාද්


කොරෝනා කාලයේ ගෙදරට වෙලා විවේකයෙන් කාලය ගත කළා. පොත් කියෙව්වා, Netflix එකේ වීඩියෝ බැලුවා. ඒ වගේම  youtube channel එකේ වීඩියෝවල වැඩ කළා. මේ දේවල් කරද්දි මාස තුනක් යනවා තේරුණේ නැහැ. විශේෂයෙන්  youtube channel එකේ වැඩවලට මහන්සි වුණා. අපි Video  එකකට concept හදනවා. ඊටපස්සේ ඒක develop කරනවා. පොඩියට හරි script  එකක් ලියලා ගෙදර අයවම එකතු කරගෙන shoot  කරනවා. විශේෂයෙන් අම්මා තාත්තත් මේකට එකතු කරගත්තා. දැන් ඒ වීඩියෝවලට හොඳ ප්‍රතිචාර අපිට ලැබෙනවා. 

රස කෑම ජාති

පබෝධා සංදීපනී

කොරෝනා කාලයම කළේ අනිත් අය වගේ උයපු එක. අපි වැඩත් එක්ක කාර්යබහුල වෙද්දි අපිට හිතෙන්නේ විවේකයක් ඕනේ හොඳට නිදාගන්න ඕනේ නිදහසේ ඉන්න ඕනේ කියලා. නමුත් මේ කාලයේ එහෙම අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒක මට විතරක් නෙමෙයි හැමෝටම එහෙමයි. මේ කාලයේ විවිධාකාරයේ චිත්‍රපටි ගොඩක් බැලුවා. ඒ හැරුණුකොට අනිත් අය වගේ උයපු එකයි කාපු එකයි තමයි කළේ. පුතා ඉන්න නිසා එක එක ජාතියේ රස කෑම ජාති ගොඩක් හැදුවා.